» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
21/08/2016 - ඉරිදා ලංකාදීප
ජනමතය අවධාරණය කරන කතුවැකිය

ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතාව එහි භූමිකාවේ තෝරාගත් පැතිකඩ කිහිපයක් ඉකුත් සති පනහක කාලය තුළ සාකච්ඡා කරන්නට හැකිවිය. වසරකට මදක් වැඩි කාලය තුළ පළ වූ මෙම ලිපි පෙළ මෙරට මාධ්‍ය භූමිකාව දෙස ගැඹුරු නිරීක්ෂණයකට පසු කරන ලද සම්පූර්ණ අනාවරණාත්මක පර්යේෂණයක් සේ සඳහන් කරන්නට කැමැත්තක් නැත. නමුත් සාමකාමී සහ සැනසිලිදායක රටක් බවට පත්වන විට මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ සිදුවිය යුතු පරිවර්තනය අරභයා යම් යම් සාධනීය අදහස් සාකච්ඡා කරන්නට මෙම තීරු ලිපිය පදනමක් සැපයීය. පවතින රාමුව තුළ ක‍්‍රියාකරන අතරතුර වෙනස් මත ඉදිරිපත් කරන්නට පුවත්පත තුළින් ඉඩකඩ ලැබීම මෙරට මාධ්‍ය භූමිකාවේ සාධනීය සාධකයකි.

එක්දහස් අටසිය අනූ ගණන් වල දවසක සන් පුවත් පතේ කර්තෘ වරයාට කුඩා දැරියකගෙන් ලිපියක් ලැබිණ. එයින් ඇය නගා තිබුණේ ප‍්‍රශ්නයකි. අපේ භාෂාවෙන් කියනවා නම් ‘‘කර්තෘ මාමේ ඇත්තටම සැන්ටක්ලෝස් කියලා කෙනෙක් ඉන්නවාද?’’ යන විමසීමය. සන් පුවත් පතේ කතුවරයා එම දැරියගේ ප‍්‍රශ්නය එදා කතුවැකියට පාදක කරගත්තේය. ඔහු කතු වැකියේ දී ‘‘ආදරය, පරිත්‍යාගය, භක්තිය වැනි දේවල් ජීවිතයක හොඳම වැදගත් කාරණා’’ බව සඳහන් කළේය. ‘‘ඇත්තටම සැන්ටක්ලෝස් කෙනෙක් අද නැහැ. නමුත් මෙම උතුම් වචන වලට අර්ථයක් දෙන මිනිසුන් ජීවත් වෙන තාක්කල් අවුරුදු දස දහස් ගණනක් සැන්ටක්ලෝස් ජීවත්වේවි.’’ ඔහු තම කතුවැකියේ සටහන් කළේය.

මෙම දැරිය හෝ කතුවරයා ගේ ලියැවිල්ල වෙනුවට මතු කර ගත යුතු දෙයක් තිබේ. පුවත්පතක කතුවැකිය තුළින් මතු කරන ද්‍රෘෂ්ටියයි. ඇත්ත පෙන්වා දී සමාජය මිත්‍යාවෙන් ගලවා ගත හැකිය. එහෙත් එහි සීමා මායිම් තිබේ. අසත්‍ය වෙනුවට සත්‍ය පෙන්වාදිය හැකිය. බොරුව හෙළිදරව් කර නිවැරදි දේ පෙන්වා දෙන්නට හැකියාව තිබේ. දුෂිතයන් අනාවරණය කර සුපිරිසිදු පැති අනාවරණය කරන්නට කතු වැකියකට කළ හැකි දේ ප‍්‍රබලය. නමුත් මෙම සියලූ දේ කළ යුතු සමාජ ව්‍යුහය තුළ එහි පැවැත්මට හානි නොවන පදනමක් තුළ බව තේරුම් ගත යුතුය.

මාධ්‍යය ජනමතයට ඉඩ දෙයි. විශේෂයෙන් පාඨකයන්ගේ ප‍්‍රතිචාර ඔවුන් ලියන ලිපි වලට පුවත්පත තුළ ඉඩක් තිබේ. නමුත් එකී ඉඩකඩ විවෘත කරන්නේ කර්තෘවරයාගේ අභිමතය පරිදිය. එකිනෙකට වෙනස් මතවාද වලට මණ්ඩපයක් වෙන්නට පුවත්පත සූදානම් නමුත් සමාජ පුරුෂාර්ථයන්ට හානි කරන්නට එයින් ඉඩ ලැබෙන්නේ නැත. කර්තෘවරයාගේ අධීක්ෂණය ඉතාම වැදගත් කේන්ද්‍රීය එකක් වෙන්නේ එහෙයින්ය. පුවත්පත ග‍්‍රහනය කරගන්නා සියලූම පැති ගැන සමබරව විමර්ශණය කර අවධාරණය කළ යුතු දේ ස්වකීය අනන්‍ය ලියැවිල්ලකින් ඉදිරිපත් කරන්නට කතුවරයා නැඹුරුවන අතර එය පුවත්පතක වැදගත්ම ලේඛනය සේ සලකා බලන බව ස‍ඳහන් කරන්නට අවශ්‍යය.

කතුවැකිය අනන්‍ය ලේඛණයකි. එය ප‍්‍රධාන කතුවරයාගේ ස්වභාවය විදහා දක්වයි. එකිනෙකට වෙනස් රීතීන් අනුව කතුවැකිය ලියැවෙන අතර ජාතික පුවත්පතක එය ස්වාධීන, මධ්‍යස්ථ එකකි. පොදු ජනතාව වෙනුවෙන් පොදු අරමුණ පිළිබිඹුවන ආකාරයට කරුණු ඉදිරිපත් කිරීම සිදුවෙයි. සිද්ධියක් අරභයා කතා කරන විට එහි විවිධ පැති ඉදිරිපත් කරනු ඇත. විශේෂාංග ලිපියකින් සිද්ධිය විග‍්‍රහ කරන විට එය රචකයාට, ඒ වෙනුවෙන් කරුණු සම්පාදනය කරන බාහිර විද්වතුන් ගේ මත එහි තිබේ. නමුත් කතුවැකියට ස්වාධීන දැක්මක් ඇත. එහි අවධාරණය සාධාරණ භාවයයි. යුක්ති සහගත ලෙස ක‍්‍රියාකිරීමේ අවශ්‍යතාවයයි.

මුලින් සඳහන් කරන ලද ආකාරයට ජාතික පුවත්පතකට සමාජයේ පවතින සියලූ රාමු බිඳ දැමිය නොහැකිය. ලැබෙන සියලූම ප‍්‍රවෘත්ති පළ කරන තීරණයකට යා නොහැකිය. කතුවරයාගේ පරම වගකීම සමාජය පවතින තැනින් ඔසවා ඉහළින් තබන්නටය. එම ඔසවා තැබීමේ දී සැන්ටක්ලෝස් යනු නැති චරිතයක් පමණක් නොව එවැනි දේ විශ්වාස කිරීම නිශ්ඵල දෙයක් යැයි කතුවැකියක් ලියන්නට අවශ්‍ය තරමටත් වඩා ඉඩකඩ විවෘතය. නමුත් අවසානයේ දී එයින් අපේක්ෂා කළ හැක්කේ කුමක්ද?

ආගම, ආර්ථිකය, දේශපාලනය, සමාජය, විදේශ ප‍්‍රතිපත්ති සහ පරිසරය ඇතුළු එකිනෙකට වෙනස් කාරණා අති විශාල ප‍්‍රමාණයක් කෙරෙහි සමාජය තුළ බලපවත්නා රේඛාවන් තිබේ. මේවා සහමුලින්ම මකා දමා වෙනස් දේ මතු කරන්නට පිලිගත් පුවත් පතකට හැකියාවක් නැත. එවැනි දේ සඳහා බලකරන කතුවැකියක් හෝ අඛණ්ඩ අදහස් මාලාවක් ඉදිිරිපත් කරන්නට කලින් එයින් පසු ඇතිවිය හැකි තත්ත්වය ගැන ද සාවධාන වන බව සඳහන් කිරීම අවශ්‍යය.

මාධ්‍ය භාවිතාව සම්බන්ධ අලූත් පැත්තකට යොමු වී ඇති අතර එය සමාජ ගෝලීයකරණයෙහි ප‍්‍රතිඵලයකි. තොරතුරු සන්නිවේදනයේ වේගවත් බව සහ විද්‍යුත් තොරතුරු සම්පාදනය එයට පදනමයි. සන්නිවේදනයේ ඉතිහාසය ගොඩනැගෙන්නේ ලිඛිත සන්නිවේදනයක් වශයෙන්ය. පසුව එය විද්‍යුත් සන්නිවේදනයට නැඹුරුවෙයි. ප‍්‍රවෘත්තියක් කියවන්නට පුවත්පත මිලදී ගත් ජන සමාජය අද ප‍්‍රවෘත්තිය දැනගන්නේ සමාජ මාධ්‍යයෙන්ය. මෙයින් දශකයකට මදක් වැඩි කාලය තුළ සමාජ වෙබ් අඩවි යනුවෙන් සංකල්පයක් දැන සිටියේ නැත. 2004 පෙබරවාරියේ දී ආරම්භ වූ ෆේස් බුක් සමාජ ජාලා ක‍්‍රමයේ ගිණුම් ප‍්‍රමාණය මේ වන විට බිලියන දෙක ඉක්මවා වී ඇත. ෆේස් බුක්, ට්විටර්, ඉන්ස්ටර්ග‍්‍රෑම් ඇතුළු සමාජ ජාලා වලින් තොරතුර දැනගන්නා සමාජය පුවත්පත කියවන්නේ එය තහවුරු කරගන්නටය. ප‍්‍රංශයේ සුදුවන ත‍්‍රස්තවාදී ප‍්‍රහාර සමග පුවත් පත් අතර සංවාදයක් මතුව තිබේ. ලාමොන්දේ ඇතුළු පුවත් පත් ත‍්‍රස්තවාදීන්ගේ පින්තූර පළ කිරීමෙන් වැලකිය යුතු බවට එකඟතාවයක් අවශ්‍ය බව සංවාද කරන නමුත් එහි තවත් පැති සාකච්ඡා කරන ලියුම් කරුවන්ගේ අදහස එසේ වැලකී සිටීම පලක් නැති බවය. මන්ද මේ වන විට සමාජ මාධ්‍ය මගින් එකී පින්තූර පළකරමින් සිටින හෙයින් එය නිශ්ප‍්‍රයෝජන බවය. මෙයින් පෙනෙන්නේ සමාජ මාධ්‍යයේ බලවත්කම පමණක් නොව එය පැතිරි ඇති ආකාරයයි. ජන සමාජයේ සියලූම දෙනා ප‍්‍රවෘත්ති බෙදාහරින මාධ්‍ය ආයතන බඳුය. එම සියලූම දෙනාට තමන්ගේම මතයක් තිබේ. සියලූම දෙනා කතුවරු වන අතර ඔවුන්ට දැනෙන, ඔවුන්ට හැගෙන දේ සෘජුවම සමාජ මාධ්‍ය තුළින් සමාජයට මුදා හරිති. ඒවා විශ්ව ව්‍යාප්ත පණිවුඩ බවට පත්වන්නේ නිරායාසයෙන්ය.

ශ‍්‍රී ලංකාවේ මුද්‍රිත මාධ්‍ය ක්ෂේත‍්‍රය පවතින්නේ පරිවර්තනය වෙමින් පවතින පසුබිමකය. එය සාමකාමී සමාජ පැවැත්මක මාධ්‍ය භාවිතාවක් දක්වා සංකීර්ණත්වයට අවතීර්ණ වෙමින් තිබේ. අනෙක් පැත්තෙන් තාක්ෂණික අතින් නවතම යුගයකට ඇතුලූ වෙමින් සිටී. මෙම පැති දෙක තුළ ජනතා අභිලාශයන් ඉතාමත් සියුම් බව තේරුම් ගැනීම පුවත්පතක හරයාත්මක වගකීමයි. මෙයින් වසර දහයකට පසු ප‍්‍රවෘත්තිය ඉදිරිපත්වන්නේ කොතැනකින්ද? කුවරයාගේ මතයට ලැබෙන තැන කුමක්ද? මේවා අභියෝග වශයෙන් පෙනේ. සමාජය වෙනුවෙන් සමබර සමමත වෙනුවට පුද්ගල මත නැගෙන පසුබිමක ඇතිවිය හැකි තත්ත්වය කුමක්ද? දේශපාලනය, ආර්ථිකය සමාජ අවශ්‍යතා සහ ගෝලීයකරණයේ ව්‍යුහය තුළ මෙරට මාධ්‍ය තුළ කතුවැකියකින් පළ කරන අදහස දෙස වඩාත් අවධානයෙන් සලකන සමාජය අනාගතයේ දී වෙනස් පැති වෙත නැඹුරුවීම සුවිශේෂී තත්ත්වයකි. මෙම සියුම් කාරණා අවධානයට ලක් කරන විට මුද්‍රිත මාධ්‍යයක වගකීම, ඒ වෙනුවෙන් ඇති නව ප‍්‍රවනතා සහ පැවැත්ම කෙබඳුද යන්න තේරුම්ගත හැකිවනු ඇත.