» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
08/08/2021 - දේශය
ඉදිරි සියවසේ හයි ටෙක් වැසිකිලි

වැසිකිලි හෝ කැසිකිලි ගැන කතා කිරීම එපමණ සිත් ගන්නා මාතෘකාවක් නොවේ. අලූත් අදහස් ඉදිරිපත් කෙරෙන නමුත්, ඒවා ගැන ප‍්‍රසිද්ධියේ අදහස් දැක්වීමට පවා මැලිකමක් සමාජය තුළ තිබේ. ඉදිකරන නිවස තුළ ඉස්තරම් වැසිකිලි පද්ධතියක් තනාගෙන, මනා සෞඛ්‍යාරක්ෂිත පහසුකම් සකස් කරගැනීම සෑම පුරවැසියෙකු ගේ ම අදහසය. කෙසේ නමුත් ලෝක ජනගහයෙන් හරි අඩකට නිසි සෞඛ්‍යාරක්ෂිත වැසිකිලි පහසුකම් නැත. එය පුදුමයට කාරණයකි. සංවර්ධනය, මානව අයිතිවාසිකම් හෝ අභ්‍යවකාශ යුගය ගැන කතා කරන සමාජයක දෙදෙනෙකුගෙන් එක් අයෙකු ගේ වැසිකිලි භාවිතය ගැටළු සහගත තැනක තිබීම බලවත් අවධානයකට ලක් විය යුතුය.

ප‍්‍රකට ධන කුවේරයෙකු වන බිල් ගේට්ස් සම සභාපතිත්වය උසුලන බිල් හා මෙලෙන්ඩා පදනම 2011 වසරේ දී ලෝක ව්‍යාප්ත අභියෝගයක් ඉදිරිපත් කළේය. අනාගතය ගැන සලකා වැසිකිලි ගැන නිර්මාණාත්මක අදහස් ඉදිරිපත් කරන සේ නවෝත්පාදකයන්ට දැක්වීය. වැසිකිලි පහසුකම් රහිත මිලියන සංඛ්‍යාත පිරිසකට ඒවා සකස් කරගැනීමට ආධාර කිරීම වෙනුවට ගැටළුව දෙස වෙනත් කෝණයකින් අවධානය යොමු කරන ලද අවස්ථාවකි. යෝජනා අතරින් කැලිෆෝනියා තාක්ෂණික ආයතනය ඉදිරිපත් කරන ලද අදහස ඉතාමත් ආකර්ශණීය එකක් විය. ඊට ඇමරිකානු ඩොලර් ලක්ෂයක තෑග්ගක් පිරිනැමිණි. එහි දී වැසිකිලියක එකතුවන මළ අපද්‍රව්‍ය, සූර්ය තාපය භාවිතයෙන් හයිඩ‍්‍රජන් හා විදුලිය උත්පාදනය කෙරේ. දෙවැනි තැන ගත් යෝජනාව ඉදිරිපත් කළේ බි‍්‍රතාන්‍ය විශ්ව විද්‍යාලයකි. ජෛව ගල් අගුරු, ඛනිජ ද්‍රව්‍ය සහ පිරිසිදු වතුර එම වැසිකිලිය භාවිතා කරන්නෝ පරිසරයට ලබා දෙනු ඇත. තවත් අදහස් සෑහෙන ප‍්‍රමාණයක් යෝ්ජනා වී තිබුණි. සියළුම දෙනාට මිනිස් අපද්‍රව්‍ය කළමනාකරණය හා දැනට පවතින ක‍්‍රම වෙනස් කිරීම සම්බන්ධව බලවත් උවමනාවක් සහිත බව මෙහි දී සනාථ වූ එක කරුණකි.

අලූත් අදහස් ලෝකයේ පැවැත්ම වෙනස් කරනු ඇතැයි බිල් ගේට්ස් සදහන් කරන වැදගත් ආදර්ශ පාඨයකි. කරුණකි. වැසිකිලිවල නරක තත්ත්වය නිසා පැතිරෙන විෂබීජ ජල ප‍්‍රවාහයන්ට එකතුවන අතර එයින් අසාදනය වන වයස අවුරුදු පහට අඩු දරුවෝ මිලියන 1.5 ක් වසරකට ජීවිතක්ෂයට පත්වන බව ගණන් බලා තිබේ. එම ජීවිත ආරක්ෂා කරගතහොත් ලෝකය වඩා වැදගත් තැනකට පත්වනු ඇත. වැසිකිලි පහසුකම් වෙනුවෙන් ආයෝජනය කරන එක ඇමරිකානු ඩොලරයකින් ඇමරිකානු ඩොලර් නමයක ඵලදායීතාවයක් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉලක්ක කරයි. නිසි සනීපාරක්ෂක පහසුකම් නොමැතිකම ලෝක ආර්ථිකයට කොපමණ හිසරදයක් ද යන්න අවබෝධ කරගත හැකිය.

ජනගහන වාර්තා අනුව වසර 2050 වන විට ලෝක ජනගහනය තවත් මිලියන දහයකින් ඉහළ යනු ඇත. මෙම පිරිස ජනගහනය අධික රටවලින් හා විශේෂයෙන් අධික තදබදයක් සහිත නගරවලින් වාර්තා වන බව දැක්වෙයි. අලූත් වැසිකිලි තනන්නටත්, මෙම ජනගහනය වැසිකිලි පාචිච්චි කිරීමෙන් පසු පරිහරණය කරන ජලය ප‍්‍රමාණයත් මිහිතලයට දරාගත නොහැකි වනු ඇතැයි සැලකේ. සියවස් ගණනක් එකම රාමුවක තිබුණ මළ අපද්‍රව්‍ය බැහැර කිරීම වෙනස් මානයකට නොකැදවුවහොත් ගැටළු ඇති විය හැකිය. පර්යේෂණ වලින් අලූත් අදහස් අනාවරණය කර තිබේ. මේවා අත්හදා බලන්නේ කෙසේද?

සංකල්ප ඉදිරිපත් කළ හැකි නමුත් ඒවා ප‍්‍රායෝගිකව ක‍්‍රියාවට නැංවීම පහසු නැත. චීනය හා ඉන්දියාව වැසිකිලි පද්ධති ඉදිකිරීම වෙනුවෙන් දැවැන්ත ආයෝජනයක් කර තිබේ. ඉන්දියානු අගමැතිවරයා ‘‘ස්වෙච් භාරත් ’’ යනුවෙන් වැඩපිලිවෙලක් ක‍්‍රියාවට නැංවීය. එයට ඇමරිකානු ඩොලර් බිලියන ගණනක් යෙදවීය. චීනයේ පැවැති ප‍්‍රදර්ශනයකට සහභාගී වූ බිල් ගේට්ස් මෙම නවෝත්පාදන වැසිකිලි ගැන එහි දී කරුණු දක්වා ඇත. ලෝකයේ බලවත්ම ප‍්‍රදානක ආයතන මෙම සංකල්පයට සහාය පළකර තිබේ. ප‍්‍රධාන නගරවල වානිජ මට්ටමකින් ඉදිකරන මෙකී නවීන වැසිකිලි වෙනුවෙන් අවශ්‍ය මුදල් සම්පාදනය කරන්නට එකග වී ඇත. දියුණු වෙමින් පවතින නමුත් ශ‍්‍රී ලංකාවේ පවා පොදු වැසිකිලි පහසුකම් ඉතාම දුර්වලය. නගරයට එන ලක්ෂ සංඛ්‍යාත පිරිසකට පරිහරණය කළ හැකි පිරිසිදු ස්ථාන නැත. කාන්තාවෝ බෙහෙවින් අසරණ වී සිටිති. නගර නිර්මාණය කරන විට පදික වේදිකාව, පාර මාරුවන ස්ථාන සහ වාහන ගාල් ගැන අවධානය යොමු කරන නමුත් වැසිකිලි හා කැසිකිලි ගැන ප‍්‍රමාණවත් අවධානයක් යොමු නොකරන්නේ ඇයි?

ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ආසියානු සංවර්ධන බැංකුව නවීන පන්නයේ වැසිකිලි නගරබදව ඉදිකරන ව්‍යාපෘති වලට ආධාර කරන්නට ඉදිරිපත්ව සිටී. මේවායෙන් සෞඛ්‍ය පහසුව පමණක් නොව බලශක්තිය, ස්වභාවික සම්පත් ආරක්ෂා කරගැනීම වැනි අංශ වලට ද ප‍්‍රයෝජනයක් ලැබේ. අඩු ජල ප‍්‍රමාණයක් භාවිතා කරන අතර බලශක්තිය හෝ පිරිසිදු ජලය පෙරා වෙන්කර ගෙන ප‍්‍රතිචකී‍්‍රයකරණයක් වන ස්ථාන වශයෙන් පවත්වාගෙන ගියහොත් විශාල වෙනස්කම් සිදුවනු ඇත.

වසර හතක් තිස්සේ ඇමරිකානු ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කර අලූත් අදහස් ඉදිරිපත් කර තිබේ. ඒවා ලෝක නායකයන් හමුවේ තබා ඇත. නිසි සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය කළහොත් ආරක්ෂා කරගත හැකිවන ජීවිත ප‍්‍රමාණය ගණන් බලා තිබේ. සෞඛ්‍ය වියදම ඉතිරි කරගත හැකි තරම ගැන සවිස්තරාත්මකව කරුණු දක්වා ඇත. මෙම පර්යේෂණ වලින් ප‍්‍රයෝජන ගෙන අනාගතයේ අලූත් හැඩතලයක් නිර්මාණය කිරීම ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ යුතුකමකි. නව ප‍්‍රවණතා ගැන අවධානයෙන් සිටීම පොදු ජනතාවගේ ද වගකීමක් බව සදහන් කළ යුතුය.