» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
30/12/2018 - දේශය
චෙලෝ වාදනයෙන් ලොවට ඇමතූ යෝ යෝ මා

ලෝක ප‍්‍රකට චෙලෝ වාදක ශිල්පියෙකු වන යෝ යෝ මා, සංගීතය මිනිසුන් ගේ පැවැත්ම වෙනස් කරන්නට යොදවන කීර්තිමත් පුද්ගලයෙකි. ප‍්‍රංශයේ ඉපැදී ඇති හෙතෙම චීන ඇමරිකානු සම්භවයක් සහිතය. දේශ සීමා ඉක්වමා ප‍්‍රතිභාව විහිදුවා තිබේ. සම්භාව්‍ය සංගීතඥයෙකු වන යෝ යෝ බොහෝ සම්භාවනාවට පත්ව ඇත. දක්ෂතාවයෙන් උපයාගත් ගෞරවය හෙතෙම නැවතත් සමාජ ප‍්‍රතිශ්ඨාපනය වෙනුවෙන් යොදවමින් සිටී. ‘‘බාක්’’ යනුවෙන් එම ව්‍යාපෘතිය නම් කර තිබේ. 1700 ගණන් වල විසූ ඉතා විශිෂ්ඨ ජර්මන් සංගීතඥයෙකු ගේ නිර්මාණ මෙම ව්‍යාපෘතියට ඇසුරු කරගනී. නිසි ගෞරවය සහිතව කිසිම ශෛලීය වෙනස්කමකින් තොරව සංගීත අත්දැකීම අත්විඳීන්නට සලස්වන යෝ යෝ එමගින් අලූත් පරම්පරාවට නවතම වින්දනයක් කැටුව එයි. ලෝකයේ ප‍්‍රධාන නගර තිස් හයක බාක් සංදර්ශනය පවත්වා ඉමහත් අවධානයට නතු කර ගැනීමට යෝ යෝ මා සමත්ව තිබේ.

යෝ යෝ සංගීතඥයෙකු වශයෙන් ඇල්බම් අනූවක් නිකුත් කර ඇත. එයින් නිර්මාණ දහ අටක් ග්‍රෙමී සම්මාන දිනා තිබේ. ග්‍රෙමී සම්මානය සංගීත අංශයේ වාර්ෂිකව පිරිනමන ජාත්‍යන්තර සම්මානයකි. 1956 දී ග්‍රෙමී සම්මාන ආරම්භ වූ අතර ඒ වන විට පැවැති ග‍්‍රැමෆෝන් සංගීත යුගයට අනුව සම්මාන පිරිනැමිණි. ජර්මනියෙන් ආරම්භ වූ මෙම සම්මාන උලෙල පසුගිය වසරේ පවත්වන අවස්ථාව වන විට වාර්ෂිකව 61 වතාවක් සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

යෝ යෝ මා සංගීත පවුලක සාමාජිකයෙකි. මව ගායිකාවකි. පියා වයලීන වාදකයෙකු පමණක් නොව චීනයේ නැංජින් විශ්ව විද්‍යාලයේ සංගීත මහාචාර්යවරයෙකි. සොහොයුරිය ද වීනා වාදනයෙහි හපන්කම් පෙන්නූවාය. පසුව සංගීත උපාධිය ලබා ගත්තීය. යෝ යෝ හත් හැවිරිදි වන විට මෙම සංගීතයෙහි සමත්කම් පෑ පවුලේ සාමාජිකයෝ නිව්යෝක් නගරය කරා සංක‍්‍රමණය වූහ.

අකුරක් ඉගෙනගන්නට කලින් ස්වර හැදෑරූ යෝ යෝ වයලීන, පියානෝ වාදනය කරනුනට සමත්ව සිටි අතර හතර හැවිරිදි වියේ දී චෙලෝ සංගීත මෙවලම වැඩිදුර හැදෑරීමට තෝරා ගත් බව අනාවරණය වෙයි. අවුරුදු පහක් වන විට ප‍්‍රසිද්ධ වේදිකාවේ ශිල්ප දක්වන හෙතෙම ඇමරිකානු ජනාධිපතිවරුන් වූ ඉසින්නොවාර් හා ජෝන් එෆ්. කෙනඩි අභිමුවෙහි වාදනය කරන විට වයස යාන්තම් අවුරුදු හතක් බව දැක්වෙයි. තවත් වසරකට පසු යෝ යෝ රූපවාහිනියේ පෙනී සිටියේ ඔහුගේ සොහොයුරිය සමගය. මූලික අධ්‍යාපනයේ එක්තරා කඩඉමකට පසු ප‍්‍රසිද්ධ චෙලෝ වාදකයෙකු වශයෙන් නිව්යෝක් හි කතාබහට ලක් වූ හෙතෙම සුප‍්‍රකට ජුලියාඞ් පාසලේ දී සංගීතය වැඩිදුර ඉගෙන ගත්තේය. කොලෝම්බියා විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ අතර පසුව හාවඞ් විශ්ව විද්‍යාලයෙන් උපාධි උසස් අධ්‍යාපනය කඩඉමක් අවසන් කළේය. ඉගෙන ගන්නා කාලයේ දී වාර්ෂික සංගීත උළෙල වල දී පළ කරන ලද දක්ෂතා සංගීතකාමීන් මන්මත් කරන ලද බව වාර්තා පෙන්වයි. ප‍්‍රකට සංගීත කණ්ඩායම් සමග එකතු වී නිර්මාණ කරණයෙහි නිරත වූ යෝ යෝ මා 1991 වසරේ දී හාවඞ් විශ්ව විද්‍යාලයෙන් සම්මාන ආචාර්ය උපාධිය ලබා ගෙන තිබේ.

නිර්මාණකරනයෙහි යෙදුන යෝ යෝ හොලිවුඞ් චිත‍්‍රපට වලට සංගීතය සැපයීය. ඉතාලි සංගීතඥයෙකු හා එකතු වී නිර්මාණභ්‍යාසයෙහි නිරත විය. විවිධ අත්හදා බැලීම්වලට නැඹුරු වූ අතර පැරණි සංගීත ඛණ්ඩ ඇසුරුකිරීමට ලැදියාවක් දැක්වීය. ඒ වෙනුවෙන් නොයෙක් පැරණි තැන් අධ්‍යයනය කර ඇත. සම්භාව්‍ය ශිල්පියෙකු ගේ තැනට එන විට ජගත් ප‍්‍රජාව ඔහුගේ දැක්ම ඉල්ලා සිටියේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය 2006 වසරේ දී යෝ යෝ ජාත්‍යන්තර සාම තානාපතිවරයෙකු සේ නම් කළේය. ඇමරිකානු හා චීන සම්බන්ධතා වෙනුවෙන් සේවය කළ හෙතෙම දෙරටෙහි ඓතිහාසික කරුණු අරඹයා ඔහු තුළ ඇති නැඹුරුව ඔප් නංවන්නට මෙම පත්වීම අවස්ථාවක් කරගෙත්තේය. එයින් වසර තුනකට පසු ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සිය කලා සහ මානුෂවාදී ජනාධිපති කොමිටුවේ සාමාජිකයෙකු සේ පත් කරන ලදී. ඇමරිකාවේ තිස් හතර වැනි ජනාධිපතිවරයා ඉදිරියේ බාල අවධියේ දී චෙලෝ වාදනයෙන් ශිල්ප කුඩා යෝ යෝ ඇමරිකාවේ හතලින් හතරවැනි ජනාධිපතිවරයා වූ බැරක් ඔබාමා ගේ විශේෂ කමිටු සාමාජිකයෙකු වශයෙන් පත්වීම විශේෂ සිද්ධියකි. යෝ යෝ ගේ නිර්මාණ නිතර ඇගයීමට ලක්විය. සම්මාන වැරදී ගියේ කලාතුරකින්ය. 2010 වසරේ දී ජනාධිපති ඔබාමා යෝ යෝ මා වෙත නිදහසේ පදක්කම පිරිනමමින් අතිශය ගෞරවාදරයට පත් කළේය.

චීනය සේද මාවත අලූතින් නිර්මාණය කරන මෙම අවස්ථාවේදී එයට එකතු වූ යෝ යෝ මා එකල පැවැති නිර්මාණ ප‍්‍රතිනිර්මාණය කරමින් වෙළඳ මාර්ගය සංගීත ප‍්‍රවාහයකට නතු කර තිබේ. කලා උපදේශිකාවක හා විවාහ වි සිටින යෝ යෝ දෙදරු පියෙකි. ඇතැම් අවස්ථාවල ළමා නිර්මාණ වලට පවා සංගීතය සපයා ඇත. අත ගැටෙන සෑම නිර්මාණයක්ම රන් බවට හැරෙන විශාල වාසනාවක සිටින යෝ යෝ එය සමාජ පැවැත්ම යහපත් කරනු සඳහා යෙදවීමට තීරණය කිරීම ප‍්‍රසංසාවට ලක්ව තිබේ.

යෝ යෝ මා ඉදිරිපත් කරන සමාජ සත්කාරය අනුව එය දැවැන්ත ප‍්‍රසංගයකි. තෝරා ගත් ස්ථානය දහස් ගණනකට රුස්විය හැකි වන අතර සංදර්ශනයට කලින් හෙතෙම එම ප‍්‍රදේශයේ කලාකරුවන්, ජනතා නායකයින්, සමාජ ක‍්‍රියාධරයික් පමණක් නොව ශිෂ්‍යයන් ද හමුවෙයි. එකතුවන පිරිස වෙත සංගීත භාවනාවක් හුරු කරවයි. සංගීත ව්‍යායාමවලට නැඹුරු කරන අතර අලූත් හුස්මක් ගෙන ලෝකයේ පැවැත්ම ගැන අලූතින් හිතන්නට වැදගත් වන දර්ශනය මුදා හරියි. අතීතයේ ශිල්පීන්ගේ දක්ෂතා වලින් පන්නරය ලබා අනාගතය වර්ණවත් කරගන්නේ කෙසේදැයි මනාව විදහා දක්වයි.

දරුවන් එක වරක් උස පනින්නට සූදානම් වන අවස්ථාවක තවත් අමතර මෙවලමක් දෙන්නට තමන් කැමැති බව යෝ යෝ කියා සිටී. සංගීතයෙන් තෘප්තිමත් කිරීම හැර අන් යමක් ඔහු අත නැත. වින්දනයට අමතරව ඥාණනය වෙනුවෙන් හෙතෙම නගරයෙන් නගරය වෙත ගමන් කරමින් සිටී. බාක් සංගීත ශෛලිය එයට වහල් කරගෙන තිබේ. අතීතයෙන් එන පණිවුඩයකි. එහි තේමාව අලූතින් හිතන්නට අවස්ථාවකි. වෙනත් ලෝකයක සිට පැමිණ මෙම ලෝකය යහපත් කරන්නට දායක වන අයෙකු සේ සලකන්නැයි සමහර විට යෝ යෝ වේදිකාවේ සිට කතා කරමින් කියා සිටියි. විඳීන ජනකාය සවන්දෙන්නට පමණක් සීමා නොකරන අතර ඔවුන්ගේ ප‍්‍රතිචාර වලින් හදවක් අවදි කරන්නට වැර වෑයම් කරයි. බහ තෝරන වියේදී සංගීතය තෝරා ගත් යෝ යෝ මා සප්ත ස්වරය සිය භාෂාව කරගෙන ඇත. වින්දනය නොව ලෝකය යහපත් තැනක් කරනු සඳහා අවදිවීම වෙනුවෙන් හෙතෙම පෙනී සිටියි.