» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
22/12/2019 - දේශය
හයිබ්‍රිඩ් මුහුදු යාත‍්‍රා

ගංගා මහා සාගරය තරණය ඉතිහාසයේ සිට අනාවරණය වන සාක්ෂියකි. ජනී ජනයා ඔරුවක පාරුවක නැගී ගමන් බිමන් ගියහ. යාත‍්‍රාවක නැග ගැඹුරට යන අතර මසුන් අල්ලන්නට නැඹුරුව සිටියහ. ධෛර්යයක් හා ආත්ම ශක්තියක් ඇති මිනිසුන් තෙරක් නොපෙනෙන සාගරයේ නොයෙක් තැන් වල සැරිසරන අතරවාරයේ අලූත් රටවල් සොයා ගියහ. එම සංචාර ලෝක යේ පැවැත්ම වෙනස් කර තිබේ. කුඩා හබලකින් පැද ගිය ඔරුව පසුව සුළං බලයෙන් එහා මෙහා යා හැකි වන පරිදි රුවල් සහිතව තනාගෙන තිබේ. එය අලූත් දේ සොයා යන මානවයාගේ දක්ෂතාවයයි. නොබෝදා වාර්තා වූ පරිදි විදුලියෙන් බලය සැපයෙන් යාත‍්‍රා නිපදවා තිබේ. එය නවතම පරිවර්තනයකි. යාත‍්‍රාවට ඉන්ධන සපයා එයින් බලය නිපදවා ගැනීම වෙනුවට බැටරියකින් විදුලිය නිපදවා යාත‍්‍රාව පැදවීම නවෝත්පාදනයකි. පරිසර හිතකර වෑයමකි.

ඊ එලන් යාත‍්‍රාවේ ගමන

බැටරි බලයෙන් යාත‍්‍රා කළ හැකි සැහැල්ලූ කුඩා බෝට්ටු ගැන අත්හදා බලා තිබුණ නමුත් තරමක විශාල යාත‍්‍රාවක් ගැන කරුණු වාර්තා කරන්නේ පළමු වතාවටය. ඩෙන්මාර්ක් රට එම නැව සේවයට යොදවා තිබේ. ඊ එලන් යනුවෙන් නම් කර ඇති එහි මගීන් 200 ක් සහිතව තවත් කාර් තිහක් පමණ රැගෙන යා හැකි බව අනාවරණය වී තිබේ.

අන්තර් ජාතික වාර්තා දක්වන පරිදි මෙම යාත‍්‍රාව දැනට භාවිතා වන විශාලතම නෞකාව සේ සැලකේ. ඩෙන්මාර්ක් හි එරෝ නමැති සම්බන්ධිත දුපතක සිට මුහුදු සැතපුම් විසි දෙකක් දුරින් පිහිටි ඩෙනිෂ් වරාය තෙක් මෙම යාත‍්‍රාව දිනපතා ගමන් කරයි. ගමන කෙටි දුරක් නමුත් වසරකට වාතයට මුදා හරින කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණය ටොන් 2000 කින් අඩුවනු ඇති අතර නයිට‍්‍රජන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණය ටොන් 42 කින් අඩු කළ හැකි බව ගණන් බලා තිබේ. එය ලෝකයේ බලවත් අවධානයට ලක්ව ඇති කරුණකි. ඉදිරියේ දී නාවික අංශ මෙම නැඹුරුවට යොමු වුවහොත් දැනට බලවත් තර්ජනයක් වී ඇති වායුගෝලයට අහිතකර වායු මුදා හරින මිනිස් ක‍්‍රියාකාරකම් සෑහෙන ප‍්‍රමාණයක් අතරින් සැලකිය යුතු වෙනස්කමක් විය හැකිය.

යාත‍්‍රාව නිපදවන්නේ සැහැල්ලූ දේ වලින්

එලන් යාත‍්‍රාව අඩු බලශක්තියකින් වැඩි දුරක් යා හැකි පරිදි සකස් කර තිබේ. නැව් තට්ටුව සැහැල්ලූ ඇලූමීනියම් වලින් නිපදවා ඇති අතර බර යකඩ අඩුවෙන් භාවිතා කර ඇත. ආසන පවා නැවත ප‍්‍රතිචක‍්‍රීකරණය කළ හැකි කඩදාසි හා කාඞ්බෝඞ් වලින් තනා ඇති බව ප‍්‍රකාශ වෙයි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් බැටරි බලයෙන් ධාවනය කරන යාත‍්‍රාවකට යා හැකි වැඩිම වේගය අත්පත් කරගෙන ඇත. සාමාන්‍ය යාත‍්‍රාවක ගමන් කරන විට නැගෙන ගොරහැඩි ශබ්ධ පමණක් නොව ඞීසල් ගද ද රහිත මෙම යාත‍්‍රාව එහි ගමන් කරන මගීන් ට නැවුම් අත්දැකීමක් වී තිබේ. මුහුදු රළ නගන ශබ්ධය පමණක් නොව ඈතින් ඇහෙන කුරුලූ හඩක් ද සහිතවව මහා සාගරයේ ගමන් කිරීම චමත්කාර ජනක බව නැවේ නිතිපතා එහා මෙහා යන මගීන් ස`දහන් කරනු ඇති බව නොඅනුමානය.

යුරෝපා සංවිධානයේ සහාය ලැබී ඇත

යුරෝපා සංවිදානය මෙම බැටරි නැව ගැන කරන අත්හදා බැලීම් වලට සහාය දී තිබේ. පර්යේෂකයන්ගේ අරමුණ දැන් පවතින සාර්ථකත්වය අනුව වසර 2030 වන විට බැටරි බලයෙන් ධානයන වන යාත‍්‍රා සියයක් එකතු කිරීමය.

ඩෙන්මාර්ක් හි නව සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුව සිය ප‍්‍රතිපත්ති අනුව වායුගෝලයට දුම පිට කිරීම අවම කරන අලූත් ඉලක්ක ප‍්‍රකාශයට පත් කිරීමත් සමග එලන් යාත‍්‍රාව ගමන් ඇරඹීම විශාල ප‍්‍රචාරයක් ලැබෙන්නට හේතු වී තිබේ. 1990 දී තිබුණ සියයට 70 ක පමණ දුම් මුදා හිරීම සියයට 40 දක්වා අඩු කරන අතර මෙම සාර්ථකත්වය අනුව ගමන් කළහොත් නුදුරු කාලයේ දී මුහුදු ගමන් වල දී ඉන්ධන භාවිතා කිරීම සෑහෙන ප‍්‍රමාණයකින් පාලනය කළ හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ.

ගේ‍්‍රටා තන්බර්ග් දැරිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසිවරයකට සහභාගීවිමට රුවල් ඔරුවක නැගී ගමන් කළාය. පැය ගණනකින් ගුවනින් යා හැකි වූ ගමන වෙනුවෙන් ඇය දින 15 ගත කළ අතර ගුවන් යානා වලින් පිටවන දුම පරිසරයට කරන හානිය අවධාරණය කරන්නට සමත් වූවාය. රුවල් යාත‍්‍රා සංචාරකයන්ට පි‍්‍රය නමුත් වානිජ භාවිතාවේ දී සක‍්‍රීය නොවේ. ඒ වෙනුවට බැටරි යාත‍්‍රා විශාල සේවාවක් කරනු ඇත. අහස පමණක් නොව සාගරය ද අපවිත‍්‍රවීම වැලකෙනු නිසැකය. දැනට මෙම හයිබී‍්‍රඞ් වර්ගයේ බැටරි වෙනත් විදුලියකින් ආරෝපනය වන අතර සූර්ය බලයෙන් විදුලිය නිපදවා එයින් ආරෝපනය කරන විට පරිසරයට හානියක් නැත. ඉදිරියේ දී යාත‍්‍රාවේ සූර්ය කෝෂ සවි කරන්නට ද ඉඩ කඩ ඇති බව සදහන් කළ හැකිය.

හතරවැනි කාර්මික විප්ලවය බලශක්තිය

පර්යේෂකයෝ හතරවැනි කාර්මික විප්ලවයක් ගැන සාකච්ඡා කරමින් සිටිති. එහි දී බලශක්ති උත්පාදනය අලූත් දිසාවකට යොමු වනු ඇත. තෙල් දහනය කරමින් කරන බලශක්ති නිපදවීම පරිසරයට ගැටළු සහගතය. තෙල් භාවිතා කරන ප‍්‍රවාහනය පරිසරය විනාශ කරන බව සදහන්ය. අනාගත ලෝක ජනගහනය වෙනුවෙන් ආහාර, අමුද්‍රව්‍ය, ඉදිකිරීමේ ද්‍රව්‍ය එහා මෙහා ගෙනයාම විශාල උවමනාවක් බව නිසැකය. මෙතෙක් ඛනිජ තෙල් යුගයේ පැවැති ප‍්‍රවාහනය විදුලිය වෙත හැරවෙමින් තිබේ. මෙම විදුලිය සූර්ය බලයෙන් නිපදවන අතර විදුලිය ගබඩා කළ හැකි දෙමුහුන් අධි බලය ඇති බැටරි ගැන පර්යේෂණ සිදුවෙයි. ලෝකයේ නොයෙක් කර්මාන්ත පවා පරිසර හානියක් සිදු නොවන සූර්ය බලශක්තිය කෙරෙහි යොමු වෙමින් තිබේ. කර්මාන්ත හා ප‍්‍රවාහන අංශ වල සිදුවන වෙනස්කම් සම්පූර්ණයෙන්ම සූර්ය බලය මත රදා පවතින අතර වැඩිම පරිසර හානියක් සිදු කරන අංශ අලූත් බලශක්ති උත්පාදනය වෙත නතු වෙමින් පවතී.

සියළුම රටවල්, ඒවායේ ජීවත්වන වැසියන් සහ සංවිධාන පරිසරය ගැන අවධානය යොමු කරමින් සිටී. එයට හේතුවක් තිබේ. තාක්ෂණික හා කාර්මික වශයෙන් අලූත් සොයා ගැනීම් අත්පත් කරගන්නා නමුත් පරිසර නොතකා සිටියහොත් පලක් නැති විය හැකි අනතුර බව දැක්වීම අවශ්‍යය.