22/11/2022 - ලංකාදීප
සම්ප්‍රදායෙන් පිට පැන්න ක්‍රම ඕනෑ ඇයි ?

ක‍්‍රමය ගැන පවතින විරෝධය ක‍්‍රම වෙනසකට මග පාදයි. මුල් බැසගත් ගතානුගතිකත්වයෙන් බැහැර වී අලූත් රාමුවකට ඇතුළුවිය යුතු බව මෑතක සිට අවධාරණය වන කරුණකි. අවස්ථා අහිමි සමාජයක් තුළ ක‍්‍රමය ගැන විරෝධතා ඇතිවේ. වෙනසක් ඇති කරන්නට බලකරන පීඩනයක් එයින් ඇති කෙරේ. ‘‘සිස්ටම් චේන්ජ්’’ ඉල්ලන මතවාදය එහි ප‍්‍රතිඵලයකි. වෙනස්කම් ඇති කරන තද උවමනාව බැහැර කළ යුතු නැත. ඉල්ලා සිටින සමාජය හා සමානව මෙම වෙනස්කම් ඇති කිරීමෙන් ඇතිවිය හැකි අවදානම ගැන භීතියකින් පසුවන කොටසක් ද සිටින බව අමතක කළ යුතු නැත. ක‍්‍රමයෙන් නඩත්තුවෙමින් සිටින හා වෙනස්කම් ඇති කළහොත් අවස්ථා අහිමිවීම ප‍්‍රශ්නයක් කරගත් කණ්ඩායමක් ද ඇත.

වෙනසක් ඉල්ලන අලූත් පරම්පරාව ඉලක්කකර තීරණ ගැනීම අවශ්‍ය කෙරේ. ජන සමාජය ඉල්ලන වෙනස නිර්මාණය කිරීමට පසුබිමක් සකසන වගකීමක් නායකයන්ට ඇත. ආගමික, සමාජ හා දේශපාලන නායකයන් පුළුල් දර්ශනයකට අනුව තීරණ ගත යුතුව තිබේ. දේශපාලනඥයන් සහ දේශපාලන ක‍්‍රම පිරිහී ඇති අතර පුද්ගලයන් ගැන බලාපොරොත්තු බි`ද වැටී ඇත. නිදහසට පසු අද දක්වා රට පාලනය කළ පැලැන්තිය අනුගමනය කළ පිළිවෙල පවතින මුහුණුවරට වගකිව යුතුය. අත්තිවාරම වෙනස්කර වෙනස් පදනමක් අලූතින් සකස් කිරීම සදහා ක‍්‍රමවේද වෙනස් කරන සේ බලකරන ප‍්‍රජාව ගේ අදහස් බැහැර කළ යුතු නැත.

ලෝකය පුරා පැන නැගී ඇති අරගලයෙක කොටසක්

ලෝකයේ සෑම රටකම පාහේ ක‍්‍රම අසාධාරණය හෝ අයුක්තිය ගැන විරෝධය පවතී. ඒවා නොයෙක් මුහුණුවරකින් පිටාරගැලීමක් සිදුවේ. සමාජයක් දැනුම්වත්වන විට, තාක්ෂණයෙන් දියුණුවන පසුබිම තුළ පවතින අවකාශය ගැන ප‍්‍රශ්න කෙරේ. වර්තමානයේ පවතින මාධ්‍ය භාවිතාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දියුණු කිරීමට භාවිතාවන සමාජ මාධ්‍ය ප‍්‍රවණතා එහි විවිධ පැතිකඩ හුවා දක්වා මතවාදී අරගලය පෝෂණ්‍ය කර ඇති බව දැක්විය හැකිය.

සිස්ටම් ජේන්ජ් ප‍්‍රවේශ්‍යට පෙර ශ‍්‍රී ලංකාව අනුගමනය කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය ගැන විමසා බැලිය යුතුය. එයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. සමාජ අවශ්‍යතා ස`දහා සංවිධිත පාලනයක් ඇති කරගැනීම අරමුණු කරගෙන නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් අනුගමනය කෙරේ. එහි විවිධ දුබලතා ඇත. ඒවා වෙනම සාකච්ඡුා කළ හැකිය. ජනතාව ගේ ඡුන්දයෙන් පත්කරන නියෝජිතයන් සමාජයේ අභිලාශ මුදුන් පත් කිරීමට පියවර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. පත්කරගත් ආණ්ඩුවල පාලනය අසාර්ථකවන විට ජනතාව කරන්නේ ඊලග ඡන්දයෙන් අලුත් ආණ්ඩුවක් බලයට පත් කරගැනීමය. පසුගිය දශක ගණනාව තුළ විවිධ හේතු අනුව දිගින් දිගටම මහජන නියෝජිතයන් සහ දේශපාලන ක‍්‍රමය මහජනතාවගේ අභිමතාර්ථ ඉශ්ඨ කරන්නට සමත් වූයේ නැත. දුෂිත, බලලෝභී සහ අකාර්යක්ෂම ව්‍යුහයක් සේ නිර්වචනය වී තිබේ. බලය ආරක්ෂා කරගැනීම දහා අනුගමනය කරන ලද පටු ක‍්‍රියාමාර්ග මහජනතාව ප‍්‍රතික්ෂේප කර ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ පැවැතිය යුතු පුලූල් අවස්ථා එක පැලැන්තියකට පමණක් සීමාවන ක‍්‍රමය තුළ මෙම ප‍්‍රතික්ෂේපවීම වඩාත් තියුණු මුහුණුවරක් ගෙන තිබේ.

පසුගිය දා ජීවිතක්ෂයට පත් ඉන්දියාවේ ප‍්‍රකට ඡුන්දදායකයෙකු වන ශයාම් සරන් නේගි මෙය ඔහුට ගැලපෙන පරිදි අර්ථ දක්වා ඇත. ‘‘පුරවැසියෙකුට නිදහසේ ඡුන්දය භාවිතා කරන්නට අයිතියක් ඇති අතර ඉන්දියාව දියුණු කළේ නරක පුද්ගලයන් දේශපාලනයෙන් ඉවත් කිරීමෙන් බව ඔහු පෙන්වා දෙයි. දක්ෂතම පිරිස දේශපාලනයට ඇතුළු කළ යුතු බව දක්වා ඇත. එහ තමන් වැනි ඡුන්ද දායකයන්ගේ රාජකාරිය බව වයස අවුරුදු 105 ක් සම්පූර්ණ වූ දිනයේ පැවැති මාධ්‍ය සාකච්ඡුාවක දී කියා සිටියේය. පසුගිය දා ඇමරිකාවේ පැවැති අර්ධ කාලීන මැතිවරණය ද කදිම සාක්ෂියකි. මෙම මැතිවරණයේ ප‍්‍රතිඵල එන්නට කලින් නැවත වතාවක් අන්තවාදී දේශපාලනයකට ඇමරිකාව තල්ලූවිය හැකි බවට අවදානමක් තිබුණි. වැඩිහිටි සමාජය එය සංවාදයකට ලක් කළේය. ඩිමොක‍්‍රටික් හා රිපබ්ලික් පක්ෂ දෙකෙන් මධ්‍යස්ථ, මතවාදී පුද්ගලයන් පත්කර එවන්නට ඇමරිකානු ඡුන්දදායකයන් සමත් වූ අතර එය ජාත්‍යන්තර අවධානයට ලක් වූ කරුණකි. රටට අවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගුණාත්මක තැනකට එසැවීම වන අතර මධ්‍යස්ථ, සමාජ ගෞරවය දිනාගත හැකි පිලිගත් චරිත පාලනයට සම්බන්ධකර ගැනීමය. ධනය, බලය, පුද්ගලික වාසි හෝ නොසලකා අනාගත පරම්පරාව වෙනුවෙන් තීරණ ගත හැකි පරිනත පුද්ගලයන් තොරා ගැනීම සිස්ටම් ජේන්ජ් කිරීමෙක පළමු පියවර වනු ඇත.

ක‍්‍රම වෙනසක් සඳහා ජනතාව සතු පරමාධිපත්‍ය

මැතිවරණ පැවැත්වීම ජනතාව ගේ පරමාධිපත්‍ය ආරක්ෂා කරයි. තමන්ගේ නියෝජිතයන් තෝරා ගැනීමට මහජනතාවට වරමක් තිබිය යුතුය. පලාත් පාලන, පලාත් සභා සහ පාර්ලිමේන්තුව නියෝ්ජනය කිරීමට සදුසු අපේක්ෂකයන් තෝරාගැනීමේ ක‍්‍රමවේද තුළ නොයෙක් ප‍්‍රමාද පසුගිය කාලයේ හට ගැනිණ. ව්‍යවස්ථා සංශෝධන, මැතිවරණ සීමා වෙනස් කිරීමේ විධිවිධාන, කොවිඞ් තත්ත්වය හා ආර්ථික ප‍්‍රශ්ණ ද එයට බලපා තිබේ. මහජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීමට සමත් ජනතා නියෝජනයක් රට තුළ නැති බවට මතයක් සමාජයේ තහවුරු වීම මෙහි ප‍්‍රතිඵලයකි. ජනතා අරගලයක් ඇතිවීමට හේතුව ද එය තුළ තිබේ. අරගලය ඇති කරන ක‍්‍රම වෙනස ආවේග පමණක් නොවේ. අත්දැකීම් බහුල, විවිධ කෝණවලින් ප‍්‍රශ්න දෙස බලන්නට හැකි පිරිසක් ද ‘සිස්ටම් ජේන්ජ්‘ කිරීම සදහා සම්බන්ධ කරගත යුතුය.

ලෝකයේ සිදු වූ සහ සිදුවෙමින් පවතින වෙනස්කම් ගැන පොදු ජනතාවට අවබෝධයක් ඇත. ඉතිහාසයේ සිද්ධිවලින් පදම් වූ ගැන සංවේදී සමාජයක් අප අභිමුවෙහි සිටී. ත‍්‍රස්තවාදයක් දක්වා පෝෂණය වූ උතුරේ සහ දකුණේ කැරළි එයට සාක්ෂි සපයයි. පාස්කු ප‍්‍රහාරයේ අභ්‍යන්තරය ද හදුනාගත යුතුය. ඉවැසිය නොහැකි පීඩනයකට ගොදුුරු වූ පිරිසක් යුක්තිය හා සාධාරණත්වය සදහා සටන් කර ඇත. ත‍්‍රස්තවාදය සහ අන්තවාදය පරාජය කළ නමුත් ඒවා ඇති කරන්නට බලපෑ සියුම් හේතු පරාජය වී නැත. බහුතරයකගේ හඩ පමණක් නොව හඩක් නැති මිනිසුන්ගේ අදහස් වලට ද අවස්ථාවක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් තුළ තිබිය යුතුය. අදහස්වලට සවන් නොදෙන මතවලට ඉඩක් නොතිබීම අද රටට ඇති ප‍්‍රශ්නයකි. ක‍්‍රමය වෙනස් කරන ලෙස කෑ ගසා බලකිරීම පිටිපස එය අවධාරණය කෙරේ.

ගතානුගතික ක‍්‍රම වෙනස් කිරීමට ක‍්‍රමාණුකූල පිලිවෙතක් අවශ්‍යය. ඉතා ඉවසිලිවන්තව තීරණ ගත යුතුව ඇත. එක දවසකින් සියල්ල වෙනස්කර අලූත් ක‍්‍රමයක් බිහි කළ නොහැක. ක‍්‍රමය අතුගා දමා අලූතින් ම ව්‍යුහයක් ඇති කිරීමට යෝජනා කරන පිරිසක් ද ඇත. ‘සිස්ටම් චේන්ජ්’ අවශ්‍ය නමුත් පැරණි සමාජයක වෙනස් ව්‍යුහයක් ක්ෂණිකව බිහි කළ නොහැක. දීර්ඝ ඉතිහාසයක් සහිත සමාජ ප‍්‍රවාහයක් වෙනස් කිරීමේ දී පරෙස්සමෙන් තීරණ ගත යුතුය. මහ පාරට බැස කරන අරගලයකින් කෙළවරක් දැකිය නොහැක. විනාශයකින් පසු පුනර්ජීවණයක් අපේක්ෂා කළ යුතු නැත.

උගත් පාඩම් අනාගතය නිර්මාණය කරනු ඇත

ක‍්‍රම වෙනස්කම් සදහා වහාම බලපෑම් සිදුවූ සමාජ සම්බන්ධ උදාහරණ අප අවට තිබේ. විප්ලවයට පසු සමාජය වෙනස් කිරීම අරමුණු කරගෙන චීනයේ ආරම්භ කළ සංස්කෘතික විප්ලවය අසාර්ථක බව පිලිගෙන තිබේ. විනාශයක් හා විශාල පලිගැනීමක් එහි දී සිදුවූ බව සැලකේ. 1975-79 කාලය තුළ කම්බෝජියාවේ පොල් පොට් පාලනය ද ක‍්‍රමය වෙනස්කර බිංදුවෙන් ආරම්භ කරන්නට වෑයම් කළේය. අලූත් පරිච්ෙඡ්දයක් සේ හිතන්නට බල කළ අතර එය සාර්ථක වූයේ නැත. බලහත්කාරය සමග ඇති වූ අරගල මිලියන දෙකක පමණ පිරිසක ගේ ජීවිත අහිමි කළේය. අන්තවාදයෙන් ස්වර්ණමය යුගයක් බිහි නොකරන බව අතීත අත්දැකීම් ඔප්පු කොට තිබේ.

දේශපාලනඥයන් හා දේශපාලන ක‍්‍රමය ගැන සමාජයේ පවතින පිලිකුලට හේතු සොයාබැලීම වැදගත්ය. ක‍්‍රමය වෙනස් කරන සේ බලකිරීම තුළ පිරිහීමක තරම විද්‍යමාන වේ. විශ්වාසය බි`ද වැටී ඇත. යාන්ත‍්‍රණය දුබල වී තිබේ. ජනතා වරම බලයක් ලෙස ලබාගන්නා දේශපාලනඥයන් අභිමතය පරිදි කි‍්‍රියාකිරීමෙන් සමාජයෙහි විශාල ප‍්‍රශ්න නිර්මාණය කර තිබේ. ප‍්‍රතිපත්ති වෙනුවට දේශපාලනඥයන්ගේ අභිමතයට තැනක් ලැබී ඇත. බදු වලින් විශාල රාජ්‍ය යාන්ත‍්‍රණයක් නඩත්තු කරන නමුත් ඉටුකරන කාර්ය භාරය ගැන ප‍්‍රසාදයක් නැත. සංවර්ධන කටයුතු අඩාල වී තිබේ. තීරණගැනීමේ අසමත්භාවයක් පවතී. ජනතාව ඉල්ලන වෙනස්කම් කරන්නට රාජ්‍ය ප‍්‍රතිපත්තිවලට හැකියාවක් නැත. රජයේ සේවකයන්, නිලධාරීන් දේශපාලන සංස්කෘතියකට ගොදුරු වීම ප‍්‍රශ්නයකි. සෑම දෙයකටම දේශපාලනඥයන් වෙත ගමන් කරන යුගය අවසන් විය යුතුය. සමාජයීය, ආයතනික බලතල ආණ්ඩු අතට ගැනීමෙන් ගැටළුව තවත් සංකීර්ණ වී තිබේ.

දුෂණය තුරන් කිරීමෙන් ක‍්‍රමය අලූත් කළ හැකි බව කාලාන්තරයක් තිස්සේ දේශපාලනඥයන් ප‍්‍රකාශ කරන කරුණකි. දේශපාලන පක්ෂ හා දේශපාලනඥයෝ දූෂණ හා වංචා ගැන විශාල ආන්දෝලන ඇති කරන අතර මාධ්‍ය මගින් විශාල වශයෙන් ප‍්‍රචාරය කරයි. දුෂණය පිටුදැකිය යුතුය. වැරදි කිරීම අත්හිටුවීම අවශ්‍යය. දූෂණය හා වංචා ගැන නගන විරෝධයට වඩා හානියක්, අවශ්‍යම කරන මොහොතේ තීරණ නොගැනීම තුළ සිදුවේ. රටට අවශ්‍ය කරන ආර්ථික ප‍්‍රතිපත්ති සකස් කිරීමේ දී පවතින දුබලතා රට පරිහානියකට තල්ලූ කරන ඇති අතර එහි අවසානයේ දී ජනතාව ගෙවමින් ඇති වන්දිය බරපතලය.

මහජනතාවගේ පහසුව සිස්ටම් ජේන්ජ් අරගලයේ කොටසකි

තාක්ෂණික දියුණුව සමග ඇතැම් ක්ෂේත‍්‍රවල විශාල වෙනස්කම් සිදුවී ඇත. ජනතාවට පහසුවක් ඇතිවේ. සන්නිවේදනය එවැනි අංශයකි. දුරකතන භාවිතාව වරප‍්‍රසාද සහිත පැලැන්තියට පමණක් සීමා වූ කාලයක් විය. ස්මාට් දුරකතනය හා අන්තර් ජාලය නොහදුන්නෝ අද නැත. ආණ්ඩුවේ මැදිහත්වීමක් රහිතව පුද්ගලික අංශයෙන් සිදුවූ පරිවර්තනයකි. මෙවැනි වෙනස්කම් ඛනිජ තෙල්, විදුලිය, ගෑස් වැනි අංශවලට ද අදාලය. ආණ්ඩුව පමණක් නොව පුද්ගලික අංශය, ව්‍යවසාය හා ආයෝජන යනාදිය ද සිස්ටම් චේන්ජ් කිරීමේ උවමනාවේ එද කොටසකි. ආණ්ඩුවෙන් යැපෙන්නේ නැති ස්වාධීන පුද්ගලික අංශයක් රටට අවශ්‍යය. ඒකාධිකාරයක පවතින ක්ෂේත‍්‍රවලින් ජන ජීවිතය දුෂ්කර කර තිබේ. තරගකාරීත්වයක්, ඇතිකළහොත් පහසුවක් ඇතිවේ. තමන්ට අවශ්‍ය තැනකින්, අවශ්‍ය මිලකට විදුලිය හෝ ඛනිජ තෙල් මිල දී ගැනීමට අවකාශයක් ඇති කිරීම රජය සතු මර්මස්ථානවල අයිතිය අත්හැරීමක් සේ අර්ථ දැක්වීම සුදුසු නැත. ක‍්‍රම වෙනසට එයත් ඇතුලත්ය. දේශපාලනඥයාට බලය නොලැබෙන තැනට පරිසරය සකස් කිරීමකි.

ආර්ථික, කාර්මික හා නිෂ්පාදන ව්‍යුහය තුළ සිය බලය හැසිරවිය හැකි පරිදි දේශපාලනඥයන් ආරක්ෂාකරන අධිකාරී මිත්‍යා ව්‍යුහය හා සීමාවන් ඉවත්කිරීම සිස්ටම් වෙනස් කිරීමකි. පවතින, පැරණි ආකෘතියෙන් යැපෙන, කණ්ඩායම මෙකී ව්‍යුහය වෙනස් කරන්නට කිසිසේත් ඉඩ දෙන්නේ නැත. දේපොල විකිණීම, විජාතිකකරණය යනාදී වශයෙන් අර්ථ දක්වා ජනතාව අන්ධකාරයට තල්ලූ කරමින් සිටී. රට තුළට ධනය, තාක්ෂණය සහිත ආයෝජන ඇතුළු කිරීමත්, දේශීය ව්‍යවසාය පැතිරවීමත් සිස්ටම් වෙනසට ඇතුලත් කළ යුතුය. අලූත් ආදායම් මාර්ග, දේශපාලනඥයන්ට අත තබන්නට නොහැකි පරිදි ව්‍යවසාය නිර්මාණය අරගලයේ කොටසකි.

මෙරට දේශපාලන පක්ෂ ගෝති‍්‍රික ආකාරයකට කටයුතු කරමින් සිටී. පක්ෂය තමන්ගේ අනුගාමිකයන් බලාගනී. ඒ සදහා රජයේ ආයතන හා ව්‍යවසාය හසුරුවයි. මෙම රාමුව බි`ද දැමීම අවශ්‍යය. ආණ්ඩුවක් පත් කරගැනීම, පක්ෂකට සේවය කරන කණ්ඩායමක් බලයට පත් කිරීම නොවේ. බලයට පත්වන ඇමැතිවරුන් ගේ වගකීම පාක්ෂිකයන් බලාගැනීම විය යුතු නැත. තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට සදහා ආණ්ඩු පත්කරන, දේශපාලනඥයන් පාර්ලිමේන්තු යවන ක‍්‍රමයකින් පලක් නැත. දේශපාලනඥයන් සහ ඡන්දදායකයන් අතර අලූත් සම්මුතියක් අවශ්‍යය. ක‍්‍රමය වෙනස්කරන්නට ගෙන යන අරගලය තුළ දේශපාලනයෙන් යැපිම අවසන් කළ යුතුය. පොදු අපේක්ෂා සාක්ෂාත් කරගැනීමේ දී සමාජයට ද විශාල වගකීමක් තිබේ. එය සදහා සිවිල් සමාජය හා සමානව ව්‍යවසායකත්වයට ද අයිතියක් ඇත.

පරිවර්තනයකින් තොර ඉදිරි ගමන ප‍්‍රායෝගික නැත

ජන සමාජයක් එකම තැන පවතින්නේ නැත. දිනපතා වෙනස්වේ. අලූත් ආකෘති සකසේ. දැනට පවතින තාක්ෂණය හා වානිජ පසුබිම එය වේගවත් කර ඇත. ¥පතකට කොටුකර තබාගැනීම අදට වලංගු සාධකයක් නොවේ. ලෝකයේ සිදුවන අලූත් අත්දැකීම් ලාංකේය සමාජයට ද අවශ්‍යය. රට තුළ අවස්ථා ඇති නොවන හා පවතින අවස්ථා සීමාසහිතවීම ඉදිරියේ වෙනත් රටකින් විස`දුම් සොයන සමාජයක් බිහිවේ. එහි අනෙක් පැත්ත සිංගප්පූරුවේ පවතී. විදේශ සේවයේ නිරත නිලධාරීන් පවා වෙනත් රටක පදිංචියට කැමැති නැත. විදේශයකට වඩා වරප‍්‍රසාද රට ඇතුලත දී ලැබේ. එරට නායකයෝ දිග කාලයක් ගැන අවධානය අනුව සැලසුම් කර ඇත. සිංගප්පූරුවේ භාෂා අධ්‍යාපනය ගැන තීරණ ගත යුතු අවස්ථාවක එම තීරණය ගත්තේ ආණ්ඩුව නොවේ. ජනතාවට තීරණ ගන්නට ඉඩ දුන්නේය. සංවර්ධනය ස`දහා අනාගත දැක්මක් ඇතිව කි‍්‍රියා කළේය. එක පරම්පරාවක් තුළ දැවැන්ත පරිවර්තනයක් සිදුවී තිබේ. වර්තමාන සිංගප්පූරු ආන්ඩවේ ඇමැති මණ්ඩලය තුළ නිදහස ලැබීමෙන් පසු හතරවැනි පරම්පරාවේ තරුණ නියෝජනය දක්වා පැතිර ඇත. ශ‍්‍රී ලංකාව අහිමිකරගත් සාධක අතර එය ද සලකා බැලිය යුතු අංශයකි. ආර්ථික ප‍්‍රතිපත්ති, විදේශ ප‍්‍රතිපත්ති, දේශපාලනය නිසි සේ තුලනය කරගැනීම එරට ඉදිරිගමන සාර්ථක කර ඇත.

සිස්ටම් වෙනස්කරන අරගලය හා සමාන්තරව ශ‍්‍රී ලංකාව පරිවර්තනය කළ යුතු පැති ගැන සාධනීය සංවාදයක් පැවැත්විය යුතුය. රට එකතු කළ යුතුව ඇත. පක්ෂ එකතු වී ආණ්ඩුවක් හැදීමෙන් රටක් ගොඩනැගෙන්නේ නැත. රට හදන්නට අවශ්‍ය කාලීන ප‍්‍රතිපත්තිවලට වෙන වෙනම සිටින පක්ෂවලට ද එක`ග විය හැකිය. දැනට ඇති අභියෝග ගැන අවබෝධයක් අපට තිබේ. අද නොලැබෙන විස`දුම් හෙට බලයට පත්වන ආණ්ඩුවකට පැවැරෙන වගකීමකි. තවත් සංකීරණ මුහුණුවරක් ගනී. මෑත කාලය තුළ සිදුවූයේ එයයි. අද අකුල් හෙලීමෙන් පසු හෙට පිලිතුරු සෙවීම පහසු නැත. නිදහස ලැබුණ දා සිට පැවැති දේශපාලනයේ දී ක‍්‍රමය වෙනුවට සිදුවූයේ ආණ්ඩු වෙනස් කිරීමයි. ඒවායෙන් බලයට පත් වූයේ පාක්ෂිකයන්ට සේවය කරන නියෝජිතයන්ය. ධනවාදී වාමාංශික හෝ සමාජවාදී ක‍්‍රම අතර පවා නඩත්තු කළේ පැලැන්තියක බලය සදහා ගමන් කරන ක‍්‍රමයක් බව සදහන් කළ යුතුය.

බලය සදහා ආණ්ඩු වෙනස් කරන, එම ආණ්ඩුවල බලයෙන් ගෝත‍්‍රික දේශපාලනයක යෙදෙන යුගය අවසන් කිරීම අවශ්‍යය. අසාර්ථක, මිත්‍යාවෙන් ජනතාව මුලා කරන ක‍්‍රම වෙනුවට යතාර්ථයට මුහුණදීම වැදගත්ය. ආගමික නායකයන්, දේශපාලනඥයන්, පක්ෂ නියෝජිතයන්, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සිස්ටම් චේන්ජ් සදහා අවශ්‍ය ආකල්ප වෙනසකට යායුතුව ඇත. විකල්ප ක‍්‍රම අත්හදා බැලිය යුතු අතර එවැනි ව්‍යුහයක් නිර්මාණය සදහා ශ‍්‍රී ලංකාවේ සෑම ජන කොටසකගේම බලකිරීමක් අවශ්‍යය.