» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
31/03/2013 - ඉරිදා ලංකාදීප
මානව හිමිකම් ප‍්‍රශ්න අතරින් ජාත්‍යන්තර සමාජයට ඇතුළුවීමට අවස්ථාවක් උපයාගැනීම - මිලින්ද මොරගොඩ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ‍්‍රී ලංකාව පිළිබදව යෝජනාවක් ගෙන ඒම මහත් ආන්දෝලනයට ලක්ව තිබේ. ත‍්‍රස්තවාදය යනු කෙබදු විනාශයක් දැයි දැන සිටියේ ශ‍්‍රී ලංකාවේ ජීවත් වූ පොදු ජනතාවය. එය පරාජය කරන මානුෂික මෙහෙයුම සාමාන්‍ය ජනතාවට හානියක් නොවන ආකාරයට කරන්නට ආරක්ෂක අංශ වෙහෙසුන බව දන්නේ අප සමාජයයි. මානුෂික මෙහෙයුම අවස්ථාවේ පොදු ජනතාව මිනිස් පලිහක් කරගන්නට ත‍්‍රස්තවාදීන් ප‍්‍රයත්න දැරූ ආකාරය රටට අමතක නැත. රටේ ආරක්ෂාවට හා සාමාන්‍ය ජනතාවට බරපතල තර්ජන එල්ල වූ මෙහොතේ ත‍්‍රස්තවාදයට නැඹුරු වූ කණ්ඩායම පරාජය කරන්නට සිදුවූ බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වශයෙන් අපට විවෘතව ප‍්‍රකාශ කළ නොහැකිය. බලවතා නැගී සිටින අතර එහි නියමයන්ට අවනතවීමට කුඩා රටවලට සිදුවෙයි. කවුන්සිලයේ යෝජනාව සමග තේරුම්ගත යුතු යථාර්ථය එයයි. ලෝකය සාධාරණ නැත.

ජාත්‍යන්තර සමාජයට කිසිසේත් අනුමත කළ නොහැකි කුරිරු ඝාතන රුවන්ඩාවේ සිදුවිය. එය බලය උදෙසා ගෝත‍්‍ර අතර යුද්ධයෙන් ලක්ෂ අටක පමණ මනුෂ්‍ය සංහාරයක් සිදුවූ බව ජාත්‍යන්තර වාර්තා කියයි. ලෝක බලවතුන් එය පාලනය කරන්නට මැදිහත් නොවීම පසුකාලීනව මහත් විවේචනයට ලක්විය. අහිංසක ජනතාව ඝාතනය වන අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග වෙනුවෙන් පෙනී සිටින දියුණු සමාජය එය නොතකා හැරීම විශ්ව සාධාරණ ගුණාංගයක් නොවන බවට බරපතල චෝදනා නැගින. එහි ප‍්‍රතිඵලයක් වූයේ තත්ත්වය සොයා බලා විමර්ෂණය කරන විවිධ පාර්ශව මනුෂ්‍යත්වය ආරක්ෂා කිරීම උදෙසා නොයෙක් යෝජනා ඉදිරිපත් කිරීමයි. සියලූ පැති ගැඹුරින් නිරීක්ෂණය කළ එක්සත් ජාතීන්ගේ සංවිධානය ''ආරක්ෂා කිරීමේ වගකීම'' සම්බන්ධ රාමුවක් 2000 වසරේ දී සකස් කළේය. එය සම්මුතියකි. රටවල් තුළ සිදුවන සිද්ධි විශ්ලේෂණය කරන අවස්ථාවක් වශයෙන් සැලකේ. මානව හිමිකම් කවුන්සිලයේ ආරම්භවීමේ පසුබිම එයයි. සම්මුතියට මූලික කරුණු තුනක් ඇතුලත්ය. '' රටක් තම පුරවැසියන් භීෂණකාරී ඝාතන වලින් ආරක්ෂා කරගත යුතුය'' යන්න එහි පළමු කාරණයයි. එම ''අරමුණ සාක්ෂාත් කරගන්නට නොහැකි බව පෙනෙන අවස්ථාවක එයට සහාය වීමට ජාත්‍යන්තර ප‍්‍රජාවට අයිතියක් ඇත'' යන්න දෙවැනි වගන්තියේ හරයයි. ''එකී උත්සාහය ද අසාර්ථක වන අවස්ථාවක ජාත්‍යන්තර ප‍්‍රජාවට එම රටට ඇතුල් වී ආර්ථික බලපෑම් මගින් හෝ හමුදා මැදිහත්වීමකින් සාමාන්‍ය ජනතාව ආරක්ෂා කරගත යුතු'' බව තුන්වැනි කාරණයයි.

ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදය අභ්‍යන්තර එකකි. එය රටවල් දෙකක් අතර සිදුවූවක් නොවේ. ත‍්‍රස්තවාදය පරාජය කළ යුතුව තිබිණි යන්න ගැන විවාදයක් නැත. ජගත් ප‍්‍රජාව එයට ඉඩදුන්නේය. අහිංසක පුරවැසියන්, රට තුළ සිදුවූ ගැටුම් වලින් මිය ගියේ ද, නොඑසේනම් මානව හිමිකම් හෝ සිවිල් අයිතීන් කඩ වී දැයි සොයා බලන්නට සමාජ වටිනාකම් වලට ගරු කරන ලෝක ප‍්‍රජාව අතරින් කොටසක් මහන්සි වෙමින් තිබේ. අපට ද එයට උනන්දුවක් තිබුණි. උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසම පත් කළේ එයටය. රජය හෝ ආරක්ෂක හමුදාව සිවිල් ජනතාව උවමනාවෙන් ඝාතන නොකළ බව එම වාර්තාව අනාවරණය කරයි. ශ‍්‍රී ලංකාව තුළ මානව හිමිකම් කඩවන හා උසස් මානුෂික ගුණාංග විනාශ කරන කිසිවක් සිදු නොවූ බව පැහැදිලිව පෙන්වීමේ අයිතිය අපට ඇත. වැදගත් වන්නේ එකී අරමුණ ඉටු කර ගැනීමට ගන්නා උපාය මාර්ග මගින් රටේ කීර්තිය වැඩි කරන අතර අප උසස් මානුෂික ධර්මතා සහිත පිරිසක් බව ඔප්පු කිරීමයි. සාකච්ඡුාවෙන්, සංවාදයෙන් ප‍්‍රශ්නයක් නිරාකරණය කරගැනීමට තරම් සබුද්ධියක් ඇති බව ක‍්‍රියාවෙන් පෙන්වාදීමයි. එය රාජ්‍ය තාන්ත‍්‍රික, දේශපාලනික කාරණයකි.

මානව හිමිකම් සම්බන්ධව ජාත්‍යන්තර මතය හා එය වෙනස් කිරීමට ගෙන යන ක‍්‍රියාමාර්ග ඉතාම වැදගත්ය. අරමුණ ඉටු කරගන්නට ගන්නා පියවර හමුවේ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි සැලකිල්ල දැක්වීම අවශ්‍යය. ජාත්‍යන්තර සමාජය තුළ ඉන්දියාව සහ චීනය ද ආර්ථික බලවේග බවට පත් වෙමින් සිටී. ඇමරිකාව සහ යුරෝපීය ප‍්‍රජාව ආර්ථික ප‍්‍රශ්න වලින් මිදී යළි නැගී සිටිමින් සිටින වකවානුවකි. සමස්ථ ලෝක ප‍්‍රජාව හමුවේ වැදගත් ආකාරයට ගනුදෙනු කිරීම ශ‍්‍රී ලංකාවේ සමාජ තත්ත්වයට හා විශේෂයෙන් ආර්ථික අභිවෘද්ධියට වැදගත්ය. වෙළදාම, ආයෝජන ලබාගැනීම, ණය අවශ්‍යතා සපුරාගැනීම වැනි කවර කාරණයක දී වුවත් ශ‍්‍රී ලංකාවට ආයතනික හා වානිජ මට්ටමින් රටවල් හා ජාත්‍යන්තර සංවිධාන සමග සම්බන්ධ වන්නට සිදුවෙයි. මෙම සම්බන්ධතා වලදී රටට ඇති හොද නම හා කීර්තිය ඉතා වැදගත්ය. ලෝක ප‍්‍රජාව හමුවට යන විට ශ‍්‍රී ලංකාව සම්බන්ධ දර්ශක යහපත් තැනක පවත්වා ගත යුතුය. එය අපට ඇති ප‍්‍රමුඛ අභියෝගයක් බව අමතක කළ යුතු නැත.

ඇමරිකාව, යුරෝපීය සංගමයට අයත් රටවල් සහ ඉන්දියාව සමග ආර්ථික පැත්තෙන් විශාල සම්බන්ධතාවයක් රටට ඇත. මෙරටින් කරන අපනයන වලින් සියයට 55 ක් යැවෙන්නේ ඇමරිකාවට සහ යුරෝපීය හවුලට සම්බන්ධ රටවලටය. පිටරට යවන ඇගලූම් වලින් සියයට 41 ක ප‍්‍රතිශතයක් යැවෙන්නේ ද මෙම රටවලටය. මෙරට බැදුම්කර වලින් සියයට 40 ක් ඇමරිකාවේ ආයතනික ආයෝජකයන් මිලදී ගෙන ඇත. එය ඇමරිකානු ඩොලර් බිලියන තුනකි. භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැදුම්කර වලින් සියයට 80 ක් මිලදී ගෙන ඇත්තේ විදේශිකයන්ය. මෑත මාස කිහිපය තුළ කොළඹ කොටස් වෙළ`ද පොල මිලදී ගැනීම් වල සැලකිය යුතු ප‍්‍රතිශතයකින් දායක වී ඇත්තේ ඇමරිකානු ආයතනික ආයෝජකයන් බව නිරීක්ෂණය කළ හැකිය. විදේශ වෙළ`දාම සමබර නොවීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් දිගින් දිගටම ජාත්‍යන්තර ණය ගැනීමට රටට සිදුව ඇති අතර ඇමරිකාව හා යුරෝපීය සංගමයේ රටවල් සමග ගනුදෙනු වලදී වඩා වැඩි විශ්වාසයක් ඇති කර ගැනීම අවශ්‍ය වකවානුවකි. ආර්ථික සබ`දතා තර කර ගැනීමට උත්සාහ නොකළහොත් ආයතනික ආයෝජකයන් හෝ ඇගලූම් මිලදී ගන්නා ව්‍යාපාරිකයන් ගේ තීරණ මෙරට බරපතල ආකාරයට ආර්ථිකයට හානි විය හැකි තීරණ වලට යන්නට ඇති ඉඩ කඩ ඉතා අනතුරුදායකය. යුරෝපයේ ජී. එස්. පී. සහනය අහිමිවීම හෙයින් මෙරට අපනයන ආදායම සීමා වීම හා රට තුළ කම්හල් වැසී රුකියා අවස්ථා අහිමිවීමේ අත්දැකීම් ඇති සමාජයට එම රටවලින් යම් බලපෑමක් සිදුවුවහොත් එය කටුක අත්දැකීමක් වනු නොඅනුමානය.

ඉන්දියාව මෙරට ආයෝජනය කරන රටවල් අතර ප‍්‍රමුඛ තැනක් උසුලන අතර තරගකාරී අඩු මිල ගණන් වලට මෙරටට භාණ්ඩ ආනයනය කරන තැනකට පත්ව තිබේ. තව දුරටත් ආයෝජන උපයා ගැනීම හා දීර්ඝ කාලීන ඇතිවන අවස්ථා අනුව මෙරටින් භාණ්ඩ එරටට යැවීම හමුවේ ඉන්දියාව උපායශීලීව ඉතාමත් වැදගත් රටක් බව පෙනේ. භූගෝලීය පිහිටීම, ආර්ථික බලය හා විශාල වෙළදපොළ අනුව ශ‍්‍රි ලංකාවේ අනාගත සමෘද්ධියට ඉන්දියානු සාධකය අවශ්‍යතාවයක් බව පැහැදිලිය. පටු ආකල්ප මත පිහිටා ඉන්දියාව සමග අනවශ්‍ය දේශපාලන විවාදයක පැටලීමෙන් ද්වීපාර්ශවික ආර්ථික සහයෝගීතාව කෙරෙහි යම් පීඩනයක් ඇතිවීම නොවැලැක්විය හැකිය. මෙයට කලින් එවැනි ව්‍යාකූලතා ඇති වූ අවස්ථාවක දෙරට අතර මිතුදම පළුදු වූ ආකාරය සිහිපත් කිරීම ද වටී.

ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට දේශපාලන හා මානව අයිතිවාසිකම් සම්බන්ධව පසමිතුරු රටවල් යම් කාලයකට පසු ආර්ථික සහයෝගීතාව ඇති කර ගන්නට සමත්ව තිබේ. චීනය හා දකුණු කොරියාව, ජපානය සමග දක්වන සම්බන්දතාවය එයට හොද උදාහරණයකි. වියට්නාම් යුද සමයේදී ඇමරිකානු හමුදා ලක්ෂ ගණනක් වියට්නාම් වැසියන් මරා දැමූ නමුත් යුද ගැටුම් අවසන් වූ පසු දෙරට අතර ආයෝජන හා වෙළදාම ප‍්‍රමාණාත්මකව වර්ධනය වී ඇත. ලෝක යුද්ධ දෙකක දී ජර්මනිය, ප‍්‍රංශය හා තවත් යුරෝපීය රටවල් එකිනෙකා සමග මාරාන්තික යුද්ධයක සිටි නමුදු අද එම රටවල් එකම යුරෝපීය හවුලක සාමාජිකයන්ව සිටිති. දෙවන ලෝක යුද්ධයේ දී හිරෝෂීමා සහ නාගසාකි රටවලට පරමානු බෝම්බ හෙළන ලද නමුත් ඇමරිකාව එදා සිට අද දක්වා පිබිදෙන ජපාන ආර්ථිකය තුළ විශාල කොටස්කරුවෙකි.

රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමේ දී මානව හිමිකම් සම්බන්ධව විවිධ මත ඇතිවන්නට ඉඩ තිබේ. විවිධ පරස්පරතා මැද වුවත් ආයෝජන, වෙළදාම සහ සංචාරක කර්මාන්තය වැනි ආර්ථික අංශ හමුවේ විශාල ආරක්ෂාකාරී පිළිවෙතකට ගමන් කිරීම ගැන සැලකිල්ල දැක්විය යුතුය. රටකට සදාකාලික සතුරන් නැත. සිටිය යුතු උවමනා එපාකම් ඇති සදාකාලික ජාත්‍යන්තර සම්බන්ධතා බව අවබෝධ කර ගැනීම වැදගත්ය. මානව හිමිකම් හමුවේ නැගෙන ප‍්‍රවනතා ඉතා සාවධානව සාකච්ඡුා කර ආසියාවේ සාර්ථක රටක් හැටියට නැගී ලෝකයට අලූත් පණිවුඩයක් දෙන්නට උත්සාහ කිරීම අපගේ වගකීමයි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.