» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
30/09/2012 - ඉරිදා ලංකාදීප
ව්‍යවසායකත්වය අගයන්නට ව්‍යවසායක දිනයක් - මිලින්ද මොරගොඩ

ජර්මනිය ලෝක ව්‍යවසායකත්ව ශ්‍රේණිගත කිරීම් වල පහල මට්ටමේ සිටි රටකි. අවුරුදු තුන හතරක් ඇතුලත තත්ත්වය වෙනස් විය. යුරෝපයේ රටවල් ආර්ථික අතින් ප‍්‍රශ්න ගණනාවකට මුහුණ දෙමින් සිටින නමුත් ජර්මනියේ ස්ථාවරත්වය කැපී පෙනේ. ආර්ථික පර්යේෂකයෝ ඒ ගැන අවධානය යොමු කරන්නට පටන් ගෙන ඇත. ජර්මනිය ලෝක ආර්ථිකයේ බලගතු රටක් බවට පත්වීමේ පදනම ව්‍යවසායකත්වයයි. ජර්මනිය මුල් කාලයේ ආණ්ඩු බලය ගැන වැඩි තක්සේරුවක පිහිටියේය. එය මහජනතාව ආණ්ඩුව මත යැපෙන ක‍්‍රමයකි. දැන් එය පරිවර්තනයකට පත්ව ඇත. ව්‍යවසායකයන් දිරි ගන්නවන්නට ව්‍යවසායක දිනයක් මෑතක දී හදුන්වා දී තිබේ. හෝ චිං මින් එරට විප්ලවය කරගෙන යන විට ඔහුට පළමුවෙන් දේශීය ව්‍යවසායකයන් ආධාර කරන ලද දිනය අමතක නොකරමින් වර්තමාන ව්‍යවසායක දිනය නම් කර තිබේ. ව්‍යවසායකත්වය රටක අනන්‍යතාවය සමග තදින් බැදී ඇති බවට එය සහතිකයකි. දේශපාලන යථාර්ථය කුමක් වුවත් රටක ආර්ථික සහ සමාජ රාමුව පවතින්නේ ව්‍යවසායකත්වය වර්ධනය වන තරමටය.

මෙයට සති කිහිපයකට කලින් ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළ ලිපියට ඉරිදා ලංකාදීප පාඨකයන්ගෙන් ලැබුණ ප‍්‍රතිචාර වැදගත් ලක්ෂණ ගණනාවක් පෙන්වයි. මහජනතාවට තමන්ගේ හැකියාව සම්බන්ධයෙන් තක්සේරුවක් තිබේ. දේශපාලනඥයින් එය තම ග‍්‍රහනයට ගෙන ඇත. ආණ්ඩුවේ රැකියාවක් සැපයීම දේශපාලන ව්‍යාපෘතියකි. බලයේ සිටින ඕනෑම ආණ්ඩුවක් තමන්ට හිතවත් පාක්ෂිකයන්ට රැකියා සැපයීම සිය වගකීමක් බව සලකයි. දේශපාලනයේ නිරත පලාත් පාලන නියෝජිතයාගේ සිට මැති ඇමතිවරු දක්වා සියලූම දෙනා අපේක්ෂකයන්ට රැකියා සැපයීම ගැන උනන්දුය. ඇමතිවරයෙකු සොයාබලන්නේ තම අමාත්‍යංශය යටතේ ඇති දෙපාර්තමේන්තු හා සංස්ථා ගණනය. ඒවා වැඩිනම් හා පුරවන්නට ඇබෑර්තු ඇත්නම් සතුටට පත්වෙයි. අමාත්‍යංශවල සේවය කරන කාර්ය මණ්ඩල අතුරින් වැඩි කොටසක් ඇමති ධුර දැරූ දේශපාලනඥයන් නියෝජනය කළ ආසන වලින් පත්වූවෝය. රජයේ සේවයට ඇතුළුවන තරුණ තරුණියන් අතර සේවය, නිෂ්පාදනය, ඵලදායීතාව හෝ කාර්යක්ෂමතාව ගැන උනන්දුව සීමිතය. තමන්ගේ ගමට හෝ ආසන්න තැනට ස්ථාන මාරුවක් ගෙන තමන්ගේ ජීවිතය හැකි පමණින් කරගෙන යාම ප‍්‍රධාන කාරණය සේ සලකති. පාක්ෂිකයන්ට රැකියා ලැබෙන විට දේශපාලන සම්බන්ධතා නැති තරුණ තරුණියන් ආවේගශීලීවිම වැලැක්විය නොහැකිය. යුක්තිය ඉටු නොවනවිට දේශපාලන ගැටුම් සහ බෙදීම් ඇතිවෙයි. මහජනතාව නඩත්තු කිරීම ආණ්ඩුවක කාර්ය භාරයක් බව සැලකූ රටවල් පවා එයින් ඉවත් වෙමින් තිබේ. විශේෂයෙන් වාමාංශික රටවල් ලෝකයේ අලූත් ආකල්ප අනුව ගමන් කරමින් සිටී. ආර්ථිකයේ නොයෙක් පැති අන්තර් ජාතිකව පරිවර්තනයක් සිදුවෙමින් පවතින වකවානුවකි. මූල්‍ය අංශයේ වෙනස්කම් පැතිරෙමින් තිබේ. මෙම වෙනස්කම් රටක පාලනය හා සංවර්ධනය කෙරෙහි ඇති කරන්නේ විශාල බලපෑමක් බව සදහන් කිරීම අවශ්‍යය. එකී නව ප‍්‍රවනතා කෙරෙහි සැලකිලිමත්වීමට අප සූදානම් විය යුතුය.

ජර්මනිය ව්‍යවසායකත්ව දිනයක් වෙන් කරන විට එයින් අවධාරණය කරන්නේ එහි වැදගත්කම සාකච්ඡුා කර තීරණ ගැනීමයි. දියුණුවන සමාජයක වගකීම එයයි. ශ‍්‍රී ලංකාවේ දිනයක් වෙන්කිරීම ගැන අදහසක් මතුවුවහොත් පළමුවෙන් නැගෙන කාරණය එය රජයේ නිවාඩු දිනයක් විය යුතුද යන්නය. ලෝකයේ නිවාඩු වැඩිපුර ඇති රටක ව්‍යවසායකත්ව දිනය සාකච්ජා කිරීමට කලින් රට තුළ වැඩ කිරීම ඇති උන්නදුව ගැන ද අධ්‍යයනයක් කිරීම වටී.

ඉන්දියාව, චීනය, තායිලන්තය සහ ජපානය වැනි රටවල කුඩා ව්‍යවසායකයන්ට විශේෂිත පිළිගැනීමක් තිබේ. දැවැන්ත කම්හල් හෝ මහා පරිමාන වගා බිම් අතර සාමාන්‍ය ව්‍යවසායකයන්ට අතර මැදි අවස්ථා ඇතිකර දී තිබේ. මෙම ව්‍යවසායකයෝ නිපදවන්නේ මහා සමාගම් වල අවසන් නිෂ්පාදනයට අවශ්‍ය අතුරු කොටස්ය. ඇමරිකාවේ පවා සිදුවන්නේ එයයි. කුඩා ව්‍යවසායකයෝ සමාගම් වලට අවශ්‍යතා අනුව සේවා සපයති. තත්ත්වයෙන් උසස් දේ කාර්යක්ෂමව, තරගකාරී මිලකට නිපදවයි. සියලූ කොටස් එක්ලස්කර සමාගම් වෙළද නම යටතේ නිෂ්පාදන වෙළද පොලට යැවේ. තායිලන්තයේ දී ''එක ගමක් එක නිෂ්පාදනයක්'' යන සංකල්පය ඇත. ගමක ජීවත්වන සියළු පවුල් එක සමාගමකි. එකී සමාගම නිපදවන්නේ ගමට ආවේනික සුවිශේෂී නිපැයුමක් පමණී. අමුද්‍රව්‍ය මිලදී ගැනීම, තාක්ෂණය, ප‍්‍රවාහනය සහ වෙළද පොලට යැවීමට පොදු අරමුණකින් ක‍්‍රියා කරයි. එවිට වියදම අඩුය. තනි ව්‍යවසායකයෙකු වශයෙන් විශාල ආයෝජනයක් හා බරපතල අවදානමකට මුහුණ දෙන්නේ නැත.

යුරෝපයේ පැතිරෙන ආර්ථික අර්බුදය හමුවේ ව්‍යවසායකත්වය සම්බන්ධ ප‍්‍රබෝධයක් නැගෙන්නට පටන් ගෙන ඇත. බි‍්‍රතාන්‍යය ද ව්‍යවසායකත්වය ඇතිකරන්නට පූර්ණ බලය ඇති සැලසුම් සකසන බව එරට මුදල් අමාත්‍යවරයා පසුගිය දා නිවේදනය කළේය. විශාල කර්මන්ත හා ව්‍යවසාය බිහිකරනු වෙනුවට කුඩා කර්මාන්තකරුවන්, නිෂ්පාදකයන් සේවා සපයන්නන් ඇති කිරීම වැදගත් බව සාක්ෂාත් ව ඇත. එයට යෙදවෙන ධනය සීමිතය. රැකියා ජනනය කරයි. තරගකාරීත්වයක් ද, මහජනතාවට තෝරා ගැනීමේ නිදහස ද හිමිවෙයි. අලූත් ව්‍යාපාර ජාලයක් ඇතිවන නිසා රජයට බදු අයකර ගැනීමට අවස්ථාව සැලසේ. ව්‍යවසායකයන් වැඩි වන විට ඒ රටට ලැබෙන බදු ආදායම ඉහල යන අතර එමගින් සමාජ සුබසාධනය වෙනුවෙන් ධනය සැපයේ.

මෙරට ආණ්ඩු කුඩා ව්‍යවසායකයන් දියුණු කරන්නට නොයෙකුත් වැඩ පිළිවෙල ආරම්භ කළේය. ඉතිහාසයට අනුව සුළු හා මධ්‍ය පරිමාණ ණය සපයමින් පුළුල් වැඩසටහන් සම්පාදනය කර ඇත. නමුත් විවෘත ආර්ථික ක‍්‍රමය හා තරගයට මුහුණ දිය නොහැකිව ඒවායින් බොහෝමයක් අසාර්ථක වී තිබේ. ධෛර්යයෙන්, නොපසුබස්නා උත්සාහයෙන් ව්‍යාපාර පවත්වාගෙන යන්නට ක‍්‍රියාකළ කණ්ඩායම අද ව්‍යාපාරික ලෝකයේ ඉදිරියට පැමිණ තිබේ. කලූතර ප‍්‍රදේශයෙන් කතා කළ ජේ. ඩබ්. ද සොයිසා මහතා දීර්ඝ කාලයක් මෙරට ව්‍යවසායකත්ව වර්ධනය උදෙසා සේවය කර විශ‍්‍රාම ගෙන සිටින අයෙකි. එතුමා සතුව අත්දැකීම් එමටය. ප‍්‍රාග්ධනය, වෙළද පොල හැසිරීම අලූත් ව්‍යවසායකයන්ට උදවු කළ හැකි ආකාරය ගැන අවබෝධයක් තිබේ. මෙවැනි අත්දැකීම් ඇති වියතුන් දිවයිනේ තැනින් තැන දී හමුවෙයි. ඔවුන් හුදෙකලාව සටනකය. කුඩා ව්‍යවසාය සෑහෙන ප‍්‍රමාණයක් පැන නැගෙන විට එහි බලය දැවැන්ත සමාගමකින් ආර්ථිකයට ලැබෙන දායකත්වය තරමට ම ප‍්‍රබල එකක් බව වටහා ගත යුතුය. එය පදනම් කරගෙන අලූතින් යමක් කරන්නට අවශ්‍යය.

ව්‍යවසායකත්වය වර්ධනය කරන්නට අධ්‍යාපන ක‍්‍රමයෙන් සැපයෙන දායකත්වය විශාලය. දරු දැරියන් ලක්ෂ හයක් පමණ අවුරුද්දකට පාසලට ඇතුලත් වෙති. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ට සුදුසුකම් ලබන්නේ සීමිත පිරිසකි. සෙසු දරුවන් ව්‍යවසායකයන් කරන විධිමත් සැලසුම් අදට අවශ්‍යය. නාගරික ප‍්‍රදේශවලට සාපේක්ෂව ගම්බද පලාත්වල ව්‍යවසායකයන් බිහිවෙති. තම හැකියාවෙන් තමන්ටම නිවහල් වෘත්තියක් කරගෙන යන්නට ඔවුහු සමත්ය. නමුත් වෘත්තීය ගරුත්වය නැත. දක්ෂ වඩු කාර්මික හා මේසන් කාර්මික ශිල්පීන් අද මෙරට නැත. ජල නල කාර්මිකයන්, විදුලි රුහැන් අදින්නන් විශේෂිත දක්ෂයන්ය. මෙම පිරිස විහාල පිරිවැයක් දරමින් විදේශ ගතවෙති. විදේශ රැුකියාවෙන් උපයන ප‍්‍රමාණයට වඩා මෙරට දී උපයන්නට හැකි ආර්ථික හා සමාජ දියුණුවක් අද රට තුළ ඇතිව තිබේ. නමුත් මෙම දක්ෂ පිරිස පිටරට යන්නේ මෙරට දී ඔවුන්ගේ ශ‍්‍රමයට දක්වන නොසැලකිල්ල ද සමගය. ගමක මෙකී ශිල්පීන් බාස් උන්නැහේලාය. කාර්යය කර ගන්නට උත්සාහ කරන්නේ සුළු මුදලක් අතට දීමෙන්ය. නමුත් දක්ෂ ලෙස තම ව්‍යවසාය මෙහෙයවන කාර්මික ශිල්පීන් කාර්යාලයක සිට ලබන වැටුප මෙන් තුන් හතර ගුණයක් මාසයකට උපයන බව පෙනේ. නමුත් මෙම දිරිමත් පිරිසට නිසි ගරුත්වයක්, ශිල්පය සම්බන්ධ තාක්ෂණික පිළිගැනීමක් සැපයීමෙන් පවතින අතෘප්තිය පහ කරනන්ට හැකියාව ඇත.

ව්‍යවසායකත්වය දියුණු කළ රටවල් එහිලා පාදක කරගත් පළමු අරමුණ ධනය බිහිකිරීමයි. ධනය නිපදවිය හැක්කේ පෞද්ගලික අංශයටය. ඕනෑම රටක පුද්ගලික අංශයේ ව්‍යවසාය දක්ෂතා අතින් ඉහලය. තරගකාරී ලෝක ආර්ථීක රටාව සමාජය ඉහල තලයකට නැංවීම සදහා උපයෝගී කර ගන්නේ එම හැකියාවයි. අප රටට ද අලූත් අදහස් අලූත් ආකල්ප අනුව ක‍්‍රියා කළ යුතුය. රට දියුණු කරන්නට ව්‍යවසායකයන්ට ඉටු කළ හැකි මෙහෙවර ගැන නිසි තක්සේරුවකට යා යුතුය.

අලූත් ව්‍යවසායකත්ව ඇති කිරීම පහසු නැත. අරමුණක් ඇති දක්ෂ ලෙස කි‍්‍රයා කළ හැකි තරුණ ජවය එහිලා පෙළඹවිය යුතුය. රාජ්‍ය හා පුද්ගලික බැංකු වලින් යම් ප‍්‍රතිශතයක් ව්‍යවසාය නගන්නට වෙන් කළ හැකිය. අදහස් බැංකු ක‍්‍රමයක් ඇතිකළ හැකිය. සාර්ථක අදහස් වලට සාර්ථක ව්‍යාපාරිකයන් සමග එකතු විය හැකිය. ඇමරිකාව හා බි‍්‍රතාන්‍ය වැනි රටවල විශ්ව විද්‍යාල සිසුන් ගේ පර්යේෂණ හා නිබන්ධන ආශ‍්‍රිතව අලූත් අදහස් පැන නැගේ. එම අදහස් ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කරන්නට හැකි මට්ටමට පෝෂණය කරන වැඩ පිළිවෙල ඇත. අනතුරුව මෙම අදහස් සමාගම් මිලදී ගනී. ඇතැම් දක්ෂ තරුණන් තමන්ගේ අයිතිය තබාගෙන අදහස විකිණීමෙන් නොසිතන තරම් ධනයක් බිහිකර ගත් අවස්ථා තිබේ. බි‍්‍රතාන්‍යයේ විශ්ව විද්‍යාල අවට මෙවැනි ව්‍යාපාරික අදහස් මිලදී ගන්නා සමාගම් තිබේ. ශ‍්‍රී ලංකාවේ තරුණ පරපුරට ද අදහස් ඇත. විශ්ව විද්‍යාල වල තාක්ෂණික හා කාර්මික අංශ වල දරුවන් අලූතින් මවන සිතිවිලි පසුකාලයක දී හීන ලෙස දියැවී යයි. ඔවුන්ගේ අදහස් අහන්නට විශාල සමාගම් සූදානම් නැත. අලූත් අදහසක්, නිෂ්පාදනයක් හෝ සේවාවක් බවට පෙරලා ගන්නට අවශ්‍ය සම්පත් නැත. ධනය උපයන ව්‍යවසායකයන් බිහි කරන්නට දිරි දෙන අලූත් වැඩ පිළිවෙලක් අවශ්‍යය. එමගින් පාසල් මට්ටමේ සිට දරුවන්ට රජයේ රැුකියා නොව තමන්ගේ ම ශක්තියෙන් නැගී සිටින්නට ආකල්ප වෙනසක් ඇති කළ හැකිය. වැඩිහිටියන්ට දරුවන් ව්‍යවසායකයන් කරන ඉලක්ක ඇතිකරන අරමුණු මෝදු කළ හැකිය. දක්ෂ ව්‍යවසායකයන්වූ පරමාදර්ශී චරිත හ`දුන්වා දී අලූත් පරපුරට මග පෙන්වීමට ද අවස්ථාව තිබේ.

ශ‍්‍රී ලංකාවේ කුඩා ව්‍යවසායකයන්ට අත දෙන වැඩසටහන් සියල්ල ඒකාබද්ධකර එක අරමුණකට ගොනු කිරීම අවශ්‍යය. එයින් පසු සියලූ දෙනා එකතු කරන ව්‍යවසායකත්ව දිනයක් ඇරඹීම සුදුසුය. රාජ්‍ය හා පුද්ගලික අංශයේ පහල සිට පහල දක්වා සියලූ පැති එයින් එක ඉලක්කයකට ගොනුවෙයි. අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරණය, පුහුණව, තාක්ෂණික දැනුම සැපයෙන අතර අලූත් අදහස් අලූත් ප‍්‍රාග්ධනය සමග මිශ‍්‍ර කිරීම ව්‍යවාසායකයන් ඇති කරන මගකි. සියලූ දෙනාගේ එකමුතුවෙන් හා අදහස් හුවමාරුවෙන් එකිනෙකාගේ වගකීම් ඉටුවන විට ව්‍යවසායකත්වය නැගෙනු ඇත.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.