» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
29/01/2012 - ඉරිදා ලංකාදීප
අලූත් අලූත් දේ නොතනා දැයේ නැගීමක් අපේක්ෂා කළ නොහැකිය - මිලින්ද මොරගොඩ

ආණ්ඩු පත්කරන්නේ මහජනතාවයි. මහජන නියෝජිතයෝ මහජනතාව වෙනුවෙන් රට පාලනය කරති. වැඩිදෙනාගේ කැමැත්තටය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය එයයි. තමන් පත් කළ මහජන නියෝජිතයන් තමන්ට අවනතවනු දැකීම මහජනතාවගේ අභිලාශයයි. තම සියලූ උවමනා එපාකම් මැති ඇමතිවරුන් හරහා ඉටුකරගන්නට කැමති කොටසක් සමාජයේ සිටිති. ඔවුහු පාක්ෂිකයෝය. පාක්ෂිකයෝ දේශපාලනඥයන්ට සමීපය. දේශපාලනඥයන්ට පාක්ෂිකයන් ගේ සහාය අවශ්‍යය. පාක්ෂික සහාය නැතිව මැතිවරණ දිනන්නට නොහැකිය. පාක්ෂිකයන් ගේ උවමනා එපාකම් ඉටු කිරීම දේශපාලනයේ දී වැදගත් ය.

දේශපාලනය අවශ්‍ය මැතිවරණයටය. රාජ්‍ය පාලනය එයට වෙනස්ය. රාජ්‍ය පාලනයෙන් මහජන අභිවෘද්ධිය සැලසිය යුතුය. එහිදී තීන්දු ගැනෙන්නට අවශ්‍ය ප‍්‍රතිපත්ති අනුවය. ආණ්ඩුවක ප‍්‍රතිපත්ති රටේ අනාගතය තීන්දුකරයි.

මැතිවරණයක දී පක්ෂ අතර ප‍්‍රතිපත්ති සංවාදයක් සිදුවිය යුතුය. දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ඇති රටක සිදුවන්නේ ප‍්‍රතිපත්ති සාකච්ඡාවකි. ප‍්‍රතිපත්ති ගැන සලකා ඡුන්ද දායකයෝ තම දේශපාලන පක්ෂය ගැන තීන්දු ගනිති. ලංකාවේ ඇත්තේ දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදයකි. ආසියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය ආරම්භ වූ ආසියිවේ රටවල් අතරින් පළමු තැනෙක සිටී. නමුදු එහි භාවිතාව ඒ තරමට දියුණු ද? අපගෙන්ම ප‍්‍රශ්න කළ හැකිය. මැතිවරණ වේදිකාවක ප‍්‍රතිපත්ති විවාදයක් දකින්නට ලැබෙන්නේ කලාතුරකින්ය. නැති තරම්ය. වේදිකාවේ දේශපාලනය මහා ඝෝෂාවකි. අනෙක් පක්ෂ අපේක්ෂකයන් ගේ පුද්ගලිකත්වය අනාවරණය කරන අතර දෝෂාරෝපණ, මඩ ගසා ගැනීම් හා අපහාස බහුලය. ඇතැම් පාක්ෂිකයන් ද කැමැති එයටය. තම නායකයා අන්‍යයන් පරාජය කරන වාග් චාතූර්යයකින් හෙබි දක්ෂ අයෙකු විය යුතුය. වේදීකාවේ පමණක් නොව රූපවාහිනී විවාද වලදී ද පෙනෙන්නේ ඒ නියමයයි. මෙවන් දේශපාලන ක‍්‍රමයකින් බලයට පත්වන දේශපාලනඥයින් පාක්ෂිකයන් ගේ කැමැත්ත ගැන දක්වන්නේ මහත් අවධානයකි.

මහජනතාව ඉල්ලන දේ දීම එකකි. මහජනතාවට සාවධාන වෙමින් ප‍්‍රතිපත්ති අනුව රටට දර්ශනයක් සැපයීම අනෙකකි. නායකත්ව වැදගත්වන්නේ ඒ අවස්ථාවේ දීය. නායකත්ව යනු කුමක්ද? නායකයින්ගේ ස්වභාවය කෙබඳුද? නිදහස්, නිවහල් රටක ආගමින, සමාජ හා දේශපාලන නායකත්වය රටට ගැලපෙන තීන්දු ගැලපෙන අවස්ථාවේ දී ගන්නට සමත්විය යුතුය. යටත්ව සිටි යුගයේ බටහිර පාලකයන් ලංකාව ගැන තීන්දු ගත්හ. ඔවුන්ගේ තීරණ ඔවුන්ට ගැලපෙන ඒවාය. එයින් රටට නියමාකාර නායකත්වයකින් හැසිරෙන්නට අවකාශ නොතිබිණි. නිදහස ලැබීම සමග මේ ගමන් මග වෙනස් විය. මහජනතාව වෙනුවෙන් තමුන්ගේම නායකයන් තීන්දු ගන්නා, ඒ නායකයන්ගේ දර්ශනය හා ප‍්‍රතිපත්ති අනුව රට මෙහෙයවන යුගයක් උදා විය. ආකල්ප වෙනස් විය යුතුය. රටට ගැලපෙන ප‍්‍රතිපත්ති සකස් කරන්නට අප එකතුවී සංවාදයක් පවත්වාගෙන යා යුතුය. අපට අවශ්‍ය දේ බැහැරින් තීරණය කර අප එයට යොමුකරන තෙක් බලා සිටිය යුතු නැත.

සලකා බලන අන්දමට, නායකත්ව වර්ග කළ හැකිය. ප‍්‍රධාන වශයෙන් මෘදු soft Power නායකයන් සිටිති. ඔවුන්ට තම හැකියාව මත පෞර්ෂය අනුව තමුන්ගේ ගමන්මග හා දර්ශනය ජනතාවට ඒත්තු ගන්වන්නට සමත්ය. දෙවනුව දැඩි hard Power නායකයන් ද සිටිති. ඔවුන් දක්‍ෂ ලෙස රාජ්‍ය පාලනය කරන්නේ දඩුවම හෝ ප්‍රතිලාභ පෙන්වමින් සිට අනුගාමිකයන් තෘප්තිමත් කරමිනි. මේ අන්ත දෙකම මිශ‍්‍ර වූ නායකයන් වර්තමානයේ ලෝකය ඉල්ලා සිටියි. මෘදු බවත් දැඩි භාවයත් මුහුකර රටට නායකත්වය දෙන්නට සමත්වීම එම පාලකයාගේ හැකියාවයි. එවැනි නායකයන් විශිෂ්ට නොඑසේනම් Smart Power නායකයන්ය. ඔවුහු දුලබය. නිසි අවස්ථාවේ දී මහජනතාව වෙනුවෙන් තද තීන්දු ගන්නා අතර මහජනතාවට සවන් දී ඔවුන්ගේ අදහස් උදහස් සොයාබලති.

රටකට අවශ්‍ය විශිෂ්ට නායකත්වය. සමාජයේ විවිධ තල වල විශිෂ්ට නායකයින් සිටින විට තීන්දු ගැනීම පහසුය. එහි හරය ගැන විනා මතු පිටින් බලා වාසි තකා කි‍්‍රයා කරන්නේ නැත.යම් යම් අවස්ථාවල තීන්දු ගන්නේ රට වෙනුවෙන්ය. බහුතර මහජනතාව වෙනුවෙන්ය. රටේ අනාගතය තකා එයින් ඇතිවන ප‍්‍රතිඵල කෙරෙහි බලාපොරොත්තු තබමින්ය. නායකයෙකු ගන්නා තීන්දුවක වැදගත්කම අනාගාමිකයන්ට එකවර නොදැනෙන අවස්ථා ඇත. යම් තීන්දුවක් ගැනීමට වඩා පවතින තත්ත්වයෙන් පසුවන්නට ඕනෑම සමාජයක් සූදානම්ය. වෙනස් වීම අභියෝගයකි. වෙනසක් නොවී අලූත් දෙයක් නිර්මාණය වන්නේ නැත. ලෝකය දියුණුවූයේ අලූත් දේ සොයාගිය මිනිසුන් හෙයිනි. ඔවුහු මුලින් විශාල විරෝධයකට ගොදුරු වූහ. මොටර් රථය යක්ෂයාගේ වාහනය විය. ගුවන්යානයක් ගැන සිහිනය පිස්සුවක් ලෙස එදා විවේචනයට ලක්වන්නට ඇත. සොක‍්‍රටීස් ට වස පොවා මරා දැමූහ. නමුත් තම මතයේ එල්බ අලූත් දේ සොයා යාම නතර වූයේ නැත. අධිශ්ඨානශීලී පුද්ගලයෝ ලෝකය වෙනස් කළහ. අලූත් දේ සැපයූහ. නව සංකල්ප අනුව මනුෂ්‍ය ජීවිත ඔපවත් කළහ. යථාර්ථය එයයි.

ශ‍්‍රි ලංකාව අභියෝග රැසකට එකවර මුහුණ දුන් රටකි. ත‍්‍රස්තවාදය එයින් බිහිසුණුම එකයි. දශක තුනක කාලයක් එය රට මහත් ව්‍යසනයකට පත් කළේය. අතුර දකුණ වෙනසකින් තොරව අහිංසක ජනතාව බිලිගත්හ. සාකච්ඡාවෙන් අසාර්ථක වූ අවස්ථාවේ මානුෂික යුදමය මෙහෙයුමකින් එය අවසන් කරන්නට හැකිවිය. එය ඉලක්කයකි. පියවර ආපසු ගත්තේ නැත. මහජනතාව මෙකී මෙහෙයුම දෙස බලා සිටියේය. එයට අවශ්‍ය සම්පත් කොතැනින්ද, එහි අවසාන ඉලක්කය කෙබදුදැයි ඔවුහු නොදත්හ. නමුත් නායකත්ව විසින් ඉටු කළ මෙහෙවර අද අගය කරති.

ආණ්ඩු කිහිපයක් පැටලී තිබුණ යුද්ධය රටේ මූලික අවශ්‍යතා ගැන තින්දු ගැනීම පමා කළේය. අධ්‍යාපනය අතින් රට ඇත්තේ පසුබැසීමකය. ආසියාවේ ඉහළම සාක්ෂරතාවයක් තිබුණ රටක අධ්‍යාපනය අද පිරිපුන් එකක් නොවේ. ආර්ථිකය ප‍්‍රශ්න සහගතය. ව්‍යාපාර, සමාජ විනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණ සහ ජන ජීවිතයට අදාල බොහෝ දේ අදට ගැලපෙන පරිදි වෙනස් විය යුතුය. මහජනතාව කැමැත්තෙන් වෙනසක් ඉල්ලා සිටින්නේ නැත. ආගමික නායකයින්, සමාජ නායකයින් සහ දේශපාලන නායකයින් වෙනස ඇති කළ යුතුය. එයට අදාල තීන්දු ගත යුතුය.

යුද සමයකින් සාමකාමී පරිසරයකට පරිවර්තනය පහසු නැත. එය අවබෝධ කරගත යුතුය. යුද අභියෝග වලට වඩා සාමයේ අභියෝග බරපතලය. සමාජ අපේක්ෂා වෙනස්ය. යුද්ධයෙන් පසු සියල්ල ඉක්මනින් යථා තත්ත්වයට පත්වෙතැයි මහජනතාව බලාපොරොත්තු වෙයි. කෙටි කාලයක් තුළ සියල්ල යහපත් වන්නේ නැත. දීර්ඝ කාලයක් අනවධානයෙන් තිබූ සමාජ ව්‍යුහය සකස් කරන්නට යම් කාලයක් ගතවෙයි. එය සාධාරණය. නීතිය, සමාජ සාධාරණත්වය සංශෝධනය වන්නේ සහභාගීත්වයෙනි. සිවිල් සමාජය ශක්තිමත් විය යුතුය. ආර්ථිකය සකස්කර ගන්නට කාලයක් මහන්සිවන්නට සිදුවෙයි. මේවා ලෙහෙසි නැත. එහිදී දේශපාලන නායකයින්ට තද තීන්දු ගන්නට සිදුවෙයි. සමාජ නායකයින්ට, ආගමික නායකයින්ට මේ ගැන පුලූල්ව බලන්නට සිදුවෙයි. මහජනතාව සාමකාමී යුගයේ අවස්ථා ඉල්ලා සිටින අතර පවතින තත්වයේ වෙනසකින් තොරව මහජනතාවගේ අපේක්ෂා මුදුන්පත් කිරීම පහසු නැත. දේශපාලනඥයන් තද තින්දු ගන්නා විට ඒවා මහජනතාව ට මිහිරි නැත. ජනතාව විරුද්ධවන විට තීන්දු ආපසු හරවන්නට සිදුවෙයි. තද තීන්දු ගෙන යුද්ධය දිනන විට වීරත්වය වෙනුවෙන් ජය ගොස නගන කණ්ඩායම, සමාජ අභිවෘද්ධිය වෙනුවෙන් තද තීන්දු ගන්නාවිට එයට එරෙහි වෙයි.

මෑත කාලය තුළ රටේ උන්නතිය වෙනුවෙන් ගන්නට සූදානම් වූ තීරණ ගණනාවක් අවලංගු විය. මේ තීරණ නොගත්තේ ඇයි? එයට එරෙහිව විරෝධතා මතුවීම නිසාය. පළමවන වසරට දරුවෙකු ඇතුලත් කර ගැනීම බලවත් වෙහෙසකර කර්තව්‍යයකි. දෙමවුපියෝ එහි ඇති දුශ්කරතා දනී. අධ්‍යාපනය නිදහස් නමුදු මේ අධ්‍යාපනය ලැබීමෙන් පසු දරුවන්ගේ අනාගතය සාක්ෂාත් වෙතැයි තෘප්තිමත්විය හැකිද? ඉගෙනුම අවසානයේ දරුවන් එකතු වන්නේ රැකියා විරහිත පිරිසට. ඉගෙන ගන්න පාසල්, පොත පත සහ ඇදුම් පැලදුම් පවා රජයෙන් සපයන නමුත් මේ අධ්‍යාපන ක‍්‍රමය තරගකාරී එකක්. අතිරේක පන්ති, විෂයයන්ට අදාල පොත පත වෙනුවෙන් වැය කරන්නට සිදුවන ධනය සුළු එකක් නොවේ. එවැනි කැපකිරීමකින් පසු දරුවන්ට අනාගතයක් සකස් කර ගත හැකි අහම්බෙන් මෙන්ය. මෙවැනි අධ්‍යාපන ක‍්‍රමයකින් රටට, සමාජයට වැඩක් තිබේද? නමුත් මේ ක‍්‍රමය වෙනස් කිරීම ගැන විරෝධතා ඇත. අධ්‍යාපනය විකිණීමක් ගැන චෝදනා නැගෙයි. විශ්ව විද්‍යාල දරුවන් එකහෙලා විරුද්ධය. අනාගත ලෝකයේ තරගකාරී සමාජ රටාවට ගැලපෙන පරිදි වෙනස්කළ යුතුද නැද්ද යන තීන්දුව ගන්නේ කොතැනින්ද? වෙනසකින් තොරව මෙම ක‍්‍රමය පවත්වාගෙන යාහැකිය. එවිට බිහිවන්නේ ව්‍යවසායකයන් නොවේ. නිර්මාපකයන් නොවේ. ශ‍්‍රමිකයන්ය. යැපෙන්නන්ය. එය සතුටුදායක එකක්ද? නැත. නමුත් මේ ක‍්‍රමය පවත්වාගෙන යන්නට අප සියලූ දෙනා නිහඩවම එකග වී සිටී. වෙනසකින් තොරව පවතින ක‍්‍රමය පවත්වාගෙන යාමෙන් සමාජයටත් රටටත් සිදුවන හානිය බලවත්ය.

විශ්ව විද්‍යාල වලින් උපාධිය ලබන දරුවන් රැකියා වෙළද පොලේ දී අසරණ වෙති. ඔවුන්ට ගැලපෙන රැකියා නැත. නමුත් පුද්ගලික අංශයේ අංශ ගණනාවක කාර්මික, තාක්ෂණික හා සේවා අංශ වල ඇබෑර්තු තිබේ. උපාධිධරයන්ට නොගැලපෙන නමුත් පවතින අධ්‍යාපන ක‍්‍රමයෙන් රට ගොඩ නගන්නට සමත් ව්‍යවසායකයන් බිහිකරන්නේ නැත.

පුද්ගලික අංශයට විශ‍්‍රාම වැටුප, පලාත් පාලන ඡන්ද වෙනස්කම්, එලවලූ ඇසුරුම්, අධ්‍යාපනය ඇතුලූ පැති ගණනාවක යෝජනා විරෝධය හමුවේ ආපසු හරවා ගන්නට රජයට මෑත කාලය තුළ සිදුවිය. මෙම යෝජනා ගෙන එන්නේ මහජනතාව ස්වකීය මාතෘභූමියේ අතරමං කරන්නටද? දෙපැත්තම බලන්නට අවශ්‍යය. විරෝධය ඇවිලීම පහසුය. ආගමික, සමාජ හා දේශපාලන නායකයෝ මෙම විරෝධතා හමුවේ තින්දුවක් නොගනී. යථාර්ථය වෙනුවට බලය ඉදිරියට පැමිණෙයි. විශිෂ්ට නායකත්ව අපේක්ෂා කරන සමාජයේ යම් කොටසක් අසරණය. නායකත්වයන්ට තීන්දු ගන්නට සිදුව ඇත්තේ මහජනතාව සනසන, ඔවුනගේ හිත නොරිදෙන අන්දමටය. ඔවුන් අකමැති දේ නොකරන්නටය. තවත් පැත්තක් අනුව තොරතුරු හුවමාරුව වේගවත් දියුණුවක් ලබා ඇත. අදහස්, මත ගොඩ නැගෙන්නේ ක්ෂණයකිනි. අන්තර් ජාල වෙබ්, ඊ මේල්, බ්ලෝග් අඩවි හා ට්විටර් වැනි සමාජ එකතු මෙකී පරිවර්තනය කර ඇත. මෙයින් නායකයින් හා ජනතාව සමීප කර ඇති අතර ඔවුන් දකින දේ සම්බන්ධයෙන් දරන මත විසුරුවා හැරීම හෙයින් අලූත් ආන්දෝලන හටගනී. මේවා සාකච්ඡා කළ යුතු අලූත් අත්දැකීම්ය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.