» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
28/10/2012 - ඉරිදා ලංකාදීප
ගෝලීය ආර්ථිකයේ ස්වභාවය සහ එහි බලපෑම - මිලින්ද මොරගොඩ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා කි‍්‍රස්ටිනා ලෙගාර්ඞ් (Christine Lagarde) මහත්මිය ලබන වසර සදහා ලෝක ආර්ථිකයේ උදාවිය හැකි තත්ත්වය සම්බන්ධයෙන් පුරෝකථනයක් කර ඇත. එය http://www.reuters.com වෙබ් අඩවියෙන් කියැවිය හැකි අතර ලෝකය පුරා පුවත් සේවා එයට මහත් ප‍්‍රසිද්ධියක් දී තිබිණ. එම ප‍්‍රකාශයට අනුව මූලික කරුණු තුනක් ග‍්‍රහනය කර ගත හැකිය. යුරෝපා ආර්ථික අර්බුදයට තවමත් පැහැදිලි විසදුමක් නැත. දෙවැන්න ඇමරිකානු ඡන්ද සටන ඉදිරියේ එරට ආර්ථිකය යළි නිසි මගට ගැනීම පමා වෙමින් තිබේ. අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ හමුවේ තද තීන්දු ගැනීමට මැලිකමක් දක්වන අතර එයින් ඇතිවන ප‍්‍රමාදය අන්තර් ජාතිකව පැතිර යයි. තෙවනුව වේගයෙන් දියුණු වෙමින් තිබුණ චීනය, ඉන්දියාව හා බ‍්‍රසීලය වැනි රටවල ආර්ථික සංවර්ධන වේගය අඩාල වීමයි. මෙම පැති සලකන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වර්තමානයේ පමණක් නොව ඉදිරි වසරේ දී ද නියමාකාරයෙන් ලෝක ආර්ථිකය නොපවතින අතර සංවර්ධන වේගය තවදුරටත් සීමාසහිත වනු ඇති බව කියයි.

වර්තමානය සියුම් ලෙස සමාජ ගෝලීයකරණයට ලක්ව තිබේ. ලෝකයේ එක තැනෙක සිදුවන දෙයින් වන බලපෑමෙන් තවත් රටකට සම්පූර්ණයෙන්ම ඈත්විය නොහැකිය. සමාජ ගෝලීයකරණයේ දී එය වඩා සූක්ෂම ලෙස දැනෙන්නේ ආර්ථික ලක්ෂණ හමුවේදීය. දැනට පවතින ආර්ථික ගැටලූ ඉදිරි වසර තුනක පමණ කාලයක් පැවතිය හැකි අතර එයින් පසු ක‍්‍රමයෙන් එය නිරාකරණය වනු ඇතැයි ජගත් ආර්ථික විශේෂඥයන්ගේ මතයයි. ණය බර ලෝක ආර්ථිකයේ එක ප‍්‍රධාන පීඩනයකි. සෑම රටක් ම පාහේ දරුණු අන්දමට ණය වෙමින් තිබේ. සංවර්ධනය වන රටවල ණය බර සහනදායී කොන්දේසි හා අඩු පොලී අනුපාත අතර පවතින නමුත් දියුණු රටවල් සම්බන්ධව ඇත්තේ වානිජ ණය ක‍්‍රමයකටය. එහි පොලිය හා ආපසු ගෙවන කාලය අනුව ධනවත් රටකට පවා බැදීම් වැඩි කරන එකක් බව පෙනේ. ජගත් ප‍්‍රජාව ගන්නා ණය වලින් සෑහෙන ප‍්‍රතිශතයක් පරිභෝජනයට වැය කරන බව පෙනේ. ආයෝජනය මගින් අලූත් ආදායම් උපයනු වෙනුවට ගන්නා ණය වියදම් කිරීමට පහසු මාර්ග සකස් කර ගැනීම බලවත් රටවල් පවා අපහසු තත්ත්වයකට යොමු කර තිබේ. තව දුරටත් ණය බර පියවා ගත නොහැකි වූ අවස්ථාවේ යුරෝපිය ප‍්‍රජාව රාජ්‍ය වියදම් කපා හරිමින් සිටී. ග‍්‍රීසිය සහ බි‍්‍රතාන්‍ය වැනි රටවල් එවැනි ක‍්‍රම අනුගමනය කරන විට එයින් පීඩාවට පත්වන්නේ එම රටවල වැසියන්ය. බි‍්‍රතාන්‍ය ප‍්‍රජාවට එවැනි අත්දැකීම් හුරුය. ආර්ථකයක වේගය අඩුවන විට ගන්නා තීන්දු ගැන සමාජයට අවබෝධයක් තිබේ. ග‍්‍රීසිය එයට පියවර ගන්නා විට සමාජ ප‍්‍රශ්න වැඩිවෙන බව පෙනේ. මැතිවරණ දෙකක් එක ළග පවත්වන තැනට දේශපාලන ප‍්‍රශ්න පැන නැගිණ. ඇමරිකාව හා යුරෝපයේ දියුණු රටවල සංවාදය ප‍්‍රතිසංස්කරණය නොව එය කරන ආකාරය හා එහි ප‍්‍රමිතිය ගැනය. වියදම අඩුකරන විට එහි ඉලක්කය එල්ල වන්නේ සංවර්ධන වේගයටය. අලූත් ආයෝජන අඩුවන හා රුකියා සීමිත වන විට නිෂ්පාදන පහත වැටේ. සේවා ආර්ථිකය සංකෝචනය වෙයි. නමුත් දීර්ඝ කාලීනව ආර්ථිකය නිසි මගට ගන්නට එය පිටිවහලකි.

ඇමරිකාව හා යුරෝපීය ප‍්‍රජාව වියදම් කපා හරින තත්ත්වයක් තුළ එරට වැසියන්ගේ පරිභෝජනය අඩුවන අතර එය ලෝකයේ නිෂ්පාදන අංශ ප‍්‍රශ්නයකට යොමු කරනු ඇත. මිලදී ගැනීම අඩුවන විට එය වෙළද පොළට දැනෙන අතර නිපදවන දේ තරමක් සිමා කරන්නට සිදුවෙයි. විශාල පාරිභෝජනයක් ඇති ඇමරිකාව හා යුරෝපයේ පරිභෝජනය අඩුවන විට එකී වෙළද පොලට සැපයුම්කරුවන් වන රටවල් මුහුණ දෙන තත්ත්වය ද බරපතල එකකි. ආනයන අපනයන සීමාසහිත වෙයි. නිෂ්පාදන පිටරට යැවීම අඩුවන විට අමුද්‍රව්‍ය ආනයනයට ද බාධා ඇතිවීම වැලැක්විය නොහැකිය. ඉදිරි මාස දහ අට තුළ සිදුවිය හැකි එවැනි සුවිශේෂ තත්ත්ව වලට මුහුණ දෙන්නට ශ‍්‍රී ලංකාවට ද සිදුවනු ඇත. නිෂ්පාදනය අඩුවන විට ඛනිජ තෙල්, ලෝහ වර්ග මිල පහත වැටේ. එය ශ‍්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවලට වැදගත් එකකි. නමුත් ඉන්ධන මිල ගණන් සැලකිය යුතු තරම් පහත වැටෙන විට බොරතෙල් අලෙවි කරන රටවලට ද මුහුණ පාන්නට සිදුවන සුවිශේෂී තත්ත්වය සලකා බැලිය යුතුය. බොරතෙල් මිල අඩුවන විට එම රටවල ද රුකියා අඩුවෙයි. අලූත් අවස්ථා පහත වැටේ. වියදම් කපා හරින්නට සිදුවෙයි. තෙල් මිල විශාල වශයෙන් අඩුවීම ද තවත් වටයකින් අලූත් ආර්ථික ප‍්‍රශ්න පැන නගින එකක් බව අවබෝධ කර ගත යුතුය. නමුත් දැනට පෙනෙන අන්දමට ඉන්ධන මිල විශාල වශයෙන් අඩුවිය නොහැකිය. ශ‍්‍රී ලංකාව තෙල් මිල අඩුවනු ඇතැයි අපේක්ෂාවෙන් සිටිය හැකි නමුත් එවැනි මිල අඩුවීමකට සමාන්තරව මැද පෙරදිග රටවල තෙල් වෙළදාමේ ලාභය ද අඩුවිය හැකිය. එහි ආර්ථිකය ගැටලූකාරී වුවහොත් එයට සමාන්තරව මැද පෙරදිග කලාපයේ රුකියා කරන මිලියනයකට වැඩි ලාංකිකයන් ගේ යැපීම අනතුරකට පත්වෙයි. එය මෙරටට විදේශ විනිමය ලැබෙන ප‍්‍රධානම මාර්ගයයි.

ඇමරිකාව, යුරෝපය හා මැදපෙරදිග මෙවැනි ප‍්‍රශ්න වලට මුහුණ දෙන විට සංචාරක කර්මාන්තයට ප‍්‍රශ්න ඇතිවිය හැකිය. ආදායම අඩුවන විට තවත් රටකට ගමන් කර සතුටුවන තත්ත්වය අඩුවෙයි. ඇගලූම් හා තේ කර්මාන්තය ද නඩත්තු වන්නේ මෙම රටවල වෙළද පොළ කෙරෙහි බර තබමින්ය. ආර්ථිකයේ ගෝලීයකරණය මෙයින් අවබෝධකර ගත හැකිය. ඇමරිකාව හා යුරෝපයට මුහුණ දීමට සිදුවන ආර්ථික ගැටලූ අවසානයේ දී අපගේ ප‍්‍රශ්නයක තවත් පැත්තකි. එක තැනෙක සිදුවන අර්බුදයකින් තවත් රටකට ඇති කරන ප‍්‍රශ්න ඉතා සියුම් හා කල්පනාකාරීව මුහුණ දිය යුතු බව මෙයින් හදුනාගත හැකිය.

ගෙවී යන 2012 වසරේ ආර්ථික සංවර්ධනය අඩු වීමෙන් ශ‍්‍රී ලංකාවට ද ලෝක ආර්ථිකයේ ප‍්‍රශ්න වල උණුසුම දැනෙන බව පෙන්වයි. වසර දෙකක් සියයට අට ඉක්මවන සංවර්ධන වේගයක් ළගා කර ගත් මෙරට ආර්ථිකය මෙම වසරේ සියයට 6.5 ක් පමණ විය හැකි යැයි මුදල් අමාත්‍යංශය කියයි. ශ‍්‍රී ලංකා මහා බැංකුව දරන අදහස ද එයම බව දැනටමත් ප‍්‍රකාශයට පත් කර තිබේ. වසර මුල කරන ලද ආර්ථික බලාපොරොත්තු වලට වඩා වර්ධනය අඩාලවීමක් ලෙස සැලකිය හැකිය.

සංවර්ධනය අරමුණු කරගෙන අප රට ද සෑහෙන ණය ප‍්‍රමාණයක් ලබා ගෙන තිබේ. දියුණු වෙමින් පැවති යුගයට වඩා අද තත්ත්වය වෙනස්ය. දියුණුවන වකවානුවේ ශ‍්‍රී ලංකාවට ආධාර සහ සහනාධාර නිතර ලැබිණ. එය දුගී දුප්පත්කමින් මිදෙන්නට බලපෑවේය. මැදි ආදායම් රටන් වශයෙන් රටට වානිජ ණය ගන්නට සිදුව තිබේ. එය ස්වභාවයෙන් සිදුවන්නකි. ණය බර ආර්ථිකයේ නැග්ම සමග අනතුරු දායක තත්ත්වයෙන් මුදවා ඇති නමුත් තවමත් අනතුර පහව නැත. නිසි කලමණාකරණයකින් තොරව තව තවත් වානිජ ණය ගනිමින් ආර්ථික ප‍්‍රශ්න පියවා ගැනීමට මාන බැලීම අවදානම් සහගත එකකි.

ලෝකයේ රටවල් සංවර්ධන අපේක්ෂා අඩු කරන විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව වැනි ආයතන ආර්ථිකයේ වේගය අඩාල විය හැකි බව දක්වන විට එහි බැරූරුම්කම අවබෝධ කර ගැනීම පොදුවේ යහපත්ය. ප‍්‍රශ්න පැන නගින අවස්ථාවක සමාජයේ බලාපොරොත්තු ඉහළට යාම පරස්පර විරෝධී තත්ත්වයකි.

ආර්ථිකය යළි නිසි වේගය කරා ඇතුළු කරන්නට නම් නිසි අවස්ථාවේ දී තීරණ ගන්නට සිදුවෙයි. වාහනයක් ධාවනය කරන විට කන්දක් හමුවන අවස්ථාවේ දී වේගය අඩුවන අතර නිසි මොහොතේ ගියරය මාරු කරන්නට අපොහොසත් වුවහොත් මුහුණ දෙන්නට සිදුවන අනතුර ගැන අවබෝධයක් අප සියළු දෙනාටම ඇත. ඉන්දියාව මෙතෙක් ස්වකීය රට තුළ පවත්වා ගෙන ගිය ආකල්ප ලිහිල් කර තිබේ. විදේශ ආයෝජනවලට පනවා තිබුණ නීති ඉවත් කර ඇත. රජයේ ව්‍යවසාය පවා තරගකාරීත්වයට ලක්කරන්නට තීරණය කර ඇති අතර රාජ්‍ය පුද්ගලික හවුල් ව්‍යවසාය වශයෙන් පවත්වාගෙන යන්නට හැකි ආකාරයට පරිවර්තනය කරන්නට තීරණය කර තිබේ. ආර්ථිකයට දැනෙන මෙම ප‍්‍රතිපත්ති වෙනස් කිරීම මගින් ඉන්දියාව ගෝලීය ආර්ථිකයේ නව ප‍්‍රවනතා වලට ඔරොත්තු දෙන්නට සූදානම් බව පෙන්වයි.

ශ‍්‍රී ලංකාවට ද ගෝලීය ආර්ථිකයේ කොටස්කරුවන් වීම විනා විකල්පයක් නැත. තනිව හා හුදෙකලාව ගමන්කළ යුගය අවසන්ය. ජාත්‍යන්තර ආර්ථිකයේ ප‍්‍රශ්න ඇතිවන විට එය රටට දැනේ. එයින් මිදෙන්නට හැකියාව ඇත්තේ සාර්ථකව මුහුණ දෙන ආකාරය අනුවය. දැඩි තීන්දු ගන්නට සිදුවෙයි. යම් කැපකිරීමකට යා යුතුමය. එවිට සමාජය තුළින් විරෝධතා මතුවන්නට ද ඉඩ ඇති අතර එය දේශපාලන ප‍්‍රශ්නයකි. ආර්ථිකය හා දේශපාලනය සමබර කිරීමට හැකිවන ආකාරයට සියුම් රාජ්‍යතාන්ත‍්‍රික දැක්මක් සහිතව ක‍්‍රියාකිරීම අද අවශ්‍යතාවයකි. ආර්ථිකය තරගකාරී කළ යුතුය. එය කාර්යක්ෂම වීමෙන් ආර්ථිකයේ දුබලතා අවම කර ගත හැකිය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.