» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
28/04/2013 - ඉරිදා ලංකාදීප
ශ‍්‍රමය ගැන ආකල්ප සහ සමාජ ගෝලීයකරණය තුළ කම්කරු දිනය - මිලින්ද මොරගොඩ

ශ‍්‍රී ලාංකේය සමාජය, විශේෂයෙන් දේශපාලන පක්ෂ සහ අනුගාමිකයන් ලෝක කම්කරු දින සැමරුමට සූදානම් වෙමින් සිටිති. වර්තමානයේ කම්කරු දිනය අතීතයට වඩා වෙනස් එකකි. ගෝලීයකරණයට ලක්වන සමාජය තුළ ශ‍්‍රමය හා සමාජ ගරුත්වය සම්බන්ධ අලූත් ආකල්ප පැතිර යමින් තිබේ. එය වටහා ගැනීම වැදගත්ය. පාලකයන්ට යටවූ පීඩිත පැලැන්තියේ කම්කරුවන් ජීවත් වූ කාර්මික යුගය අවසන්ය. ශ‍්‍රමයට තිබුණ තැන දැනුමට ලැබෙමින් තිබේ. කයවෙහෙසා අනුන් යටතේ වැඩකිරීම වෙනුවට ජාත්‍යන්තර සමාජයේ වැඩිම අවධානයක් යොමුව ඇත්තේ නිර්මාණශීලී ආකාරයට වැඩකර නිෂ්පාදනයට දායකවන දැනුම සහිත සමාජය ගැනය. වෘත්තීය ස්වභාවය වෙනස්වීම ශ‍්‍රම වෙළද පොලේ වෙනස්කම් සහ දැනුම පදනම් වූ සමාජ ක‍්‍රමය තුළ කම්කරු දින සැමරුමට හිමි ස්ථානය නව්‍ය ස්වභාවයක් ගනිමින් තිබේ. එවැනි පසුබිමක් තුළ සිදුවන වෙනස්කම් වලට පිටුපසින් නොව ඉදිරියෙන් සිටිය යුතුවීම අප ඉගෙනගත යුතු පාඩමයි.

ලෝකය දියුණුවන විට යම් යම් යුග පසු කළේය. කෘෂිකාර්මික යුගයෙන් කාර්මික යුගයට ඇතුළු විය. ධන ධාන්‍ය වගා කරගෙන සිටි මිනිසුන් ඛනිජ සම්පත් සොයන්නටත්, එයින් කර්මාන්ත ඇති කරන්නටත් නැඹුරු විය. එය පරිවර්තනයකි. එම පරිවර්තනයේ දී ශ‍්‍රමයට ලැබුණේ ඉහළ තැනකි. ශ‍්‍රමය කැපකරන කම්කරුවා හා හාම්පුතා අතර ගැටුමක් තිබිණ. දැන් අප ඇතුළු වී සිටින්නේ දැනුම පදනම් කරගත් යුගයකටය. කම්කරු ශ‍්‍රමය යන සංකල්පය දැන් නැත. කුලය ගෝත‍්‍රය අනුව ශ‍්‍රමිකයන්ට උරුම තැන තීරණය කළ වකවානුව අවසන්ය. වැඩපොලක, සේවා ස්ථානයක පැය අටක සුපුරුදු වැඩ මුරය නැති වෙමින් තිබේ. කරන වැඩ ප‍්‍රමාණය, එහි ඵලදායීතාව හා කාර්යක්ෂමතාව අනුව උපයන්නටත් දක්ෂතාවය අනුව ආයතන තුළ පවතින්නටත් පසුබිම සැකසෙන බව පෙනේ. කම්කරු නීති යන්න යල්පැන ගිය අදහසකි. ශ‍්‍රම වෙළ`ද පොල විවෘතය. දක්ෂතාවය ඇති සේවකයන්ට තැනින් තැන ගොස් යහමින් උපයන්නට ද, වැඩට අදක්ෂයන් ආයතන වලින් ඉවත් කරන්නට ද ඉඩ කඩ නිර්මාණයවී ඇත. වෘත්තීය සමිති කි‍්‍රායාමාර්ග ගැන ද ජාත්‍යන්තරයේ අලූත් අදහස් ඇතිවී තිබේ. අයිතිවාසිකම් හිමි බව පිළිගන්නා නමුත් ආයතනයේ පැවැත්මකින් තොරව අයිතිවාසිකම් දිනාගැනීමට හැකියාවක් නැත. ආයතනයේ පැවැත්ම ගැන කළමණාකරුවන් හා සේවකයන් අතර අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීම පවතින අලූත් ප‍්‍රවනතාවයයි.

මෙම පරිවර්තනය සිදුවූයේ කෙසේදැයි විමසා බැලිය යුතුය. ආර්ථිකය සහ අධ්‍යාපනය එයට පදනම වූ බව පෙනේ. ඕනෑම රටක ආර්ථිකය දියුණුවන විට අඩු වියදමින් නිෂ්පාදනය කරන්නට හැකි ආකාරය ගැන අවධානය යොමු කරයි. මහා පරිමානයෙන් නිපදවන්නට සිදුවෙයි. වෙළද පොළට ගැලපෙන ආකාරයට අධ්‍යාපන ක‍්‍රමය හා ශිල්පීය හැකියාව වෙනස් වෙයි. දශක කිහිපයකට කලින් ශ‍්‍රමිකයන් හත් අට දෙනෙකු වුවමනා වූ කාර්ය අද කරන්නේ එක පුද්ගලයෙකු මෙහෙයවන යන්ත‍්‍රයකි. යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතා කරන තාක්ෂණය සොයාගැනීම විප්ලවයකි. තාක්ෂණ යුගයට ඇතුළුවීමෙන් මෙම දියුණුව තවත් මුහුණුවරක් ගෙන තිබේ. කලින් කම්කරුවා කළ බර වැඩ කාර්මික උපකරණ වලින් පහසුවෙන් කරගත හැකිය. පරිගණක තාක්ෂණය මගින් කාර්ය පහසුවී වී ඇත. වැඩ පොලක ඉනිමං බැදගෙන අවදානමෙන් මහන්සියෙන් වැඩකිරීම වෙනුවට එසවුම් හා කැනීම් යන්ත‍්‍ර භාවිතා කෙරේ. තත්ත්වයෙන් උසස් අන්තිම නිරවද්‍ය ආකාරයට උපදෙස් පිළිපදින රොබෝ තාක්ෂණය විශාල කර්මාන්ත ශාලා වල වැඩකරන්නට පටන්ගෙන ඇත. ලිපිකරුවන් දෙතුන් දෙනෙකු යොදවා කළ සේවය එක පරිගනක වැඩසටහනකින් කර ගත හැකිය. ගුවන් සේවා සමාගම් සිය ටිකට් පත් අලෙවිය, ගුවන් තොටුපොල පරීක්ෂණ සහ ගුවන් යානයට ඇතුළු කිරීම දක්වා සියලූ දේ පරිගණක වලට සහ උසස් දැනුමක් ඇති සුළු සේවක පිරිසකට බාර දී ඇත. සංචාරක හෝටල පවා සේවා සැපයීමට අවශ්‍යම කාර්ය මණ්ඩලයට සීමාවී තිබේ. කාමර, රෙදි පිළි සහ උපකරණ පිරිසිදු කිරීම පවා තාක්ෂණික මෙවලම් මගින් සිදු කරයි. බැංකු වල කාර්ය මණ්ඩලය සීමා වී තිබේ. යාන්ති‍්‍රිකව මුදල් තැන්පත් කිරීම හා ලබා ගැනීම කළ හැකිය. ඉන්ධන පිරවුම් හලට යන පුද්ගලයෙකු තමන්ගේ කාඞ් පතින් මිල ගෙවා තමන්ම ඉන්ධන පුරවා ගන්නා ආකාරයට පරිවර්තනය වී ඇත. දුම්රියක හෝ බස් රියක පවා ප‍්‍රවේශපත‍්‍ර මිලදී ගැනීම මගියාගේ වගකීමකි. දියුණු රටවල කරන පර්යේෂණ සාර්ථක වුවහොත් රියැදුරු රහිතව ස්වයංකී‍්‍රයව ධාවනය කළ හැකි වාහන නුදුරු කාලයේ භාවිතාවට එන බව සැකයක් නැත. මෙවැනි පරිවර්තන හමුවේ අභියෝගයට ලක්වන්නේ සම්ප‍්‍රදායික වැඩකරන ජනතාවගේ අයිතියයි. කම්කරුවන්, සේවකයන් යන මෙතෙක් පැවැති නොයෙක් වෘත්තීන් අවලංගු වෙයි. ආර්ථික අර්බුද වලට මුහුණ පෑ රටවල් යළි පිබිදෙමින් සිටින මේ දිනවල එම රටවල ආර්ථිකය නැගෙන නමුත් රුකියා හි`ගය වැඩි වන බව පෙනෙන්නට තිබේ. ප‍්‍රතිසංස්කරණ හරහා එම රටවල ආර්ථිකය දියුණු වන අතර තාක්ෂණයට කරන ආයෝජනය නිසා වැඩකරන මිනිස් ශ‍්‍රම අවශ්‍යතාව සීමා වී තිබේ.

අවුරුදු පණහකට කලින් ශ‍්‍රී ලංකාවේ පවා ආර්ථිකයේ විශාලම කොටස කෘෂිකර්මයයි. ශ‍්‍රමයට එහි තැනක් තිබිණ. පසුව කාර්මික යුගයට ඇතුළු වන විට ශ‍්‍රමය ඉතාම වැදගත් සාධකයක් විය. නමුත් දැන් ඇතුළුවෙමින් සිටින්නේ සේවා ආර්ථිකයකටය. වැඩකිරීමට එහි තැනක් ඇති නමුත් සේවය කරන ආකාරය සහමුලින්ම වෙනස්ය. උදාවන මෙම තත්ත්වය අනුව බිහිවන ශ‍්‍රමයට හිමිකම් කියන පෙලැන්ති දෙකක් පමණක් ඉදිරියේදී ඉතිරිවෙයි. එකක් යන්ත‍්‍ර හා මෙවලම් වලට හිතන්නට නොහැකි දේ සියුම්ව නිර්මාණය කරන අලූත් දෙයක් නිපදවන පරපුරයි. එම පිරිසට ඉතා හොද ඉල්ලූමක් ඇත. දෙවැන්න දියුණු සමාජය නිර්මාණය කරන මෙවලම් වලින් පැවරෙන වැඩකරන්නට හැකි පිරිසය. කෘෂිකාර්මික සහ කාර්මික යුග වලින් පසු බිහිවු දැනුම පදනම් කරගත් සමාජය තුළ පිඩිත පන්තියක් බිහිවෙයි. නමුත් කය වෙහෙසා වැඩකරන ජන කොටසක් නොවේ. රතු ධජය යටට කැදවා ''අන්තිම සටනට සැරසියව්'' කියන්නට ඔවුන් හුරු කිරීම පහසු නැත.

එම පරිවර්තනය අපට දැන් ජීවත්වන සමාජයේ සිදුවන දෙයින් පෙනේ. මැයි දිනය සම්ප‍්‍රදායික දේශපාලන සැමරුමක් පමණකි. තරුණ පිරිසගේ නියෝජනය අඩුවෙමින් තිබේ. ''ධනපතියන් භංග වේවා'' යි කියන්නට වැඩි දෙනෙකු සූදානම් නැත. ලෝකයේ දියුණු රටවල පවා ඉතාම ධනවත් ස්වල්ප දෙනෙකු ආර්ථිකයේ සියයට එකක් අයිති කරගෙන සිටින බවට විවේචන ඇතත් විවෘත ආර්ථික ක‍්‍රමය තුළ ධනය නිපදවන්නේ පුද්ගලික ව්‍යවසාය තුළින් වගට සමාජයට යම් අවබෝධයක් ඇත. වෙළ`ද පොළ, සමාගම හෝ සේවා ස්ථානය දියුණු කළහොත් තමන්ට ද එහි කොටසක් හිමිවන බව අලූත් පරම්පරාවට අවබෝධයක් තිබේ.

මැයි දිනයේ දී අලූත් අදහස් රටට ඉදිරිපත් කිරීම නිදහස් චින්තකයන්ගේ යුතුකමකි. දැනුම පදනම් කරගත් අලූත් ලෝක තත්ත්වයට ගැලපෙන ආකාරයට සටන් පාඨය වෙනස් කරගත යුතුය. ලෝක ආර්ථිකය හැරෙන අවස්ථාවේ ශෛලිය වෙනස් කිරීමට බල කළ යුතුය. කම්කරුවනි එක්වවු කියන අතර දැනුම පදනම් කර ගත් ආර්ථිකයට ඇතුළුවන පසුබිම සකස්කරන පණිවුඩය බලධාරීන්ට නිකුත් කිරීම ද බලවත් වගකීමකි. සම්ප‍්‍රදායික අරගලය තව දුරටත් වලංගු නැත. ශ‍්‍රම වෙළද පොළ වෙනස්වන අවස්ථාවක ජාත්‍යන්තරයට නුපුහුණු ශ‍්‍රමිකයන් යැවීම ශ‍්‍රී ලංකාවේ ආර්ථික බලය වී තිබීම නුසුදුසුය. දැනුම පදනම්කරගත් ලෝක ආර්ථිකයට ගලපන්නට හැකි අනාගත පරපුරක් බිහිකිරීමට හැකි ආකාරයට අධ්‍යාපන ප‍්‍රතිපත්ති සකස් විය යුතුය. රටේ සංවර්ධන ඉලක්ක යොමු කළ යුතුය. මෙරට විනිමය ඉපැයීම අනුව වැඩිම ආදායමක් ගෙන දෙන්නේ විදේශගත ශී‍්‍ර ලාංකිකයන් එවන ධනයයි. මෙම පිරිස අතරින් වැඩි ප‍්‍රතිශතයක් වැඩකරන්නේ ශ‍්‍රමය කැපකිරීමෙන් විනා දැනුම පදනමක් කරගෙන නොවන බව බැලූ බැල්මට අවබෝධ කරගත හැකිය. මෙම විදේශගත ලාංකිකයන් ගේ වෘත්තීන් නුදුරු කාලයේ දී අනතුරට ලක්විය හැකිය. මිනිස් ශ‍්‍රම අවශ්‍යතා සිමාවිය හැකි යුගයකට ගමන් කරමින් සිටින අතර මැද වකවානුවක රටට ලැබෙන විදේශ විනිමය හා රට තුළ පවතින ආර්ථික රටාව ගැන ඉතාමත් සූක්ෂම ආකාරයට ක‍්‍රියා කළ යුතුය. දේශපාලන න්‍යාය පත‍්‍ර වලංගු නැති සහ පටු විරෝධතා වලින් පලක් නැති අනාගත මැයි දින සැමරුමක් වෙනුවෙන් අද තීරණ ගැනීම බලවත් අවශතාවයකි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.