» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
27/01/2013 - ඉරිදා ලංකාදීප
ඉන්දියානු දේශපාලන සංස්කෘතියේ නූතන වෙනස්කම් - මිලින්ද මොරගොඩ

ඉන්දීය කොන්ග‍්‍රස් පක්ෂයේ වාර්ෂික සමුළුව ජායිපුර් හිදි අවසන්විම සමග එහි දී මතුවූ සංකේත ගැන නොයෙක් ආකාරයෙන් අවධානයක් යොමුව ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන එහි ගුණාංග වෙනුවෙන් පෙනී සිටින විද්වතුන් අතර සංවාදයකට ද මග පාදා තිබේ. ශ‍්‍රී ලංකාවට නුදුරින් පිහිටි කලාපයේ බලවතා වන ඉන්දියාව වර්තමානයේ දී ලෝකයේ නොමද අවධානයට ලක්ව ඇත. ආර්ථික වශයෙන් නැගෙන ආකාරය සහ ජගත් ප‍්‍රජාව අතර තම අනන්‍යතාව සලකුණු කර ගන්නට දරන ප‍්‍රයත්නය ඒ අතරින් කැපී පෙනෙයි. කොන්ග‍්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි පක්ෂ සමුළුවේදී කළ කතාව ආර්ථික පරිවර්තනය සමග සමාජ සහ දේශපාලන ධාරාව ද ගත යුතු මග දක්වයි. එම සම්මේලනයේ දී පක්ෂයේ උප සභාපති ධුරයට රාහුල් ගාන්ධි පත් කර ගනු ලැබීය. ජවහල් ලාල් නේරු පරපුරේ හතර වැනි පරම්පරාව ලෙස දේශපාලනයේ ඉදිරියට පැමිණෙන රාහුල් නව තනතුරට පත්වූ පසු කරන ලද සංවේදී අදහස් ද සැලකිල්ලට භාජනය කිරිම වටී.

සෝනියා ගාන්ධිට අනුව ඉන්දියාවේ ආර්ථික දියුණුව සමග එරට වැසියන් අතුරින් මධ්‍යම පැලැන්තියේ ජන කොටස ඉහළට පැමිණ තිබේ. සමාජයේ අලූතින් හිතන අලූත් ආකාරයට ක‍්‍රියාකරන්නට කැමති මෙම මධ්‍යම පෙලැන්තියේ ජන කොටස බුද්ධිමත්ය. වර්තමානයේ පවතින තාක්ෂණික දියුණුව හෙයින් මාධ්‍ය, අන්තර් ජාලය හා සමාජ බ්ලොග් මගින් තොරතුරු දැන ගැනීමට ඇති හැකියාව ඉහලය. රට තොට ගැන එවැනි දැනුමක් අවබෝධයක් ඇති කොටසක් සමග පැරණි පැලැන්තියේ දුප්පත් ජනතාව කොටු කරගෙන කළ සම්ප‍්‍රදායික දේශපාලනය ගැලපෙන්නේ නැත. දේශපාලන පක්ෂ යාන්ත‍්‍රණය මෙම යථාර්ථය අවබෝධ කරගැනීම වැදගත් බව සෝනියා ගාන්ධි පෙන්වා දෙන්නීය. තරුණ පරපුර දෙස අවධානය යොමු කළයුතු බවද ඇය කියයි.

පවතින දේශපාලන සංස්කෘතිය තුළින් අපේක්ෂා ඉටු නොවීම හමුවේ ඉන්දියානු තරුණන් යම් වෛරයකින් පසුවෙයි. පක්ෂ දේශපාලනයෙන් ඈත්වෙයි. සමාජ දියුණුව සහ තරුණ අවශ්‍යතා තේරුම් ගන්නා ආකාරයට දේශපාලන සංස්කෘතිය පරිවර්තනය විය යුතුව තිබේ.

කොන්ග‍්‍රස් නායිකාව පෙන්වා දෙන ආකාරයට ආර්ථික වශයෙන් දියුණුවීම සමග ගමෙන් නගරයට වන සංක‍්‍රමණය ඉහළට යයි. පුරුදු ගම ද ක‍්‍රමයෙන් දියුණු වන්නට පටන් ගනී. මේවායේ ජීවත්වන තරුණන් පවතින ප‍්‍රශ්න ගැන අවබෝධයකින් සිටින අතර ඒවාට විසදුම් ද ඔවුන් සතුව ඇති අතර ඒවා ඉටු කිරීම පහසු ව්‍යායාමයක් නොවන බව දක්වන එතුමිය අවුරුද්දක් පාසා මිලියන දහයකට පමණ අලූතින් වෘත්තීය අවස්ථා ඇති කිරීම පහසු නැති බව දක්වා තිබේ. දියුණුවන ඉන්දියාව තුළ කාන්තා නියෝජනය බරපතල එකක් බව ද කොන්ග‍්‍රස් නායිකාව දක්වන්නීය. පිළියමක් වශයෙන් කාන්තා අධ්‍යාපනය දියුණු කරන්නට, ගෙවිලියන්ගේ ජීවන තත්ත්වය නංවන්නට රජයෙන් වෙන්කළ යුතු කොටස වැඩිකළ යුතු බව දක්වයි. පාර්ලිමේන්තු නියෝජනය වැඩි කරන්නට පියවර ගත යුතු බව ද එතුමිය කියා තිබේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් පවතින රටක් වශයෙන් සමාජය තුළ සිදුවන පරිවර්තනය දේශපාලන නායකත්වය අවබෝධකර ගන්නා ආකරය මෙයින් ග‍්‍රහනය කර ගත යුතු පැත්තයි. සමාජ විකාශනයේ දී පක්ෂ දේශපාලනයට සමාජය සමග එකට ගමන්කළ නොහැකිනම් මතු වන්නේ ප‍්‍රශ්නයකි. ශ‍්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සහ නායකයන් මෙම නැඹුරුව ගැන අවධානය යොමු කිරීම වටී. පසුගිය දසක කිහිපය තුළ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ද දියුණුවට පත්ව ඇත. ඒක පුද්ගල ආදායම දෙගුණයකින් වර්ධනය වී තිබේ. ඉදිරි වසර හතර තුළ එය තවත් දෙගුණයක් වී ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 4000 ඉක්මවනු ඇතැයි තක්සේරුවයි. එවැනි පසුබිමක ශ‍්‍රී ලංකාවේ මධ්‍යම පන්තිය ගැන සැලකිල්ලක් දැක්වීම ඉතා වැදගත් කාරණාවකි. ලාංකේය ජනතාවගේ දැනුම අවබෝධය සහ ප‍්‍රශ්න කෙරෙහි ඇති ආකල්ප නොසලකා හැරීම හමුවේ දේශපාලන පක්ෂ සහ නායකත්ව කෙරෙහි ඇති විශ්වාසය පලූදු වෙමින් තිබේ. එය ශ‍්‍රී ලංකාවට, ඉන්දියාවට පමණක් නොව ඕනෑම රටකට පොදු ධර්මතාවයක් වී තිබේ. ජනතාව අවබෝධය ලබාගන්නා විට, දැනුමෙන් පොහොසත්වන විට දේශපාලන ක‍්‍රමය ගැන අවිශ්වාසය පලූදුවෙයි. විශ්වාසය තහවුරු කර ගන්නට නම් විනිවිද පෙනෙන ආකාරයට ක‍්‍රියා කිරීම වැදගත්ය. බටහිර රටවල් නව අණ පණත් ගෙන එමින් ආණ්ඩුවේ ගමන විනිවිද පෙනෙන ලෙස කි‍්‍රයාකරන්නට උනන්දුවන්නේ එබැවින්ය.

ඉන්දියානු කොන්ග‍්‍රසය පක්ෂ යාන්ත‍්‍රණය මහජනතාව දිනා ගන්නා ක‍්‍රමයක් දක්වා පරිවර්තනය කරන්නට උත්සාහ කරන්නේ ඉදිරි මැතිවරණ වෙනුවෙන් පූර්ව සූදානමකට බව පෙනේ. රාහුල් ගාන්ධි සංවේදී ලෙස මෙහි දී කතා කර තිබේ. ඔහු දූෂණය ගැන කතා කරන්නේ දුෂිතයන්ම බව කියන විට සෝනියා ගාන්ධි කියා ඇත්තේ මැතිවරණ දිනන අපේක්ෂකයන් තෝරා ගැනීමට වඩා බුද්ධිමත් සුදුසුකම් සහිත අපේකෂකයන් මැතිවරණයට ඉදිරිපත් කිරීම වැදගත් බවයි. පක්ෂයේ ජ්‍යෙශ්ටයෙකුට අලූත් අපේක්ෂකයන් නම් කළ හැකි අතර එසේ නම් කරන පුද්ගලයාගේ විනය ගැන වගකීම ඔහු බරාගත යුතු හා පක්ෂ වල මුදල් පරිහරණය ගැන පැහැදිලි යාන්ත‍්‍රණයක් අවශ්‍ය බව ද මෙහිදී පෙන්වා දී ඇත. මෙමසියලූ කරුණු බුද්ධිමත් ජනතාව ආමන්ත‍්‍රණය කරන යථාර්ථවාදී අදහස්ය. ජනතාව රවටා ඡුන්ද පදනම ආරක්ෂා කර ගැනීමට නම් පොරොන්දු පමණක් සෑහේ.

ශ‍්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ වලට ද බරපතල ප‍්‍රශ්නයක ව ඇත්තේ පාක්ෂිකයන් ගේ හිගයයි. මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කරන්නට උනන්දුව අඩුය. තරුණන් ගෙන් බහුතරය දේශපාලනය ප‍්‍රතික්ෂේප කරයි. දේශපාලනඥයන් කෙරෙහි ගරුත්වය අඩුය. සමාජයේ පිළිගත් පිරිස දේශපාලනයට සම්බන්ධවීමට කැමැත්තක් නැත. ගැටුම්, ආකෝෂ පරිභව හා මඩ ගසාගන්නා ක‍්‍රමයට ඇතුළුවීමෙන් අවාසනාවකට ගොදුරුවන බව ඔවුහු සිතන්නට පටන්ගෙන තිබේ. දේශපාලන නායකයන් සහසමාජ නියමුවන් මෙම පවතින රාමුව වෙනස් කරන්නට දායකවීම වැදගත්ය. එවැනි පරිවර්තනයක් නොකර තරුණන්ගේ අපේ්ක්ෂා බිද දැමූ අවස්ථා ගණනක දි එයට වන්දි ගෙවන්නට සිදුවූයේ රුදිරයෙනි. මෑත කාලයේ දී අවුරුදු දහයකට වරක් අවි ගත් කැරළි හටගත් අතර එයින් රටට අහිමි වූයේ අධිශ්ඨානශීලී තරුණ පරපුරකි.

මනාප ක‍්‍රමය තුළ තමන්ගේ පදනම ආරක්ෂා කරගෙන සිටින වර්තමාන දේශපාලනඥයන් ක‍්‍රමය වෙනස් කරන අලූත් දේ අත්හදා බලන්නට කැමැත්තක්් නැත. අවදානමක් ගැනීම තනතුර අහිමි කරගැනීමකි. අද දේශපාලනය සිරවී සිටින්නේ දොස් අහන, විශ්වාසය පලූදු වූ තැනකය. ජනතාවට අනුව සියලූම දේශපාලනඥයන් පොදුවේ . ලංකාවේ මැතිවරණයකට ඉදිරිපත්වීමට අවශ්‍ය අධික ධනය හා නඩත්තු කළ යුතු අනුගාමිකයන් අනුව අවංක පුද්ගලයන් පවා දූෂණයට ගොදුරුවීම වැලැක්විය නොහැකිය.

ඉන්දියානු කොන්ග‍්‍රස් පක්ෂයේ පරිවර්තනය අප සාකච්ඡා කරන්නේ ඇයි? ඉන්දියානු දේශපාලනයේ බලවත් පක්ෂ පවා ආර්ථික දියණුව සමග වැඩෙන මැද පන්තියේ බුද්ධියට ආමන්ත‍්‍රණය කරන්නට පටන්ගෙන තිබේ. එය අපට ද පාඩමකි. දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයන් මෙවැනි පරිවර්තනයකට එළැඹීම ගැන සාකච්ඡුා කළ යුතුය. දේශපාලන සංස්කෘතිය එයට සූදානම් නැති බව පෙනෙන්නේ නම් පෙළඹවිම බුද්ධිමත් සමාජයේ වගකීමකි.

ඉන්දියානු පරිවර්තනය හුදෙක් මැතිවරණයක් හමුවේ දේශපාලන පක්ෂ ගන්නා තීරණ ලෙස සැහැල්ලූවෙන් සැලකීම වැරදිය. ජනතාවට ඉදිරියෙන් සිටින සහ අනාගතය ගැන දැක්මක් ඇති පුද්ගලයන් නායකයන් විය යුතුය. දේශපාලන වේදිකාවේ දි හෝ පාර්ලිමේන්තුවේ දී කරන කියන දේ වලින් මහජනතාව හමුවේ හෑල්ලූවට පත්වන චරිත වලින් රටට දෙන නායකත්වය කුමක්ද? එවැනි කණ්ඩායමක් පත්කරගෙන ඔවුන්ට බලය පවරා රට ඉදිරියට ගෙන යන ලෙස බල කිරීම වැඩ දායකද? එවන් පරිසරයක් තුළ ආර්ථික සහ සමාජයීය දියුණුව අඩුවන විට නායකයන්ටත් රටටත් දොස් කියමින් වෙනත් රටකට ගොස් ජීවත්වන සිහිනයක පසුවීම යුක්ති සහගත නැත.

අද අවශ්‍යව ඇත්තේ පරිවර්තනයකි. සමාජය තුළින් එයට තල්ලූවක් අවශ්‍යය. යුද කාල පරිච්ඡේදයේදී ජීවිතය ගැන පමණක් අවධානය යොමු කළ රටට දැන් අනාගතය ගැන දැක්මක් ඇතිව ක‍්‍රියා කරන්නට අවශ්‍ය කාලය උදා වී තිබේ. මධ්‍යම පන්තියට ඇතුළුවන මෙරට ජනතාව මෙම පරිවර්තනයේ කොටස්කරුවන්ය. ක‍්‍රමය විවේචනය කරන අතර එය වෙනස් කිරීමට උන්නදුවක් නොදැක්වීම සතුටට කාරණයක් නොවේ. දැනුම අවබෝධය ඇති මධ්‍යම පන්තියේ ජන කොටස ස්වකීය මතය ඉදිරිපත් කර රටට දැනෙන්නට කතා කළ යුතුම මෙහොත උදා වී තිබේ.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.