» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
26/05/2013 - ඉරිදා ලංකාදීප
නිසි මග සොයා යා යුතු ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික දර්ශනය - මිලින්ද මොරගොඩ

දවස් ගෙවි යන්නේ වේගයෙනි. අලූත් අවුරුද්ද උදාවන තෙක් ඇගිලි ගනිමින් සිටියේය. අවුරුද්ද පසුවී සති ගණනාවක් පසුවී ඇත. ඒ දවස්වල ඕනෑම නිවෙසක අලූත් බලාපොරොත්තු පොදි ගැහෙමින් තිබිණ. තමන්ට හැකි පමණින් අපේක්ෂා ඉටු කර ගත්හ. දරුවන් සමග ජීවත්වෙන පවුලක වගකීම් මහත්ය. ගෘහ මූලිකයා වශයෙන් පවුලේ පියා දරුවන්ගේ උවමනා සාක්ෂාත් කරන්නට වෙහෙසෙයි. ගෘහණියට පැවරෙන්නේ පවුලේ දුක සැප සොයා බලමින් ගෘහයේ ඉපැයීම් කලමණාකරනය කිරීමයි. පවුලක රාමුව සකස් වන්නේ සියලූ දෙනාගේ සහභාගීත්වයෙනි. එය පොදු සමාජ සම්මතයයි.

දරු පවුලක සැනසිල්ලට පදනම ආර්ථික ශක්තියයි. ලැබෙන ආදායම අනුව එදිනෙදා අවශ්‍යතා සපුරා ගන්නට සිදුවෙයි. දියුණු වෙමින් පවතින ලංකාවේ සියලූම දෙනා ආදායම් අතින් සමාන නැත. වියදම්කරන ආකාරය ද එකිනෙක පවුල් හැඩගැසුන ආකාරය අනුව වෙනස්ය. දුර දිග බලා අනාගතය සුරක්ෂිත වන අයුරින් ආදායමට අනුව වියදම සකස් කර ගැනීම වටී. ජනතාව අදහන දහම අනුව අන්‍යයන්ට කරදරයක් නැතිව ජීවත්වන ආකාරය උගන්වයි. බුදු දහම එයින් විශේෂය. මධ්‍යම ප‍්‍රතිපදාව එහි වැදගත් තැනක් ගනී. ධනය උපයන යහපත් මාර්ග ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. කොතරම් ඉපැයිය හැකි වුවත් නොකළ යුතු වෙළදාම් ගැන දක්වා තිබේ. උපයන ධනය පරිහරණය කරන ආකාරය ද ධර්මයෙහි ඇතුලත්ය. බුදු දහමට අනුව උපයන ධනයෙන් කොටස් දෙකක් ජීවත්වීමටය. තවත් කොටසක් යළි ආයෝජනය කළ යුතුය. ඉතිරිය හදිසියකට ප‍්‍රයෝජනයට ගැනීමට තැන්පත් ධනය වශයෙන් ආරක්ෂා කළ යුතුය. ඉපැයීම සම්පූර්ණයෙන් ප‍්‍රයෝජනයට ගතහොත් ආයෝජනය කරන්නට අරමුදල් නැත. අලූත් ආයෝජනයක් සිදුනොවන අවස්ථාවක ආදායම වැඩි නොවේ. ඒකාකාරී ආදායම් රටාව ගිහි දිවිය ගැටලූ ඇති කරයි. දෙවනුව එවැනි ගැටලූවක් ඇති අවස්ථාවක ප‍්‍රයෝජනයට ගැනෙන්නේ තැන්පත් ධනයයි. තැන්පත් නැති අවස්ථාවක හදිසි ගැටලූවක්, විපතක්, ඇතිවූ අවස්ථාවක අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවෙයි.

පවුලක ආදායම සිමාවක් ඇත. කිහිප දෙනෙකු උපයන අවස්ථාවක නමුත් ආදායම අසීමිත නොවේ. ආදායමේ තරමට වියදම් කළ යුතුය. මාසයක්, අවුරුද්දක් වැනි කාලයක ලැබෙන ආදායමට අනුව වියදම් කරන ආකාරය කල් තබා තීරණය කිරීම යහපත් ගෘහයක සිදුවෙයි. එය අය වැය පිලියෙල කිරීමයි. ආහාර පාන වෙනුවෙන් වියදමක් දරන්නට සිදුවේ. දරුවන් ගේ අධ්‍යාපනය. පවුලේ ඇදුම් පැළදුම්, ප‍්‍රවාහනය, සෞඛ්‍ය හා පැති ගණනාවක වියදම් එයට ඇතුලත්ය. එයට අමතරව අනපේක්ෂිත වියදම් ද ඇත. උත්සවයක් සදහා දරන්නට සිදුවන වැය එවැන්නකි. මෙම සම්පූර්ණ අවශ්‍යතා සපුරා ගන්නට ආදායම සමත් නොවන විට වියදම් කපා හරී. නුවණැති පවුල්වල වියදම අඩුකරන ක‍්‍රමයක් ඇත. එවිට අඩු කරන්නේ අනවශ්‍ය වියදමයි. හැකිතරම් පිරිමසා ගැනීමයි. උත්සව පි‍්‍රය සම්භාෂණ අඩුකර ඇදුම් පැළදුම් වැනි දේ වෙනුවෙන් කරන වියදම ආදායම වැඩි වන තෙක් කල් දමයි. තවත් අයෙකුගේ ආදායම අඩුවන අවස්ථාවක වුවත් පුරුදු ක‍්‍රමයෙන් ඈත්විය නොහැකිය. සුපුරුදු ජීවන රටාව අනුගමනය කරන්නට යයි. ආදායම ප‍්‍රමාණවත් නොවන විට ණය ගන්නට සිදුවෙයි. පිළිගත් වානිජ බැංකු ණය දෙන්නේ වත්කම් හා ණය ගෙවන්නට ඇති ශක්‍යතාව තක්සේරු කර විනයක් ඇතිවය. එවැනි ණය ගන්නට හැකි සීමාවක් තිබේ. බැංකු ණය ද ගෙන ප‍්‍රමාණවත් නොවන විට අසල්වැසියන්ගෙන් ණය ගන්නට හුරුවෙයි. පළමුවෙන් අසල්වැසියෝ අනුකම්පා කරනු ඇත. ගන්නා ණය වියදම් කරන ආකාරය දෙස බලා සිටින ඔවුහු දෙවැනි අවස්ථාවක් දෙන්නේ නැත. සමාජයේ කියැවෙන පරිදි ගිණි පොලියට ණය ගන්නට සිදුවන්නේ එවිටය. ආදායමත් නැති, ණය ගන්නටත් නොහැකි අවස්ථාවල සිත්තැවුලට පත්වන්නෝ මත්පැනට හා මත්ද්‍රව්‍ය වලට නැඹුරුව ජීවිත විනාශ කර ගනී. ඉහළ පොලියක් ගෙවමින් ණය ගන්නා ඕනෑම පවුලක් ස්වකීය ආදායම හා වියදම යළි සලකා බැලීම වැදගත්ය. එය ප‍්‍රතිසංස්කරණයකි.

සාමාන්‍ය ජීවිතය ගත කළ පවුලක ඉතිරි කිරීම් අවසන් වූ පසු ණය ගන්නට සිදුවන්නේ ආදායම ප‍්‍රමාණවත් නොවන අවස්ථාවේ දීය. ආදායම නිශ්චිත නමුත් වියදම එක හා සමාන නැත. වෙළ`දපොලේ සිදුවන මිල වැඩිවීම් දරාගන්නට සිදුවෙයි. ප‍්‍රවාහන වියදම් වැඩිවන විට පුරුදු ගමනාගමන ක‍්‍රමය වෙනස් කරන්නට සිදුවෙයි. එය පහසු නැත. පුද්ගලික වාහනයක ගමන්කළ කෙනෙකුට පොදු ප‍්‍රවාහනයට හුරුවීම කැපකිරීමකි. සුපිරි වෙළද සැල් වලින් භාණ්ඩ මිලදී ගනිමින් සිටි පවුලක ආහාර වියදම් අඩු කරගන්නට නම් සති පොළට ගොස් වෙළෙන්දන් සමග හෙට්ටු කර අඩු මිලට භාන්ඩ මිලදී ගන්නට හුරුවිය යුතුය. අද නැතත් තව ටික දිනකින් අතට ලැබෙන ආදායම වැඩිවිය හැකිය යන අපේක්ෂාවෙන් පුරුදු චර්යාවන් කරගෙන යන පවුලක් නොදැනීම ණය චක‍්‍රයකට ගොදුරු විය හැකිය. ඉඩ කඩම් විකුණමින්, රැස්කරගත් ධනය විනාශ කරමින් සැපට ජීවත්වන පවුල් අපට සමාජයේ දී හමුවෙයි. පරම්පරාවෙන් උරුම වූ දෙය විනාශ කරන හා යළි නැගෙන්නට නොසිතා කි‍්‍රයාකරන අය අපට සමාජයේ දී හමුවෙයි. බහුතරයක් ඔවුන් දෙස බලන්නේ පි‍්‍රයතාවයකින් නොවේ. අතමාරුවක් ඉල්ලන්නට එතැයි මග හරියි. දේපලක් විකුණන්නට අත්සාහ කරන බව දැනේ නම්, අඩු මිලට ගන්නට ගන්නට අතරමැදියෝ එකතු වෙති. මෙය සාමාන්‍ය තත්ත්වයයි.

සමාජ අවබෝධයක් ඇති නුවණැති පුද්ගලයෝ මෙවැනි දියුණුවක් නැති පවුල් වලට උපදෙස් දෙන අවස්ථා ඇත. වියදම් අඩුකරන මග අවවාද ලෙස දෙති. වියදමට සරිලන ලෙස ආදායම වැඩි කරගන්නට නම් ගත යුතු පෙන්වති. අලූතින් ආදායමක් උපයාගන්නට මහන්සි වී අලූත් ව්‍යාපාරයක නිරත විය යුතුය. කරගෙන යන ආදායම් උත්පාදන ව්‍යාපෘතියේ ආදායම වැඩි කරගන්නට නම් ඵලදායීතාව, කාර්යක්ෂමතාවය ගැන අවධානය යොමු කරන ලෙස විද්වත්හු බල කරනු ඇත.

ගමක හරස්කඩක් ගෙන මැනවින් නිරීක්ෂණය කළහොත් ආදායම වියදම ගලපාගෙන සමබරව ජිවත්වන්නන් හ`දුනාගත හැකිවේ. තවත් පිරිසක් අලූත් අලූත් දේ කරමින් වැඩි වැඩියෙන් උපයා ඉක්මනින් ධනවත් වන්නට තැත් දරති. අධෛර්යවත් හා උකටලී ජන කොටස ලැබෙන ධනය වියදම් කරමින් ණය ගනිමින් පරිහානියට පත්ව සිටී. ගමක ආර්ථිකය මෙම කණ්ඩායමයි. උත්සාහවන්ත මිනිසුන් ගමේ දියුණුවට පදනමයි. ඔවුහු නිපදවති. එයින් ආදායම් උපයාගෙන අලූත් ව්‍යවසාය වෙනුවෙන් ආයෝජනය කරති. වැඩිපුර උපයන දෙයින් දුප්පතුන්ට බෙදා දෙන අතර පොදු පහසුකම් නංවන්නට ද වියදම් කරති. ගමේ රාමුව පලාතට ව්‍යාප්ත කරන විට ද තත්ත්වය මෙයට නොවෙනස්ය. අවසානයේ දී රටට ගලපා ගත යුතු ද මෙම රාමුවයි.

ශ‍්‍රී ලංකාව නිදහස ලබන විට ආසියාවේ දියුණු රටකි. එදවස සිංගප්පූරුව, කායිලන්තය, ඉන්දුනීසියාව, දකුණු කොරියාව වැනි රටවල ඒක පුද්ගල ආදායම ශ‍්‍රී ලංකාව අඩුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතින් ද ආසියාවේ වැඩි ඉතිහාසයක් ඇත. රටට හො`ද ආදායමක් තිබිණ. ආදායම රටට ප‍්‍රයෝජනවත් ආකාරයට ආයෝජනය කරන්නට ආණ්ඩු පියවර ගත්තේ නැත. සුබසාධනයට යහමින් යෙදවිණ. දේශපාලන බලය ආරක්ෂා කරගැනීම එහි අරමුණයි. නොමිලේ අධ්‍යාපනය, නොමිලේ සෞඛ්‍ය නොමිලේ හාල් ඇතුලූ අංශ ගණනාවක් මහජනතාවට සැපයින. ඒවා අඩු කරන ආණ්ඩු අප‍්‍රසාදයට පත්වෙයි. ආන්ඩු බලයට පත් කරන්නට හා බලයෙන් පහ කරන්නට හාල් සේරුවට, පාන් රාත්තලට හැකිවිය. දේශපාලන සුබසාධන ව්‍යාපෘති වලට රජය උපයන ආදායම වැය කරන විට ආයෝජනය අඩුවිය. ජනතාව තුළ කැපවීම, මහන්සිවී ඉපැයීම, ව්‍යවසායකයන්වීම යන ආකල්ප වෙනුවට රජයේ සේවයට ඇතුල්වීම, සහනාධාර ලබාගැනීම යන අදහස් පැතිර ගියේය. ආණ්ඩුව සම්පූර්ණ සමාජය බලා ගත යුතුය හා ඒ වෙනුවෙන් මහන්සිවීම රජයේ වගකීමක්ය යන අදහස සමාජය තුළ තහවුරු වී තිබේ. එහි අඩුවක් වන විට විරෝධතාය. කැරලිය. ගැටුම් හා ත‍්‍රස්තවාදය ඇවිලිණ. ජනතාවට ඉදිරියෙන් සිටියයයුතු නායකයෝ ජනතාව පසුපස යමින් මහජනතාවගේ ඡන්දයෙන් යැපෙන මට්ටමට පත්විය. ඉසුරුවත් ශ‍්‍රී ලංකාව පසුගිය දශක හය තුළ පැමිණි ගමන හා ආසියාවේ සෙසු රටවල් ගමන්කළ දුර සසදා බැලීම වටී. කොළඹ නගරය තරම් කුඩා සිංගප්පූරුව අද ලෝකයේ මූල්‍ය කේන්ද්‍රයකි. ලෝකයේ හොදම ගුවන් සේවය පවත්වාගෙන යයි. සිංග්පූරුව, ලෝකයේ හොදම සෞඛ්‍ය සේවාව හා ප‍්‍රවාහනය ඇති රටවල් අතරින් එකකි. අවුරුද්දකට සිංගප්පූරුවට පැමිණෙන සංචාරකයන් ගණන මිලියන ගණනින් ගණන් බැලේ. වැලි කතරක් වූ ඩුබායි අද විශාලතම සේවා ආර්ථිකයකි. සංචාරක කලාපයකි. මැලේසියාව, තායිලන්තය වැනි රටවල් විස්මිත පෙරැළියකය. දකුණු කොරියාව කාර්මික හා තාක්ෂණික පැත්තෙන් විශාල ප‍්‍රගතියක් පෙන්වා ඇත. ශ‍්‍රී ලංකාවේ පුරවැසියන් දැනුමෙන් පොහොසත්ය. අධ්‍යාපනය ඇත. කැපවී වැඩ කරති. මෙම පිරිස අවස්ථා සොයා මෙම දියුණු වූ රටවලට යති. එහි වැඩකරන ලාංකිකෙයෝ රටට එවන මුදල අද රට විදේශ විනිමය උපයන ප‍්‍රධානම මගයි. එය නූතන වහල් සේවාවකි.

ශ‍්‍රී ලංකාව අලූත් මගක් ගත යුතුව තිබේ. සමාජ ආර්ථික දියුණුවයි. එය වර්තමානයෙන් එපිට යුගයකි. අලූත් යුගයක් කරා ගමන් කරන්නට සමාජයට උවමනාවක් තිබිය යුතුය. එවැනි උවමනාවක් සමාජය තුළ ඇතිකළ හැක්කේ සමාජ නායකයන්ටය. වර්තමාන ඛේදවාචකය පහදා දී අනාගත පරපුර වෙනුවෙන් පවතින ක‍්‍රමය වෙනස් කරන්නට හැකි එවිටය. නිසි ප‍්‍රතිපත්ති සහිත සමාජ විප්ලවයකින් පරිවර්තනයක් කළ හැකිය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.