» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
26/01/2014 - ඉරිදා ලංකාදීප
චීනයේ සිදුවන වෙළඳ පොළ ප‍්‍රතිසංස්කරණ වල බලපෑම වටහා ගැනීම - මිලින්ද මොරගොඩ

වර්තමානය ශ‍්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජ තත්ත්වයන් අලූත් ආකාරයේ අභියෝග ගණනාවකට මුහුණ දෙමින් සිටින වකාවානුවකි. මැදි ආදායම් රටක් වශයෙන් පරිවර්තනය වී තිබේ. දුප්පත් රටක් වශයෙන් ගත කළ කාළය තුළ ජනතාවගේ කුසගින්න ගැන අවධානය යොමු කළ යුතු විය. නමුත් දැන් පොදු ජනතාවගේ අභිමතාර්ථ ගැන උනන්දුවක් දක්වන්නට ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට සිදුව තිබේ.

ශ‍්‍රි ලංකාවේ ආර්ථික සහ සමාජ පරිවර්තනය උදෙසා චීනයෙන් උපයෝගී කරගත හැකි අත්දැකීම් රාශියක් ඇති බව නිරීක්ෂණය කළ හැකිය. විශාල ජනගහනයක් ඇති රටක් වශයෙන් එරට තුළ වෙනස්කම් ඇති කරන අතරතුර ජාත්‍යන්තර ප‍්‍රජාව හමුවේ දැවැන්ත බලවේගයක් වශයෙන් චීනය මතු වෙමින් තිබේ. එය විශේෂිතය.

චීන ශ‍්‍රී ලංකා සබඳතා වලට සෑහෙන ඉතිහාසයක් ඇත. වර්තමානයේ දී එය තවත් වර්ධනය වී ඇත. මෑත කාලය තුළ මෙරට සංවර්ධන යෝජනා ක‍්‍රම වෙනුවෙන් චීන රජය දැක්වූ සහයෝගය කැපී පෙනෙන එකකි. දැඩි පාලනයක් සහිත අවෘත ආර්ථිකයක සිටි චීනය වෙළඳ පොල දිනන මාවතට අවතීර්ණ වී ඇත්තේ කෙසේද? එය අධ්‍යයනය කිරීම අවශ්‍යය.

චීනයේ පාලන ක‍්‍රමය ඔවුන්ට ආවේනික එකකි. කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම කමිටුව තීරණ ගනී. එකී තීරණ අනුව ජනාධිපතිවරයා පත්වන අතර සාමාන්‍ය ජනතාව එම කි‍්‍රයාවලියට එකතු වන්නේ නැත. පක්ෂය නම් කරන නායකයා දස වසරකට චීනයේ පාලකයා බවට පත්වෙයි. පක්ෂය අලූත් නායකයා සොයාගන්නේ දීර්ඝ කාලීන ක‍්‍රමවේදයකට අනුවය. කොමියුනිස්ට් පක්ෂ සංවත්සරයේ දී පත්වන නව නිලධාරීන් 376 දෙනෙකු ප‍්‍රධාන වශයෙන් සැසිවාර තුනකට සහභාගීවෙයි. පළමුවැන්න ජනාධිපතිවරයා තෝරා ගැනීමයි. දෙවැනි සැසියේ දී පක්ෂ ප‍්‍රතිපත්ති සහ පවතින සමාජ විග‍්‍රහයක නිරත වෙයි. තුන්වැනි සැසිය ආර්ථික සහ සමාජ දර්ශනය අවුරුදු දහයකට සැලසුම් කිරීමට වෙන්වෙයි. දස දිනක් පැවැත්වෙන තුන්වැනි සැසියේ දී ගන්නා තීන්දු චීන ආර්ථිකය සහ සමාජය ගමන් කරන දිසාව තීරණය කරන එකකි. එය කරන්නේ පක්ෂ අභ්‍යන්තරයේ සිදුවන සාකච්ඡුා වට ගණනාවකින් ඉනික්බිතිවය. ආර්ථික ප‍්‍රතිසංස්කරණ සම්බන්ධව පුලූල් තීන්දු ගැනෙන තුන්වැනි සැසිවාරය පසුගියදා අවසන් විය. එම සැසිවාරයේ දී සාකච්ඡුා කළ කරුණු පදනම් කරගනිමින් ''වෙළඳ පොළ තීරණාත්මකය'' යන ප‍්‍රතිපත්තියට චීන පරිපාලනය ප‍්‍රවේශ වී සිටී.

70 දශකයේ අග භාගයේ දී ඩෙන් ෂියාවෝ පෙන්ග් චීන ආර්ථිකය විවෘත කළ අතර එම වකවානුවේ දී වෙළඳ පොළ ''වැදගත් සාධකයක්'' යන ප‍්‍රතිපත්තියේ පිහිටියේය. එදා සිට අද දක්වා කාලය තුළ වෙළඳ පොළ වැදගත්ය යන තීන්දුවේ සිට වෙළඳ පොළ තීරණාත්මකය යන ප‍්‍රතිපත්තිය දක්වා මාරුවීම සුවිශේෂී අවධානයට ලක් විය යුතුය. බළලා මීයන් අල්ලනවානම් අවශ්‍ය එය පමණක් බව දක්වමින් ඩෙන් ෂියාවෝ ආර්ථික ප‍්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කරන ලද අතර පසුව ඔහු අවධාරණය කළේ ග`ග තරණය කරන විට ගලින් ගලට පනිමින් සීරු මාරුවෙන් එය කළ යුතු බවය. කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් ගේ අධ්‍යයන අනුව යමින් පසුගිය දශක හතරක ගමන තුළ චීන ආර්ථිකට කැපී පෙනෙන වෙනසකට ලක්ව තිබේ.

චීන ක‍්‍රමයේ දී ආර්ථික ක‍්‍රමයේ දී සමාජ ස්ථාවරත්වය හා ආර්ථිකය ගැන බෙහෙවින් සැලකිල්ලක් දක්වයි. දැනට එරට දියුණුව මුහුදුකරය හා ඇතැම් ප‍්‍රාන්තවල ඉහළ ප‍්‍රතිශතයක පවතින අතර තවත් ප‍්‍රාන්තවල ඇත්තේ අඩු සංවර්ධනයකි. සමස්ථයක් වශයෙන් දියුණුවක් පෙනෙන නමුත් ඇති නැති පරතරය තරමක් වැඩිවෙමින් තිබේ. එරට මධ්‍යම පැලැන්තියට එකතුවන ජනකොටස තුළ ඇති බලාපොරොත්තු වෙනස් බව පැහැදිලිය.

වෙළඳ පොළ හැසිරීම තීරණාත්මකය යන කරුණ අනුව සැලසුම් කරන චීනය මෙවර සැසිවාරවය පසු පවතින සම්පත් ප‍්‍රයෝජනයට ගැනීමේ දී වෙළ`ද පොළ වටිනාකම පදනම් කරගත යුතු බව ප‍්‍රකාශ කරයි. ඒ අනුව ජලය, ඛනිජ තෙල් සහ ගෑස් වැනි දේ ජනතාවට සැපයීමේ දී වෙළඳ පොළ මූල ධර්ම අනුගමනය කරමින් වියදමේ මිළ පියවා ගැනීමේ ක‍්‍රමවේදයකට අවතීර්ණ වනු ඇතැයි සැලකේ. එය සහන මත සැපයීමට වෙනස් පිළිවෙතකි.

ජනගහනයේ ප‍්‍රතිශතයක් වශයෙන් වැඩි වයස් සහගත කොටස ඉහළයාම අවධානයට ගෙන ඇති අතර පවුලකට එක දරුවෙක් යන උපත් පාලන සංකල්ප ලිහිල් කරන්නට පෙළඹෙනු ඇති බව අනාවරණය වෙයි. විශාල ජනගහනය සහ වසර 2020 වන විට එයින් සෑහෙන ප‍්‍රතිශතයක් වයස්ගත අය බවට පත්වීම චීන ආර්ථිකයට ප‍්‍රශ්නයකි. චීනයේ නාගරික ප‍්‍රදේශ වල පවුලකට එක දරුවෙක් පමණක් යන ප‍්‍රතිපත්තිය අනුව උපත් සීමා කර තිබිණ. ගම්බද ප‍්‍රදේශවල එය තරමක් ලිහිල් එකක් වූයේ කෘෂිකර්මයට සිදුවන බලපෑම සලකාය. චීනය තුළ වයස අවුරුදු හැටට වැඩි පිරිස සියයට 12.5 ක සිට සියයට 20 දක්වා වසර 2020 කාලය වනවිට පරිවර්තනය වනු ඇතැයි සැලකේ. ජනගහනයෙන් පහෙන් එකක් විශ‍්‍රාමිකයන්ය. පවුලක සිටින දරුවන් ගණන අඩු සමාජයක වැඩිහිටියන් බලාගැනීම පහසු නැත.

දියුණුව සොයා ගමෙන් නගරයට සංක‍්‍රමණය චීන වැසියන්ට ගමේ තිබුණ ඉඩම් විකුණා අයිතිය අත්හැර දැමීම තහනම් කර තිබූ නීති පද්ධතිය ද ඉදිරියේදී ලිහිල් වනු ඇත. සුළු වැරදි වලට වැඩ කඳවුරු වලට යොමු කරන පැරණි ක‍්‍රමය ද අත් හැර දමන්නට තීරණය කර තිබේ. මෙම අලූත් තීන්දු වලින් චීනය වෙළඳ පොළ න්‍යාය අනුව හැසිරෙන ආකාරය මනාව පැහැදිලිවෙයි. නිෂ්පාදනය, පාරිභෝගිකයා සහ ඉල්ලූම සහ සැපයුම අනුව මිල තීරණය කරන ප‍්‍රතිපත්තිය යහපත් බව පිළිගෙන තිබේ. සියලූම දෙයට මිලක් ඇති අතර මිල පාලනයෙන් හෝ නීති පනවා සීමාකිරීමෙන් අනවශ්‍ය පීඩනයක් ආර්ථිකයට ඇතිවන බව තුන්වැනි සැසිවාරය අවසානයේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගෙන ඇති නිගමනය බව දැකගත හැකිය.

චීන ආණ්ඩුව වේගයෙන් පෞද්ගලික ව්‍යවසාය වලට ඉඩදීම සම්බන්ධව තීරණ ගනිමින් සිටී. ආර්ථිකයේ තරගකාරීත්වය ඇතිකිරීම අවශ්‍ය බව සහ පුද්ගලික ව්‍යවසාය සමස්ථ ආර්ථිකයේ කැපී පෙනෙන කොටසක් බව පිළිගෙන ඇත. 1997 පැවැති මෙවැනිම ආර්ථික ප‍්‍රතිසංස්කරණය සම්බන්ධ තුන්වැනි සැසියක දී එරට ආණ්ඩුව සතු අසාර්ථක සහ අලාභ වාර්තා කරන ආයතන පුද්ගලීකකරණය කළ යුතු බවට තීන්දු කළේය. එවකට ආයතන දෙලක්ෂ පනස් දහසක් තිබී ඇති අතර එයින් හරි අඩක් එනම් එක් ලක්ෂ විසිපන්දහසක් පසුගිය කාලය තුළ රජයේ පාලනයෙන් ඉවත් කර පුද්ගලීකකරණය කර තිබේ. දේපොල රජය සතු විය යුතුය යන සංකල්පයෙහි පිහිටා ක‍්‍රියා කරමින් සිටි මහජන චීනය මෙවැනි පරිවර්තනයකට ලක්වීම ජාත්‍යන්තර ප‍්‍රජාවගේ විශේෂ අවධානයට හේතු වූ බව සඳහන් කිරීම වැදගත්ය.

චීනය අනුගමනය කරමින් සිටින ක‍්‍රමය අනුව ඩෙන් ෂියාවෝ පෙන්ග් ඇති කළ නව ආර්ථික දැක්ම රට තුළ ක‍්‍රමානුකූලව විහිදෙන්නට පටන්ගෙන තිබේ. එය ක්ෂණිකව සිදුවූ වෙනසක් නොවේ. ක‍්‍රමානුකූලව පියවරෙන් පියවර වාර්තා වූ එකකි. සමාජය ඉදිරියට ගමන් කරන විට ලෝකය සමග විවෘත වන අතර අලූත් පරම්පරාව එකතු වන්නේ සමාජ ගෝලීයකරණයෙන් උදාවන අවස්ථා වලටය. ආර්ථිකය පුලූල් වන විට දුෂණ වංචා සම්බන්ධ ගැටලූ මතුවන ආකාරය ද චීනයට ප‍්‍රශ්නයක් විය. විශේෂයෙන් ප‍්‍රාදේශීය මට්ටමේ දී සිදුවන ප‍්‍රතිසංස්කරණ වලදී පක්ෂයේ ඇතැම් අංශ අක‍්‍රමිකතා වලට නැඹුරු වූ අතර මෙවර පවත්වන ලද සැසිවාරයේ දී ප‍්‍රතිසංස්කරණ ජාතික මට්ටමින් ක‍්‍රියාත්මක කරන්නට ගෙන ඇති තීරණය එයට විසඳුමක් සපයනු ඇතැයි විශ්වාස කෙරේ.

විශාල ජනගහනයක් සහිත චීනයේ පොදු ජනතාවගේ අපේක්ෂා එකිනෙකට වෙනස්ය. දීර්ඝ ඉතිහාසයක් ඇති චීනය සැහෙන කාලයක් එහි එක් එක් කොටස් බි‍්‍රතාන්‍ය, ජපානය වැනි රටවලට යටත්ව සිටියේය. එම කාලය තුළ අචීනයේ ආත්ම ගෞරවය පලූදු වූ බව පිළිගැනීමයි. රට අධිරාජ්‍යවාදයෙන් නිදහස් කරගන්නට කොමියුනිස්ට් විප්ලවයට හැකිවිය. විප්ලවයේ දී ජීවිත හා දේපොල විශාල වශයෙන් විනාශ වූ අතර සමාජය තම නිදහස වෙනුවෙන් ගෙවන ලද වන්දිය මහත් එකකි. විප්ලවයට පසු එරට කොමියුනිස්ට් පක්ෂය අවතීර්ණ වූ ක‍්‍රමය දෙස ලෝකය මහත් අවධානයෙන් බලා සිටියේය. ප‍්‍රතිසංස්කරණ රැුල්ලක් කි‍්‍රයාත්මක විය. ප‍්‍රතිවිප්ලවයක් සිදුවිය. සංස්කෘතික අතින් විශාල මතවාද නැගෙනු ජගත් ප‍්‍රජාව බලා සිටියේය. අද තාක්ෂණය සහ සන්නිවේදනය චිනය තුළ තවත් විප්ලවීය මතවාද ඇති කර තිබේ. බටහිර සිදුවන දේ කුමක්ද යන්න චීනයේ අලූත් පරම්පරාව අධ්‍යයනය කරමින් සිටී. එයට මුහුණ දෙමින් ආර්ථිකය සහ සමාජය ගොඩනැගීම චීනය මුහුණදී ඇති අභියෝගයයි.

චීනයේ දේශපාලන සහ ආර්ථික දර්ශනය පදනම් වී ඇති අකාරය අප අධ්‍යයනය කළ යුතුය. වෙළඳ පොළ සාධයක වැදගත්ය යන තැන සිට වෙළඳ පොළ තීරණාත්මක සාධකයක් යැයි කියන තැනට චීනය පත්වන විට ශ‍්‍රී ලංකාවට වෙළඳ පොළ න්‍යායෙන් මිදී හුදෙකලා වන්නට අවස්ථාවක් නැත. පවතින සම්පත් සීමිතය. ජනතාවගේ අසීමිත අපේක්ෂා ඉටු කරන්නට මෙම සම්පත් භාවිතා කිරීමේ දී යම් මිලක් ගෙවන්නට සිදුවෙයි. මිළ තීරණය කළ යුතු වෙළඳ පොලය. රජය පමණක් නොව පුද්ගලික අංශය ද එහි කොටස් කරුවන් විය යුතු අතර කාර්යක්ෂමතාව සහ උපරිම ඵලදායීතාවයෙන් ක‍්‍රියාත්මක වීඹ සම්බන්ධයෙන් ගෝලීය ආර්ථිකයෙන් දෙන පාඩම අප කිසිසේත් අමතක කළ යුතු එකක් නම් නොවේ.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.