» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
24/11/2013 - ඉරිදා ලංකාදීප
පරිසර හිතකාමී ප‍්‍රවාහනයට දිරි දියයුතු වැඩපිළිවෙලක් - මිලින්දමොරගොඩ

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවාහනය අධිවේගී මාර්ග භාවිතය දක්වා පරිවර්තනය වෙමින් තිබේ. දකුණු අධිවේගී මාර්ගය ඉදිකර එය භාවිතා කිරීමෙන් අලූත් අවස්ථා ගැන හැගීමක් ඇතිකරගත් ජනතාවට අධිවේගී මාර්ගය භාවිතාකර ගුවන් තොටුපොල දක්වා ගමන් කිරීමට දැන් පහසුකම් සැලසී තිබේ. පවතින සැලසුම් අනුව ඉක්මනින්ම කොළඹ නගරය වටා පහසුකම් සහිත අධිවේගී මාර්ගයක් තනා අවසන් කරනු ඇති අතර එය නුවර සහ යාපනය දක්වා දීර්ඝවනු ඇත. ලාංකිකයන්ට රට තුළ සැරිසරන්නට ගතවන කාලය අඩු වන අතර එයින් රටට අත්පත්වන ආර්ථික ප‍්‍රතිලාභ සැලකිය යුතු තරම්ය.

මෙරට ප‍්‍රවාහනය අධිවේගී මාර්ගයට යොමුවන අතරතුර ජාත්‍යන්තර සමාජයේ ප‍්‍රවාහනය පරිසර හිතකාමී සහ බලශක්තිය සුරකින එකක් බවට පරිවර්තනය වෙමින් තිබේ. නුදුරෙහිදීම එහි අත්දැකීම් මෙරටටත් පොදු භාවිතාවක් වනු ඇත. ප‍්‍රවාහනය අධිවේගී මාර්ගයෙන් ඉක්මන්වන අතරතුර ජාත්‍යන්තරයේ මතුවන ප‍්‍රවනතා සම්බන්ධයෙන් ද අවධානය යොමුකළ යුතුය. පොසිල බලශක්තිය එනම් ඉන්ධන පිරිවැය බිංදුවක්වන සහ රියැදුරන් රහිතව ස්වංකී‍්‍රය පාලනයෙන් යුත් යාන වාහන නිපදවෙමින් තිබේ. ජාත්‍යන්තර ප‍්‍රජාව එවැනි යුගයකට ප‍්‍රවේශවන විට පොසිල ඉන්ධන පිරිවැය ඉහළ තත්ත්වයේ වාහන පාවිච්චිකරන තුන්වන ලෝකයේ නොදියුණු රටක් වශයෙන් ශ‍්‍රී ලංකාව වර්ගීකරණය වන්නට ඉඩ කඩ තිබේ. ධනයෙන් පොහොසත් වනඅතරතුර බලශක්ති අරපරෙස්සම දියුණුව මනින මිනුම් දණ්ඩක් වියහැකිය.

යුගයෙන් යුගය ගතවන විට මනුෂ්‍ය අවශ්‍යතා වෙනස් මුහුණුවරක් ගෙන තිබේ. ගංගානිම්න ආශි‍්‍රතව ජීවත්වූ මානව ශිෂ්ටාචාරය එයින් ඔබ්බට ඇවිදයන්නට පටන්ගත්තේය. නව සොයාගැනීම් සමග ප‍්‍රවාහනය වේගවත් විය. ප‍්‍රවාහනයට යෙදවෙන බලශක්තිය සහ බලශක්ති ප‍්‍රභව සම්බන්ධයෙන් කෙරෙන පර්යේෂණ මානව සංහතියේ විප්ලවීය වෙනස්කම් ඇතිකර තිබේ. ඛනිජ තෙල් භාවිතාකරන යුගයක් පසු කරමින් සිටින වර්තමානය දැන් පුනර්ජනනීය බලශක්තිය ගැන සාකච්ඡා කරමින් සිටී. දිනපතාම අලූත් සොයා ගැනීම් කරයි. එල්. එන්. ජී. ගෑස් සොයා ගැනීමේ තාක්ෂණය වැඩිදියුණු කර ඇත. ඉන්ධන වෙනුවට එතනෝල් නමැති ජීව ඉන්ධන භාවිතා කිරීමට නොයෙක් රටවල් පියවරගෙන තිබේ. බඩඉරි`ගු හෝඋක් ගස් වලින් නිපදවන එතනෝල් වාහන ධාවනයට යොදවා ගැනීම පරිසරයට හිතකර අතර එය පොසිල ඉන්ධන අවසන්වීමෙන් මතුවියහැකි අර්බුදයට ද පිලියමකි. මේ අතරතුර ඉන්ධන පිරිවැය අඩු කරමින් ධාවනයවන වාහනයේ දී නැවත ආරෝපනය වන බැටරියකින් ධාවනය කරන වාහන සාර්ථකව අත්හදාබලා ඇත. දෙමුහුන්, නොඑසේනම් හයිබී‍්‍රඞ් යනු වෙන්හැ`දින්වෙන මෙම වාහන අපරට තුළ ද වේගයෙන් ප‍්‍රචලිත වෙමින් තිබේ. තවත් පියවරක් ඉදිරියට තබමින් සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක‍්‍රියාකරන වාහන වෙළ`ද පොළට පැමිණ ඇත. ලංකාවේ ධාවනයට ද එකතු වී ඇති සැහැල්ලූ වාහනය එක වරක් ආරෝපනය කිරීමෙන් කිසිදු ශබ්ධයක්, දුමක් රහිතව කිලෝමීටර් 65 ක් පමණ ගමන් කළහැකි බව ප‍්‍රකාශවෙයි. බලශක්තිය ඉතිරි කරන පරිසරය ආරක්ෂාකරන මෙවැනි වාහන පොදු ජනතාවගේ පරිහරණයට එකතු වන්නටකල් ගත වෙයි. එයට හේතුව ඒවායේ අධික මිළ ගණන්ය.

ජාත්‍යන්තර සමාජය පරිවර්තනය වනවිට එහි ප‍්‍රතිඵල අපේ රටට ද ඉක්මනින්ම හිමි විය යුතුය. පොදුජනතාව එහි වාසි අත්වි`දිනවිට ආර්ථිකයට පරිසරයට සහ සුරක්ෂිතතාවය ගැන අලූත් අවධානයක් යොමුවනු ඇත. ශ‍්‍රී ලංකාව වාර්ෂිකව රුපියල් බිලියන හය ඉක්මවන ඉන්ධන ප‍්‍රමාණයක් ආනයනය කරයි. රටට ගෙන්වන වාහන ප‍්‍රමාණය ද දිනෙන් දින වැඩිවෙයි. එයට වැයවන මුදල ද විශාලය. අවුරුද්දක් පාසා රටින් පිටට යන විදේශ සම්පත් ප‍්‍රමාණය සැලකියයුතු තරම්ය. අධික ඉන්ධන වියදම් වන සහ පරිසරයට හානි කරන වාහන අඩු කරන්නට පියවර ගත හැකිනම් වාසියකි. සම්පූර්ණයෙන් ම විදුලියෙන් ධාවනය වන හෝ දෙමුහුන් වාහන ආනයනයට දිරිමත් කිරීම වැදගත්ය. පොසිල ඉන්ධන වෙනුවට එතනෝල් වැනි නව ප‍්‍රභේධකරා යොමු කිරීම අවශ්‍යය.

ප‍්‍රවාහනය අලූත් කරන සහ බලශක්තිය පිරිමැසුම්දායක වැඩපිළිවෙල ස`දහා ප‍්‍රතිපත්ති තීරණවලට එළැඹීම අවශ්‍යය. ඉන්ධන පරිභෝජනය වැඩි වාහන ආනයනය කරන විටඒවා අධෛර්යයට පත්කරන බදු පැනවිය යුතු අතර විදුලියෙන් හෝ දෙමුහුන් තාක්ෂණයෙන් ධාවනය වන වාහන ගෙන්වන විට බදු සහන සපයා දිරිදිය යුතුය. දැනටත් රජය අය කරන්නේ යම් සහනදායී බදු ප‍්‍රතිශතයක් පමණකි. එය තවත් පියවරක් ඉදිරියට තැබීම වරදක් නැත. එයින් අහිමිවන බදු ආදායම රටට ඉන්ධන ආනයනය අඩු වීමෙන් වාසියක් වෙයි. දුම සහ ශබ්ධයෙන් වන පරිසර හානි වැලකීම තවත් ප‍්‍රයෝජනයකි.

ඉන්දියාවේ බලශක්ති ඇමතිවරයා ඉන්ධන භාවිතය අඩුකරන සංකල්පයක් ඉදිරිපත් කළේය. ඔහු තම කාර්ය මණ්ඩලය සමග සතියකට එක් දිනක් පුද්ගලික වාහන භාවිතා නොකර පොදු ප‍්‍රවාහන සේවා වලින් කාර්යාලයට පැමිණෙන්නට තීරණයකර තිබේ. එයින් සංකේත වශයෙන් වාහන අඩු වන අතර ඉන්දියාවේ වාර්ෂික ඉන්ධන ආනයන වියදම සුළු ප‍්‍රමාණයකින් හෝ අඩුකර ගත හැකිවෙතැයි අපේක්ෂාකරයි. මෙම අපේක්ෂාවට තවත් ඉන්දියානුවන් එකතු වුවහොත් එය විශාල වැඩ පිළිවෙලක්වනු ඇත. නෙදර්ලන්තය, බි‍්‍රතාන්‍ය සහ ඇමරිකාව වැනි රටවල් වාහන වෙනුවට පාපැදිය ජනප‍්‍රිය කරන සංකල්ප අනුගමනය කරන්නට පටන්ගෙන තිබේ. නෙදර්ලන්තයේ ග්‍රොනින්ගන් නගරය සම්පූර්ණයෙන් ම වාහන ධාවනය අධෛර්යවත් කරන ආකාරයට සැලසුම්කර ඇත. වටරවුම් පාරකින් වාහන ගමන් කළයුතු අතර නගරය මැද සම්පූර්ණයෙන්ම වෙන්කරඇත්තේ පාපැදිවලටය. ලන්ඩන් නගරයේ පාපැදි සංස්කෘතියක් ඇතිකරන්නට නගරාධිපති බොරිස් ජොන්සන් කි‍්‍රයාකරමින් සිටී. පාපැදියේ ගමන ජනප‍්‍රියකරන වැඩසටහනකට එකතු වූ ඔහුට ලෝකයේ ජනමාධ්‍ය පුලූල් සහායක් ලබාදී තිබුණි. ලන්ඩන් නගරයේ පාපැදි කුලියට ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භකර ඇති අතර ඒවා ගමන අවසානයේ වෙනත් නගරයකදී පවා භාර දී යන්නට පහසුකම් සපයා තිබේ. පාපැදි අධිවේගී මාර්ග සංකල්පයක් ද අලූතෙන් එකතු වී ඇත. නගර හරහා ගමන් කරන විට අනෙක් වාහන වලින් බාධාවකින් තොරව පාපැදියෙන් ගමන් කරන අයට අධිවේගයෙන් ගමන් කරන්නට මෙම මාර්ග වලින් ඉඩකඩ සැපයේ. එය නූතන ප‍්‍රවාහනයේ තවත් අන්තයකි.

ශ‍්‍රී ලංකාවට මගී ප‍්‍රවාහනයේ දී තෝරාගත යුතු පැති ගණනාවක් ගැන නව ප‍්‍රතිපත්ති සම්පාදනය කළ හැකිය. එයට විද්වත් අවධානය යොමු කළයුතුය. පොදු ජනතාව එදිනෙදා ගමන් බිමන් වෙනුවෙන් ඉතා අපහසු වෙන් සහ විශාල පිරිවැයක් දරමින් සිටින බව අමතක කළයුතු නැත. අගනුවර සහ තදාසන්න ප‍්‍රදේශවල ජීවත්වන සියලූ දෙනා එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් පොදු ප‍්‍රවාහනයේ දී අමතර කාලයක් හා ධනයක් වැයකරමින් සිටී. එයට විකල්ප වශයෙන් හැකි සෑම අවස්ථාවකදීම පුද්ගලික වාහන ප‍්‍රයෝජනයට ගැනීමට නැඹුරු වන බව පෙනේ. මෙවැනි ප‍්‍රයත්න හමුවේ තව තවත් මාර්ග තදබදය වැඩි වන අතර ඉන්ධන පුලූස්සමින් පරිසරය ද අනතුරුදායක තැනකට යොමු කරයි. එය වලකන්නේ කෙසේද? අනාගත පරපුර ස`දහා සුදුසු පරිසරයක් ඇති කරන්නට අප සතු වගකීම කුමක් ද යන්න වටහා ගැනීමට මෙය කදිම අවස්ථාවකි.

ශ‍්‍රී ලංකාවේ වාහන භාවිතාව සහ ඉන්ධන උපයෝගීතාව සම්බන්ධව නව ප‍්‍රමිතීන් ඇති කළ යුතුය. පරිසරයට වැඩි බලපෑම් ඇති කරන අධික ඉන්ධන පිරිවැයක් සහිත වාහන භාවිතා කරන්නන්ට වඩා පාපැදි භාවිතා කරන ජනතාවට ගෞරවාන්විත ආකාරයකට සැලකීම අවශ්‍යය. අද වන විට ලෝකයේ නමගිය පිරිස් ඉතා සුඛෝපභෝගී වාහන පාවිච්චි කරනු වෙනුවට නව තාක්ෂණික සොයා ගැනීම් සහිත ඉන්ධන පරිභෝජනයක් නැති කුඩා විදුලි කාර් පාවිච්චි කරන්නට පටන්ගෙන තිබේ. සමාජයට ආදර්ශයක් දෙන්නේ ඔවුන්ය. චරිත බවට පත්ව ඇති ලංකාවේ දිදුලන තරු පවා තමන්ගෙන් ඉටුවියයුතු මෙහෙවර ගැන සිතන්නට අවශ්‍යය. ඉන්ධන ලිටරයකින් කිලෝමීටරයක් දෙකක් ධාවනය කරන වාහන වෙනුවට ඉන්ධන පාවිච්චියක් නැති කුඩා වාහනයකට මාරුවනවිට එය සමාජයට දෙනවැදගත් පණිවුඩයකි. සමාජය එයට නැඹුරුවන්නට උත්සාහ කරන විට එවැනි වාහන වලට බදු අඩු කර පහසු මිලට මිලදී ගන්නට පසුබිම සැකසීම ආණ්ඩුවේ වගකීමකි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.