» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
24/06/2012 - ඉරිදා ලංකාදීප
සහනාධාර මත යැපෙන සමාජ ක‍්‍රමය අහෝසි කිරීම - මිලින්ද මොරගොඩ

''That is not communism'' චීන අගමැති ධුරය හෙබචූ චෞ එන් ලායි මැතිතුමා එහෙම ප‍්‍රකාශයක් කළේ ලංකාවේදී. කාලයකට කලින් මෙරට සංචාරයක නිරතව සිටියදී, ආණ්ඩුවෙන් ලාංකික මහජනතාවට ලැබෙන සහන ගැන දිර්ඝ හැදින්වීමක් ගැන සාවධානව සවන් දීමෙන් පසුව. එහෙම සහන දීම සමාජවාදය නොවෙන බව එතුමා සෘජුව ප‍්‍රකාශ කළා. නොමිලේ හාල් සහ සීනි. නොමිලේ අධ්‍යාපනය. සෞඛ්‍ය සේවාව නොමිලේ. දුප්පතුන්ට සලාක. ප‍්‍රවාහනයට සහනාධාර. ආණ්ඩු මෙහෙම මහජනතාව නඩත්තු කළා. චෞ එන් ලායි මැතිතුමා සදහන්කළ මතය අදටත් වලංගු නැති බව පෙනේ. මහජනතාව වෙනුවෙන් සහනාධාර දෙන සංස්කෘතියේ බරපතල අංග රට තුළ පවතී. පොදු ජනතාව ආණ්ඩුවෙන් රක්ෂා කර ඔවුන් යැපෙන්නන් බවට පත් කර ඇත. එය වෙනස් කිරීමට තැත් දැරීම ආණ්ඩු බලයෙන් පහ කරන්නට තරම් බරපතල එකකි.

ධනවාදී ක‍්‍රමය මහජනතාවගේ පැත්තෙන් නොසිතා තීරණ ගන්නා බවට මතයක් තහවුරු වී තිබේ. ක‍්‍රමය තුළ ක‍්‍රියාත්මක විවෘත ආර්ථිකය අමානුෂික එකකැයි කියයි. විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් අවශ්‍ය බවට සංවාදයක් පසු කාලීනව තිබිණ. නමුත් සමාජවාදී රාජ්‍ය නායකයෙකු මහජනතාව ආණ්ඩුවේ වියදමෙන් ජීවත් කිරීම සමාජවාදය නොවන බව කියා සිටියේ මන්දැයි වටහා ගැනිම වටී. ''බළලා කලූ ද, සුදු ද යන්න වැදගත් නැහැ. වැදගත් වන්නේ මීයන් ඇල්ලීමයි.'' යනුවෙන් කියා සිටියේ චීනයේ වත්මන් ප‍්‍රතිසංස්කරණ වලට මග පෑදු ඩෙන් ෂියා වෝ පෙන් මැතිතුමා. ක‍්‍රමයට වඩා අවශ්‍යතාවය වටහා ගැනීම ඉතාම වැදගත්ය.

ආර්ථිකයක් සකස් වන්නේ ධනය බිහි කිරීමෙනි. ආණ්ඩුවට ධනය බිහිකරන හැකියාව සීමිතය. ධනය බෙදාගැනීමට දක්ෂය. බෙදාගන්නට කලින් බිහිකරන්න අවශ්‍යය. නිදහස ලැබීමෙන් පසු ගතවූ දශක හය තුළ විවිධ අත්හදා බැලීම් සිදුවු අතර ආර්ථික නිවහල් බවක් රටට ලැබී නැත. අලූත් යුගයක් උදා කරන්නට නම් පැරණි රාමුව අවබෝධකර ගත යුතුය. රජයට යටත්ව, රජය කියන ආකාරයට, රජය යටතේ යැපෙන්නට අපගේ මානසිකත්වය සැකසී ඇත. 1970 දි පමණ සමාජ බලවේග අධිරාජ්‍යවාදී රාමුව වෙනුවට සමාජවාදී දැක්මක් රටට ඇති කරන්නට උත්සාහ කළේය. මෙයින් පන්ති පරතරය නැති කරන්නට උත්සාහ කළේ ඉහළ මට්ටම් වල පිරිස පහලට ඇද දැමීමෙන්ය. ලෝකය පුරා සංකල්පයක් වශයෙන් එය අසාර්ථක විය. 1977 දී තවත් අලූත් ව්‍යුහයක් සකස් කරන්නට උත්සාහ කළේය. රට තුළ ප‍්‍රමාණවත් ආර්ථික නිදහසක් බිහිවීමට ඇති ඉඩ අභ්‍යන්තර ගැටුම් සහ ත‍්‍රස්තවාදය මගින් අවහිර කරනු ලැබීය. විශාල ධනයක් රටේ දියුණුවට රට තුළින් ආයෝජනය වන බවක් තවමත් පෙනෙන්නට නැත. දැනට සිදුවෙමින් ඇත්තේ ආණ්ඩුවේ ආදායමින් ජනතාව යැපෙන මගක් සකස් කිරීමයි. රජයේ සේවකයන් සමග ජනගහනයෙන් විශාල පිරිසක් රජයෙන් යැපෙන්නන්ය. ආණ්ඩුව තම ශක්තියෙන් ජනතාව නඩත්තු කරන විට මහජනතාව එයට හුරු වන අතර නිවහල් පරපුරක් බිහි වන්නේ නැත.

ශ‍්‍රි ලංකාව පසුගිය අවුරුදු කිහිපය තුළ යම් දියුණුවක් ලබා තිබේ. එය පිළිගත යුතුය. ඒක පුද්ගල ආදායම වැඩිවී ඇත. වැඩි දෙනෙකුගේ සමාජ තත්ත්වය නරක නැත. රජයේ දත්ත වලට අනුව දුප්පත්කම අඩුවී තිබේ. නමුත් දුගීකම දුරු කිරීමේ අදහසින් රජය ගෙවන සමෘද්ධි සහන සමාජයේ වැඩි දෙනෙකු ලබයි. දුප්පත්කම අඩු වී ඇත්නම් සමෘද්ධි සහන ගෙවීම පදනමක් නැති ක‍්‍රියාවකි. හොද ආදායමක් හිමි පිරිසක් පවා සමෘද්ධි සහන වලට හිමිකම් කියයි. එය නතර කිරීම බරපතල ප‍්‍රශ්න ඇති කරනු නියතය. සමෘද්ධියට, නිදහස් සෞඛ්‍ය සේවාවට. නොමිලේ අධ්‍යාපනය දෙන්නට, පොහොර සහනාධාරයට විශාල මුදලක් අවශ්‍යය. ආණ්ඩුව මෙම මුදල උපයා ගන්නේ මහජනතාවගෙන් අය කරන බදු වලින්ය. බදු ගෙවන බව දුප්පත් ජනතාව නොදනී. සීනි, පරිප්පු, අර්තාපල්, ලූනු ඇතුලූ රටට ආනයනය කරන සියලූ දෙයින් බද්දක් අය කෙරේ. ඒවා වෙළදාමේ දී ද නොයෙක් බදු වර්ග ඇත. භාණ්ඩයක් මිලදී ගන්නා විට දුප්පත් පොහොසත් බේධයකින් තොරව සියලූ දෙනාම ආණ්ඩුවට බද්දක් ගෙවයි. බදු ගෙවන ජනතාවම ආණ්ඩුවෙන් සහනාධාර අපේක්ෂා කරයි. සහනාධාර සීමා කළහොත් බදු අඩු කළ හැකිය. එය ජීවන වියදම අඩු කරන මගකි. සහනාධාර ලැබිය යුතු නිසි ලෙස එය ලැබිය යුතු පිරිසටය. රජයේ රෝහලේ ප‍්‍රතිකාර ධනවතාට හා දුප්පතාට එක සේ නොමිලේ සැපයේ. දුප්පත් දරුවන්ගේ පාසලටත්, පොහොසත් දරුවන්ගේ පාසලටත් පොත පත නිල ඇදුම් ලැබෙන්නේ නොමිලේය. ප‍්‍රතිකාර ගන්නට වත්කමක් නැති, පොතක් ඇදුමක් සපයා ගන්නට ආදායම අඩු කොටසට ඉස්තරම් ආකාරයෙන් එය සැපයීම වරදක් නොවේ. වරද ඇත්තේ සමාජයේ සියලූ දෙනා එක හා සමානව සලකා සහනාධාර සැපයීමයි. තෝරාගත් ඉලක්කගත කණ්ඩායමට පමණක් සහනාධාර සීමා කලහොත් රජයේ වියදම් අඩු කර ගත හැකිය. සමාජය ද ආණ්ඩුවෙන් නොමිලේ යැපෙන අදහසින් මිදී තමන් ලබන සේවාවට යම් මිලක් ගෙවීමට හුරුවීම අවශ්‍යය. තෙල් මිල වැඩි වන විට සහනාධාර දෙයි. දුප්පතුන් වෙනුවෙන් දෙන සහනාධාරය සමාජයේ සියලූම දෙනාට හිමිවන අතර නියම මිළ ආණ්ඩුව දරයි. ආණ්ඩුව එම මිල ගෙවන්නේ මහජනතාවගෙන් අයකරන බදු වලින්ය. මෙය මහජනතාවට පාරදෘෂ්‍ය භාවයක් රහිත වැඩ පිලිවෙලකි.

සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ මහතා ''ශ‍්‍රී ලංකාවෙ දේශපාලනය නැති සම්පත් වෙන්දේසි කිරීමක්'' බව ප‍්‍රකාශ කළේය. දේශපාලන පක්ෂ සහනාධාර දෙන බවට පොරොන්දු දෙයි. මෙම සහනාධාර දෙන්නට වත්කමක් ආණ්ඩුවලට නැත. බලයට පත්වන ආණ්ඩු මහජනතාවගෙන්ම බදු අය කරගෙන ඔවුන්ටම එයින් සුළු කොටසක් බෙදා දෙයි. දේශපාලනයේ දී කරන්නේ නැති සම්පතක් වේදිකාවේ තබා වෙන්දේසියකි. එක පක්ෂයක් දෙදහස් පන්සියයක් දෙන බව කියන විට තවත් පක්ෂයක් පන්දහසක් නොමිලේ දෙන බව කියයි. නොමිලේ සැපයීම, සහනාධාර ලැබීම ගැන මහත් සේ සතුටු වන ජනතාව යළිත් දේශපාලනඥයන් බලයට පත් කරයි. සහනාධාර යනු සමාජ රැුවටිල්ලක් බව තේරුම් ගැනීම වැදගත්ය. දේශපාලන ක‍්‍රමය මහජනතාව බරපතල ලෙස මෙම උගුලට පොළඹවා ගෙන තිබේ.

ඕනෑම රටක සහනාධාර ක‍්‍රම තිබේ. එය නිසි අයට ලැබෙන ක‍්‍රමයකි. සමාජ ආරක්ෂණ ක‍්‍රම මගින් යම් ආදායම් මට්ටමකට අඩු පිරිස රැුක බලා ගැනීම ආණ්ඩුවේ වගකීමකි. එය වෙනුවෙන් විශේෂ ක‍්‍රම සම්පාදනය කිරීම වැදගත්ය. එය ආත්ම ගෞරවය ආරක්ෂා කරන වැඩ පිළිවෙලක් විය යුතු අතර දුප්පත්කමෙන් මිදී නිසි ආර්ථික ශක්තිය ඇතිවන අවස්ථාවේ දි එය ඉවත් කිරීම අවශ්‍යය.

නිදහස ලැබූ දිනයේ සිට මේ දක්වා පැවති සියලූම ආණ්ඩු මහජනතාවට සහන දී තිබේ. නොයෙකුත් සහනාධාර වැඩ පිළිවෙල මගින් නොමිලේ නොයෙකුත් දේ සපයා ඇත. එය වෙනුවෙන් වැය කරන ලද මුදල අති විශාල ධනයක් බව නිසැකය. නමුත් මහජනතාව අතෘප්තිමත්ය. වර්තමාන සමාජයේ බහුතරයක් තමන්ට ලැබෙන දේ ගැන විශ්වාසයක් නැත. තමන්ට වඩා වැඩි පංගුවක් දේශපාලන හිතවත්කම් අනුව අනෙකාට ලැබෙන බව සිතයි. එය තෘප්තිමත් කළ නොහැකි සාධකයක් බවට පත්ව තිබේ. සහනාධාර, නොමිලේ සැපයීස නමැති මිත්‍යාවෙන් මිදෙන්නට අවශ්‍යය. නොමිලේ සැපයෙන දෙයක් නැත. එවැනි දෙයක් වේ නම් එයට වන්දි ගෙවන ජන කොටසක් ද සිටී. යතාර්ථය එයයි. පක්ෂ දේශපාලනය මෙම යථාර්ථය දක්වන්නේ නැත. ආණ්ඩුවට මහජනතාව වෙනුවෙන් සියලූ වියදම් දරාගෙන රට ද දියුණු කළ හැකි යැයි පෙන්වයි. නමුත් මෙම රාමුවෙන් නික්ම විප්ලවීය ප‍්‍රතිසංස්කරණයක් සිදුකරන තීන්දු නොගතහොත් පවතින ආර්ථික මට්ටමින් ඔබ්බට ගමන් කිරීම පහසු එකක් නොවේ. මහජනතාවට සහනාධාර දෙමින් ඔවුන් අතෘප්තිමත් කරනු වෙනුවට පවතින ක‍්‍රමය සාධාරණ එකක් බවට පත් කිරීම අවශ්‍යතාවයයි. ක‍්‍රමය සාධාරණ හා යුක්තිගරුක වන විට දක්ෂ ව්‍යවසායකත්වයක් බිහිවෙයි. සියලූම දෙනා තමන්ට හැකි පමණින් වැඩ කරන්නට පටන් ගනී. දේශපාලන හිතවත්කම්, අනිසි බලපෑම් ඉවත්කළ යුතුය. සමාන අවස්ථා ඇතිවන වියට සමාජය තෘප්තිමත් වෙයි. සහනාධාර හෝ නොමිලේ දෙන බවට කරන රැවටිල්ලට වඩා එය වැදගත්ය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.