» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
24/03/2013 - ඉරිදා ලංකාදීප
ජීවන වියදම අඩුකිරීමට වෙනුවට ජනතාවගේ ආදායම නැංවීම - මිලින්ද මොරගොඩ

පොදු ජනතාව ජීවන වියදම ගැන මැසිවිලි නගමින් සිටී. ඉදිරියේ දී එළැඹෙන උත්සව සමයේ එය තවත් ගැටලූකාරී විය හැකි බව ඔවුහු සිතන බව පෙනේ. අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ ඉහල යමින් තිබේ. එදිනෙදා අදායමින් ජීවිතය ගැටගසා ගන්නා දුප්පත් ජනතාව පත්ව ඇත්තේ මහත් පීඩාවකටය. ලැබෙන තොරතුරු වලට අනුව ජනතාව ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ගැන දක්වන අවධානය වැඩිවී ඇත. ආර්ථික පර්යේෂකයන් පෙන්වන කරුණු වලට අනුව අධ්‍යාපනය හෝ සෞඛ්‍ය වැනි අංශ වලට වඩා ආර්ථිකය ගැන උනන්දුවෙන් හිතන්නට ජනතාව නැඹුරු වී තිබේ. සමාජයක් දියුණුවන විට මිත්‍යාවෙන් රැවටිය නොහැකිය. ලෝකයේ නොයෙක් රටවල සිදුවන දේ සම්බන්ධ අලූත් තොරතුරු නිතිපතා තමන් අතට ලැබෙන ආකාරයට ජනතාව තාක්ෂණයෙන් පොහොසත්ය. තවත් රටක් දියුණු වන විට තමන්ගේ මවුබිම තුළ ඇති ප‍්‍රශ්න ගැන පොදු ජනතාව ප‍්‍රශ්න කරන්නට පටන්ගනී. අධ්‍යාපනය හා සෞඛ්‍ය වැනි අංශ වල විකල්ප අවස්ථා ජනතාවට තිබේ. ආර්ථිකයට විකල්පයක් නැත. උනන්දුව වැඩිවන්නේ එහෙයින් විය හැකිය.

ජනතාවට දැනෙන ආකාරයට බඩු මිල වැඩි වෙන්නේ ඇයි? උද්ධමනයේ බලපෑම එයට බලපාන ප‍්‍රධානම හේතුවයි. වැඩිවන උද්ධමනය පාලනය කෘතීමව කිරීම අවදානමකි. කෘත‍්‍රීමව බඩු මිල පාලනය කිරීම දිය යට රබර් බෝලයක් බලයෙන් තෙරපාගෙන සිටීමට හා සමානය. තෙරපීම ඉවත්වූ වහා රබර් බෝලය දිය මතු පිටට පැමිණෙනවා පමණක් නොව ජල මට්ටමටත් වඩා ඉහලට පැන ජලතලාවේ කැළඹිල්ලකුත් ඇති කරයි. බලහත්කාරයේ රදවා ගන්නා උද්ධමනය රබර් බෝලයක් නම් එය පාලනය කර ගත නොහැකි වූ දින මහජනතාවට සිදුවන්නේ ජලතලයේ ඇතිවූ කැළඹිල්ලට සමාන අර්බුදයකට මුහුණ දෙන්නටය. උද්ධමනයට විසදුම් දෙන බවට නිදහස ලැබූ වකවානුවේ සිට මහත් ආඩම්බරයෙන් කතා කරන ආණ්ඩු හැමවිටම කරන්නේ තමන්ගේ නිල කාලය අවසන් වනතෙක් උද්ධමන රබර් බෝලය දිය යට සගවා තැබීමයි. ඡන්දයක් ලග එනවිට එය බොහෝවිට සිදුවෙයි. යහපත් ආර්ථිකයක ප‍්‍රමුඛ ලක්ෂණය විය යුත්තේ උද්ධමනයට මුහුණ දිය හැකි ආකාරයට මහජනතාවගේ ආදායම වැඩි කිරීමයි. ආදායම වැඩි කළ හැක්කේ ජනතාවට ආදායම උපයන අවස්ථා නැංවීමෙන් විනා පවතින සුථ සම්පත් ප‍්‍රමාණය තම තමන්ට හැකි පමණින් සමාජය තුළ බෙදාගැනීමෙන් නොවේ.

සාමාන්‍යයෙන් ඕනෑම ආණ්ඩුවක් කරන්නේ රජයේ ආදායම හා වියදම ගලපා ගැනීමයි. ආදායම අඩුවන විට තම ආදායම නංවා ගැනීමට තව තවත් බදු පනවන්නට සිදුවෙයි. බදු පැනවීම නිසා භාණ්ඩ මිල තවත් වටයකින් ඉහල නැගේ. දෙස් විදෙස් ආයතන වලින් ණය ගනී. එවිට පොලියක් ගෙවන්නට සිදුවෙයි. එය උද්ධමනය තවත් වැඩි කරන කාරණයකි. නිෂ්පාදනය වැඩි නොවී, කාර්යක්ෂමතාවය, ඵලදායකත්වය හා තරගකාරීත්වය ගැන තීන්දු නොගෙන කි‍්‍රයාකිරීම නිසා උද්ධමනය පාලනය කිරීම අසීරු අවධියක් කරා අද ගමන් කරමින් සිටී.

මේ නිසා රටක් වශයෙන් අප කළ යුතු වන්නේ විකල්පය සොයා ගැනීමයි. ඉන්දියාව, ඇමරිකාව හෝ තායිලන්තය මෙරටට වඩා අඩු මිලට භාණ්ඩ නිපදවන්නේ කෙසේ ද යන ප‍්‍රශ්නය අප අපෙන්ම විමසීමයි. ඉතාම වැදගත්වන්නේ මෙම තරගකාරීත්වය ඇතිකිරීමයි. වෙනත් රටකට වඩා තත්ත්වයෙන් උසස් අඩු මිල භාණ්ඩ නිපදවා ගැනීමට ප‍්‍රයත්න දැරීමයි. චීන ආර්ථිකය සමග තරගකරන්නට නම් යුද බිමේ තීරණ ගන්නා ආකාරයට ඉක්මනින් ක‍්‍රියා කිරීම වැදගත් බව බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් මෑතක දී ප‍්‍රකාශ කළේය. එයින් පෙනෙන්නේ තරගකාරීව ඉක්මන් තිරණ ගැනීමේ වැදගත්කමයි. එයින් නිෂ්පාදනයේ තත්ත්වය දියුණුවෙයි. ඵලදායීතාවය වැඩිවෙයි. මේ නිසා කර්මාන්තයක හෝ සේවාවක නිපැයුම නිතැතින්ම වැඩිකර ගත හැකි අතර එකම යෙදවුම් වලින් වැඩි නිෂ්පාදනයක් ලැබීම නිසා මූලික වියදම පහත වැටේ. එවිට බඩු මිල අඩු කළ හැකිය.

නිස්පාදනය වැඩි කරන්නට නම් රට වැසියන් සියලූ දෙනා තුළ ව්‍යවසායකත්වය සම්බන්ධ ආකල්ප ඇති කළ යුතුය. සෑම පුද්ගලයෙකුම යමක් නිපදවන කෙනෙකු බවට පත් කිරීම අපගේ වගකීමකි. රජයෙන් යැපෙන රජයේ සේවකයන් නොව ව්‍යාපාරයක්, කර්මාන්තයක් කරන අයෙකු බවට මේ රටේ හැම දෙනෙකුම පත්කිරීමෙන් නිපදවන ප‍්‍රමාණය නැංවිය හැකිිය. එයට අවශ්‍ය පසුබිම සකස් කළ හැක්කේ ආකල්ප වෙනසකින් පමණකි. උපාධිධරයා ගොවිපලට යවන, ධීවර වෘත්තියට යොමු කරන සහ එයින් ව්‍යවසායකයෙකු වී යමක් නිපදවන පුද්ගලයෙකු බවට පත්කිරීමේ අධ්‍යාපන ක‍්‍රමයක් රටට අවශ්‍යය. කම්හල හා ගොවිපල ආශ‍්‍රිතව ලක්ෂ ගණන් රැකියා හිගයක් මේ රටේ ඇත. තාක්ෂණයෙන් සපිරි පුහුණු වෘත්තිකයන් හිගවීම නිසා ඇගලූම් කම්හල් වැසී යයි. තේ හා රබර් කර්මාන්තයේ පැවැත්මට අවශ්‍ය ශ‍්‍රමය නැත. ඉදිකිරීම් ආශ‍්‍රිත වඩු හා පෙදරේරු ශිල්පීන්ගේ බරපතල හිගයක් ඇති හෙයින් මෙරට සංවර්ධන යෝජනා ක‍්‍රමවල විදේශ ශ‍්‍රමිකයෝ වැඩ කරති. නමුත් මේ රටේ තරුණන් රැකියා දෙන්නැයි රජයට බල කරමින් සිටිති. ඔවුන් ඉල්ලන්නේ රජයේ රැකියාය. උපාධියක් යනු දැනුම ලැබෙන අධ්‍යාපනය මිස රජයේ සේවයට ප‍්‍රවේශවෙන වත්කමක් නොවේ යැයි සිතන්නේ නැත. මේ නිසා ආකල්ප වෙනසක් තුළික් ධනය නිපදවන, නිෂ්පාදනයක නිරතවන පරපුරක් ශ‍්‍රී ලංකාවේ බිහිවිය යුතුය.

අදරට පුරා යටිතල පහසුකම් නිසි ලෙස වේගවත්ව සැපයෙන බව පෙනේ. එයට දරන වියදම විශාලය. ක‍්‍රමය මගින් සාධාරණ අවස්ථා ඇති බව පෙනෙන විට මහජනතාව අලූත් අලූත් දේ නිපදවන්නට පටන් ගනී. වර්තමානයේ මහජනතාවට නිෂ්පාදනය කරන්නට හා ධනය නිපදවන්නට පෙළඹවූවත් එහි පළමු අවස්ථාව ඇති කළ යුත්තේ රජය විසින් ඒ වෙනුවෙන් විශ්වාස කළ හැකි සමාජ ආර්ථීක වටපිටාවක් ඇතිකිරීම බවද අවධාරණය කළ යුතුය. පුද්ගලයෙකු ව්‍යාපාරයක් ආරම්භ කරන විටම එයට කඩා පැන බදු අයකරගන්නටත්, විවිධ අණ පණත් මගින් අවසර ගන්නට බල කරන විටත් කිසිවෙකු තමන් ඇති මුදල අලූතින් ආයෝජනය කරන්නේ නැත. තමන්ට වෙළද පොළ තුළ අවස්ථාව නොදෙන බව සිතන විට ව්‍යාපාර අලූතින් ඇතිවන්නේ නැත. ආණ්ඩු බලාසිටින්නේ තමන් මුදල් යොදවන විටම එයින් කොටසක් උදුරාගෙන පාලනය කරන්නටය යන ආකල්පය ඇති විට බිහිවන්නේ කලූ ආර්ථිකයයි. අවසර ගැනීම්, බදු ගෙවීම් නැති ව්‍යාපාර ආර්ථීක වර්ධනයක් ඇති කරන්නේ නැත.

ශ‍්‍රී ලංකාවේ මූල්‍ය හා බදු ක‍්‍රමය ගැන විශේෂ අවධානය යොමු කළ යුතුය. පවතින බැංකු හා මූල්‍ය ක‍්‍රම සියවසකට වඩා පැරණිය. එයින් ඉටුකරන්නේ ව්‍යවසායකයන්ගේ අරමුණ නොවේ. අධිරාජ්‍යවාදීන්ගේ කාලයේ වතු පාලනයට අවශ්‍ය මූල්‍ය රාමුව සකස් කළ බැංකු රටේ ව්‍යවසායකත්වයට සාධාරණ ඉඩක් දෙන්නේ නැත. බැංකු පොලිය හා පවතින මූල්‍ය ප‍්‍රතිපත්ති මත මෙරට වානිජ බැංකු විශාල ලාභ උපයයි. රට තුළ බදු අයකිරිම ආසියාවේ සෙසු රටවලට වඩා ඉහළ බව පෙනේ. බැංකු වලින් වැඩි පොලියට ප‍්‍රාග්ධනය ගෙන විශාල ප‍්‍රතිශත වලින් බදු ගෙවමින් යමක් නිෂ්පාදනය කරන ව්‍යවසායකයෙකුට එම නිපැයුම් ලෝකයේ කොතැනකටවත් අලෙවි කර ගත නොහැකිය. පවතින දේශපාලන සහ ආර්ථික ක‍්‍රමය හෙයින් තමන්ට අවස්ථාව නැති වන බව සිතන පිරිසක් මෙයින් ඇති වේ. එය සමාජ බෙදීමකි. අනුග‍්‍රහය නැතිව යමක් කරන්නට ඉඩ නැති බව සිතන සමාජය විසින් ඇති කරන්නේ පරිහානියයි. නිදහසින් පසු මේ දක්වා ගමන් කර ඇති ගමන තුළ අප විසින් බිහි කර ඇත්තේ එවැනි පරිසරයකි.

ජීවන වියදම වැඩිවන බව පෙනෙන විට තාවකාලික සහන දී මහජනතාව තවදුරටත් රැවටීම වෙනුවට ඔවුනගේ අතට ධනය නිපදවන අවස්ථාව ලබාදීම කෙරෙහි සැලකිලිමත්වීම අවශ්‍යය. ඒ වෙනුවෙන් දැක්මක් ඇතිව අවශ්‍ය ආර්ථික ප‍්‍රතිසංස්කරණ රටට හදුන්වා දිය යුතුය. අද රටට අවශ්‍ය මතු පරම්පරාවට ගැලපෙන ආර්ථිකයක් ඇති රටක් බිහි කිරිමයි. දරුවන් වෙනුවෙන් යහපත් ආර්ථිකයක් ඇති කරන්නට නමි දීර්ඝ කාලීනව බලා යහපත් තීන්දු වලට වහා එළැඹෙන්නට සිදුවෙයි. මැතිවරණයක් පාසා දේශපාලන වේදිකාවේ දී දේශපලනඥයන් දෙන පොරොන්දු මහජනතාවට මතක ඇති බව නිසැකය. නමුත් නුදුරු මැතිවරණයක දී ද, යළිත් දේශපාලනඥයන් ඉදිරියේ රැවටෙන්නට ඇතමුන් සමත්වනු නිසැකය. රජයේ සහන, නිදහස් අධ්‍යාපනය, නොමිලේ රෝහල දෙන බවට පොරොන්දු දෙන විට මේවා ඉටු කළ හැකි දැයි ප‍්‍රශ්න කරන්නේ නැත. අද ජනතාව ආර්ථිකය ගැන දක්වන උනන්දුව වැඩිවන බව මගින් පෙන්වන්නේ ඔවුන් තුළ ඇති පීඩනයයි. ආර්ථික සහ සමාජ තත්ත්වය සම්බන්ධව ආකල්පමය යම් ප‍්‍රතිසංස්කරණයකින් තොරව ගමන් කිරීම තවත් ගැටලූකාරී වනු ඇත.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.