» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
23/12/2012 - ඉරිදා ලංකාදීප
ඛනිජ තෙල් කර්මාන්තය ආශ‍්‍රිතව පැතිරෙන නව ප‍්‍රවනතා - මිලින්ද මොරගොඩ

පෙට‍්‍රල් මිල ලීටරයකට රුපියල් දහයකින් මිල වැඩි කරන්නට මෙරට ඉන්ධන වෙළදාමේ නිරත ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පසුගිය සතියේ තීරණයක් ගත්තේය. එය මහත් විවේචනයකට ලක්ව තිබේ. දේශපාලන පක්ෂ පෙට‍්‍රල් මිල වැඩි කිරීමෙන් සාමාන්‍ය ජනතාව හිරිහැරයකට පත්ව ඇති බව පෙන්වා දෙයි. එය ඇත්තකි. භාණ්ඩ හා සේවා වල මිල වැඩිවන විට පාරිභෝගිකයන් අපහසුතාවයට පත්වෙයි. නමුත් පවතින මිල කරා පෙට‍්‍රල් ලීටරයකට අයකරන ගාස්තුව වරින් වර ඉහළ ගියේය. පෙට‍්‍රල් ඇතුළු ඉන්ධන ආනයන මත සම්පූර්ණයෙන්ම යැපෙන්නට ශ‍්‍රී ලංකාවට සිදුව තිබේ. එය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන හයක පමණ වියදමක් වන අතර මෙරට ආනයන වියදම් වලින් සෑහෙන කොටසකි. සමාජය දියුණු වන විට සෑම පුරවැසියෙකුම අඩුම තරමින් යතුරු පැදියක් හෝ කුඩා මෝටර් රථයක් මිලදී ගැනීමට අපේක්ෂා කරයි. පසුගිය කාලය තුළ කුඩා මෝටර් රථ, ත‍්‍රී විලර් හා යතුරු පැදි ආනයනය විශාල ලෙස වැඩි වූ අතර ආනයන බදු වැඩි කිරීමෙන් යම් පාලනයක් ඇති කර තිබේ. ලෝක වෙළද පොලේ මිල, ප‍්‍රවාහන වියදම්, රක්ෂණ ගාස්තු සේවක වැටුප් යනාදී වශයෙන් විශාල අතුරු වියදම් දරන්නට සිදුවන වෙළදාමකි. රජයට අයත් ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන ආනයනය කර බෙදාහැරීම ඉදිරියේ විශාල වශයෙන් අලාභ වාර්තා කරයි. එය ආර්ථිකයට වක‍්‍රව බලපාන අයහපත් කාරණාවකි. ලෝක වෙළද පොලේ මිලට ඉන්ධන සැපයීම එක විකල්පයකි. මිල උච්ඡාවචනය වන විට එය ජනතාවට තේරුම් ගත හැකිය. සහන දෙන විට එය සියලූ දෙනාට සාධාරණ එකක් වියයුතුය.

පෙට‍්‍රල් මිල වැඩිවීම ලෝකයේ සිදුවන අලූත් ප‍්‍රවනතා අතර එක් සිදුවීමක් පමණකි. අද රුපියල් දහයකින් මිල වැඩිවීම හමුවේ විශාල ගැටලූවක් සේ සලකන මෙරට ආර්ථිකය නුදුරු කාලයේ දී බලශක්ති අංශයේ සිදුවිය හැකි බවට දැන් සාකච්ඡා කරන වෙනස්වීම් වලට මුහුණ දෙන ආකාරය ගැනද සැලකිල්ල දැක්විය යුතුය. ගතවෙමින් තිබුණ කාලය දෙස ආපසු හැරී බලන විට බලශක්තිය වෙනුවෙන් අපට ගෙවන්නට සිදුවන වියදම ක‍්‍රමයෙන් දරුණු වන බව අවබෝධ කර ගත යුතුය. එයට සාර්ථකව මුහුණ දිය හැක්කේ අවබෝධයකින් හා ලෝකයේ දියුණුව කෙරෙහි අවනතව තීන්දු ගැනීමෙන් පමණකි. එය පුලූල්ව සාකච්ඡා කළ යුතුය. ගල් අගුරු භාවිතයේ සිට නවීන බලශක්ති අත්හදා බැලීම් දක්වා ශක්ති ප‍්‍රභව සම්බන්ධයෙන් විශාල පරිනාමයක් සිදුව තිබේ. ඛනිජ තෙල් භාවිතය සොයා ගැනීම හා එහි ව්‍යාප්තිය සිදුවූ කාලසීමාව විශාල එකක් නොවේ. තවදුරටත් එය පරිවර්තනයකට ගමන් කරමින් සිටින බව පෙනේ. එපරිදි ම පසුගිය අවුරුදු කිහිපය තුළ බොර තෙල් භාවිතය සංකීර්ණ සහ පැවති සම්ප‍්‍රදායයෙන් මිදී අලූත් තාක්ෂණික පැති කරා යොමු ව ඇත. සම්ප‍්‍රදායික ඛනිජ තෙල් බලශක්තියෙන් යැපෙන මෙරට ආර්ථිකය එයින් ඔබ්බට විහිදුවීමට එමගින් ඇති අවස්ථා ගැන ද විමසිලිමත්වීම වටී.

'ඔපෙක් සංවිධානය' බොර තෙල්ගැන කතා කරන විට සදහන් වන ප‍්‍රබල ආයතනයකි. ඛනිජ තෙල් ඇති, ඒවා පොලවෙන් කැන ලෝක වෙළද පොළට අපනයනය කරන රටවල් එකතු වීමෙන් මෙම සංවිධානය බිහිව තිබේ. එක්තරා කාලයක මෙම සංවිධානය ලෝකයේ බොරතෙල් මිල සම්බන්ධව බලවත්ම පාලනය අත්පත් කරගෙන සිටියහ. මිල වැඩි කිරීම, නිෂ්පාදනය සීමාකිරීම සහ එයින් ලැබෙන මුදල් ලෝක ආර්ථිකයේ නොයෙක් අංශ වල ආයෝජනය කිරීම ඔස්සේ එම සංවිධානයට ස්වකීය බලය තහවුරු කරගන්නට හැකියාව ලැබිණ. නමුත් ක‍්‍රමයෙන් ඛනිජ තෙල් මිල වැඩිවීමත්, එය නුදුරු කාලයේ දී හි ගවී අවසන් විය හැකි බවට විද්වත් මත ප‍්‍රකාශවීමත් සමග දියුණු රටවල් විකල්ප බලශක්තිය කෙරෙහි අවධානය යොමු කළේය. එපමණක් නොව, ඛනිජ තෙල් ඉතා සකසුරුවම් ආකාරයට පරිහරණය කරන තාක්ෂණය ද සොයා ගත්තේය. අභියෝග එල්ල වන විට අලූත් දේ සොයා යයි. ඒ අනුවම ඛනිජ තෙල් කර්මාන්තය ආශ‍්‍රීත පැවතී තිබුණ බලය අද ගිලිහෙමින් පවතී. විශේෂයෙන් මෙයින් දශකයකට පමණ කලින් ලෝකයේ විශාලතම ඛනිජ තෙල් පරිභෝජනය කරන රට බවට පත්ව තිබුණේ අමරිකාවයි. ලෝක ඛනිජ තෙල් නිෂ්පාදනයෙන් හරි අඩක් පමණ ඇමරිකානුවන් ගේ භාවිතයට වෙන්වූ අතර එයින් සියයට හැටක පමණ ප‍්‍රතිශතයක් සපයා ගත්තේ බාහිර රටවලින් ආනයනය කිරීමෙන්ය. තෙල් මිල වැඩිවීම හෙයින් ඛනිජ තෙල් ආනයනය එරටට මහත් වියදමක් වූ අතර රට තුළ අලූත් ඛනිජ තෙල් නිධි සොයාගැනීමට මහත් වෙහෙසක් ගත්තේය. තාක්ෂණය භාවිතයෙන් තෙල් සූක්ෂම ආකාරයට පරිහරණය කරන්නට ඇමරිකාව හුරුවිය. එරට අවශ්‍යතා සදහා බැහැරින් ආනයනය කරන බොරතෙල් ප‍්‍රමාණය සියයට හතලිස් දෙක දක්වා සීමා කරගන්නට ඇමරිකාවට දැන් හැකියාව ලැබී තිබේ. එය එරට ආර්ථිකයේ විශාල පෙරුලියකි. ඛනිජ තෙල් වෙළදාමෙහි නිරත රටවල නිපැයුම් වෙනුවෙන් ඇති ඉල්ලූම අඩු කරන්නට ද එය බලපෑමකි. ලෝක ආර්ථිකයේ ස්වභාවය වෙනස්වන ආකාරය අනුව වසර 2020 වන විට ලෝකයේ බොරතෙල් භාවිතය වැඩිම රට බවට චීනය පත්වනු ඇතැයි සැලකේ. දැනට සවුදි අරාබිය ලෝකයේ විශාලතම බොරතෙල් නිපදවන්නාය. ඛනිජ තෙල් පාරිභෝජනයෙන් පළමුතැන දිනා සිටි ඇමරිකාව වසර 2020 වන විට නිපදවීම අතින් පළමු ස්ථානය දිනා ගැනීමට දැනටමත් සැලසුම් සකස් කරමින් සිටින බව අනාවරණය වෙයි. මෙයින් පෙන්වන්නේ අවුරුදු කිහිපයකට කලින් ලෝකයේ ඛනිජ තෙල් බලශක්තිය සම්බන්ධයෙන් තිබුණ රාමුව එම පරම්පරාව හමුවේ දීම අලූත් පැත්තකට ගමන් කරන ආකාරයයි. ලෝකයේ තෙල් විශාලතම නිෂ්පාදකයා බවට හා පරිහරණය අතින් දෙවැනි තැනට පත්වන විට සෙසු කුඩා රටවල ජාත්‍යන්තර සම්බන්ධතා ද, අවශ්‍යතාවයන් ද එකිනෙකට වෙනස්වීම වැලැක්විය නොහැකිය.

ඇමරිකානු ආර්ථිකයට ඛනිජ තෙල් මිල විශාල බලපෑමක් වූ හෙයින් තෙල් භාවිතය අඩුකරන අලූත් තාක්ෂණික ක‍්‍රම කරා ඔවුන් ගමන්කළේය. ලෝකයේ වෙනත් දියුණු තාක්ෂණය ඇති රටවල් ද නොයෙකුත් සොයා බැලීම් වල නිරතවිය. අද වන විට ජෛව ඉන්ධන හෙවත් ශාඛ මගින් නිස්සාරනය කරන ඉන්ධන භාවිතය ප‍්‍රචලිත වෙමින් තිබේ. ස්වභාවික ද්‍රව ගෑස්, සූර්ය බල ශක්තිය, සුළං බලය සහ මුහුදු රළ මගින් වැනි නොයෙකුත් විකල්ප ක‍්‍රම වලට යොමු වෙමින් තිබේ. වාහන ධාවනයේ දී ද්විත්ව ආකාරයට එනම් ඉන්ධන වලින් සහ රිය ධාවනය වන විට බලය උත්පාදනය කර එයින් බැටරි රෝපනයවිම දක්වා තාක්ෂණය දියුණු වී ඇත. ස්වභාවික ද්‍රව ගෑස් භාවිතය ද වේගයෙන් ප‍්‍රචලිත වෙයි. ක්වාටාර්, ඇමරිකාව සහ රුසියාව අතර එහි විශාල වෙළද පොලක් සකස්ව තිබේ.

ඛනිජ තෙල් නිධි සොයා ගැනීම, පොලව මතු පිටට ගැනීම සහ පිරිපහදුව පවා තාක්ෂණයෙන් උසස් තැනෙකට ලගා වී ඇති බව පෙනේ. මෙයට කලින් බොරතෙල් ලිං කැනීම විශාල වියදම් සහගත එකකි. යන්ත‍්‍ර භාවිතා කර විශාල ආයෝජනයකට පසු ලිදක් කැනීමෙන් එතැන එකතුවී ඇති තෙල් ලබා ගැනීමට හැකියාව තිබිණ. දැන් තාක්ෂණය අනුව එක තෙල් ලිදකින් පොලව ඇතුලට ප‍්‍රවේශ වී පොලව ගර්භයෙහි බුබුලූ ආකාරයට තැනින් තැන එකතු වී ඇති තෙල් පදාස පවා සොයා ගැනීමට පොලව හරහා නල වලට ගමන්කළ හැකි ආකාරයට විද්‍යාව දියුණුය. එයින් සිදුවන්නේ තෙල් ලිං කැනීමට යන වියදම ඉතිරි කර ගන්නට හැකියාව ලැබීමයි. ඛනිජ තෙල් ඇති තැන් සොයා ගැනීමට ද නූතන තාක්ෂණය බෙහෙවින් උපකාරී වී ඇති අතර එය ඛනිජ තෙල් නිෂ්පාදනයේ පෙරුළියක් ඇති කර තිබේ. මෙවැනි අලූත් තාක්ෂණය සහිතව තෙල් නිධි කැනීම, නඩත්තුව සහ ලෝකයේ ඉන්ධන මිල අනුව තරගකාරීව තෙල් අලෙවි කරන්නට හැකියාව ඇත්තේ වෘත්තීය මට්ටමින් දක්ෂ රටවල් වලට පමණක් වීම සුවිශේෂී තත්ත්වයකි. රට තුළ බොරතෙල් නිධි ඇති බවට සැක කරන නමුත් ඒවා පිටතට ගෙන ප‍්‍රයෝජනයට ගැනීමට නම් යෙදවිය යුතු ධනය විශාල එකකි. ඛනිජ තෙල් සම්පත් ඇති රටකට පවා පාලනය කර ගත නොහැකි තරමට එය වියදම් අධික එකක් බවට පත්ව ඇති අතර අලූතෙන් ඛනිජ තෙල් නිධි ඇතැයි සැක කෙරෙන ලෝකයේ සෙසු රටවලට තාක්ෂණය හමුවේ දියුණු රටවල සහාය රහිතව එම කර්මාන්තයට පැමිණිය නොහැකි තත්ත්වයක් ද උදා වී තිබේ.

ඛනිජ තෙල් භාවිතාව සංකීර්ණ සහ අරපරෙස්සම් සහගත තැනකට පත්වීම සමග පරිසරයට ලැදියාවක් දක්වන අය තෘප්තිමත්ව සිටී. නමුත් ඛනිජ තෙල් සොයා ලෝකය පුරා තැනින් තැන දෝනා කනින්නට හැකිතාක්ෂණය දියුණුවීම විශාල විරෝධතාවයකට ද හේතු වී තිබේ. තෙල් ලිදක සිට අතුරු මාර්ග ඔස්සේ දෝනා ගමන් කරමින් තෙල් සොයන අතරවාරයේ පොලව අභ්‍යන්තරයේ ඇති භූගත ජල කලාප දුෂිත වීම හා එයින් පිරිසිදු ජලය සම්බන්ධ ප‍්‍රශ්න පැන නගින බව පරිසර හිතකාමීහු පෙන්වා දෙති. පර්යේෂකයන්ට අනුව දැනටමත් ලෝකය පුරා ස්වභාවිකව ඇති පානීය ජලය ප‍්‍රමාණය හිග වෙමින් තිබේ. නුදුරු කාලයකදී ලෝක යුද්ධයක් ඇතිවුවහොත් එයට හේතුව පිරිසිදු ජලය බෙදා ගැනීම බවට මතයක් ගොඩ නැගී තිබේ. එක පැත්තකින් ඛනිජ තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් විශාල දියුණුවක් ඇතිවි බලශක්ති අංශය පරිවර්තනයකට මුහුණ දෙන විට මිනිසුන්ගේ අවශ්‍යතා වලට ඉතාමත් වැදගත් ජලය දුෂිතවීමේ තත්ත්වයක් ද ඇති වන බව නැගෙන චෝදනාවයි.

ලෝකය එක්තරා යුගයක සිට අලූත් යුගයකට ඇතුළු වෙමින් තිබේ. මිනිස් පරිනාමය ආරම්භ වූ දා සිට මෙලෙස එක් යුගයකින් අලූත් යුගයකට ඇතුළු වීමට අවුරුදු සිය දහස් ගණනක් ගත විය. ගල් අගුරු යුගයේ සිට ඛනිජ තෙල් යුගය දක්වා පරිවර්තනය එයට උදාහරණයකි. නමුත් පැවති ඛනිජ තෙල් යුගයේ සිට අලූත් තාක්ෂණික යුග කරා අවතීර්ණ වීමට දැන් එතරම් කාලයක් ගන්නේ නැත. පවතින කාලය තුළදිම විවිධ වෙනස්කම් වලට මුහුණ දෙන්නට අපට සිදුවෙයි. දියුණු රටවල සිදුවන අලූත් දෙය අපට එන්නට ගතවන කාලය වැඩිවීම අප මුහුණ දෙන ප‍්‍රශ්නයකි.

ශ‍්‍රී ලංකාව ඇතුළු ලෝකයේ නොයෙක් රටවල් තවමත් පසු කරමින් සිටින්නේ ඛනිජ තෙල් භාවිතයේ එක්තරා අවස්ථාවකි. දියුණු රටවල් එහි අලූත් පැති කරා අවතීර්ණ වී ඇත. තෙල් සොයා ගැනීම, තෙල් ලිං කැනීම හෝ තෙල් පිරිපහදුව ගැන අප රට ද දැන් අවධානය යොමු කරමින් සිටී. ශ‍්‍රී ලංකාව කෙලින්ම පහලට බහින තෙල් ලිං තාක්ෂණයෙන් තෙල් කැනීම ගැන කි‍්‍රයාකරන මෙම අවධියේ වෙනත් රටක් දේශ සීමා ඉක්මවමින් ලෝකයේ ඕනෑම තැනකින් තෙල් දෝනා හරහා බොර තෙල් පොලව මතු පිටට ගැනීමට උත්සාහ දරමින් සිටී. ලෝකයේ එක් තැනක සිදුවන දෙය ගැන අප තේරුම් ගන්නා විට අවස්ථාව මග හැරෙන්නටත් කල් ලැබෙන තරමට පරිවර්තනය වේගවත්වීම සලකා බැලිය යුතු තත්ත්වයකි. ප‍්‍රතිපත්ති සම්පාදකයන් සහ පර්යේධකයන් මෙම අලූත් පැති ගවේශනය කළ යුතුය. එයින් නැගෙන අලූත් දේ සමාජයේ භාවිතාවට ගැනෙන විට රටත් සමාජයත් දියුණුවට පත්වෙයි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.