» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
22/07/2012 - ඉරිදා ලංකාදීප
අරමුණු දිනන සමාජ සංවිධාන ශක්තිමත් කිරීම අවශ්‍යතාවයකි - මිලින්ද මොරගොඩ

බි‍්‍රතාන්‍යයේ අලූත් දේශපාලන පක්ෂයක් ස්වකීය ප‍්‍රතිපත්ති එරට මහජනතාවට ඉදිරිපත් කළේය. එම පක්ෂයට තිබුණේ එක අරමුණකි. යුරෝපා සංගමය සමග සාමූහිකව ක‍්‍රියා කිරීම අනුමත නොකළ එම පක්ෂයේ එකම අදහස වූයේ බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයේ පාලන ක‍්‍රමයෙන් වෙන්කර ගැනීමයි. පක්ෂය මැතිවරණයට ඉදිරිපත් විය. ජය අත්පත්කර ගත්තේ නැත. නමුත් ඔවුන් ඉදිරිපත් කළ සංකල්පය බි‍්‍රතාන්‍ය වැසියන්ගේ නොම ද අවධානයට ලක්විය. පුද්ගලයන් එකතු වී සංවිධාන ගොඩනගාගෙන තම අදහස් අනුව අලූත් මත ඉදිරිපත් කිරීමේ සංකල්පයෙහි එය එක්තරා සංන්ධිස්ථානයක් ලෙස සදහන් කළ හැකිය.

තමන් පිළිගන්නා ප‍්‍රතිපත්ති අනුව ක‍්‍රියාකිරීමට අදිටන් කර ගන්නා මිනිසුන් ලෝකය පුරා ජීවත්වෙති. සාමාන්‍ය වටපිටාවක සිදුවන සිදුවීම් නොඉවසන මෙම මිනිසුන් ලෝකය යහපත් තැනක් කරන්නට නොපසුබස්නා උත්සාහයකින් වැඩ කරති. එක පුද්ගලයෙකුගෙන් ඇරඹෙන ව්‍යායාමයට පසුව නොයෙකුත් දෙනා එකතුවන බව නිරීක්ෂණය කළ හැකිය. වර්තමාන සමාජය පසුවන්නේ, තොරතුරු තාක්ෂණයෙන් දියුණුව, සමස්ථ සමාජය ගෝලියකරණයට පාත‍්‍ර වි ඇති වකවානුවකය. මෙබදු පසුබිමක සමාන අරමුණු ඇති පිරිස ලෝකයේ නන් දෙසින් එකට එකතු වී විශාල බලවේගයක් බවට පත්වීම වැලැක්විය නොහැනිය.

විවිධ අරමුණු සාක්ෂාත් කර ගැනීමට මෙවැනි නොයෙක් සංවිධාන බිහිවී තිබේ. ඇතැම් ව්‍යාපෘති වලට නායකත්වය ගෙන ඇත්තේ කීර්තිමත් පුද්ගලයන්ය. හිටපු රාජ්‍ය නායකයන්, නලූ නිලියන්, ක‍්‍රීඩකයන්, වෛද්‍යවරුන්, ගත් කතුවරුන් සහ මහජනතාවගේ පරමාදර්ශ බවට පත්ව ඇති චරිත මෙම අරමුණු වෙනුවෙන් පෙනී සිටිති. අදහස් එකිනෙකට වෙනස්ය. සමාජ යහපතට කතා කරන අවස්ථාවේ ඇගයීමට ලක්වන අතර එයට ගරු කරන නොයෙකුත් දෙනා සහය දක්වන්නට පෙළ ගැසෙති. ක්ලින්ටන් පදනම එයින් කැපී පෙනෙන එකකි. ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයා සිය ධුරයෙන් සමුගත් පසු එරට දරුවන්ගේ අධි පෝෂණය හා ආහාර පාන පිළිවෙත් සම්බන්ධයෙන් ජන මතයක් ඇතිකරන්නට පටන් ගත්තේය. පාසල් දරුවන් ට දේශන පවත්වමින් සමාජය හමුවේ කතාකරමින් නොගැලපෙන ආහාර ගැන සමාජයට දැනුම ලබා දෙන්නට කැපවිය. එතැනින් නතර නොවූ හෙතෙම රසකාරක හා මාංශ බහුල ප‍්‍රධාන ආහාර පාන වර්ග නිපදවන සමාගම් සමග පාසල් ආපනශාලා වල විකිණීමෙන් වැලකීමේ එකගතාවයක් ඇති කරගත්තේය. මෙය එක් උදාහරණයකි. පෙර අපර දෙදිගම වැදගත් කීර්තිමත් ධෛර්යයවත් මිනිසුන් සමාජය වෙනුවෙන් නොයෙකුත් මෙහෙවර කරති. මෙරට මරණාධාර සමිති ක‍්‍රමය එයට තවත් උදාහරණයකි. ජනතාව ප‍්‍රාදේශීය වශයෙන් එකතු වී විපතක දී පිහිටට එන ආකාරයට සංවිධානයක් පිහිටුවා ගෙන තිබේ. වෙනත් ආර්ථික, සමාජ හා දේශපාලන කරුණු වලදී එකිනෙකට වෙනස් ආකාරයට සිතන පතන ජන තොටසක් මරණයක දී පොදුවේ එකතුවීමට මරණාධාර සමිතිය පදනමක් වී ඇත. බස් මගී සංගම්, පාරිභෝගික සමිති වැනි ශේෂයන් ද සමාජයේ තැනින් තැන පවතින බව පෙනේ. නමුත් මෙම සමාජ සංවිධාන ශක්තිවන්තව විශාල මෙහෙවරක් කරා ගමන් කරන්නට සූදානමක් නැති බව පෙනේ.

මෙරට සුවිශේෂී චරිත වලට මෙරට ඇති නොයෙකුත් සමාජ ආර්ථික අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටිය හැකිය. මේ දිනවල විශාල මාතෘකාවක් වී ඇත්තේ ළමා අපයෝජනයයි. එය සමාජයට ඉතා වේදනාකාරී අවස්ථාවකි. දරුවන් ලිංගික වශයෙන් ගොදුරු බවට පත් කර ගැනීමට පිරිහීම ඛේදවාචකයකි. මෙම සිද්ධි පසුබිම් කර ගනිමින් විශාල බලවේගයක් රට තුළ ඇති කරන්නට හැකියාව තිබේ. විපතට පත් දරුවන්ට පිහිටවීම හෝ නීතිය තදින් කි‍්‍රයාත්මක කරන තැනට මත ගොඩනැගීම අවශ්‍යයෙන්ම සිදුවිය යුතුය. පුරාවස්තු හා නිධන් මංකොල්ලය ද එවැන්නකි. දීර්ඝ ඉතිහාසයක් ඇති රටට වටිනාම වත්කම පුරාණ ඉතිහාසයයි. එය පෙන්වන්නට ඉතිරිව ඇති සංස්කෘතික වටිනාකමක් ඇති ස්ථාන මංකොල්ල කෑම බරපතල තත්ත්වයකි. රටට සහ රටේ ඉතිහාසයට ආදරය කරන කීර්තිමත් චරිතයකට මෙවැනි දේ සිදු නොවන තැනට ජන මත ඇති කිරීම පහසුය. එය කළ යුතුය. නමුත් ලෝකයේ සෙසු රටවල වෙනස්කම් ඇතිකරන්නට මත ගොඩනගන නායකත්ව බිහිවන ආකාරයට ශ‍්‍රී ලංකාවේ සමාජ ආකෘතිය සකස් ව නැත.

එයට හේතුවී ඇත්තේ ශ‍්‍රී ලාංකිකත්ව අනන්‍යතාවය සම්බන්ධ ප‍්‍රශ්නයක් බව පෙනේ. නිදහස ලැබීමෙන් පසු රට තුළ රටට ගැලපෙන අනන්‍යතාවයක් බිහිවී නැත. එය තවමත් මෝදු වෙමින් පවතී. පරම්පරා ගණනාවක් රට බි‍්‍රතාන්‍ය ඇතුළු බටහිර සමාජ ක‍්‍රමයේ ලක්ෂණ වලට නතුව තිබිණ. බටහිර එම සමාජ ක‍්‍රමයේ දී රජයට වඩා මහජනතාව ශක්තිමත්ය. සමාජ අවශ්‍යතා හා ප‍්‍රශ්න නැගෙන විට සමාජයම නැගී සිට ඒවාට විසදුම් ගැන අවධානය යොමු කරයි. සාකච්ඡා ඇතිවෙයි. ආණ්ඩුව ප‍්‍රශ්න විසදන තෙක් බලා සිටින්නේ නැත. නමුත් අපරදිග චීනය වැනි රටවල ආණ්ඩුව හා දේශපාලන ක‍්‍රමය බලවත්ය. ප‍්‍රශ්න ඇතිවන විට එයට විසදුම සාකච්ඡා කරන්නේ දේශපාලන සංස්කෘතිය තුළ වන අතර තීන්දුව ප‍්‍රකාශ වන්නේ ආණ්ඩුවේ බලය ඇතිවය. නමුත් සමාජ ගෝලීයකරණය සමග චීනයේ පවා සමාජය හා සමාජ සංවිධාන බලවත් වෙමින් තිබේ. ඉන්දියාවේ සමාජ සංවිධාන ඉතා ශක්තිමත්ය. ගොවි සංවිධාන සහ ජනතා බලවේග හමුවේ ඉන්දීය ආණ්ඩුවට තීන්දු ගන්නට සිදුව ඇත.

ශ‍්‍රී ලංකාව පසුවන්නේ මෙම අන්ත දෙක අතර තමන්ට ගැලපෙන ක‍්‍රමය සොයා ගැනීමේ අවස්ථාවකය. ප‍්‍රශ්නයක් ඇති විට සමාජය එයට විසදුම අපේක්ෂා කරන්නේ ආණ්ඩුවෙන්ය. ආණ්ඩුව සියල්ල කර දෙන තෙක් බලා සිටී. අපරාධ වැඩිවන විට ළමා අපචාර ගැන නිතර වාර්තා වන විට එය ආණ්ඩුව වග කිව යුතු තත්ත්වයකි. ආණ්ඩුව තීරණගත යුතු අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුව මහජනතාව ද මෙවැනි ප‍්‍රශ්න විසදන ක‍්‍රමයක් ඇති කිරීමේ කොටස්කරුවන් වන්නට සූදානමක් නැත. ඡන්දයෙන් මහජන නියෝජිතයන් තෝරා ඔවුන් පාර්ලිමේන්තුවට යැවීමෙන් පසු තම වගකීම අවසන් යැයි ජනතාව සහ සමාජ නායකයන් උපකල්පනය කරයි. ප‍්‍රශ්න ඇති අවස්ථාවේ දී ඇගිල්ල දිගු කරන්නේ දේශපාලනඥයන්ටය. විස`දම ඉල්ලන්නේ දේශපාලනඥයන්ගෙන්ය. පාසලට දරුවෙකු ඇතුලත් කිරීමේ සිට මරණය දක්වා දේශපාලනඥයන් සහ දේශපාලන පක්ෂ ප‍්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළ තැනෙකය. මෙයින් සිදුව ඇත්තේ දේශපාලනඥයන් හා දේශපාලන පක්ෂ වලට නොවටිනා සමාජ වටිනාකමක් ඇති කිරීමයි. වටිනා තැනක් හිමි නමුත් පවතින ක‍්‍රමය තුළ දේශපාලනයට හා දේශපාලනඥයාට ස්වකීය ඡන්ද දායකයන්ගේ සියලූ අභිමතාර්ථයන් සාක්ෂාත් කරන්නට හැකියාවක් නැත. එය කළ නොහැකි තැන දේශපාලනඥයා පිරිහීමට ලක්වෙයි. දේශපාලනඥයා සහ දේශපාලන ක‍්‍රමය පිරිහී ඇත. විශ්වාස නොකරයි. දූෂිතයෙකු බව දක්වයි. ශ‍්‍රී ලංකාව පත්ව ඇත්තේ එම අභාග්‍ය සම්පන්න අවස්ථාව කරා බව පැහැදිලිව පෙනේ.

සමාජ අවශ්‍යතා තේරුම් ගෙන රටේ ජන මතය ගොඩනගන සිවිල් සංවිධාන ඇතිවන්නට ඉඩදිය යුතුය. එය එක අරමුණක් වෙනුවෙන් පෙනී සිටින ජන බලවතනයක් විය හැකිය. සමාජයේ ප‍්‍රශ්න කතාකරන, ඒවාට විස`දුම් යෝජනා කරන ජන සංවිධාන වලින් රටට අලූත් යුගයක් ඇති කළ හැකිය. එවැනි යුගයක් ඇති කරන්නට කලින් මෙරට අනන්‍යතාවය ගමන් කරවිය යුතු ආණ්ඩුව සියල්ල ඉටුකරන ප‍්‍රතිපත්තියකට ද නොඑසේනම් බටහිර දැනට පවතින සමාජ නායකයන් එකතු වී තමන්ගේ වගකීම් හා යුතුකම් ඉටුකරන ක‍්‍රමයකට ද යන්න ගැන තීන්දුවකට යා යුතුව තිබේ. ගමේ පාර සකසන ශ‍්‍රමදානය, වැව අමුණ තනාගන්නා ගොවියන් ගේ ශක්තිය අද නතර වී සියල්ල ආණ්ඩුවෙන් කර ගන්නා තැනට පත්ව තිබේ. ආණ්ඩුව බලවත් කර ගැනීමේ විපාක අනුව එයට මුහුණ දීමේ අභියෝගය දැන් අපට ඇත. එයින් මිදෙන්නට නම් ජනතාව හා ජනතා සංවිධාන ශක්තිමත්ව නැගෙන්නට අවශ්‍යය. නොයෙකුත් අරමුණු සාක්ෂාත් කරගන්නට ස්ව ශක්තියෙන් පොහොසත් පුද්ගලයන්ට පුලූල් අවස්ථාව සැපයීම අවශ්‍යය. එය කළ හැකි සමාජ අවශ්‍යතා තේරුම් ගෙන නිසි වගකීමෙන් ක‍්‍රියාකරන සමාජ සංවිධාන ජාලයක් ඇති කිරීමෙන් පමණකි.

මෙම ඇති කර ගත යුතු පසුබිම මෙරට පෙරදිග සමාජයේ අලූත් දෙයක් නොවේ. රට තුළ තිබුණ පැවැත්මයි. එහි නායකයෝ සිටි අතර ඔවුහු ස්වේච්ඡාවෙන් කැපවීමෙන් තම වගකීම් ඉටු කළහ. නිදහස ලැබීමෙන් පසු සහ ඉනික්බිතිව රට පුරා පැවති යුද පරිසරය තුළ සමාජයට හා සමාජ නායකත්වයට නිසි අවස්ථා නොතිබිණ. ආරක්ෂාව සහ රාජ්‍ය පාලනය ප‍්‍රමුඛ එකක් විය. ත‍්‍රස්තවාදය තුරන් කිරීමෙන් පසු බිහිවෙමින් පවතින සමාජය තුළ සමාජයට හිමි වගකීම නිසි ආකාරයට බෙදා දෙන්නට සමාජය තින්දුවක් ගත යුතුය. එය කළ හැකි වන්නේ රටට වැඩදායක යමක් කරන්නට පොහොසතකම ඇති චරිත ස්වකීය නිස්සරණධ්‍යාසයෙන් ඉදිරිපත් වීමෙන් පමණකි. යමක් කරන්නට ඉදිරිපත්වන විට එහි දේශපාලන අරමුණු තිබේ යැයි සොයා පසෙකට වීම අද ඇති තවත් හිරිහැරයකි. ස්වේච්ඡාවෙන් වැඩ කිරීමේ අවසාන ඉලක්කය පාර්ලිමේන්තුව බව සැක කර ඔවුන් සමග එකතු නොවෙන පටු බවක් සමාජය තුළ තිබේ. දේශපාලනයෙන් තොරව මහජන උන්නතිය වෙනුවෙන් යමක් කරන්නට ඉදිරිපත්වන සමාජ හා ආගමික නායකත්වයට අනුබල දෙන, එයට එකතුවන සමාජ සංස්කෘතියක් බිහි කිරීම අද යුගයේ වගකීමකි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.