» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
21/07/2013 - ඉරිදා ලංකාදීප
කෘෂිකර්ම අංශයේ ඵලදායීත්වය නංවන පරිවර්තනයක් - මිලින්ද මොරගොඩ

ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති ශ‍්‍රී ලංකාවේ කි‍්‍රයාත්මක වන්නේ වසර තිස් පහක සිටය. මෙම කාලය තුළ සාමාන්‍යයෙන් සියයට හය ඉක්මවූ වර්ධනයක් ල`ගා කරගැනීම අපහසු වී තිබේ. දශක තුනක පමණ කාලයක් රටට බලපෑ ත‍්‍රස්තවාදය හා සිවිල් ගැටුම් එයට යම් ප‍්‍රමාණයකින් බලපෑ බව සැබැවකි. ආර්ථිකය දියුණුවී සමාජ අවශ්‍යතා සාධාරණව බෙදී ගිය පසුබිමක් ඇති කරන්නට හැකි වූයේ නම් ත‍්‍රස්තවාදයක් ඇති විය නොහැකි බවට ද මතයක් තිබේ. උතුරේ මෙන් ම දකුණේ ද තරුණන් නැගී සිටියේ ක‍්‍රමය වෙනස් කරන්නට ඇති උවමනාව සමගය. වී ගොවිතැන අපේ උරුමයකි. වැව් තනා ගොවිතැන දියුණු කළ අතීත රජ කාලයේ රට සහලින් ස්වයං පෝෂිතව තිබුණි. අධිරාජ්‍යවාදීහු රට යටත් කරගත්තේ වැව් අමුණු වනසා ගොවිතැන අවහිර කිරීමෙන්ය. කෝපී. තේ සහ පසුව රබර් යන බටහිරට අවමනා වැවිලි වගා කළ අධිරාජ්‍යවාදීහු එයින් තම වෙළ`ද පොළ උවමනා සපුරාගත්හ. රට නිදහස ලබා අවුරුදු හැට පහක් ගතව ඇත. නමුත් පැරණි වී ගොවිතැන යළි ඇති කර මෙරට ගොවිතැන ආර්ථික වශයෙන් ලාභදායක කරන්නට අපට හැකියාව ලැබී නැත. අධිරාජ්‍යවාදීහු ඇතිකළ අපනයන කෘෂිකර්මයෙන් විනා වෙනත් මගකට ද ඉඩ පාදාගත හැකි වී නැත. මෙරට කෘෂිකර්මයේ යථාර්ථය එයයි.

අද පෙනෙන ආකාරයට නැගෙනහිර සහ අග්නිදිග ආසියානු රටවල් අත්පත් කර ගෙන ඇති ආර්ථික ජයග‍්‍රහණ කරා ස්ථාවරව ගමන් කරන්නට නම් සියයට අටක් හෝ එයට ඉහළ වර්ධන අනුපාතිකයක් පවත්වාගෙන යන්නට අප රටට හැකියාව තිබිය යුතු බව පෙනේ. ආර්ථික නැග්ම උදෙසා අවශ්‍ය කරන මූලික සාධක කෙරෙහි අප සැලකිල්ල දක්වා ඇත්තේ අල්ප වශයෙනි. ක්ෂුද්‍ර ආර්ථික ප‍්‍රතිපත්ති සමග ඉහළ අය වැය හි`ගය ඒ අතරින් වැදගත් එකකි. අඩු ඵලදායීතාව තවත් එකකි. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් භාණ්ඩ සහ සේවා ජාත්‍යන්තර අවශ්‍යතාවයට සරිලන ආකාරයට ප‍්‍රමාණයෙන් හා තරගකාරී මිලට සපයන්නට අප රට අසමත්ව ඇත. කෘෂිකර්ම අංශය මෙහිලා දැක්විය හැකි හො`ද උදාහරණයකි. විශාල වියදමක් සහ සෑහෙන තරම් ශ‍්‍රම සම්පතක් යෙදවෙන නමුත් එයින් උපයා ගන්නා ප‍්‍රතිඵලය ඉතාමත් සීමිතය. වෙනත් රටක් හෝ වෙනත් ක්ෂේත‍්‍රයක් ඉඩම හා යෙදවෙන ශ‍්‍රමයේ අනුපාතයට උපයා ගන්නා වටිනාකම සාපේක්ෂව ඉහළය. කෘෂි ඵලදායීතාව නැංවීමට ගත හැකි උපාය ගැන වෙහෙසීම සංවර්ධන වේගය නංවන්නට අවශ්‍ය එක පියවරකි.

පසුගිය වසරේ අවසාන කාර්තුවේ දී ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදිතය සියයට 6.3 කි. එම කාලයේ තායිලන්තයේ නිෂ්පාදන වර්ධනය සියයට 19.4 කි. තායිලන්තය ද වී ගොවිතැනින් වැඩි නිෂ්පාදනයක නිරත රටක් බව අමතක නොකළ යුතුය. මෙරට කෘෂිකර්මය ආශ‍්‍රිතව රුකියා කරන පිරිස සම්පූර්ණ ශ‍්‍රම බලකායෙන් සියයට 32 කි. නමුදු කෘෂිකර්මයෙන් රටේ ආර්ථිකයට දක්වන දායකත්වය සියයට 11 ක් පමණකි. එයින් පෙනෙන්නේ කෘෂිකර්මයේ ඵලදායීතාව ආර්ථිකයෙන් තුනෙන් එකක් බවය. මෙය සැලකිය යුතු ආකාරයකින් රටේ ප‍්‍රතිපත්ති සම්පාදකයන් අවධානයට ගත යුතු කරුණකි. මහජන මුදල් විශාල ප‍්‍රමාණයක් කෘෂිකර්මයට අවශ්‍ය යටිතල පහසුකම් වෙනුවෙන් වැය කරයි. ජල සම්පාදනය, උපදේශක සේවා, පොහොර සහනාධාරය සහ සහතික මිල එයින් සමහරකි.

මෙරට කෘෂිකර්මික අංශය සම්බන්ධයෙන් නැවත සිතා බලා අලූත් පරිවර්තනයක් කළ යුතුය. ඉඩම් අයිතිය, රජයේ ඉඩම් විකිණීම හා බදු දීම සම්බන්ධ පොදු ප‍්‍රතිපත්ති යඝි සමාලෝචනය කිරීම අවශ්‍යය. කෘෂිකාර්මික කටයුතු වලදී ඉඩම වැදගත් සාධකයන් වන අතර ඵලදායී කෘෂිකර්මයට නොයෙදවෙන ඉඩම වඩා නිර්මාණශීලී ආකාරයට ප‍්‍රයෝජනයට ගැනීඹට මෙයින් ඉඩ සැලසෙයි. විශේෂයෙන් කුඹුරු ඉඩම් වල අයිතිය සලකා බලන විට ඒවා කුඩා ඉඩම් කැබලි සහ නොයෙක් දෙනා අතර හිමිකම් කියන තත්ත්වයට පත්ව ඇති බව පෙනේ. පරම්පරා බෙදීම අනුව කිසිවෙකුට සම්පූර්ණ හිමිකමක් නැති ඉඩමක ගොවිතැන් කරන විට උසස් තත්ත්වයේ බීජ උපයෝගී කරගන්නේ නැත. ගොවිපොල නිසි සාරවත් ආකාරයකට සකස් කර ගැනීමට උනන්දුවක් දක්වන බවක් ද නොපෙනේ. අවසාන ප‍්‍රතිඵලය ඉඩම අසාරවත්වීමය. ලැබෙන අස්වැන්න සුලූ ප‍්‍රමාණයක් දක්වා පහත වැටීමය. කුඩා ගොවිතැන වෙනුවට යාය ගොවිතැන් ක‍්‍රමයට එකතුවීම වඩා ඵලදායීය යන්න අද මහා පරිමානයෙන් පුද්ගලික අංශය කරන කෘෂි ව්‍යාපෘති තහවුරු කරන කරුණකි.

වී ගොවිතැන පමණක් නොව වැවිලි කර්මාන්ත අංශය ද අඩු නිෂ්පාදනයක් පෙන්වයි. නොයෙකුත් පහසුකම් සපයන නමුත් තේ සහ රබර් වගාවට යට කර ඇති ඉඩම් ප‍්‍රමාණය සහ එහි නිරත ශ‍්‍රමය සලකා බලන විට රටට අවුරුද්දකට ලැබෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 1.7 ක විදේශ ආදායමක් පමණකි. මෙයට වෙනස් විකල්ප අවස්ථා මගින් එයට වැඩි විදේශ විනිමයක් රටට උපයාගත නොහැකිද?

කෘෂිකර්මය රටේ සංස්කෘතියේ වැදගත් කොටසකි. වී ගොවිතැන ඵලදායී තත්ත්වයට පත් කරන අතර සියවස් පැරුණි වැවිලි අංශය ද රටට ගැලපෙන පරිවර්තනයකට යොමු කිරීම ගැන සිතා බැලීම අවශ්‍යය. සමබර ආර්ථිකයක් රටට අත්පත් කර දෙන්නට නම් කෘෂිකර්මය වානිජ මට්ටමට ගෙන ආ යුතුය. මෙම වෙනස කරන අතරතුර සමාජ සහ දේශපාලන අවශ්‍යතා සලකා බලා සෙසු අංශ ද වෙනසකට ලක් කළ යුතුය. අඩු ඵලදායීත්වයෙන් සහ සම්ප‍්‍රදායික සේවයක් සපයන ඉදිකිරීම්, ප‍්‍රවාහන සහ තොග සහ සිල්ලර වෙළ`දාම යන අංශ වල වෙනසක් ඇති කිරීමට ඇති හැකියාව පර්යේෂණයට ලක් කිරීම අවශ්‍යය. තාක්ෂණය හා විද්‍යාත්මක ක‍්‍රමවේද අනුගමනය කරමින් කෘෂිකර්මයේ ඵලදායීතාව නැවිය හැකිවෙයි. එය කරන්නට නම් කුඩා ඉඩම වෙනුවට මහා පරිමානයේ කෘෂිකර්මයට පසුබිම සැකසිය යුතු බව ද අමතක කළ යුතු නැත. තොරතුරු තාක්ෂණය, සංචාරක, නාවුක සේවා සහ ගගන සේවා යන අංශ ඇතුලත්ව අලූත් සේවා ආර්ථිකයකට රට යොමු කළ හැකිය. දැනට ජාත්‍යන්තර සමාජය සැපයුම් චක‍්‍රයට එකතු වී ඇති අතර එමගින් කොරෙන්නේ ලෝක නිපැයුමට එක් එක් රටවලින් කළ හැකි දායකත්ව උපරිම කාර්යක්ෂමතාව සහිතව සම්බන්ධවීමයි. මෙම පැති ගැන පර්යේෂණ කරන අතර අලූත් ආකාරයට සමාජය තුළ නව ව්‍යවසාය ඇති කරන්නට එයින් පසුබිම සකසාගත හැකිවෙයි.

කෘෂිකර්මය නවිකරණයට ලක්කිරීමට ප‍්‍රතිපත්ති තීරණ ගැනීම දේශපාලනික වශයෙන් අභියෝගාත්මකය. එපමණක් නොව සෑහෙන ශ‍්‍රම බලකායකට එයින් නික්ම අලූත් අවස්ථා සොයා ගත යුතුය. කෘෂි අංශය ආර්ථික වර්ධනයට ගැලපෙන පරිදි වෙනස්කරන්නට තීරණය කළහොත් එයින් අවතැන්වන ශ‍්‍රමික පිරිසට අලූත් රුකියා අවස්ථා මුණ ගැසෙන පරිදි පසුබිම සකස් කිරීම ඉතාම වැදගත්ය. දැනටමත් නිෂ්පාදනය ඇතුලූ නොයෙක් අංශ වල රුකියා ඇබෑර්තු බහුලව පවතින බව රහසක් නොවේ. ඒවාට ගැලපෙන පරිදි කෘෂි අංශයේ අතිරික්ත ශ‍්‍රමය පුහුණු කළ හැකිය. ආර්ථිකය මෙවැනි පරිවර්තනයකට ලක් කිරීම බැ?රුම් ක‍්‍රියාදාමයකි. එහි ප‍්‍රධාන සාධක වන මානව සම්පත හා මූල්‍ය අංශය ද උෘන ඵලදායකත්වයක සිට ඉහළ මට්ටම දක්වා මෙවැනිම පරිවර්තනයකට ලක්කළ යුතුව තිබේ.

ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මය විද්‍යානුකූල ආකාරයකට කරන වෙනස්කම සමාජය තුළ ජනප‍්‍රියත්වය ඇති නොකරන තින්දුවකි. එයට එරෙහිව නොයෙක් අදහස් පැන නැගෙනු ඇති බව නිසැකය. එය සමබර කරන්නට නම් පුලූල් සාකච්ඡුාවක් කර රට තුළ යම් අවබෝධයක් ඇති කිරීම අවශ්‍යය. පරිවර්තනය සිදු කරන කාලය තුළ හො`දින් ඉලක්ක කරන ලද සුබසාධන වැඩි පිළිවෙලක් ද හ`දුන්වා දිය යුතුය. කෘෂි අංශයේ පරිවර්තනය හමුවේ යම් අර්බුදයකට මුහුණ පාන ජන ජීවිතය එයින් සමෘද්ධිවත් කළ හැකිය. රුකියා ජනනය කරන සහ වෘත්තිය පුහුණුව නංවන කාලසටහනකට අනුරූපව සකස් කරන ආකාරයට මෙම පරිවර්තනය සකස් කළ හැකිය. ඵලදායීතාව ඇතිකරන සහ නිෂ්පාදනය වැඩි කරන ආකාරයට කෘෂි අංශය සකස්වන විට රජයේ මූල්‍ය තත්ත්වය යහපත්වනු ඇති අතර එවැනි යහපත් මූල්‍ය ශක්තිය කෘෂිකර්මය නවීකරණයෙන් අතරමග දී අපහසුතාවයට පත්වන ජන කොටස ආරක්ෂා කරන වැඩසටහනට උපයෝගී කරගත හැකි වනු ඇත. ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකරන විට එහි සාර්ථකත්වය නිරීක්ෂනය කරන ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ප‍්‍රදානක ආයතන පවා එහිලා උපකාරී වනු ඇති බවට සැකයක් නැත. මෙවැනි යුග වෙනසක් සිදුවන විට ඉඩම් අයිතිය සම්බන්ධයෙන් ඇති පසුබිම නැවත සිහිපත් කිරීම වටී. ඉඩමක අයිතිය, එය භාවිතා කරන කාර්යය යන කරුණු සලකාබලන විට කෘෂි අංශය තුළ සිදුවන පරිවර්තනය අවසානයේ දී කෘෂි ඉඩම් වෙළ`ද පොළට පවා අලූත් වටිනාකමක් ඇති කරනු ඇතැයි අපේක්ෂාවයි.

කෘෂි අංශය ඵලදායී තැනකට ගෙන ඒමට ගත හැකි පියවර සාකච්ඡුා කිරීම පහසුය. ජනතාව හුරු පුරුදු වී සිටින සම්ප‍්‍රදායික රාමුවෙන් ඉවතට ගෙන අලූත් තැනකට යොමු කිරීම අපහසුය. පරිවර්තනය වෙනුවෙන් ගෙවන්නට සිදුවන ආර්ථික සහ සාමාජයීය වන්දිය විශාලය. බරපතල ආකාරයට සැලසුම්කර හො`දින් හිතා බලා තින්දු ගැනීමේ හැකියාවක් වගකිවයුත්තන්ට තිබිය යුතුය. එවැනි බැරූරුම් යුගයකට පසු රටට තිරසාර සංවර්ධනයක් සහ අනාගතය සම්බන්ධයෙන් අපේක්ෂා සහගත ආර්ථික වර්ධනයක් බලාපොරොත්තුවිය හැකිය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.