ශ‍්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන වේගය අඩුවිය හැකි බවට ලකුණු පහල වෙමින් තිබේ. පසුගිය වසර දෙක තුළ සියයට අට ඉක්මවන ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යන්නට හැකිවිය. එය හොදම තත්ත්වයකි. නමුත් ගෙවී යන වසර හමුවේ අභියෝග රැසක් පැන නගිමින් ඇත. වියදම වැඩිය. ආදායම ප‍්‍රමාණවත් නොවන බව පෙනේ. අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු වෙනුවෙන් තවතවත් ණය ගනිමින් සිටී. එය පෙන්වන්නේ වසර අවසානයේ ආර්ථික සංවර්ධන වේගය ඉලක්ක කරන ලද මට්ටමට වඩා අඩුවිය හැකි බවයි. මහජනතාව අපේක්ෂා කරන ආර්ථික හා සාමාජයීය දියුණුවට එයින් යම් බලපෑමක් සිදුවන්නට ඉඩ තිබේ. මෙය බලාපොරොත්තු නොවිය හැකි තත්ත්වයක් නොවේ. එල්ලවිය හැකි ගැටලූ අවබෝධ කරගෙන එයට මුහුණ දිමට සමාජය සූදානම් කිරීම හා විකල්ප වැඩපිළිවෙල සකස් කිරීම වගකීමයි.
ශ‍්‍රි ලංකාවේ ආර්ථිකයේ අපේක්ෂිත සංවර්ධනය අඩාල වන්නේ ඇයි? එය බාහිර හා අභ්‍යන්තර කරුණු ගණනාවක ප‍්‍රතිඵලයකි. පළමුවෙන් ජාත්‍යන්තර යේ පවතින ස්වභාවය යහපත් නැත. යුරෝපීය රටවල් ප‍්‍රශ්න රැසකට මුහුණ දී තිබේ. යුරෝපයේ ණය අර්බුදය එයින් පළමුය. යුරෝ මූල්‍ය අගය පිරිහෙමින් තිබේ. ජර්මනිය හැරෙන්නට සියලූම රටවල් ආර්ථික ගැටලූ හමුවේ දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති බව පෙනේ. ඇමරිකාව ද වියදම් කපා හරිමින් තමන් මුහුණ දී ඇති ආර්ථික ගැටලූ වලට විසදුම් සොයමින් සිටී. එරට ඉතිහාසයේ වැඩිම වියදම් කපාහැරීම මෙවර අය වැය ලේඛනයෙන් සිදුවූ බව වාර්තාවෙයි. වේගවත් ආර්ථික දියුණුවක් අපෙක්ෂා කළ චීනය හා ඉන්දියාවේ ආර්ථික සංවර්ධන වේගය ද යම් තරමකින් අඩාල වී ඇත. ලෝකයේ නොයෙකුත් රටවල් ස්වකීය ඉලක්ක සංශෝධනය කරමින් පිරිමැසුම් සහගත හා යළි යළිත් සිතා බලමින් තීන්දු ගන්නා යුගයකට අවතීර්ණ වී තිබේ. සියලූම රටවල් තම වියදම් අඩු කරන අතර ආදායම් ඉපැයීම හා වියදම සමාන කර ගන්නට වෙහෙසෙන බව නිරීක්ෂණය කළ හැකිය. ඉන්ධන මිල වැඩිවෙයි. එය බලශක්තියට ගෙවන්නට සිදුවන වියදම වැඩි කිරීමකි. දෙවනුව ආහාර නිෂ්පාදනය අඩුවී ඇති අතර එය කාලගුණ ප‍්‍රශ්නයකි. මේ නිසා ලෝක වාසීන්ගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවී තිබේ.
පවතින තත්ත්වය හමුවේ ජර්මනිය තින්දු ගන්නා ආකාරය ලෝකයට අලූත් පණිවුඩයක් නිකුත් කරමින් සිටී. පළමු හා දෙවන ලෝක යුද්ධ වලදී පාඩම් ඉගෙනගත් ජර්මනිය ශක්තිමත් ආර්ථිකයක් සකස් කරගෙන ඇත. එයට පදනම වූයේ යුද තත්ත්වය හෙයින් ආර්ථිකය අවදානමකට ගමන් කරමින් සිටි අවස්ථාවේ දී සමාජය ජර්මන් ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට ගත් තද තීන්දුවයි. කාර්යක්ෂම, ඵලදායීතාවයෙන් ඉහළ සහ තත්වයෙන් උසස් දේ නිපදවමින් ලෝකයේ වෙළදාමෙන් යම් නිශ්චිත කොටසක් දිනා ගන්නට ජර්මනියට හැකිවිය. බෙන්ස්, වොක්ස්වාගන් වැනි වෙළදනාම ස්ථාවර වූයේ එහෙයින්ය. එය, අදටත් ඔවුන්ට වාසියක් වී තිබේ. ජර්මන් ආණ්ඩුවේ වියදම උපයන ආදායමට සමාන කර තිබේ. යුරෝපිය සංගමයේ සාමාජික රටක් වශයෙන් සමස්ථ ප‍්‍රජාවේ දුර්වලතා මැඩ සියලූ රටවල් ඉදිරියට ඇදගෙන යන බලවේගය බවට පත්ව ඇත්තේ ජර්මනියයි.
ශ‍්‍රී ලංකාව මුහුණ දෙන්නට සිදුව ඇත්තේ ලෝක ආර්ථිකයේ වර්තමාන ප‍්‍රවනතාවයන්ටය. රට අනන්‍ය ආර්ථික ප‍්‍රතිපත්ති අනුගමනය කරන නමුත් ලෝකයේ රටවල් සමග එකිනෙකට බැදී ක‍්‍රියාකරන්නට සිදුව තිබේ. පසුකරමින් සිටින්නේ ගෝලීයකරණ යුගයයි. එක රටක සිදුවීම් අනෙක් රටට බලපෑමක් එල්ල කරයි. ඇමරිකාව හා යුරෝපීය රටවලට ශ‍්‍රී ලංකාව යහමින් අපනයනය කරයි. වැඩිපුර ඇගලූම් මිලදී ගන්නේ එම රටවල්ය. සෙසු අපනයන වලට ද එම කලාපයේ හොද වෙළද පොළක් ඇත. සංචාරක ව්‍යාපාරයේ දී වැඩිපුරම ධනවත්, යහමින් මුදල් වියදම් කරන සංචාරකයන් රටට එන්නේ එම කලාපයෙන්ය. බටහිර රටවල සේවය කරමින් රටට විදේශ විනිමය උපයා එවන ලාංකිකයන් ගණනද සැලකිය යුතු තරම්ය. එම කලාපය ආර්ථිකය සීමා කරන විට එහි යම් බලපෑමක් රටට ඇතිවීම වැලැක්විය නොහැකිය. එය සැලකිල්ලට ගත යුතුය. අපනයනයේ දී හා විදේශ විනිමය ඉපැයීමේ දි ඇතිවිය හැකි පසුබෑම සලකා විශේෂ පියවර ගත යුතුව තිබේ.
රටට ආර්ථික ප‍්‍රශ්න තිබේ. යුද කාල පරිච්ඡේදයෙන් පසු නියම චක‍්‍රයට තවමත් ඇතුලූ වූයේ නැත. උතුර නැගෙනහිර පලාත් රටේ ප‍්‍රධාන ව්‍යුහයට එකතුවීමෙන් විශාල පිබිදීමක් දැකගත හැකි වූ නමුත් ආර්ථිකය පුලූල් කරන සැලසුම ආරම්භ වූවා පමණකි. ගමන්කළ යුතු දුර බොහෝය. මහජනතාව එකතු කරගෙන ඔවුන් ව්‍යවසායකයන් බවට පත්කරන වැඩ පිළිවෙලකට යා යුතුය. නිෂ්පාදනය වැඩිවන්නේ හා වෙළද පොළ යාන්ත‍්‍රණය වැඩි දියුණු වන්නේ එවිටය.
වෙළද පොල සකී‍්‍රයවන විට තරගකාරීත්වය ඇතිවෙයි. එයින් මහජනතාවට පහසුවක් දැනේ. හොද ගුණාත්මක භාණ්ඩ සැපයෙන අතර මිළ තරගකාරීත්වය ජිවන වියදම අඩු කරන්නට හේතුවකි. එය රට අභ්‍යන්තරයේ සකස්විය යුතු වැදගත් ආර්ථික රාමුවයි. ආණ්ඩුව වියදම් අඩු කරගත හැකි මාර්ග ගවේශනය කළ යුතුය. බොරතෙල් මිල වැඩිවන විට එයට විකල්පයක් නැත. සම්පූර්ණයෙන් ම බොරතෙල් ආනයනය මත යැපෙන රටට බලශක්තිය වෙනුවෙන් වැය කරන්නට සිදුව ඇති මුදල වැඩිවෙයි. බලශක්තිය කාර්යක්ෂමව භාවිතා කිරීමෙන් ප‍්‍රශස්ත තත්ත්වයක් කරා යා හැකිවෙයි. එයට ආණ්ඩුවේ සිට සාමාන්‍ය ජනතාව දක්වා යම් කැපකිරීමක් කරන්නට සිදුවෙයි. සංවර්ධන වේගය අඩුවන විට එදිනෙදා ආර්ථික ක‍්‍රියාකාරකම් පහත වැටීම සාමාන්‍ය සිදුවීමකි. වෙලදාම සීමාවෙයි. නිෂ්පාදනය එයට සමාන්තරව අඩුවිය හැකිය. එහි ප‍්‍රතිඵලය ආණ්ඩුවේ ආදායම පහත වැටීමයි. ආදායම අඩුවන විට වියදම පාලනය කර ගත නොහැකිවිට ණය ගන්නට සිදුවීම වැලැක්විය නොහැකිය. දේශීය හා විදේශීය වශයන් ණය ගැනීම අයහපත් නැත. එහි පාලනයක් අවශ්‍යය. රටට ණය විය හැකි සීමාව දක්වා රට පැමිණ තිබේ. ආදායම ප‍්‍රමාණවත් නොවනවිට ණය ගෙන වියදම් පියවා ගැනීම චක‍්‍රයකි. ණය ගන්නට සිදුවන්නේ පොලියටය. දිගින් දිගටම ණය ගන්නා විට පොලිය වැඩිවෙයි. පොලිය ගෙවන්නේ සමාජයයි. ණය හා පොලිය සමග රටේ උද්ධමනයද ක‍්‍රමයෙන් ඉහළ නගින්නට පටන් ගනී. ක‍්‍රමයෙන් නොදැනුවත්වම සිදුවන මෙය උගුලකි. අවසානයේ නොදැනීම තමන්ම අටවාගත් කාල බෝම්බයකි. ලෝකයේ නොයෙකුත් රටවල් ණය අර්බුදය හමුවේ ස්වකීය ගමන්මග සසල කරගෙන තිබේ. එය පාඩමකි. එයින් අත්දැකීම් ලබා ගැනීම යහපත්ය.
ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සියුම් විචාරාත්මක ආකාරයට දකින්නට සමාජයට හැකිවිය යුතුය. ලෝක ප‍්‍රජාව ආර්ථික අර්බුදයක සිටියදී රටට පමණක් එයින් ගැලවීමක් නැත. පවතින ප‍්‍රශ්න යටපත් කරගෙන පුරුදු ආකාරයට වියදම් කරගෙන සැපදායක අන්දමට රට මෙහෙයවන්නට සූදානම් වීම ප‍්‍රශ්න රැසකට මග පාදයි.
ආර්ථිකයේ ගැටලූ මතුවන විට පාලනයට දොස් තබයි. එය සාමාන්‍යයෙන් සිදුවන එකකි. දේශපාලනඥයෝ දෝෂාරෝපණයට ලක්වෙති. විපක්ෂවය ද ඇගිල්ල දිගු කරන්නේ ආණ්ඩුවටය. සමාජයක් වශයෙන් ප‍්‍රශ්නය අවබෝධකරගන්නට සූදානම් නොවන ලාංකික සමාජය වැරදිකරු බවට පත් කරන්නේ ආණ්ඩුවයි. එය සාධාරණ නැත. මහජනතාව පසුපස යන දේශපානයක් අද පවතින ක‍්‍රමය බිහිකර ඇත. නායකයන් ජනතාවට ඉදිරියෙන් සිටිය යුතුය. දුර දිග බලා සැලසුම් සකස් කිරීම අවශ්‍යය. ඔවුන් ජන නායකයින් වන්නේ එවිටය. මහජනතාවට නොදැනෙන දේ දැක ප‍්‍රශ්නයක් එළැඹෙන්නට කලින් එයට මුහුණ දෙන ආකාරය විග‍්‍රහ කරන්නට නායකත්වයට හැකියාව තිබිය යුතුය. මෙවැනි නායකයන් අවශ්‍ය දේශපාලනයට පමණක් නොවේ. සමාජයේ සියලූ තලයන්හි හරි දේ හරි ආකාරයට දකින නායකයන් අවශ්‍යය. රටට ආර්ථික ප‍්‍රශ්න ඇතිවිය හැකි බව ප‍්‍රකාශ කළ යුතු දේශපාලනඥයන් පමණක් නොවේ.බුද්ධිමත් සමාජ නායකයන්, පර්යේෂකයන් පවතින තත්ත්වය විචාරා එයි යතාර්ථය සමාජයට දැනුම් දීම අවශ්‍යය. එවිට ආණ්ඩුවට තීන්දු ගැනීමට හැකිවෙයි. දැන් සිදුවන්නේ මහජනතාවගේ හිත නොරිදා මැතිවරණ දිනා ගැනීමට හැකි ආකාරයට ක‍්‍රමය පවත්වාගෙන යාමයි. එය සෑම දේශපාලන පක්ෂයකම දර්ශනය බවට පත්ව ඇත. ජනතාවට ඉදිරියෙන් සිටිමින් ඔවුන්ගේ දරුවන්ට යහපත් අනාගතයක් හදන දේශපාලනයක් රටට අවශ්‍යය. එය කළ හැකිවන්නේ දේශපාලනඥයන්ට පමණක් නිසි මගට අවතීර්ණ වීමෙන් නොවේ. ඔවුන්ට දොස් තැබීම වෙනුවට ඇත්ත දකින, යථාර්ථය ගැන සමාජය සමග සාකච්ඡා කරන දේශපාලනය අගය කරන පරපුරක් රටට අවශ්‍යය. අද එළැඹෙමින් ඇති ආර්ථික හා සමාජ වාතාවරණය තුළින් රටට ඉගෙන ගත හැකි පාඩම එයයි.
මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
|