» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
19/08/2012 - ඉරිදා ලංකාදීප
මහජනතාව වෙනුවෙන් ආර්ථික ඉලක්ක සම්පාදනය - මිලින්ද මොරගොඩ

ශ‍්‍රී ලාංකික ජන සමාජය තුළ ජාති, උස් පහත් බේධයකින් තොරව රට හැර යාමේ හැගීම බලවත්ව නැගී ඇති බව පෙනේ. ඕනෑම ක‍්‍රමයකින් රට හැර යාම කොටසකගේ අපේක්ෂාවයි. නොයෙක් රටවල් ලාංකිකයන් ගේ අනවසර පැමිණීමට එරෙහිව නීති පනවා තිබේ. කවර උපායකින් හෝ විදේශ ගතවන්නට උත්සාහ කරන්නේ තම ආත්ම ශක්තියෙන්, සාධාරණව අනාගතය ගොඩනගා ගන්නට ඉඩක් නැති බවට මතයක් ඇතිවීම නිසාය. තවත් පිරිසක් උත්සාහ කරන්නේ රජයේ සේවයට ඇතුළු වන්නටය. ආණ්ඩුවේ රස්සාවක් ගැනීමෙන් පසු කරදරයකින් තොරව හොද ආදායමක් ලබා ජීවිත ගත කරන්නට හැකියාව ඇත. එයින් පෙනෙන්නේ මේ සමාජය විනාශ වී ඇති බවයි. එය අවාසනාවකි. ලෝකය වෙනස්කරන දිරිමත් මිනිසුන් ආණ්ඩුවලින් බිහිවී නැත. සාර්ථක ව්‍යවසායකයන් වී ඇත්තේ තම දහඩිය මහන්සියෙන් සහ ධෛර්යයෙන් ක‍්‍රියාත්මක වූ පුද්ගලයන්ගෙනි.

ආර්ථීකයක් දියුණු කිරීමට ආණ්ඩුවට හැකියාවක් නැත. ආයතන ඇතිකර රැකියා බිහි කරන්නට ආණ්ඩුවට හැකියාව ඇත්නම් තරුණ පෙල වීදි බසිමින් විරෝධතා නගද්දී ආණ්ඩු නිහඩව සිටින්නේ නැත. රජයේ සේවකයන් වැඩි වැටුප් ඉල්ලා වර්ජනය කරද්දී එයට අවනත නොවී සිටින්නේ ද නැත. ධනය බිහි කරන්නේ සමාජයයි. ආණ්ඩුව එයින් කොටසක් බදු වශයෙන් ආපසු අය කර ගනී. අධ්‍යාපන, සෞඛ්‍ය සහ සමාජ සුබසාධනයට වැය කරන්නේ එම ආදායමෙන් කොටසකි. විශාල මුදලක් රජයේ සේවක වැටුප්, සහ පරිපාලනයට වියදම් වෙයි. ආණ්ඩුව විශාල වන විට ජනතාවගෙන් වැඩියෙන් බදු අය කර ගන්නට සිදුවෙයි. වැඩි වැටුප් ඉල්ලා උද්ඝෝෂණය කරන්නට අපහසු නැත. වැටුප් වැඩි කරන්නට උද්ඝෝෂකයන් ඇතුළු පොදු ජනතාවගෙන් ධනය උපයා ගන්නට සිදුවෙයි. ලෝකයේ දියුණු රටවල ආණ්ඩුව කාර්යක්ෂම, කුඩා එකකි. බදු ගෙවන ජනතාව ආණ්ඩුවේ ක‍්‍රියාකාරීත්වය දනී. රජයේ සේවයට බදවා ගන්නා බව නිවේදනය කරන විට සහ රජයේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කරන බව නිවේදනය කරන විට එයට එක හෙලා විරුද්ධ වන්නේ බදු ගෙවන ජනතාවයි. අප රටේ මහජනතාව තමන් බදු ගෙවන බව දන්නා නමුත් එය ගැන තැකීමක් නැත. ආණ්ඩුවට බදවා ගන්නා පිරිස අඩු කර රජයේ වියදම අඩු කරන්නට හැකිනම් බදු අඩු කළ හැකිය. පරිප්පු, සීනි සහ අත්‍යවශ්‍ය ආහාර හැම දෙයකින්ම ආණ්ඩුව බදු අය කරයි. දුප්පත් පොහොසත් හැම දෙනෙකුම භාණ්ඩ පරිභෝජනයේ දී ආණ්ඩුවට ගෙවන බද්ද අඩු කර ගත හැකිනම් ජීවන වියදම අඩුවෙයි. මෙරට ආණ්ඩුවේ ආයතන නඩත්තුව, සමාජ සුබසාධනය හා රජයේ සේවය යන විශාල වියදම් වෙනුවෙන් වාර්ෂිකව එකතු කර ගත යුතු රජයේ ආදායම විශාලය. මහජනතාව වැඩි පුර සහන ඉල්ලන විට, රජයේ සේවකයන් වැඩි වැටුප් ඉල්ලන විට ආණ්ඩු එය ඉටුකරන්නේ තව තවත් බදු බර පනවමින්ය. එය විශාල චක‍්‍රයකි. ආණ්ඩු කරන දේශපාලනඥයන්ට මෙම චක‍්‍රයෙන් මිදෙන්නට හැකියාවක් නැත. එය කළ හැකි ආකල්ප වෙනසකින් පමණකි. ආකල්ප වෙනසක් ඇති කිරීමයි. ආර්ථීකය වඩා සක‍්‍රීය කර හැම දෙනාටම තරගකාරීව සම අවස්ථා ඇති කිරීම එහිලා වැදගත්ය. පුර වැසියන් සුළු කර්මාන්ත හා ව්‍යාපාර කරන්නන් බවට පත් කර ඔවුන් ධනය උපයන බලවේග බවට පත්කළ යුතුය. ආණ්ඩුවෙන් හෝ සහනාධාර මගින් යැපෙන සංස්කෘතිය අවසන් කළ යුතුය. ආර්ථීකය දියුණු කරන වැඩ පිළිවෙල සකස් කළ හැකි වුවත් එයට ගැලපෙන ආකල්ප වෙනස ඇති කිරීම වඩා දුෂ්කරය. මහජන නියෝජිතයන්, බුද්ධිමතුන් ආකල්ප වෙනස්කර අලූත් අදහස් ඇතිකරන්නට මහන්සි වියයුතුය. අවාසනාවකට මෙරට අධ්‍යාපන ක‍්‍රමයෙන් නිපදවන බුද්ධිමතුන් ද ආණඩුවෙන් යැපීම අවසාන ඉලක්කය කරගෙන සිටී. බුද්ධිමතුන් ද ආණ්ඩුවෙන් වැඩිපුර ඉල්ලමින් සටන් කරනු විනා තමන් ද තම හැකියාවෙන් ආදායම් උපයන අවස්ථා ජනනය කරන්නට උත්සාහ කරන්නේ නැත.

නිදහසින් පසු ඇති වූ ආණ්ඩු විසින් නොකඩවා සිදු කරන ලද වරද ආකල්ප වෙනසකට වඩා තව තවත් මහජනතාව තුළ බලාපොරොත්තු ඇති කිරීමට උනන්දු වීමයි. රජයට සියලූ දේ කළ හැකිය යන අනවශ්‍ය අපේක්ෂාව මහජනතාවගේ සිත තුළ ඇති විය. මැති ඇමතිවරුන්ට සියලූ දේ කළ හැකි අතර ඔවුන් වටා බලය කේන්ද්‍ර ගත වී ඇති බව සමාජය විශ්වාස කරයි. පවතින දේශපාලන ක‍්‍රමය එයට වගකිව යුතුය.

විදේශීය රටකට පැනයන්නට නොසිතන තරුණන් උත්සාහ කරන්නේ රාජ්‍ය සේවයට ඇතුල්වීමටය. දේශපාලනඥයන් එම යල්පැන ගිය ආකල්පය ආරක්ෂා කරති. එයින් ඔවුන්ගේ බලය පවත්වාගෙන යාමට හැකිය. අවසානයේ දී සිදුව ඇත්තේ සමස්ථ ජනගහනයෙන් සියයට දහයක් හෝ අඩුම තරමින් පවුල් මිලියන දෙකක් පමණ ජනතා බදු වලින් නඩත්තුකරන පිරිසක් බවට පත්ව සිටී.

ආණ්ඩු විසින් කළ යුතු වන්නේ මහජනතාවගෙන් බදු අයකරගෙන යළි එම බදු මුදල් මහජන යහපතට වැය කිරීමයි. සියල්ල ඉටුකරන්නා නොව සියල්ල කළමණාකරනය කරන්නා බවට පත්වීමයි. නායකත්වය ගෙන ප‍්‍රතිපත්ති සම්පාදනයි. ජාතික ආරක්ෂාව, නීතිය සහ සාමය, ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වාගෙනයාම, ප‍්‍රතිපත්ති සම්පාදනය හා දුගී දුප්පත් පිරිස රැක බලා ගන්නා සමාජ ආරක්ෂණ ක‍්‍රම වැනි විශේෂිත අංශ රජයේ පාලනය යටතේ පවත්වාගෙන යාමයි. අධ්‍යාපනය, සෞඛ්‍ය, බලශක්තිය යන වැදගත් අංශවල පුද්ගලික අංශය සමග හවුල්කරුවකු හා නියාමන කාර්ය භාරයක නියැලිය හැකිය. ආණ්ඩුව සියල්ල කරන්නට උත්සාහ කිරීමෙන් එයට අවශ්‍ය ධනය බදුවලින් මහජනතාවගෙන් ලබා ගන්නට සිදුව ඇති අතර ප්‍රතිපත්ති මත ක‍්‍රියා නොකිරීමෙන් අධික අලාභ හා අකාර්යක්ෂමතාවයේ වන්දිය ගෙවන්ට සිදුව ඇත්තේ ද මහජනතාවටය.

දියුණු වූ හැම රටකම ඇත්තේ කැපවීම, ආත්ම ශක්තිය ගැන උදාහරණය. මහත් වෑයමෙන් දුක දිනාගෙන අත්දැකීම් ඇසුරෙන් ප‍්‍රායෝගිකව පැමිණි ගමන්මග පිළිබදවය. කුඩා තැනකින් පටන්ගෙන සාර්ථක ව්‍යාපාරිකයෙකු වූ පුද්ගලයෙකු හා සාර්ථකත්වයට පත් රටක් අතර ගමනේ වෙනසක් නැත. ත‍්‍රස්තවාදය තුරන්කර සමාජය නිවහල් වී ඇති මෙම වකවානුව අලූතින් සිතන්නට හා අලූතින් කි‍්‍රයා කරන්නට ඉතාමත් සුදුසුය. උපයන හැම දෙයක් ම යුද්ධය උදෙසා පරිත්‍යාග කළේය. එවැනි කැපවීමක් කර අත්දැකීම් ඇති සමාජයකට ආර්ථීක දියුණුව ලගාකර ගැනීම උදෙසා යම් කැපවීමක් කිරීම අපහසු එකක් නොවේ. කැපවීමකට සූදානම් නොවී දැනට ඇති සම්පත් වැය කර අද පමණක් සැනසිල්ලේ ගතකරන පටු තීන්දුවට එළැඹුන හොත් එහි අනිටු බලපෑම එල්ල වන්නේ අනාගත පරපුරටය.

දියුණුවට පත් වූ ලෝකයේ සියලූ රටවල් එහිලා පාදක කරගත් පළමු බලවේගය ධනය බිහිකිරීමයි. ධනය නිපදවිය හැක්කේ පෞද්ගලික අංශයටය. වී. අයි. ලෙනින් මහතා කොමියුනිස්ට් දර්ශනය ගොඩනැගුවේ ස්වකීය සමාජ අත්දැකීම් ඇසුරෙනි. සමාජය ගොඩනගන විට ආර්ථීකය සම්බන්ධව අත්දැකීම් ලබන්නට ඔහු සමත්විය. ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේ දී ජීවිත අත්දැකීම් සහිතව ඔහු නව ආර්ථික ප‍්‍රතිපත්ති ගැන කතා කළේය. ''ප‍්‍රාග්ධනයට මුදල් උපයන්නට ඉඩදෙන්න. රජයට එයින් කොටසක් ලබා ගත හැකිවනු ඇති බව'' ඔහු සදහන් කළේය. වාමාංශික අදහස් තිබුණ සියලූ රටවල් අද විවෘත ආර්ථික නැඹුරුවකින් ධනය උත්පාදනය ගැන විශ්වාස කරන්නේ එය අනුවය. උපයන ධනයෙන් කොටසක් රජය විසින් ලබා ගෙන සමාජයේ පිහිට රැකවරණය අවශ්‍ය අයට දිය යුතු බව අද අන්තර් ජාතිකව පිළිගැනෙන සංකල්පයකි. චීනයේ මෙන්ම සිංගප්පූරුවේත් සිදුවන්නේ එයයි. ඕනෑම ආණ්ඩුවට ආර්ථිකය ගැන ප‍්‍රතිපත්ති තීන්දු ගන්නට ශක්තිය ඇත. එහෙත් ආර්ථීක කි‍්‍රයාවලියෙහි නිරතවන්නට ශක්තිය නැත. ආර්ථීකය ක‍්‍රියාත්මකවන දැතිරෝදයෙහි බලය ඇත්තේ පෞද්ගලික අංශය සතුව බව පිලිගත් සෑම රටක්ම වර්තමානයේ විශාල දියුණුවක් කරා ලගා වී ඇත. සම්පත් මොනවාද ඒවා ආයෝජනය කළ යුත්තේ කවර අවස්ථාවේ ද යන්න හොදින් කල්පනා කර තීන්දු ගත යුතුය. ඉඩමෙහි වටිනාකමක් ඇත. නමුත් එය දෙගුණ තෙගුණ වන්නේ එහි ආයෝජනයක් කිරීමෙන් පසුවය. ඉඩමෙහි අයිතිය නොව එහි ආයෝජනයෙන් නිපදවන ආර්ථීකය අතිවිශාල එකක් බව යථාර්තයයි. වෙනසක් නොවී අලූත් යමක් සිදුවන්නේත් නැත. තමන්ට ගැලපෙන පරිදි සංස්කෘතියට හා අනන්‍යතාවය ආරක්ෂා කරන පිළිවෙලකට අනුව ධනය වැඩෙන්නටත්, එයින් කොටසක් ආපසු ගන්නා රජය සමාජ සුරක්ෂිතතාවයට ආයෝජනය කරන්නට හැකි බවත් පිළිගතයුතු අනිවාර්යය සත්‍යයයි.

මහජනතාවට දැනෙන ආර්ථීක වර්ධනයක් පවත්වාගෙන යන්නට නම් දළ දේශීය නිෂ්පාදිතයේ සියයට අටක් දහයක් අතර වාර්ෂික වර්ධනයක් අප පවත්වාගෙන යා යුතුය. පසුගිය දශක කිහිපය තිස්සේ සියයට පහකට ආසන්න සාමාන්‍යයකට වඩා වැඩි සංවර්ධන වේගයක් පවත්වාගෙන යන්නට ශ‍්‍රී ලංකාව සමත්ව නැත. ආර්ථික වර්ධනය කරා ගමන් කරන්නට නම් වෙළදපොල ආර්ථීකයට ඉඩ දිය යුතුය. වෙළදපොල ආර්ථිකය යනු සියල්ල පෞද්ගලික අංශයට බාර දීම නොවේ. රජය කොටස් කරුවෙකුව සිටිමින් ආර්ථික වර්ධනයට දායක කර ගත හැකි බලවේග නිර්මාණය කර ගැනීමයි.

පෞද්ගලික අංශයට යනු මහා පරිමාන ආයෝජකයන් පමණක් නොවේ. සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන් පෞද්ගලික අංශයේ කොටස්කරුවන්ය. තැඹිලි වෙළෙන්දාත්, එළවලූ පළතුරු වෙළෙන්දාත් ව්‍යවසායකයෙකි. ඇමරිකාවේ ව්‍යවසායයන්ගෙන් සියයට හතලිහක් පමණ සුළු ව්‍යාපාරිකයෝ වෙති. ඉන්දියාව, ජපානය වැනි රටවල ද එය එසේය. ශ‍්‍රි ලංකාව කළ යුත්තේ ද මෙවැනි කුඩා පරිමානයේ සිට මහා පරිමානය දක්වා නව ව්‍යාපාර ජාලයක් ඇතිකරන්නට පහසුකම් සැලසීමයි.

ශ‍්‍රී ලංකාව වැඩි සංවර්ධන වේගයක් ඉක්මනින් ලබා ගන්නට නම් රජයේ අයවැය ස්ථාවරව හා විනිවිද පෙනෙන අයුරින් පවත්වාගෙන යාම අවශ්‍යය. අයවැය හිගය අඩු විය යුතුය. එය කළ හැකි රජයේ වියදම් අඩු කිරීමෙන් පමණකි. රජයට ආදායම වැඩි කර ගත යුතු නම් අය කරන බදු වැඩි කර ගන්නට සිදුවෙයි. පවතින බදුගෙවන පිරිසගෙන් වැඩි පුර බදු අය කරනවාද නැතිනම් බදු ගෙවිය හැකි පිරිස වැඩි කර ගැනීමට ඉඩ දෙනවාද යන ප‍්‍රශ්නය ප‍්‍රතිපත්ති සම්පාදකයන් අද පුළුල්ව සාකච්ඡා කළ යුතුය. මහජනතාවට යතාර්ථය තේරුම් කර දීම වැදගත්ය. ආණ්ඩු ආර්ථිකයේ යථාර්ථය පොදු ජනතාවට ඉදිරිපත් කරන්නේ නැත. ආණ්ඩුවට හැකියාවක් නැතැයි පිළිගන්නට සූදානම් නැත. රැකියා සපයන්නට, සහනාධාර දෙන්නට පසුබිම හැදෙන්නේ මහජනතාව ගෙවන තරමට බව කියන්නට පැකිලෙයි. අඩුවෙන් අය කරන්නට නම් ආණ්ඩුවෙන් යැපෙන පිරිස අඩුකළ යුතු බව කියන්නට නිර්භීත නැත. මෙරට පවතින දුර්වල තාවය එයයි. දේශපාලනඥයන් තුළ ආර්ථිකයේ විකල්පය ගැන මහජනතාවට දන්වන්නට හැකි පීඩනයක් සමාජයෙන් ඇතිවිය යුතුය. බුද්ධිමතුන්, සමාජ නායකයන්, ජනමත ඇතිකරන්නන් එයට අනුබලදීම වටී. ජනමාධ්‍ය මගින් එයට විශාල මෙහෙවරක් කළ හැකිය. මිත්‍යාව බිද වැටෙන්නේ යථාර්ථය පෙන්වා දුන් තරමටය. රට තුළ තරගකාරීත්වය ඇතිකළ යුතුය. පුද්ගලයන් සේ ම ආයතන අතර තරගයක් ඇති නොවුනහොත් එයින් හොද ප‍්‍රතිඵල ලැබෙන්නේ නැත. පවතින ඒකාධිකාරය හෙයින් මහජනතාවට විකල්පයක් නැත. සේවා සපයන්නන් අතර තරගයක් තුළින් මිළ අඩු, තත්ත්වයෙන් උසස් සේවාවක් මහජනතාවට ලැබේ.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.