ඉන්ධන මිල ගණන් වැඩි කරන්නට පසුගිය දා රජයට සිදුවිය. මිල වැඩිවූ ප‍්‍රතිශතය සුළු එකක් නොවේ. ඞීසල්, පෙට‍්‍රල් සහ භූමිතෙල් ජන ජීවිතය ගෙන යන්නට අවශ්‍ය බලශක්තියේ කොටසකි. සංවර්ධනය වන විට මහජනතාවගේ අවශ්‍යතා වෙනස් වෙයි. අලූත් තොරතුරු අනුව රට වැසියන් හතර දෙනෙකු අතරින් එක් අයෙකු කවර වර්ගයක හෝ වාහනයක හිමිකරුවෙකි. වාහනයක් නඩත්තු කරන අයෙකුට ඉන්ධන මිල වැඩිවීමේ බරපතලකම දැනේ. කම්හලට, ව්‍යාපාරික ස්ථානයට, ගොවිපොලට හෝ මුහුදු යන බෝට්ටුවට වැය කරන්නට සිදුවන වියදම බරපතලය.
ඉන්ධන මිල වැඩිවීමෙන් අපහසුතාවයට පත්වන, සහන අවශ්‍ය ජන කොටසට සහන දෙන බව රජය ප‍්‍රකාශ කළේය. නමුත් පැන නැගුණ විරෝධය සැලකිය යුතු තරම්ය. පුද්ගලික බස් ධාවනය නතර විය. ධීවරයෝ මහ මගට බැස උද්ඝෝෂණය කළහ. එයින් තවත් අපහසුතාවයට පත්වූයේ දුප්පත් ජනතාවයි. හඩක් නගන්නට තරම් ශක්තියක් නැති අහිංසක කොටස නිහඩව සිටියහ. මතුවී පැතිර යන බලවතාගේ නිරෝධයට වඩා වඩා දරුණු තත්ත්වය එයයි. අසරණවන කණ්ඩායම ගැන අවධානය යොමු කළ යුතුය. නිහඩවම වේදනාව දරා ගන්නා මිනිසුන් ගැන සැලකිළිමත්වීම අවශ්‍යය.
ඉන්ධන මිල වැඩි කරන්නට රජයට සිදුවූයේ ඇයි? බොරතෙල් මිල පළමු සාධකයයි. මෑත කාලය තුළ ලෝක වෙළද පොලේ බොරතෙල් මිල ගණන් සියුම් අන්දමින් ඉහළ ගියේය. දේශපාලන ගැටුම්, මැදපෙරදිග අරගල හා වේගයෙන් සංවර්ධනය වන රටවල ඉල්ලුම ඉහළයාම එයට හේතු විය. සම්පූර්ණයෙන් ම බොරතෙල් ආනයනය මත යැපෙන්නට අප රටට සිදුව තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ වට ගණනක් මන්නාරම හා ඒ අවට බොරතෙල් ගවේශන කරයි. දැන් සිදු කෙරෙන ගවේශන යේ දී ගෑස් සම්බන්ධ නිරීක්ෂණ වාර්තා වන අතර බොරතෙල් සොයා ගත හැකි වුව ද පොලව මතු පිටට ගෙන ඒවා පාවිච්චි කරන්නට තවත් සෑහෙන කාලයක් ගත විය හැකිය. එය රටට තනිව දරා ගත නොහැකි තරමේ අති විශාල ආයෝජනයක් ද වනු ඇත. මෙවැනි පසුබිමක ලෝක වෙළද පොලේ ඉන්ධන මිල ට විකල්පයක් රටට නැත. බොරතෙල් මිල වැඩි වන විට ආනයනය කරන තෙල් මිල වැඩිවන අතර එය පාරිභෝගික ජනතාවට සපයන්නට සිදුවන්නේ පවතින මිලටය.
රටට අවශ්‍ය ඉන්ධන ආනයනයේ වැඩි බරක් උසුලන්නේ ඛනිජ තෙල් සංස්ථාවයි. කලින් රජයේ එය ඒකාධිකාරයකි. පසුව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඛනිජ තෙල් වෙළදාමට එකතු විය. සංස්ථාව තෙල් ආනයනය කරන අතර කොටසක් ගෙන්වන්නේ බොරතෙල් වශයෙනි. එය සපුගස්කන්ද පිරිපහදුවෙන් සකස් කෙරේ. තවත් කොටසක් පිරිපහදු කළ ඉන්ධන වශයෙන්ම ආනයනය කරයි. මේ දක්වා මෙරට පාරිභෝගිකයන්ට ඉන්ධන සැපයුනේ සහන මිලකටය. පෙට‍්‍රල් වලින් ලාභයක් හා ආනයන බදු අයකරගත් අතර ඞීසල් හා භූමිතෙල් අලෙවි කළේ ලෝක වෙළද පොලේ මිලට වඩා අඩු මිලකටය. විදුලිය උත්පාදනයට අවශ්‍ය දැවිතෙල් ආනයනය කර විදුලිය බල මණ්ඩලයට සපයන ලද්දේ ද අඩු මිලකටය. මෙම ආනයන හෙයින් ඛනිජ තෙල් සංස්ථාව විශාල අලාභයක් වාර්තා කරයි. පසුගිය අවුරුදු කිහිපය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ ඛනිජ තෙල් සංස්ථාවේ මූල්‍ය වාර්තා පෙන්වන්නේ ඉන්ධන වෙළදාමෙන් සංස්ථාව ලබන අලාභයයි. සංස්ථාව දෙස් විදෙස් බැංකු වලට ණය වී ඇත. මෙම ණය වෙනුවෙන් පොලියක් ගෙවන්නට සිදුවෙයි. අලාභයට මෙම පොලී වියදමත් ඇතුලත්ය. අත්‍යවශ්‍ය මහජන සේවාවක් වශයෙන් ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම වැදගත්ය. නමුත් ව්‍යාපාරයක් මේ අන්දමට පවත්වාගෙන යා නොහැකිය. රජය නියම කරන මිල ට විනා ලෝක වෙළද පොලේ මිලට ඉන්ධන විකුණන්නට සූදානම් වුවහොත් මහජන විරෝධය නැගේ. අමාරුවේ වැටෙන්නේ රජයයි. ඛනිජ තෙල් සංස්ථාව ගොදුරු වී ඇත්තේ දේශපාලන උගුලකටය.
සහන වශයෙන් අඩු මිලට ඉන්ධන සැපයීම පහසු එකක් නොවේ. වැඩි මිලට ගෙන අඩු මිලට විකුණන විට පාඩුවක් ඇත. මහා භාණ්ඩාගාරය එය පියවයි. එසේ කරන්නේ මහජනතාවගෙන් අය කරන බදු ආදායමෙන්ය. නියම මිලට ඉන්ධන විකුණා ඛනිජ තෙල් සංස්ථාව ලාභදායක ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන යා හැකි නම් මහජනතාව ගේ බදු බර අඩු වෙයි. රජය උපයන බදු සංවර්ධන ව්‍යාපෘති වලට යෙදවිය හැකිය. එවැනි දේ වලකා ඇත්තේ අලාභ සහිතව කරන ඉන්ධන වෙළදාම බව තේරුම් ගැනීම වටී.
පෙට‍්‍රල් වලින් යම් ලාභයක් ඇතත් එය සංස්ථාවේ පාඩු පියැවීමට ප‍්‍රමාණවත් නැත. ඩීසල් හා භූමිතෙල් අලෙවි කරන්නේ සහන මිලකටය. සහනය ලැබෙන්නේ දුගී දුප්පත් ජනතාවට පමණක් නොවේ. ඩීසල් මගින් ධාවනය වන බස් රථ ඇත්තේ දස දහස් ගණනක් නමුත් සෙසු වාහන ලක්ෂ ගණනකි. එකී වාහන අයිතිකරුවන් ගෙන් සෑහෙන කොටසක් බදු ගෙවන්නන්ය. මෙරට අලෙවි වන භූමිතෙල් වලින් කොටසක් දුප්පත් ජනතාව ගේ නිවාස අලෝකවත් කරන හා ධීවර බෝට්ටු වලට නමුත් තවත් කොටසක් ගුවන්යානා වලට පවා සැපයේ. හැබෑ සහනය ලැබෙන්නේ කා හටද?
ඛනිජ තෙල් වෙළදාමේ මුහුණුවර වෙනස් විය යුතුය. එය දුප්පතුන්ගෙන් බදු අය කර එයින් කොටසක් දුප්පතුන්ටම සහන සේ පවරා වැඩි කොටසක් ධනවත් පිරිස අතට ලැබෙන සහනයක් විය යුතු නැත. යම් ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍යය. ආනයනය, ගබඩාකිරීම, බෙදාහැරීම හා අලෙවිය සම්බන්ධයෙන් තරගකාරී කාර්යක්ෂම බවක් ඇති කළ යුතුය. එවිට නාස්ති වැලකේ. අනවශ්‍ය වියදම් අඩුවෙයි.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම මෙරට ඛනිජ තෙල් වෙළදාමට සම්බන්ධවීම සමග ඉන්ධන අලෙවි සැල්වල පෙනුම පවා වෙනස්විය. නගරයේ ඉතාම වටිනා තැනක පිහිටි ඉඩමේ තෙල් අලෙවිය පමණක් නොව විවිධ වෙළද අවකාශ විවෘත කෙරිණ. වියදම් අඩුකරන කළමණාකාරීත්ව ක‍්‍රම උපයෝගීකර ගත්තේය. තවත් ආයතනයක්, දෙකක් ඉන්ධන වෙළදාමට එකතු වුවහොත් ලෝක යේ මිලට ඉන්ධන අලෙවි කරන්නට ඉඩ දී තරගකාරීත්වයක් ඇතිකළ හැකිය. රජයට අයත් ගබඩා, පිරිපහදුව හා බෙදාහැරීම මෙම ආයතන වලට සේවා සපයා අතිරේක ආදායමක් උපයා ගත හැකිවෙයි. සංස්ථාව ලාභ උපයන විට එය රටට බරක් නොවේ. මහජනතාවට සහන දිය යුතු නම් ඉලක්ක ගත පිරිසට අය වැය මගින් කෙලින් ම සහන සැලසිය හැකිය. විදුලිය බලය නැති ජනතාව හදුනාගෙන ඔවුන්ට භූමිතෙල් සපයන්නටත්, මගී ප‍්‍රවාහනය හෝ ධීවර කර්මාන්තය වෙනුවෙන් සහන දෙන්නටත් නියමානුකූල පිලිවෙතක් අනුගමනය කළ හැකිවේ. එය පැහැදිලිය. විනිවිද පෙනෙන එකකි. දැන් සිදුවන අන්දමට සහන දෙන බව කියන නමුත් එම සහන ජනතාවගේ බදු මුදලින්ම පියවන එකක් නොවේ. මෙවැනි ආකල්ප වෙනසක් ඛනිජ තෙල් කර්මාන්තය වෙනුවෙන් ස්ථාපිත කිරීම වැදගත්ය. ව්‍යාපාරයක පවතින සම්ප‍්‍රදායික ක‍්‍රමය වෙනස් කිරීමෙන් එහි අවාසි සීමාකරගත හැකිය. එවැනි දියුණු සැලසුම් ආර්ථිකයක අලූත් පැති නිර්මාණය කරනු ඇත.
සිංගප්පූරුව එයට කදිම උදාහරණයකි. එරට ඛණිජ තෙල් නිධි නැත. එහෙත් ඉන්ධන වෙළදාම එරට විනිමය උපයන ප‍්‍රධාන මගකි. ලෝකයේ බලවත් ඛනිජ තෙල් ගබඩා කරන, පිරිපහදු හා අලෙවි සමාගම් වලට සිංගප්පූරුවේ ආයෝජනයට ඉඩ දී තිබේ. එම සමාගම් බොරතෙල් ආනයනය කර එරට ආර්ථිකයට ශක්තිය සපයයි. ආදායම් උපදවයි. මෙරට තෙල් පිරිපහදුව තාක්ෂණයෙන් යල්පැනගිය පැරණි එකකි. එය නවීකරණය කරන්නට විශාල ආයෝජනයක් අවශ්‍යය. ශ‍්‍රී ලංකාවට දර්ශනයක් වියයුතු බොරතෙල් ආනයනය කර පිරිපහදු කර එයින් අතුරු නිපැයුම් නිපදවා අපනයනය කරන අතර රටට අවශ්‍ය ඉන්ධන සපුරා ගැනීමයි. එය රජයට පමණක් කළ නොහැකිය. විවෘත අවස්ථා සැපයීමෙන් ආයෝජකයන් උනන්දුවෙන් සහභාගීවනු ඇත.
ඕනෑම රටකට මූලික ආර්ථික මූල ධර්ම වලින් ඈත්විය නොහැකිය. වෙළද පොළ මිල තීරණය වන්නේ ඉල්ලූම හා සැපයුම අනුවය. පවතින මිල තීරණය වන සාධකය එයයි. මහජනතාව සහන මිත්‍යාවෙන් රැවටිය හැකිය. නමුදු කෙටි කාලයකට පමණකි. සහන සැපයීමට අවශ්‍ය ධනය සොයා ගන්නේ කොතැනින්ද? අලාභ එකතු වන්නේ ආයතනයටය. දිගින් දිගටම සිදුවන අලාභ පියවන්නට ජනතාවගෙන් අය කරන බදු මුදල දරුණු එකක් බව දැනෙන අවස්ථාවේ නැගෙන ජනතා විරෝධය පාලනය කිරීම පහසු නැත. එයට ගෙවන්නට සිදුවන වන්දිය බරපතල එකකි.
ආණ්ඩු පත් කරන්නේ මහජනතාවයි. බලය දෙන්නේ යහපත් පාලනයකටය. මෙම පාලනයේ දී මහජනතාවට සත්‍ය අනාවරණය කිරීම අවශ්‍යය. දේශපාලනඥයන් මහජනතාවට යතාර්ථය දක්වන්නට කැමති නැත. එය ජනපි‍්‍රය වන මගක් නොවේ. සහනාධාර සංස්කෘතියක් ඇති බව දේශපාලන ඉතිහාසය අධ්‍යයනය කරන විට පෙනේ. බලයට පත්වන්නට නම් මහජනතාවට පොරොන්දු දෙයි. අඩු මිලට බඩු සැපයීම මේ පොරොන්දු වලට ඇතුලත්ය. බලයට පත් වූ පසු එහි ඇති බරපතල කම වැටහේ. විපක්ෂයට හොදම ආණ්ඩු පිහිටුවිය හැකිය. විපක්ෂය සතුව ඒ තරමට අදහස් තිබේ. නමුත් පොරොන්දු හා එය යතාර්ථයක් කරන්නට යන විට පරතරයක් ඇත. මේ රටේ ඉතිහාසය දෙස බලන විට මහජනතාව පත් කරන ආණ්ඩු බලයෙන් පහ කරන්නේ මහජනතාවයි. බොරතෙල් මිල වැඩි වන විට එයට මුහුණ දෙන්නට සමාජය සූදානම් කිරීමට දේශපාලන පක්ෂ සමත්විය යුතුය. ඉන්ධන මිල වැඩි කරන විට එයට විරෝධය පළ කළ හැකිය. පටු ආකල්පයකි. ලෝක වෙළද පොලේ ඉන්ධන මිල වැඩි වන විට එයට මුහුණ දෙන්නට සිදුවෙයි. පක්ෂ ප‍්‍රතිපත්ති අනුව හැසිරෙන ආකාරය එකිනෙකට වෙනස් විය හැකිය. නමුත් ගමනේ අවසානය නොවෙනස්ය. වැඩි මිලට ගෙන අඩු මිලට විකුණන ව්‍යාපාරයක ට ගෙවිය යුතු වන්දියක් තිබේ.
ඕනෑම සමාජයක ඇති නැති පරතරය ක් තිබේ. ආණ්ඩු පවත්වාගෙන යන ප‍්‍රතිපත්ති මෙම පරතරය තුනී කළ යුතුය. පරතරය වැඩිකරන්නේ අනුගමනය කරන වැඩ පිළිවෙලයි. ආණ්ඩු එයට ගොදුරුවන්නේ නොදැනුවත්වමය. මහජනතාව වෙනුවෙන් බව කියමින් අරඹන සහනාධාර වල සැබෑ ප‍්‍රයෝජන ලැබෙන්නේ ඒවා ලැබිය යුතු ජන කොටසට නොවේ. 99 ව්‍යාපාරය නමින් මතධාරීන් පිරිසක් ඇමරිකාවෙන් පැන නැගී තිබේ. සියයට එකක් පමණ වන වරප‍්‍රසාද ලත් පිරිස වෙනුවෙන් සියයට 99 ක් කැපවීමේ වරද ඔවුහු පෙන්වා දෙමින් සිටිති. ලෝකය පුරා මෙවැනි ව්‍යාපාර බිහිවෙයි. ඒවා ඇතිකරන්නේ පවතින ක‍්‍රමයයි. යථාර්ථයට මුහුණ දී මහජනතාවට ඇත්ත කියනවා වෙනුවට ඇතිකරන නොයෙකුත් සංකීර්ණතා සමාජය අර්බුදයකට තල්ලූ කරයි. ඇති නැති පරතරය වැඩි කරයි. මහජනතාවගේ ප‍්‍රශ්න විසදීම වෙනුවට ඒවා විසදීම කල් දමයි. එයින් සිදුවන්නේ බරපතල තත්ත්වයකි. 99 ව්‍යාපාරය කියා දෙන පාඩම එයයි.
ඇමරිකාවේ පමණක් නොව ලෝකය පුරා තැනින් තැන මහජන නැගිටීම් දක්නට ලැබේ. මහජන නැගිටීම ට තුඩු දෙන හේතු සොයා බැලීම වැදගත්ය. ඉන්ධන මිල වැඩි කරන විට එයට එරෙහිවන පිරිස නගන තර්කය දෙස අවධානය යොමු කළ යුතුය. ප‍්‍රශ්නය තේරුම් කර දී යතාර්ථය ට මුහුණ දීම විනා විකල්පයක් නැති බව පෙන්වා දීම වැදගත්ය.
මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
|