ඇමරිකාව අවුරුදු දෙසීයක පමණ ඉතිහාසයක් ඇති රටකි. චීනයේ අතීතය අවුරුදු දස දහස් ගණනකට හිමිකම් කියයි. පසුගිය දිනවල මෙම රටවල් දෙක ගැනම ජගත් ජනමාධ්‍ය මහත් අවධානයකින් පසුවිය. ඇමරිකානු ජනාධිපතිවරණය සහ චීනයේ ජනාධිපතිවරයා නම් කිරීමේ කොමියුනිස්ට් පක්ෂ සංවත්සරය මෙම අවස්ථාය. ඇමරිකාව ලෝක බලවතා වශයෙන් සැලකෙයි. චීනය දැනට ආර්ථික බලය අතින් ලෝකයේ දෙවැනියා වන නමුත් තවදුරටත් නැගෙන ලකුණු පහලව තිබේ. අද වන විට ලෝක ආර්ථිකය තුළ ආයෝජනය කරන ශක්තිය ඇති හයවැනි බලවතා වශයෙන් ගැනෙන්නේ ද චීනයයි.
ඇමරිකාව සහ චීනයේ පාලන ක‍්‍රමය අතර විශාල වෙනස්කම් තිබේ. ඇමරිකානු වැසියන් සිය නායකයා තෝරා ගත් අන්දම හා සම්ප‍්‍රදායානුකූලව බල හුවමාරුව ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පවත්වාගෙන යාමෙන් සාධාරණ අවස්ථා සමාජයට හිමිවීමේ වැදගත් කම පෙන්වන එකකි. එම ප‍්‍රජාතන්ත‍්‍රවාදී බව එරට සෑම ආයතනයකින්ම මැනවින් දක්වයි. නමුත් චීනය ස්වකීය නායකයන් තෝරා ගන්නේ කොමියුනිස්ට් පක්ෂයට ගැලපෙන අනන්‍ය ආකාරයටය. පක්ෂයේ ඉහළම සාමාජිකයන්ගේ අභිලාශය අනුවය.
පසුගිය කාලය තුළ ඇමරිකානු ජනාධිපතිවරණ අපේක්ෂකයන් ස්වකීය පාක්ෂිකයන් හමුවේ ඡුන්ද ප‍්‍රචාරක ව්‍යාපාරය පවත්වාගෙන ගියේය. තෝරා ගත යුතු අපේක්ෂකයා ගේ ධෛර්යය, කැපවීම සහ ඔහුගේ දර්ශනය සම්ප‍්‍රදායික වේදිකාවේ දී දැකගන්නට අමෙරිකානු පුරවැසියන්ට අවස්ථාව හිමි විය. අවසානයේ දී නොවැම්බර් මස පළමු අඟහරුවාදා මැතිවරණය පවත්වන ලදී. මෙම දිනය වෙනස් නොවන සම්ප‍්‍රදායකි. අපේක්ෂකයන් අතර විවෘත සංවාද තිබිණ. ප‍්‍රතිපත්ති වෙනස් කිරීම හා බදු ක‍්‍රම ගැන අදහස් රිපබ්ලිකන් අපේක්ෂක මිට් රොම්නි Mitt Romney ඉදිරිපත් කළේය. දැනටත් බලයේ සිටින බැරක් ඔබාමා Barack Obama අධ්‍යාපනයට කරන ආයෝජනය, පර්යේෂණ හා යටිතල පහසුකම් දියුණු කිරීම වැනි පැති ගැන අවධානය යොමු කළේය. චරිත ඝාතනයෙන් තොරව ප‍්‍රතිපත්ති විවේචනයට ලක්විය. අමෙරිකානු වැසියෝ ප‍්‍රකාශ කළ ඡුන්දයට අනුව අනුව 2013 වසරේ ජනවාරි විසි වැනිදා දහවල් 12.00 ට අභිනව ජනාධිපතිවරයා දිවුරුම්දීමට නියමිතය. ක්‍න්දියෙන් පැරදුන රොම්නි එය පිළිගත් අතර ජයග‍්‍රාහකයාට සුබ පැතුවේය. බලය හුවමාරුවීම සම්බන්ධ අමෙරිකාවේ භාවිතාව එයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ලක්ෂණ එහි මනාව ගැබ්ව තිබිණ. ජනතාවගේ පරමාධිපත්‍ය අරභයා දැක්විය හැකි සාධාරණ උදාහරණයක් එයින් උකහා ගත හැකිය.
මෙවර ජනාධිපතිවරණයෙන් බැරක් ඔබාමා යළි ජයග‍්‍රහණය කිරීම සමග සම්ප‍්‍රදායික ඇමරිකාව වෙනස් මගක ගමන් කරන බව යළිත් පැහැදිළි වීම විශේෂ තත්ත්වයකි. ඔබාමා පළමුවර තරග කරන විට ඔහුගේ ප‍්‍රතිවාදියාවූයේ ඇමරිකානු සංස්කෘතිය තුළ ඉහළ පැලැන්තිය නියෝජනය කළ ජෝන් මැකේන්ය. ඔබාමාගේ කලූ ජාතික බව හා ඔහුගේ නමට මැදින් ඇති මුස්ලිම් නම ගණනකට නොගත් ඇමරිකානු වැසියන් පළමුවරට එතුමා පත්කර ගන්නා විට මෙම පරිවර්තනයේ පළමු පියවර නිරීක්ෂණය කළ හැකිවිය. දෙවැනි වතාවට ප‍්‍රතිවාදියා වශයෙන් සිටි රොම්නි පවා ඇමරිකාවේ ඉහළ පැලැන්තිය හා එරට ක‍්‍රිස්තියානි ආගමේ එක් කොට්ඨාශයක් නියෝජනය කරන ලද නමුත් එය ගණනකට නොගෙන සම්ප‍්‍රදායට එපිටින් යන තීන්දුව තහවුරු කිරීම කැපීපෙනෙන එකකි. මෙම තීන්දුව සමග ඇමරිකානු නායකයාට එරට සම්ප‍්‍රදායට පමණක් නොව මිශ‍්‍ර වෙමින් පවතින සමාජ සංස්කෘතියේ අලූත් අභියෝගවලට පුළුල් දැක්මකින් යුතුව මුහුණ දීමේ උවමනාව ද මතුවන බව පෙනේ. යුගයක අවසානය හා අලූත් යුගයක උදාව එයින් සනිටුහන් වනු ඇත
චීනයේ ක‍්‍රමය මෙයට වෙනස් එකකි. කොමියුනිස්ට් පාලනය අනුව පොදු ජනතාව හා කොමියුනිස්ට් පාක්ෂිකයන් පවා උපේක්ෂා සහගතව බලා සිටියි. පක්ෂයේ ඉහළම කමිටුව තීරණයක් ගනී. එකී තීරණය අනුව ෂී ජින්බින් Xi Jinping නව ජනාධිපතිවරයා බවට පත්වන බව සනාථ වෙයි. සාමාන්‍ය ජනතාව එම කි‍්‍රයාවලියට එකතු වන්නේ නැත. දීර්ඝ ඉතිහාසයක් තිබුණ චීනය සැහෙන කාලයක් එහි එක් එක් කොටස් බි‍්‍රතාන්‍ය, ජපානය වැනි රටවලට යටත්ව ආත්ම ගෞරවය අහිමි තැනක පසුවිය. රට අධිරාජ්‍යවාදයෙන් නිදහස් කරගන්නට කොමියුනිස්ට් විප්ලවයට හැකිවිය. ජීවිත හා දේපොල විනාශයෙන් එයට ගෙවන ලද වන්දිය මහත් එකකි. කොමියුනිස්ට් පක්ෂය නම් කරන නායකයා දස වසරකට චීනයේ නායකයා බවට පත්වෙයි. පක්ෂය අලූත් නායකයා සොයා ගන්නේ දීර්ඝ කාලීන ක‍්‍රමවේදයකට අනුවය. ඇමරිකාව කෙටි කාලයකට ඉක්මනින් හා අවස්තාවාදී ආකාරයට ක‍්‍රියා කරන නමුත් චීනයේ නායකත්වයට දිගු කාලීනව බලා ඉදිරි පරම්පරාවට ගැලපෙන අන්දමට ප‍්‍රතිපත්ති සකස් කරන්නට ක‍්‍රමයෙන් ඉඩ දී ඇත. චීනයේ නව නායකයා පක්ෂයේ ප‍්‍රබල තැනෙකට පැමිණෙන්නට ජීවිත කාලය තුළ ඔහු විශාල කැපකිරීමක් කර ඇති වග නිසැකය. නායකත්වය හිමි නමුදු පක්ෂ යාන්ත‍්‍රණයක් තිබේ. මෙතෙක් කරන ලද කැප කිරීම තවත් තියුණු වන්නේ නායකත්වයට පත්වීම සමගය. ආර්ථිකය සහ සමාජය ගමන් කරන දිසාව නායකත්වයේම තීරණයක් නොවේ. එය කරන්නේ පක්ෂ අභ්‍යන්තරයේ සිදුවන සාකච්ඡුා වලින් ඉනික්බිතිවය. එය යම් ප‍්‍රමාණයකට ජගත් ප‍්‍රජාවට නොපෙනෙන නායකත්ව මණ්ඩලයකි. නමුත් රට තුළ එයට විශාල පිළිගැනීමක් හා ගෞරවයකි තිබේ. රතු ධජ පතාක වලින් සැරදුන චීනය කොමියුනිස්ට් පක්ෂයේ තීන්දුව අනුව අනාගතය දෙස බලයි. චිනය තුළ පමණක් නොව ජගත් ප‍්‍රජාව තුළ පවා මෙවර පවත්වන දහ අට වැනි පක්ෂ සමුලූව රට තුළ විශාල පරිවර්තනයකට මග පාදනු ඇතැයි සැලකේ. ජාත්‍යන්තරයට අනාවරණය නොවූ අවෘත ක‍්‍රමයක සිට විවෘත ආර්ථිකය හා තරගකාරී පසුබිමකට සේන්දු වූ චිනය තවදුරටත් පවතින්නට නම් යම් යම් ප‍්‍රතිසංවිධාන කරා ගමන් කළ යුතු බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි. චීන ක‍්‍රමයේ දී ඔවුන් ගත කළ අමිහිරි අතීතය අනුව සමාජ ස්ථාවරත්වය හා ආර්ථිකය ගැන බෙහෙවින් සැලකිල්ලක් දක්වයි. දැනට රට තුළ දියුණුව මුහුදුකරය හා ඇතැම් ප‍්‍රාන්තවල වැඩි අතර තවත් ප‍්‍රාන්තවල ඇත්තේ අඩු සංවර්ධනයකි. සමස්ථයක් වශයෙන් දියුණුවක් ඇති නමුත් ඇති නැති පරතරය වැඩි වෙමින් තිබේ. මධ්‍යම පැලැන්තියට එකතුවන ජන කොටස තුළ ඇති බලාපොරොත්තු වෙනස් බව පැහැදිලිය. එවිට සමාජගෝලීයකරණයකට ලක් වෙමින් ඇති පසුබිමක තව දුරටත් දැඩි පාලනයක් පවත්වාගෙන යාම පහසු නැත. චිනයේ විශාල ජනගහනය සහ වසර 2020 වන විට ජනගහනයෙන් සෑහෙන ප‍්‍රතිශතයක් වයස්ගත අය බවට පත්වීම ද ආර්ථිකයට ප‍්‍රශ්නයකි. චීනයේ නාගරික ප‍්‍රදේශ වල පවුලකට එක දරුවෙක් පමණක් යන ප‍්‍රතිපත්තිය අනුව උපත් සීමා කර තිබිණ. ගම්බද ප‍්‍රදේශවල එය තරමක් ලිහිල් එකක් වූයේ කෘෂිකර්මයට සිදුවන බලපෑම සලකාය. චීනය තුළ වයස අවුරුදු හැටට වැඩි පිරිස සියයට 12.5 ක සිට සියයට 20 දක්වා වසර 2020 කාලය වනවිට පරිවර්තනය වනු ඇතැයි සැලකේ. ජනගහනයෙන් පහෙන් එකක් විශ‍්‍රාමිකයන්ය. පවුලක සිටින දරුවන් ගණන අඩු සමාජයක වැඩිහිටියන් රුකබලා ගැනීම පහසු එකක් ද නොවේ. දේශපාලන ක‍්‍රමය කුමක් වුවත් චීනයේ නව නායකත්වයට ද තෝරා බේරාගන්නට සංකීර්ණ පසුබිමක් ඇති බව නිරීක්ෂණය කළ හැකිය.
චීනයට තදින් සිටින්නට අසමත්වීම ඇමරිකානු ජනාධිපතිවරණයේ දී ඔබාමාට එරෙහිව රොම්නි නගන ලද තර්කයකි. චීන විනිමය අනුපාතිකය සම්බන්ධව ඇති ප‍්‍රශ්න හමුවේ එඩිතරව ක‍්‍රියා නොකිරීමෙන් රටට අවාසියක් වූ බව ඔහු ගේ අදහස විය. ඔබාමා ගේ ආර්ථික පාලනය දුර්වල බව ද හෙතෙම පෙන්වා දුන්නේය. ආර්ථිකය දුර්වල කරුණ ඇමරිකානුවන් වටහාගෙන තිබුණ බව ජනාධිපතිවරණ පූර්ව සමීක්ෂණ වලදී දැකගත හැකිවූ කරුණයි. නමුත් ඔබාමා කියා සිටියේ චීනයට දැඩි පිළිවෙතක සිටිය යුතු නමුත් තමන් ක‍්‍රියා කරන්නේ එක`ගතාවයකට අනුව බවය.
දෙරට අතර ගත යුතු මග කුමක්දැයි තීරණය කිරීමේ විශාල වගකීමක් නව නායකත්වයන්ට පැවරේ. විශේෂයෙන් පසුගිය කාලය තුළ චිනය ස්වකිය ධනයෙන් සෑහෙන කොටසක් ඇමරිකානු භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කළේය. චීන නිපැයුම් ඇමරිකාවට ගලා ආවේය. චින ඇමරිකානු මෙම සම්බන්ධය චිඇමරිකා සංකල්පයක් ලෙස අර්ථ දක්වන්නට ජගත් ප‍්‍රජාව ඉදිරිපත් විය. ඇමරිකාව තුළ ඇති චීන ආයෝජන ඉවත්කරගතහොත් එය ඇමරිකාවට ප‍්‍රශ්නයකි. ඇමරිකානු ආර්තිකයට ප‍්‍රශ්න මතුවුවහොත් එය චීනයට ද ගැටලූවකි. දෙරටට ම දෙරට අතර ආර්ථික හා දේශපාලන සබ`දතා වැදගත් වන සන්ධිස්ථානයකට අද පත්ව තිබේ. මෙම සංකීර්ණ තත්ත්වය අධ්‍යයනය කර තේරුම් ගැනීම ඉතාම වැදගත්ය.
මේ අතර මෑතකදී ආසියාවේ ආරක්ෂක වලල්ල තර කිරීමට ඇමරිකානු යාන්ත‍්‍රණය උත්සුක විය. ආසියාවේ ඇතැම් රටවල් එයට කැමැත්තක් ඇති නමුත් චීනය එයට පෙන්වන්නේ මනාපයක් නොවේ. ආරක්ෂාව කෙසේ වෙතත් ආර්ථිකය ගැන තමන් සැලකිලිවත් වන බව චීනය කියයි.චින ඇමරිකා සබදතා ගැන අලූත් පැත්තකින් සිතන්නට දෙරටෙහිම අලූත් නායකයන්ට පදනමක් සකස් වී තිබේ. දෙරටෙහි බලවත්කම පසුබිම් කරගෙන එය වටා නැගෙන අලූත් තලය කෙබ`දු විය හැකිදැයි අවධානයකින් පසුවීම සෙසු රටවලට ඇති අවස්ථාවයි. රටවල් දෙකෙහි නායකයන්, ඔවුන්ට එකට වැඩ කරන්නට හැකි අලූත් පරිසරය හා එම අභියෝග වලට මුහුණ දෙන ආකාරය ගෝලීයකරණයට ලක්වූ සමාජයකට වැදගත් එකකි.
ශ‍්‍රී ලාංකිකයන්ට ද මෙම පැති දෙක ගැන විග‍්‍රහයකට යා හැකිය. මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුව ද නායකයන් තොරා ගැනීමේ දී මැතිවරණ ප‍්‍රචාරක යාන්ත‍්‍රණයක් තිබේ. එය අවසානයේ දී ජයග‍්‍රහකයා හැසිරෙන ආකාරය කෙබදුද? පරාජිතයන් අමනාපකම් අත්හැර සුබ පතන්නට සූදානම්ද? නැතිනම් චීන ක‍්‍රමයට අනුව නායකයාට වඩා දැඩි ග‍්‍රහණයක් පක්ෂය හරහා උකහා ගත හැකිද?
මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
|