» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
17/06/2012 - ඉරිදා ලංකාදීප
අන්තර් ජාතිකව පැතිරෙන නිර්මාණශීලී ආර්ථිකයක බලය - මිලින්ද මොරගොඩ

කලාව සහ රසවින්දනය විවිධ යුග වලදී නොයෙක් මානයන් බිහි කරයි. කලා නිර්මාණයකින් නිකුත් කරන පණිවුඩය සමාජ විප්ලව වලට මග පෑදු අවස්ථා එමටය. ලෝක ඉතිහාසය ගවේශනය කරන විට ජනතාව එකතු කරන්නට, පොදු අරමුණු ගොඩනගන්නට කලාව මහත් පිටිවහලක් වී ඇත. කැලී පෑගී සිටි යුගයක ජනතාව නිර්භීත කලාකරුවන්ගේ නිර්මාණයකින් ආවේශ වී සමස්ථ පරිසරයම වෙනස් කරන බලවේග බවට පත් වූ ආකාරය හදුනාගත හැකිය. ක‍්‍රමයෙන් ජන සමාජය වෙනස් වෙමින් තිබේ. අද ගමන් කරන්නේ සමාජ ගෝලීය කරණයටය. සමුද්‍ර, දේශ සීමා පරයමින් අන්තර් ජාතිකව මිනිසුන් එක් එක් අනන්‍යතා කරා යොමු වෙමින් සිටී.

සංගීතය, නර්තනය මෙම අනන්‍යතා ගොඩනගන ප‍්‍රබල අංගයකි. අද ලෝකය පුරා නැවුම් දේ පතුරවන්නට ජන මාධ්‍යය මහත් අනුබලයකි. අන්තර්ජාලය ඒ අතරින් ප‍්‍රධානය. එක තැනෙක බිහිවන නිර්මාණයක් ලෝකයේ අනෙක් කෙළවර වෙසෙන රසිකයෙකුගේ අතට පත්වන්නට ගතවන කාලය නිමේශයක් තරම් වියහැකිය. නොදන්නා තැනෙක සිට හමා යන කෘතියක ප‍්‍රවාහය ලෝකයේ තව තැනෙක නොදන්නා රසවතෙකු ආශ්වාදයෙන් රසවිදින මට්ටමට පත්වතිබේ. එය විශාල පරිවර්තනයකි.

කොරියාව සංගීතය පමණක් නොව උසස් සංගීත මෙවලම් ද බිහි කරන්නට සමත් වි තිබේ. කොරියානු පොප් උප සංස්කෘතිය නැගෙන විට එයට අනුකූලව නාද රටා විහිදුවන පටි හා තැටි වාදන යන්ත‍්‍ර, ශබ්ධය විහිදුවන උපාංග වෙළද පොළට පැමිණියේය. දකුණු කොරියාව ආර්ථික ප‍්‍රතිසංස්කරණ වලින් පසු තාක්ෂණික අංග නිෂ්පාදකයෙකු වශයෙන් අන්තර් ජාතිකව ඉදිරියට පැමිණියේය. එය සුවිශේෂ අවස්ථාවකි. පරිගණක, ගෘහ විදුලි උපකරණ සම්බන්ධයෙන් කොරියානු තාක්ෂණය වේගයෙන් දියුණු විය. එතෙක් ලෝක වෙළද පොළේ තත්ත්වයෙන් උසස් වෙළද නාම අතර ජපානයේ නිෂ්පාදන මුල් බැස ගෙන තිබිණ. පසුව එය මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවලට පැතිරිණ. එකී රටවල නිෂ්පාදන අභිබවමින්, සංගීතය හා සංගීතය රසාස්වාදනය කරන උපකරණ ද සහිතව කොරියානු අනන්‍යතාවය ආසියාවේ වේගයෙන් ව්‍යාප්තවෙයි. එය විශේෂිත අවස්ථාවක් බව පෙනේ. අන්තර් ජාලයේ ඇති සංගීත වෙබ් අඩවි, ටිවිටර්, ෆේස් බුක් වැනි සමාජ අඩවි හරහා දකුණු කොරියාවේ සංගීතය පමණක් නොව තාක්ෂණික හා විද්‍යුත් මෙවලම් වලට ද විශාල නිර්මාණාත්මක වෙළ`ද පොලක් බිහිකර ඇත.

මෑතක් වන තුරු ඉන්දියාව සිනමා තරු බිහි කරමින්, සංගීත අංශයෙන් ආසියාවේ පෙරැුළිකරුවන් වී සිටියේය. අති විශාල වෙළ`ද පොල හෙයින් හින්දි හා දෙමළ නිර්මාණ වලට ආදායම ප‍්‍රශ්නයක් වූයේ නැත. ඉන්දියානු රසිකත්වය විශාල නිර්මාණ වෙළද පොළකි. හොලිවුඞ් තරු සමාජය හා කරට කර සිටින බොලිවුඞ් පරපුරක් අද ඉන්දියාවේ පවතින අතර දකුණු කොරියාවේ පරිවර්තනය මෙම තත්ත්වයේම වෙනස් අත්දැකීමකි. ඉන්දියාවට වෙනස් ආකාරයකින්, දකුණු කොරියානු ශිල්පීන් ස්වකීය සංගීත පර්යේෂණ නොයෙකුත් අන්තර් ජාතික සංගීත හා භාෂා විලාශ මිශ‍්‍ර කරමින් ලොව පුරා පතුරවමින් සිටී. එය සාර්ථකය. මිලියන ගණනින් සංගීත ලෝලීහු කේ පොප් සංගීතය කරා ඇලූම්කම් දක්වන බව අන්තර් ජාල වාර්තා පෙන්වයි. කේ පොප් සංගීතය, එයට සරිලන විද්‍යුත් උපාංග, ඇදුම් මෝස්තර සහ විලාසිතා ලෝකය කළඹවමින් සිටී. විශේෂයෙන් චීන තරුණ තරුණියන් ඉතාමත් වේගයෙන් කේ පොප් සංසංකෘතියට අනුගත වෙමින් තිබේ. කේ පොප් ගීත මුමුණන, ගී තැටි අලෙවි කරන පමණක් නොව දකුණු කොරියානු තාරුණ්‍ය අනුගමනය කරන චීන යොවුනන් එරට පැවති සංස්කෘතික බැමි වලින් මිදෙමින් ඉදිරියට පැමිණෙමින් සිටිති. ජනගහනය හා වෙළද පොළ අතින් අති විශාල ඉන්දියාව එයට නොදෙවෙනි චීනය සහ අලූත් සංගීත විලාසිතා මවන දකුණු කොරියාව බිහිකරනු ඇතැයි අපේක්ෂා කරන යුගය තේරුම් ගැනීම වටී. ඉන්දියාව සහ චීනය ලෝක ආර්ථිකය තුළ වේගයෙන් දියුණු වන රටවල්ය. දකුණු කොරියාව දියුණුවන ආසියාවේ ව්‍යාඝ‍්‍රයා සේ සැලකෙයි. ආර්ථික අතින් පොහොසත් වී යැපෙන මට්ටමින් මිදෙන ජන සමාජයක් විනෝදය ස`දහා යොමුවන විට එය සුවිශේෂි ලක්ෂණ පෙන්නුම් කරයි.

දකුුණු කොරියාවේ අත්දැකීම් උපයෝගී කර ගනිමින් ඉන්දුනීසියාව ද අලූත් අත්හදා බැලීමකට සූදානම් බව නිරීක්ෂණය කළ හැකිය. ඉන්දුනීසියාව ඉස්ලාම් ආගමික රටකි. සමාජයට තද නීති රීති තිබේ. නමුත් මෙම නීති සහ සම්ප‍්‍රදාය අනුරූප වන පරිදි සංගීතයේ ශිල්පීය අත්හදා බැලීම් මගින් ගෝලීයකරණයවන රසිකත්වයට අලූත් රසවින්දනයක් සපයන්නට ඉන්දුනීසියාව සමත් වුවහොත් එය තවත් අලූත් පැත්තකි. එහිතවත් පෙරැුළියක් ඇති කරමින් එරට කැබිනට් මණ්ඩලය ඉන්දුනීසියාව නිර්මාණශීලී ආර්ථික ඇමතිවරයෙකු අලූතින් පත්කර ඇත. ඔහුගේ වගකීම නිර්මාණශීළීව ප‍්‍රසාංගික වෙළ`දාපාළට ප‍්‍රවේශවීමයි. බි‍්‍රතාන්‍ය කැබිනට් මණ්ඩලයේ ද එවැනි වගකීම් පවරා ඇත.

ශ්‍රී ලංකාවට හැදෑරිය යුතු පැත්තක් තිබේ. දුපතෙන් නික්ම අන්තර් ජාතික ආක‍්‍රමණයකට සූදානම්වීම එයයි. රූප මාධ්‍ය මෑත භාගය තුළ තරු බිහි කරන මග කෙරෙහි අවධානය යොමු කර ඇත. රජය හා පුද්ගලික අංශය යන දෙපැත්තෙන් ම මේ වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර තිබේ. තරුණ තරුණියන් ගීත ගායනය හා නර්තනය සම්බන්ධයෙන් විශාල උන්නදුවකින් සහභාගී වෙයි. ඒවායේ ජයග‍්‍රාහකයන් නිති පතා බිහිවෙයි. සමාජයේ ලැබෙන හරසර හා සැලකිලි මහත්ය. මෙරට සංගීත සහ කලා වෙළද පොළ තරම අනුව ජයග‍්‍රාහකයන්ට ගමන් කළ හැකි දුර සීමා සහිතය. ගීතයක් ජනප‍්‍රිය වීමෙන් තමන්ට අලෙවිකර ගත හැකි සී. ඞී. ප‍්‍රමාණය සීමිතය. එහි ගීත ඛණ්ඩ වෙනත් වෙළද ප‍්‍රචාරයන්ට පැවරීමෙන් ද ධනයක් උපයා ගත හැකිය. ජනප‍්‍රියත්වය හා එය තුළින් බිහිවන ධනය ශ‍්‍රී ලංකාවට සීමා වෙයි. මෙරට කලාකරුවන් අන්තර් ජාතික තත්ත්වයට නැගුණ අවස්ථා තිබේ. ඔවුන්ගේ නිර්මාණ අගය කර සම්මානයෙන් පුද ලබා ඇත. නමුත් සුළු ප‍්‍රතිශතයකි. රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා මගින් කලාව හා රසාස්වාදය උදෙසා අලූතින් බිහිකරන ශිල්පීන් ගණන අනුව සලකනවිට අන්තර් ජාතික අනන්‍යතාවයක් දිනා ගැනීමට හැකි වූ පිරිස අල්පයකි.

දක්ෂතා ඇති සෑහෙන යොවුන් බලකායක් රට තුළ විසිරී විහිදී සිටින අතර මාධ්‍ය ආයතන ස්වකීය ව්‍යාපාරික අරමුණු උදෙසා එකතු කරගෙන ඇත්තේ එම පිරිසයි. ඔවුන් සතු නොසංසිදෙන ජවයයි. මෙම ජවය රටින් එපිට ඇති අන්තර් ජාතික තත්ත්වයට නැංවීම බලහත්කාරයෙන් කළ හැකි දෙයක් නොවේ. නිසග හැකියාව, නිසි අවස්ථාවේ දී පිබිදී අලූත් වින්දනාත්මක අංග ලෙස පැතිරෙනු ඇත. අනුකාරකයන් බිහිකරන්නට පෙළඹවීම එයට බාධාවකි. විෂය හැදෑරීම වැදගත්ය. අභ්‍යාසය ආත්ම ශක්තිය වඩවයි. අවස්ථා ඇති කිරීම බලධාරීන්ගේ වගකීමකි. දූපතක කොටු වී සිටින ශ‍්‍රී ලාංකිකයන් එයින් නික්ම අභියෝග ජයගන්නට තැත් දරනු නැත්තේ මන්ද? පෙනෙන ආකාරයට ලාංකිකයන් පරාජය විදින්නට සූදානම් නැත. දිනන්නට නම් පරාජයවීම අවශ්‍යය. පන්නරය ලැබෙන්නේ එතැනින්ය. පරාජයය දරාගන්නට සූදානමින් ජාත්‍යන්තරයට යන්නට ආත්ම ශක්තිය ඇති නිර්මාණශීළීන්ට යම් අවස්ථාවක අන්තර් ජාතික තලයේ ස්වකීය අනන්‍යතාවය සනිටුහන් කරන්නට හැකිවනු ඇත.

සංගීතය හා නර්තනය සම්බන්ධයෙන් නිර්මාණශීලී ආර්ථිකයක් බිහිකිරීම අපහසු නැත. දැනට පවතින ප‍්‍රසංග වේදිකාව කලාපයට ව්‍යාප්ත කළ යුතුය. භාෂාව ප‍්‍රශ්නයක් නොවේ. කේ පොප් මෑතකදී එය ඔප්පු කළේය. ශ‍්‍රී ලංකාවේ ද හමා යන හින්දි, දෙමළ නිර්මාණ භාෂාව තේරුම් ගැනීමට වඩා රසාස්වාදනයෙන් තරුණ හදවත් වලට සමීප වූ බව හදාරන විට පෙනේ. මේ ආකාරයට ගීත පටිගත කිරීම, ටෙලි නාට්‍ය, චිත‍්‍රපටි රූගත කිරීම සහ සුපිරි තරු තෝරන වැඩ සටහන් වෙනුවෙන් යටිතල පහසුකම් සැපයීම ද රටට කිර්මාණශීලී ආර්ථිකයකට ගත හැකි තීන්දුය. රජය එවැනි පහසුකම් ඇතිකර උත්සාහ කරමින් සිටී. පුද්ගලික අංශය ද තමන් ගත කරමින් සිටින කුඩා සංකල්ප වලින් මිදී සාක් කලාපය, ආසියාව කේන්ද්‍ර කරගෙන අලූත් විශ්වාසනීයත්වයකින් ක‍්‍රියා කරන්නට අවශ්‍යය. එය පවතින ආර්ථිකයට එපිටින් අලූත් ආර්ථික රාමුවක් සකස් කිරීමකි. ධනය බිහි කිරීමට මගක් වන අතර සමාජ ගෝලීයකරණයට ලක්වන අවස්ථාවක ශී‍්‍ර ලාංකිකයන්ට ද එහි කොටස් කරුවන් වන්නට මග පෑදීමකි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.