» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
17/03/2013 - ඉරිදා ලංකාදීප
මහජන මතය විනිවිද දැකීම - මිලින්ද මොරගොඩ

යුරෝපීය ප‍්‍රජාව අතර ප‍්‍රමුඛ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වන ඉතාලිය අද ජාත්‍යන්තර අවධානයට යළිත් ලක්ව තිබේ. පසුගිය පෙබරවාරි මාසයේ පවත්වන ලද මහ මැතිවරණයේ ප‍්‍රතිඵලය එයට පසුබිම් විය. ප‍්‍රධාන කේන්ද්‍රීය පක්ෂ වලට බහුතර කැමැත්ත දිනා ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. මහජනතාව ඡන්දය පාවිච්චි කළ ආකාරය අනුව වැඩි ගරු සරුවක් නැති බටහිර මාධ්‍ය කියන ආකාරයට නම් කොමඩි comedy නොඑසේ නම් Joker's පක්ෂ නායකයෙකු ඉතාලියේ මීළග ආණ්ඩුව බලයට පත්කරන තීරණාත්මක බලවේගය වී සිටී. එම පක්ෂයේ සහාය ලැබුණහොත් නව ආණ්ඩුවක් බලයට පත්වනු ඇති අතර එසේ නොවුනහොත් සහ දැනටමත් වැඩි දෙනෙකු විශ්වාස කරන ආකාරයට නුදුරු දිනයක දී අලූත් මැතිවරණයක් පැවැත්වෙනු ඇත.

ඉතාලිය ලෝක ඉතිහාසයේ දීර්ඝ පරිච්ඡේදයකට සම්බන්ධය. බටහිර ශිෂ්ටාචාරයේ පදනමක් ලෙස සැලකෙයි. රෝමට එරට අගනුවර වන අතර රෝම අධිරාජ්‍යය හා එතැනින් පැතිර ගිය දර්ශනය බලවත් එකක් බව අවිවාදිතය. පළමු හා දෙවන ලෝක යුද්ධ වල දී ද ඉතාලිය විශාල අවධානයකට ලක්ව ඇත. 2005 වසරේ දී ලෝකයේ හොදම ආර්ථිකය පවතින රටවල් දහය අතරින් එකක් වූ ඉතාලිය මිනිසුන්ට ජිවත්වීමට වඩා යහපත්තැනෙක් සේ සලකයි. අද වන විට ආර්ථික ප‍්‍රශ්න නැගී යම් අස්ථාවර බවක් පැතිර ඇති නමුදු ලෝකයේ බලවත් ආර්ථිකයන් අතර 24 වැනි තැනෙහි පසුවන බව දැක්වෙයි.

ඉතාලියේ පැවති අධිපතිවාදී පාලන ක‍්‍රමය 1946 පැවති ජනමත විචාරණයකින් පසු අවසන් වූ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය ඇරඹුණේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වශයෙන් අද ඉතාලිය බලවත් ආර්ථික ගැටලූ රැසකට මුහුණ දී සිටියි. කෘෂිකාර්මික ආර්ථිකයක පසු වූ ඉතාලිය දෙවන ලෝක යුද්ධයෙන් පසු වේගයෙන් කාර්මීකරණයට ලක්විය. අද එරට ආර්ථිකය පවතින වාතාවරණයට වගකිව යුතු දේශපාලනඥයන් යැයි එරට සමාජය යම් පමණකට විශ්වාස කරන බව පෙනේ. දේශපාලනඥයන් සහ දේශපාලන පක්ෂ වලට සමාජය තුළ ඇති ගරුත්වය පිරිහී යමින් තිබේ. ඉතාලියේ දේශපාලන ප‍්‍රවාහය දුර්වලය. නාස්තිකාර සහ දුෂිත බවට මහජනතාව චෝදනා නගයි. මහ මැතිවරණය උදාවූයේ එවැනි අවස්ථාවකය. ජන පදනමක් නොතිබුණ අතිශය සෙල්ලක්කාර විහිලූ චරිතයක් වූ රිපී ග‍්‍රිල්ලෝ Reppe Grillo ගේ පක්ෂය මැතිවරණයට ඉදිරිපත් විය. එරට නීති අනුව අධිකරණයෙන් දඩුවම් නියම වි ඇති පක්ෂ නායක රිපී ට මැතිවරණයට ඉදිරිපත් විය නොහැකිය. නමුත් හෙතෙම ඉතා උපක‍්‍රමශීලී ආකාරයකට තීරනාත්මක ඡන්ද පදනමක් අතැපත් කරගෙන ඇත. එය එරට ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රමාණයෙන් සියයට 22 ක ප‍්‍රතිශතයක් බව දැක්වෙයි. එම පක්ෂය ක‍්‍රියාකර ඇත්තේ සම්ප‍්‍රදායික රාමුවටහාත්පසින්ම වෙනස් ආකාරයටය. ඡන්ද දායක මහජනතාව සමග පවතින ක‍්‍රමය විකාර රූපී ප‍්‍රහසනයකට ලක්කර ඇති අතර ඡන්ද ව්‍යාපාරය පවා මෙහෙයවා ඇත්තේ ජනතාව හිනස්සවන පමණක නොව තැති ගන්වන ආකාරයට බව පෙනේ. මුල් වකවානුවේ නොට් බුක් පරිගණකයක් ගෙන වේදිකාවට පැමිණි හෙතෙම තාක්ෂණයට ඇතුළු වීමෙන් කඩදාසි ගහකොළ හා පරිසරය ආරක්ෂා කර ගන්නා ආකාරය ගැන නොවටිනා අදහස් කෙළවරක් නැතිව කතා කරන්නට පටන්ගෙන තිබේ. තොරතුරු තාක්ෂණයෙන් ජනතාව අතරට යා හැකි අලූත් මග ගැන බලාපොරොත්තු තැබූ ඔහුගේ අනුගාමිකයෙකු ලෝකයේ වඩාත් ආකර්හනියම බලොග් අඩවිය සකස්කරන්නට සූදානම් වී තිබේ. එයට කැපවූ ආකාරය හා නිතර නිතර කළ සදහන් අවසානයේ දී පක්ෂ නායකයාගේ බ්ලොග් අඩවිය ලෝකයේ වඩාත් අවධානයට ලක්වූ අඩවි දහයෙන් එකක් බවට පත් ව ඇත.

මැතිවරණයේ දී වේදිකාවට ප‍්‍රහසනය එකතු කර ඇති අතර ඇතැම් විචාරකයන්ට අනුව රිපී ග‍්‍රිල්ලෝ මෙයට කලින් දශක තුනක් තුළ වේදිකාවේ දී මිනිසුන් හිනැස්සූ ආකාරයට වඩා කිසිසේත් වෙනස් ආකාරයකට දේශපාලන වේදිකාවේ දී හැසිරී නැත. දේශපාලන ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් අත්සන් එකතුකරන ව්‍යාපාරයක් ආරම්භ කළ හෙතෙම පසුව ෆයිව් ස්ටාර් මූව්මන්ට් නමින් සංවිධානයක් පිහිටුවීය. එහිදී කියා සිටියේ කොමඩි වල සිට නිර්දේශපාලනයටත් දැන් නියම දේශපාලනයටත් ප‍්‍රවිශ්ට වූ බවය. කිසිම පිළිවෙලක් නැතිව විකාරරූපී ආකාරයකට ජනතාව ඉදිරියේ හැසිරුන හෙතෙම වගකීමක් ගන්නට සමත්වන බව පෙන්නුම් කළේ නැත. ඔහු ප‍්‍රකාශ කරන දෙය හාස්‍යට හේතු වූ අතර ඔහුගේ අනුගාමිකයන් වූයේ පවතින සම්ප‍්‍රදායික දේශපාලනයෙන් හෙම්බත්වූ ඉතාලි වැසියන්ය. ජරාජීර්ණ හා දූෂිත ක‍්‍රමය වෙනුවට විහිලූකාර රිපී ග‍්‍රිල්ලෝ සමාජයට විකල්පයක් බව පෙනෙන්නට පටන් ගත්තේය.

මෙයින් පෙන්නුම් කරන්නේ වර්තමාන ප‍්‍රජාතන්ත‍්‍රවාදය මුහුණ දී ඇති තවත් ඉරණමකි. මහජනතාව තෝරා ගන්නා නියෝජිතයන් ගරුත්වයට සුදුසු අය විය යුතුය. සමාජය දේශපාලනඥයන්ගෙන් අපේ්ක්ෂා කරන්නේ නායකත්වයයි. තමන් ඇතුළු සියලූ දෙනාගේ පැවැත්ම යහපත් ආකාරයට පත්කරන්නට අවශ්‍ය සැලසුම් කි‍්‍රයාවට නගන්නට දේශපාලනඥයන් ට හැකිවනු ඇතැයි මහජනතාව විශ්වාස කරයි. බලයට පත්වන දේශපාලනඥයන් ක‍්‍රියාකරන ආකාරය සහ ඔවුන් පෙන්වන ඛේදනිය විලාශය පොදු මහජනතාවගේ අපේක්ෂා බරපතල ලෙස බිද දමා ඇත. දැන් අභියෝගය මතුවී ඇති ඉතාලියෙන් පමණක් නොව ලෝකයේ නොයෙක් රටවලින් වාර්තා වූයේ එයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හමුවේ සම්ප‍්‍රදායික දේශපාලන පක්ෂ අර්බුදයකට පත්ව තිබේ. දේශපාලනඥයන් යනු මහජන ගරුත්වය හිමි ජනතාවට වඩා ඉදිරියෙන් සිතන දූරදර්ශී පිරිසක් බවට තිබූ සම්ප‍්‍රදායික මත අර්බුදයට ලක්ව ඇත. අද ලෝකයේ නොයෙක් සිදුවීම් පෙන්වන්නේ දේශපාලනඥයන් යනු සමස්ථයක් වශයෙන් පෞද්ගලීකත්වයට හානි කරගත්, ධනය හා බලය හඹා යන දූෂිත ආත්මාර්ථකාමී පිරිසක් හැටියටය. ඉතාම යහපත් කැපවීමෙන් කටයුතු කරන ජන නායකයෙකුට පවා තම අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීම පහසු නැති සමාජ වාතාවරණයක් බිහිව තිබේ. එය සාධාරණ ද හා යුක්ති සහගත දැයි ප‍්‍රශ්න කරන්නට සිදුව තිබේ.

ඉතාලියේ මැතිවරණ ප‍්‍රතිඵලයෙන් පෙන්නුම් කළේ එරට මහජනතාව තුළ පවතින ක‍්‍රමය සම්බන්ධයෙන් ඇති ප‍්‍රතිවිරෝධයයි. සමාජය එකතුවී පොදු අදහස් අනුව විකල්පයක් ගොඩනැගීම වෙනුවට ප‍්‍රතිඵලයක් රහිත තීන්දුවකට සමාජය ගමන් කිරීම සාර්ථක උපායක් ද? ප‍්‍රධාන පක්ෂ දෙක බලයට පත් විය නොහැකි ජන වරමක් ලබා ගෙන ඇත. බලයට පත් කළ යුතු කවර පක්ෂයදැයි අවුරුදු ගණනක් ඉතාලිය හිනැස්සූ රිපී ග‍්‍රිල්ලෝ නමැත් නව නායකයාගේ සියයට විසි දෙකක ප‍්‍රතිශතයයි. පක්ෂ දෙකම තමන් ගේ තීරණය අපේක්සාවෙන් සිටින අතර කිසිවෙකුට හෝ බලය ගන්නට තමන් ඉඩනොදෙන බව ඔහු කියයි. එය කියන්නේ ද ඉතා ප‍්‍රහසනාත්මක ආකාරයට බව එරට ජන මාධ්‍ය වාර්තා කර තිබේ. අවසන් තීරණය වනු ඇත්තේ ඉතාලියේ ප‍්‍රතිඵලයක් රහිත මැතිවරණය වෙනුවට තවත් අලූත් මැතිවරණයක් කරා යාම විය හැකිය. එයින් රිපී ග‍්‍රිල්ලෝ ගේ බලය අඩුවේද නොඑසේනම් තවත් තහවුරු වේ දැයි නිශ්චිතව ප‍්‍රකාශ කිරීම අපහසුය.

ශ‍්‍රී ලංකාවේ පවා පසුගිය මැතිවරණ කිහිපය තුළ ජන්දය ප‍්‍රකාශ කිරීමට ඇති උනන්දුව ක‍්‍රමයෙන් පහත වැටී ඇති බව නිරීක්ෂණය කළ හැකිය. රට වැසියන් ඡන්ද හිමි නාම ලේඛනයේ ලියා පදිංචියට උනන්දු වන්නේ දරුවන් පාසලට ඇතුලත් කිරීමේ අවශ්‍යතාවය හමුවේ පමණක් බව පෙනේ. පොදුවේ දේශපාලනඥයන් ගැන ගෞරවය පලූද් වී තිබේ. මැතිවරණයෙන් බලයට පත්කරන මහජන නියෝජිතයන් ජනතා කැමැත්තට අනුව ක‍්‍රියා නොකරන බවට නැගෙන චෝදනාව ප‍්‍රකටය. දේශපාලනය යහපත්කරන්නට නම් දේශපාලනඥයන්ට පාඩමක් ඉගැන්විය යුතු යැයි අදහස් පළවෙයි. මැතිවරණයක දී ජන්දය ප‍්‍රකාශ නොකිරීම, ජන්ද පත‍්‍රිකා කුරුටු ගා විරෝධය පළකිරීම එයට උචිත බවට අදහස් ඉදිරිපත් වෙමින් තිබේ.

මැතිවරණයකින් මහජන නියෝජිතයන් තෝරාගන්නා ක‍්‍රමවේදය තුළ ඇති අඩු ලූහුඩුකම් සහ බලයට පත්වන දේශපාලනඥයන් ධනය හා බලය අයුතු ලෙස පරිහරණය ගැන විශාල කතිකාවතක් ඇත. ගමන නිවැරදි කරන්නට අවශ්‍ය නීති රීති සහ සම්මුති ඇතිකිරීමට සමාජ නායකයන්ට හැකියාව තිබිය යුතුය. බුද්ධිමතුන් ඉදිරිපත්වී සිදුවන පෙරැළිය ගැන සංවාදයක් ඇති නොකළහොත් ඉතාලියේ සිදුවන දේ නුදුරු කාලයේ දී මෙරට දී සිදුවිය හැකිය. දැනටමත් සුළු අන්තවාදී පක්ෂ ආණ්ඩු තුළ මහා බලවේග බවට පත්ව හැසිරෙන ආකාරය ගැන අත්දැකීම් රටට තිබේ. දේශපාලඥයන් සහ මහජනතාව යන දෙපාර්ශවයම මෙම තත්ත්වයට වගකිව යුතුය. කවටයන් සහ හාස්‍යය ජනිත කරන පුද්ගලයන්ගෙන් රටකට සිදුවන එක්තරා සේවාවක් තිබේ. නමුත් සමාජ අත්දැකීම් රහිත එබදු පුද්ගලයන් බලයට පත්කරන බලවේග මතුවුවහොත් එය විශාල අනර්ථයකි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.