» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
17/02/2013 - ඉරිදා ලංකාදීප
ජනතාව සහ දේශපාලනඥයන් සිරකළ නූතන වහල්භාවය - මිලින්ද මොරගොඩ

ගෙවී යන මේ වසරේ මැද වන විට ශ‍්‍රී ලංකාවේ මැතිවරණයක් පවත්වා අවුරුදු අසූ දෙකක් සම්පූර්ණ වනු ඇත. 1931 ජුනි 13 වැනිදා මහජන නියෝජිතයන් තෝරා ගැනීමේ පළමු ඡුන්දය මෙරට පවත්වා ඇත. ජනතා කැමැත්තෙන් පාලකයන් තෝරාගැනීමේ ක‍්‍රමවේදය දශක අටක් අවසානයේ දී විවිධ වෙනස්කම් වලට භාජනය වී තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය උපයෝගී කර ගෙන ඇත්තේ බලය සහ අධිපතිවාදය තහවුරු කිරීමය. යුක්තිය, සාධාරණත්වය හා ජන සම්මුතිය තහවුරු කිරීමට නොවේ. දේශපාලන පක්ෂයක සිට ජන සංවිධානයක් දක්වා සෑම අංශයකම පොදු ජනතාවට බලය අහිමිය. ඔවුහු පීඩිතයන්ය.

ජාත්‍යන්තර සමාජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විශාල පරිවර්තනයකට ලක්ව ඇත. සංකීර්ණත්වයට මුහුණ දෙන ආකාරය ගැන ප‍්‍රතිපත්ති සම්පාදනය වෙමින් තිබේ. ජන්දය ප‍්‍රකාශ කිරීමෙන් පක්ෂ නියෝජිතයන් බලයට පත්කිරීමට වඩා ගැඹුරක් එහි ඇත. පවතින ක‍්‍රමයේ කොටස්කරුවන් වන්නට අධික ධනයක් අවශ්‍යය. අපේක්ෂකයෙකුට ඡන්දයක් දිනන්ට වියදම් කළ යුතු මුදල එයට සාක්ෂි දරයි. උපතින් ධනය ඇති කණ්ඩායමට පමණක් මහජන නියෝජිතයෙකු වීමේ අයිතිය සීමා විය යුතු නැත. මැතිවරණයකට වියදම උපයාගන්නා ක‍්‍රමය සාධාරණ එකක් නොවේ. එම ක‍්‍රමය දුෂණයට මග පාදයි. පොදු මහජනතාව ද, පක්ෂ නායකයින් ද එය හොදින් දන්නා බව නිසැකය. බලයේ සිටින දේශපාලකයන් සමග රැකෙන අනුගාමිකයන් කණ්ඩායමක් බිහිව තිබේ. දුෂණය නතර කළොත් පක්ෂ අනුගාමිකයන්ගේ සහාය දේශපාලනඥයන්ට අහිමිවෙයි. සැමට සමාන අවස්ථා සපයන සමාජයක් වෙනුවට පාක්ෂිකයන් රැක බලාගන්නා ගෝත‍්‍රික ක‍්‍රමයක් අද පවතියි. එහි තැන ඇත්තේ ස්වාධීනත්වයට වඩා පාක්ෂිකත්වයටය.

මහජන නියෝජිතයන් පත් කරගන්නා මැතිවරණයකට යෙදවෙන අධික ධනය ජාත්‍යන්තර සමාජයේ විශාල අවධානයකට ලක්ව ඇත. අපේක්ෂකයන් වියදම් කරන මුදල සහ එය උපයාගන්නා ආකාරය සමස්ථ සමාජයම විකෘති කරන එකක් බව අවබෝධ කරගෙන තිබේ. නොයෙකුත් සූක්ෂම හා මහජනතාව පොළඹවන ආකාරයට මැතිවරණයක දී අපේක්ෂකයන් හැසිරෙන්නට පටන්ගෙන ඇත. එයින් ලැබෙන ප‍්‍රතිඵලය අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මහජන නියෝජනය බරපතල ප‍්‍රශ්න වලට මුහුණ පා ඇත.

මෑතක දී ඉන්දියාවේ මැතිවරණ කොමසාරිස්වරයා එරට මාධ්‍ය හැසිරෙන ආකාරය නිරීක්ෂණයට ලක් කර ඇත. දේශපාලනඥයින් මාධ්‍ය ජාලා වාසි සහගත ලෙස තම මැතිවරණ ප‍්‍රචාරණයට හරවා ගන්නට මුදල් යොදවන බව අනාවරණය කර ගෙන තිබේ. අපේක්ෂකයන් මුදල් ගෙවා පුවත්පත් වල වාසිදායක ලිපි පළකරන්නට නැඹුරුවීම හමුවේ ස්වාධින මාධ්‍ය අනතුරකට මුහුණ පා ඇති අතර එය මහජනතාව අනියම් ආකාරයකට පෙළඹවිමකි. සැකකටයුතු ලිපි සම්බන්ධව ප‍්‍රශ්න කළ විට මුදල් අයකර එම ලිපි සපයන ලද බව පිළිගැනීම විශාල විවාදයකට තුඩු දී ඇත. එවැනිලිපි සමබර කරන්නට වෙනත් අපේක්ෂකයන් ගැන ද ලියවන්නට මැතිවරණ බලධාරීන්ට සිදුව තිබේ. මුදල් ගෙවා පළ කරන දැන්වීම් වලට සාපේක්ෂව මුදල් ගෙවා පළකරන ලිපි වලින් ජනමතයට හඛ හැකි බලපෑම සියුම්ය. මෙවැනි මාධ්‍ය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නට ඉන්දියාවේ මැතිවරණ කොමසාරිස්වරයාට පැවරුණ අතිරේක රාජකාරියකි.

ඉන්දියාව ප‍්‍රධාන දේශපාලන පක්ෂ වලට මැතිවරණ ප‍්‍රචාරයට ආණ්ඩුවෙන් මුදල් සපයයි. බි‍්‍රතාන්‍ය හා සිංගප්පූරුව වැනි රටවල් මැතිවරණයක දී අපේකෂකයන්ට හා පක්ෂ වලට කළ හැකි වියදම්සම්බන්ධයෙන් සීමා පනවා තිබේ. දේශපාලන පක්ෂ වලට ජනතාවගෙන ලබා ගත හැකි ආධාර දැනට පවතින සමානුපාතික ක‍්‍රමය වෙනුවට අලුත් ක‍්‍රමයක් ඇති කළ යුතු බවට යෝජනා ඇත. සමානුපාතික ක‍්‍රමය මගින් සුළු පක්ෂ වලට නියෝජනයක් ලැබේ. ආසන මට්ටමේ දී, මහජනතාවට වගකියන, මහජන නියෝජිතයන් පත්කර ගැනීමට ඉඩකඩ හිමිවේ. එනමුත් අප රටේ ක‍්‍රියාත්මක පිළිගත් සම්මතයට වෙනස් අවස්ථාවාදී අන්දමට සකස් කළ බවට විවේචන ඇත. විශාල බල ප‍්‍රදේශයක මැතිවරණය ව්‍යාපාරය මෙහෙයවීම නිසා මනාප සොයන මෙම සමානුපාතික ක‍්‍රමය දූෂිත හා අක‍්‍රමිකතා වලින් බහුල එකක් බව පැහැදිළිය. මැතිවරණය ද ප‍්‍රචණ්ඩත්වය හා මැර බලය යහමින් ප‍්‍රයෝජනයට ගැනෙන එකකි. සමානුපාතික ක‍්‍රමයනිසා මහජනතාව හා මහජන නියෝජිතයන් දුරස්ථ වී ඇති බව ප‍්‍රකාශ වෙයි. සමානුපාතික ක‍්‍රමයට කලින් පැවති කේවල ක‍්‍රමයට වඩා දියුණු සංකල්ප ගැබ්ව ඇති නමුත් මෙම මැතිවරණ ක‍්‍රම දෙකම මිශ‍්‍ර වූ අලූත් ක‍්‍රමයක් රටට සුදුසුය.

සමාජ දියුණු වන විට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නව ප‍්‍රවනතා බිහිවෙයි. සංකීර්ණ ඡන්ද ක‍්‍රමය සම්බන්ධ ගැටලූ නිරාකරනය වෙයි. වර්තමානයේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ වල මෙම ගැටලූ පුලූල් කතාබහකට මාතෘකා වී ඇත. අපේක්ෂකයන් තෝරා ගැනීම, ඡුන්ද ප‍්‍රචාරක කටයුතු, ඒවාට වැය කරන විශාල ධනස්කන්ධය, අපේක්ෂකයන් හා දේශපාලන පක්ෂ ඒ ධනය උපයා ගන්නා ආකාරය තියුණු විවේචනයන්ට ලක්ව තිබේ. ශ‍්‍රී ලංකාවේ දී පවා මැතිවරණයක් එළැඹෙන විට සාධාරණ මැතිවරණ පැවැත්වීම ගැන කතු වැකි ලියැවෙයි. විද්වතුන් ඒ ගැන නොයෙකුත් සංවාද අරඹති. ගුවන් විදුලි හා රූපවාහිනී වැඩසටහන් සැකසෙයි. මැතිවරණ පෙන්වන්නේ, දිනෙන් දින ම දේශපාලන ක‍්‍රමය පිරිහෙන බවයි. මහජන නියෝජිතයෝ මැතිවරණ සමයේ දී බලය අතට ගනිති. නීති රීති අණ පණත් නොතකති. සමාජය භීතියට පත් කරන්නට පටන් ගනිති. බලය ලබා ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයකට සූදානම් බව පෙන්වති. ඔවුහු පෙනී සිටිය යුත්තේ සත්‍ය හා යුක්ති ගරුක බව වෙනුවෙන්ය. සාධාරණත්වය හා අවංක භාවය ප‍්‍රදර්ශනය කළ යුතුය. තමන්ගේ අධිශ්ඨානය හා සැලසුම් අනාවරණය කළ යුතුය. නමුත් අද එය එසේ සිදු නොවේ. දාමරික, සන්නද්ධ පිරිස් අපේක්ෂකයන් සමග එකතුවෙයි. අනවසර ගිණි අවි, නීති විරෝධී මත්පැන් පරිහරණය වැඩිවෙයි. තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නට පෙළැඹෙයි. පෝස්ටර් අලවන්නන් හා විරුද්ධවාදීන්ගේ දැන්වීම් හා ප‍්‍රදර්ශන පුවරු විනාශ කරන්නන් සදහා අවස්ථා ඇති වෙයි. වේදිකා සැරසිළි කරන්නන් හා ගෙයින් ගෙට යන ආධාරකරුවන් සංවිධානය වෙයි. මේ අතර තවත් පිරිසක් මේ ප‍්‍රචණ්ඩ හැසිරීම් නිරීක්ෂණය කරන්නට ද යුහුසුලූ වෙති. අපේක්ෂකයන්ට ආධාරකරුවන් නඩත්තු කරන්නට සිදුවෙයි. එය පහසු එකක් නොවේ. ආහාර පාන නවාතැන් පමණක් නොව ප‍්‍රවාහනයට ද විශාල පිරිවැයක් දරන්නට සිදුවෙයි. මෙවැනි වියදමක් සාමාන්‍ය මැතිවරණ අපේක්ෂකයන් දරන්නේ කෙසේද?

දේශපාලනය වෘත්තියක් නොවේ. මහජන සේවාවකි. ශ‍්‍රි ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරම්භ වූ වකවානුවේ පැවති මැතිවරණ වලදී ද එය සනාථ වූ කරුණකි. ඇමරිකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරම්භක යුගයේ නීති ලියැවිලිවලට ඇතුලත් වූයේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ය. ව්‍යවවස්ථාව සකස් වූයේ ඉන් පසුවය. මහජන නියෝජිතයන් වන්නට හා ඡුන්දය පාවිච්චි කරන්නට ඉඩ ලැබුණේ ඉඩම් හිමියන්ටය. වත්කමක් ඇති සමාජය වෙනුවෙන් කැපවීමක් කරන්නට හැකි පිරිස මහජන නියෝජිතයන් වශයෙන් ඉදිරිපත්වූහ. දේශපාලනය ඔවුන්ට වෘත්තියක් නොවූ අතර මහජන සේවයකි. දේශපාලනඥයා නඩත්තු වූයේ සමාජයෙන් නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුව මහජන නියෝජිතයන් විය හැකි රදල හා ධනවත් සමාජයට පමණක් ද? එකී වකවානුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අලූත් අංග එකතු වන විට එම ප‍්‍රශ්නය ද පැන නැගින. අප රටේ ද එවැනි ඉතිහාසයක් තිබිණ. දුප්පත් ආර්ථිකයක් ඇති රටවල මැතිවරණ වලට සාමාන්‍ය පුද්ගලයන්ට මහජන නියෝජිතයන් ලෙස මැතිවරණ වලට ඉදිරිපත්විය නොහැකිද? එසේ ඉදිරිපත් වන්නේ නම් ඔවුන්ට ආර්ථික පසුබිමක් සකස් කර ගන්නා තෙක් ඕනෑම ඡන්ද ව්‍යාපාර වලටත්, එදිනෙදා අවශ්‍යතා වලටත් ඕනෑම ආකාරයකින් මුදල් උපයා ගන්නට ඉඩ දිය යුතුද? යන ගැටලූව මතුවෙයි.

අප රටේ දේශපාලනය සේවාවක් වූයේ එය ධනවත්, ඉඩම් හිමි සමාජය අත පැවතිතාක් පමණකි. එවිට මැතිවරණයකින් තෝරා ගැනෙන්නේ මහජන සේවකයන් ය. අද දේශපාලනය වෘත්තියකි. එයින් ආදායමක් උපයාගෙන තම පවුල හා තමන්ගේ අනුගාමික පිරිස ගේ ජීවන තත්ත්වය උසස් කර ගන්නට උපයෝගී කර ගැනේ. මේ නිසා මැතිවරණයකින් පත්වන්නේ මැති ඇමතිවරුය.

අපේක්ෂකයා ගේ මේ උවමනාවන් දන්නා පිරිසක් එයට අනුග‍්‍රහය දක්වන්නට සූදානම්ය. මේ වෙනුවෙන් මුදල් වැය කරන්නට බොහෝ විට ඉදිරිපත් වන්නේ නීති විරෝධී ව්‍යාපාර වලින් උපයන්නන්ය. මත්පැන්, මත් ද්‍රව්‍ය හා නීති විරෝධී අන්දමට මිනිසුන් සංක‍්‍රමණයට සංවිධානය වූවන් අපේක්ෂකයන් වටා එකතු වෙති. මැතිවරණ වෙනුවෙන් අපේක්ෂකයෙකු වැය කරන ධනය විශාල එකක් බව තේරුම් ගැනීම අපහසු නැත. පක්ෂ ගණනක්, අපේක්ෂකයන් විශාල පිරිසක් එකතු වූ විට හුවමාරු වන ධනය සිතා ගැනීමට පවා අසීරු විශාල එකකි. මේ ධනය අලූතින් නිපදවෙන මුදලක් නොවේ. වර්තමානයේ දේශපාලනයට පිවිසෙන ඕනෑම අයෙකු ඉතා කෙටි කාලයක් ඇතුලත මෙම සංස්කෘතියේ ගොදුරක් බවට පත්වෙයි. එයින් මිදෙන්නට හැකි වී ඇත්තේ සුළු පිරිසකටය. ගමේ ප‍්‍රාදේශීය සභාවේ සිටින්නේ චණ්ඩියෙකි. නම ගිය පුද්ගලයෙකි. එතැනින් පළාත් සභාවටත්, ඉන්පසු පාර්ලිමේන්තුවටත් ඔහු ගමන් ගමන් කරයි. ගුරුවරයෙකු, හොඳ විනයක් ඇති පුද්ගලයෙකු මහජන නියෝජිතයෙකු වශයෙන් පත් කර ගන්නේ නැත. මේ ක‍්‍රමයේ කොටස් කරුවන් වන්නට අකමැති ඔවුහු දේශපාලනයෙන් ඉවත්ව සිටින්නට උත්සාහ කරති. ප‍්‍රජාතන්ත‍්‍රවාදය බව කියමින් මැතිවරණ පැවැත්වෙන නමුත් මෙම රටාවෙන් අප සමාජයේ ඉදිරි ගමනක් අපේක්ෂා කළ හැකිද? උදාර පුරුෂාර්ථ එකතු වී දේශපාලනය වෙනස් වනු ඇතැයි අපේක්ෂා කරන නමුත් එය දිනෙන් දින ම පරිහානියට පත්වන්නේ මන්ද?.

සිංගප්පූරුවේ පාර්ලිමේන්තුව පසුගිය අප‍්‍රියෙල් 19 වනදා විසුරුවා හැරියේය. අපි‍්‍රයෙල් 27 නාමයෝජනා භාරගන්නා අතර ඡුන්දය පැවැත්වෙන්නේ මැයි හත්වැනි දාය. ප‍්‍රචාරක කටයුතු සීමා වී ඇත්තේ එක සතියක කාලයකටය. වත්මන් අගමැති මහජන කි‍්‍රයාකාරී පක්ෂ නායක ලී හුසෙයින් සිය මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ඉදිරිපත් කරමින් තරුණ ලීගයේ සංවත්සරයේ දී විශේෂ ප‍්‍රකාශයක් කළේය. ''අපි මහජන සේවකයන් විනා ඔවුන්ගේ පාලකයන් නොවන බව අප කිසිසේත් අමතක කළ යුතු නැත. නිතරම අපගේ නිහතමානී සේවය පවත්වාගෙන යායුතුය. මහජනතාවගේ ගරුත්වය හා සහයෝගය නැතිනම් අපගේ ජයග‍්‍රහණයක් නැති අතර පක්ෂය මහජනතා කැමැත්ත මත සිංගප්පූරුව පාලනය කළ යුතුය'' යනුවෙන් කියා සිටියේය. සිංගප්පූරුව සර්ව සම්පූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් යැයි කිව නොහැකිය. එනමුත් මහජනතාව හා මහජනතාවගේ අයිතීන් ගැන එහි විශාල ගරුත්වයක් තිබේ. සිංගප්පූරවේ හිටපු අගමැති ලී ක්වාන් යූ මහතා මහජන නිෙයෝජිතයන්ට ඉහළ වැටුප් ගෙවීය. නමුත් ඔහු නිතර කියා සිටියේ දේශපාලනය හරි හම්බකරන තැනක් නොවන බවයි. දුෂණ වංචා වලට දැඩි ද`ඩුවම් නියම විය. මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහමඞ් මහතා දේශපාලනයට පැමිණෙන නවකයන්ට දුන් උපදේශයක් වූයේ වෙනත් වෘත්තියකින් උපයාගෙන මහජනතාවට සේවය කිරීමට දේශපාලනයට එන්න කියාය.

සිංගප්පූරුවේ මැතිවරණය ප‍්‍රකාශයට පත්වීම සමග ප‍්‍රචාරණ වියදම් ගැන මත ඇති වෙන්නට පටන් ගෙන තිබේ. ශ‍්‍රී ලංකාවේ දේශපාලනයට එය නුහුරු නමුත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ලක්ෂණ තවත් යහපත් කරන්නට කැපවන රටවල් එයට තව තවත් දියුණු අංග එකතු කරන බවට මෙය උදාහරණයකි. දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන්ට මැතිවරණයකට කරන වියදම් සීමා කිරීම හා එයට පරිත්‍යාග ලබාගන්නා අන්දම විනිවිද භාවයකින් කිරීම එහි එක් කරුණකි. සිංගප්පූරුවේ මැතිවරණ ප‍්‍රචාරක සැලසුම් තද නීති වලට යටත්ය. අපේක්ෂකයන්ගේ විය හියදම් ප‍්‍රසිද්ධ කළ යුතුය. සිංගප්පූරු ඩොලර් 5000 කට වඩා අපේක්ෂකයෙකුට පරිත්‍යාග කරන අය නම් ගම් සහිතව ප‍්‍රසිද්ධ කිරීමට නීතියෙන් බල කර තිබේ. එක් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල සිංගප්පූරු ඩොලර් විසි දහසත් තිස් දහසත් අතර උපරිමයකි. සාමාන්‍යයෙන් එක් ඡුන්දයකට සිංගප්පූරු ඩොලර් 3.50 ක් පමණ වෙයි. මැතිවරණ ප‍්‍රචාරක කාලසීමාව කෙටිය. ඉක්මනින් අපේක්ෂකයන් තොරා අවසන් කරයි. මහජන කි‍්‍රයාකාරී පක්ෂයතම අපේක්ෂකයන් ස`දහා වෛද්‍යවරු, ඉංජිනේරුවන් වැනි විවිධ ක්ෂේත‍්‍රවල විද්වතුන් ඉදිරිපත් කරන්නට සූදානම් වෙයි. මෙවැනි වෘත්තීන්හි නිරත අය දේශපාලනයට දක්ෂ නැති නමුත් ඔවුන් අතුරින් කොටසක් තෝරා ගැනීම මගින් දේශපාලනය සදාචරවත් හා වෘත්තීය ගරරුත්වයක් ඇති තැනක් බවට පත් කරයි. හැකියාවන් ඇති පුද්ගලයන් මහජන නියෝජිතයන් වශයෙන් පත්කිරීමෙන් මහජනතාවගේ උසස් අනාගත අපේක්ෂාවන් සාක්ෂාක් කරගත හැකි වෙතැයි එරට සමාජය විශ්වාස කරයි.

මෑතකදී ඉන්දියාවේ තමිල්නාඩු දේශපාලනයේ ප‍්‍රකට චරිතයක් වන ජයලලිතා ජෙයරාම් මහත්මිය සම්බන්ධයෙන් පසුගිය දා ආන්දෝලනයක් ඇතිවිය. මැතිවරණයේ දී වියදම් කරන මුදල් සම්බන්ධයෙන් නැගුණ චෝදනා වලට ඇය පිළිතුරු දී තිබේ. දකුණු අප‍්‍රිකාවේ ද මෙවැනිම තත්ත්වයක් ඇතිවිය අපේක්ෂකයන් ඡුන්ද දායකයන්ට මුදල් බෙදීම ගැන චෝදනා ඇතිවූ අතර එය අසත්‍ය චෝදනාවක් බව සනාථ විය. එසේ කරන්නට හැකිවූයේ මැතිවරණ ප‍්‍රචාරක වියදම් සම්බන්ධයෙන් කළමණාකරනයක් හා විනිවිද භාවයක් තිබීමෙන්ය. ඇමරිකාවේ හා යුරෝපයේ මැතිවරණ අපේක්ෂකයන් ස්වකීය මැතිවරණ වියදම් ප‍්‍රසිද්ධ කළ යුතුය. තම මැතිවරණ වියදම් වෙනුවෙන් ඕනෑම අවස්ථාවක පරිත්‍යාග භාරගන්නට එකී රටවල අපේක්ෂකයන්ට හැකිය. නමුත් එම ආධාර ලැයිස්තු අන්තර් ජාලය මගින් ප‍්‍රසිද්ධ කළ යුතුය. දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල මහජන නියෝජිතයන් හා දේශපාලන පක්ෂ වල තමන්ට ලැබෙන ආධාර අන්තර් ජාලය හරහා ප‍්‍රකාශයට පත්කරයි. එය විවෘත තොරතුරකි. එළිපිට තොරතුරු ප‍්‍රකාශ කිරීම නිසා ¥ෂිත හා වංචාකරන බවට දේශපාලන වේදිකාවේ අසත්‍ය චෝදනා එල්ල වීම ද වැලකෙයි. බි‍්‍රතාන්‍යයේ අපේක්ෂකයන්ට ක්‍න්ද කොට්ඨාශයේ ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කළ හැකි සීමාවක් තිබේ. එය පවුම් දහ හත් දහසකි. පක්ෂ වලටත් මුදල් සීමාවක් ඇත. ආධාර ලබාගැනීමේ දී විනිවිද භාවයකින් ක‍්‍රියා කළ යුතු අතර මෙම සීමාවන් සලකා බලන විට ඇමරිකාවේ ආසනයක් තරග කරන අපේක්ෂකයෙකුට වඩා වියදමක් ලංකාවේ ප‍්‍රධාන දිස්ත‍්‍රික්කයක මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකුට වියදම් කරන්නට සිදුවන බව මනාව පැහැදිලිය.

ඉන්දියාවේ පිළිගත් දේශපාලන පක්ෂ වලට මැතිවරණයට අවශ්‍ය වියදම් කලින් වසරේ ලැබුණ ඡුන්ද අනුව ඉන්දීය රජයෙන් ගෙවයි. ශ‍්‍රී ලංකාවේ මැතිවරණ නීති අනුව ද පක්ෂ වලට ඔවුන්ගේ ඡුන්ද පදනම අනුව මුදලක් හිමිවෙයි. පක්ෂ වියදම් කරන්නේ එම මුදල පමණක්ද? අපේක්ෂකයන්ගේ වියදම් ගැන තොරතුරු දන්නා කිසිවෙකු සිටීද? අපේක්ෂකයන් හා දේශපාලන පක්ෂ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු ස`දහා වියදම් කරන මුදල් හෙළිකිරීම හා ඒවායේ විනිවිද පෙනෙන බවක් ඇති කළ යුතුය. නීතිය මගින් එය කළ හැකිය. නමුත් නීතිය හැම දෙනාටම සාධාරණ හා සමාන එකක් වීම වැදගත්ය.

අතීතයේ පැවැති හොද දේශපාලනය ගැන පුරසාරම් දෙඞීම හෝ වර්තමාන පිළිවෙත හාස්‍යයට ලක්කිරීමට තව දුරටත් සාධාරණ නැත. රට යහපත් දේශයක් කරන්නට නම් දේශපාලනය අවංක හා වගකීම් සහගතව කි‍්‍රයාකරන බව පෙන්වා දී හොඳ පාලනයක් ඇති කරන්නට සාමූහික හඩක් නැගිය යුතුවෙයි. එවැනි ප‍්‍රයත්නයකට අවස්ථාව ඇති බව ආගමික නායකයින්, සමාජ නායකයින් හා විද්වතුන් පෙන්වා දිය යුතුය. මහජනතාව පවතින පාලන ක‍්‍රමය ගැන අතෘප්තිමත් ය. දේශපාලනඥයන් ගැන මහජනතාව කතා කරන්නේ සතුටෙන් නොවේ. මහජන නියෝජිතයන් තෝරාපත් කර ගන්නා මැතිවරණ අක‍්‍රමවත්ය. බලය හා මුදල විසින් මේ ක‍්‍රමය විකෘති කර තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය රටක පැවැත්ම හා මහජනතාව ගේ යහපත වෙනුවෙන්ය. අද සිදුවන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය ආරක්ෂා කරගන්නට එයින් යැපෙන කණ්ඩායමක් බිහිකිරීම පමණකි. මෙම කණ්ඩායම නඩත්තු කරන්නේ සමාජයයි. ඔවුන් මහජන සේවයක් කරන නමුත් ඔවුන්ට දේශපාලනය වෘත්තියකි. පරාජය වුවහොත් ආයෝජනය කළ මුදල අපතේ යයි. තමන් වෙනුවෙන් මුදල් වියදම් කළ පුද්ගලයන්ගේ අපේක්ෂා බිද වැටේ. ඒ නිසා ජයග‍්‍රහණය වෙනුවෙන් උපරිම වෙහෙසක් ගන්නා අතර නීති රීති හෝ සම්ප‍්‍රදාය ආරක්ෂා කිරීම ගැන සැලකිලිමත් නොවේ. දේශපාලනය සේවයක් නොව යැපෙන මාර්ගයක් වී ඇති නිසා පරාජයට පත්වුවහොත් තමන්ගේ නිවසේ දී පවා පිළිගැනීමක් නොලැබෙන තැනෙට අද දේශපාලන ක‍්‍රමය විකෘති වී ඇත. මුදල හා බලය පළමු තැනට පත්ව ඇත. සුළු පිරිසක් මේ දේශපාලන චර්යාවන් ට එරෙහිව යමක් කරන්නට උත්සාහ කරති. එය විශාල බලවේගයක් බවට පත් කරන්නට හැකිවන්නේ විශාල කැපවීමකින් කළ හැකි ආකල්ප වෙනසකින් පමණකි. එයට අවස්ථාව ඇත්තේ මහජනතාවගෙන් ලැබෙන පිටිවහල අනුවය.

පවතින ක‍්‍රමය හෙයින් අවංක පුද්ගලයෙකු පවා මේ දේශපාලනයේ ගොදුරක් බවට පත්වෙති. ආත්ම ගෞරවය ආරක්ෂා කර ගන්නට කැමති බුද්ධිමත් පිරිස දේශපාලනයෙන් තවත් ඈත්වන බව අමතක කළ යුතු නැත. එක පැත්තකින් දේශපාලන සංස්කෘතිය පිරිහී ඇති අතර තම බලය හා ධනය වෙනුවෙන් පවතින ක‍්‍රමය ආරක්ෂා කර ගන්නට ප‍්‍රයත්න දරන තවත් පිරිසක් බිහිව තිබේ. ඔවුහු දේශපාලනයේ තමන් අයිති කරගෙන සිටින තැන කිසිවෙකුට පවරා දෙන්නට සූදානම් නැත. අලූත් මුහුණු වලට ඉඩ දෙන්නට සූදානම් නොවේ. තරුණ නියෝජනය, කාන්තා නියෝජනය යන මේ වැදගත් කාරණා ගැන නොතකා ආත්මාර්ථකාමී අන්දමට නාමයෝජනා වලට ඇතුල් වීමට ගන්නා උත්සාහ කැපී පෙනෙයි. මෙම තත්ත්වය පාලනය කරන්නට අපේක්ෂක විනය හා මූල්‍ය විනය වැදගත්ය. දේශපාලන පක්ෂ වලට ඒ වෙනුවෙන් විශාල කාර්ය භාරයක්කළ හැකිය. පක්ෂය තුළ සාමාජිකයන්ගේ බලය තහවුරුකළ යුතුය. සාමාජිකයන්ගේ කැමැත්තෙන් පුද්ගලයන් ඉහළට නැගෙන, පක්ෂ සාමාජිකයන්ගේ අනුමැතිය ඇතිව අපේක්ෂකයන් තොරන සම්ප‍්‍රදායය ශක්තිමත් කළ යුතුය. මුදල් පෙන්වා අපේක්ෂකත්වය ගන්නා හා ධනය අහිමි පුද්ගලයන්ට මැර බලයෙන් හෝ අපේක්ෂකත්වය ලබාගෙන සමාජ විරෝධී දේ මගින් පාර්ලිමේන්තුවට යා හැකි අවස්ථා පාලනය කළ හැකි දේශපාලන පක්ෂ වලට පමණකි. මේ වෙනුවෙන් දේශපාලන පක්ෂ අභ්‍යන්තරයේ විශාල වෙනස්කම් සිදුකිරීම අවශ්‍යය. දේශපාලන පක්ෂ තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කළ යුතුය. එසේ කරන්නට අපොහොසත් වන්නේ නම් එයට බලපෑම් කරන්නට පක්ෂ සාමාජිකයන්ට හැකිවිය යුතුය. නැතිනම් මහජනතාවට මේ ගැන අලූතින් සිතන්නට කාලය එළැඹ තිබේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගුණාංග රටට වැදගත්ය. එයට ඉඩ නැති වන අවස්ථාවේ දී අර්බුදයක් බවට පත්වෙයි. එයින් ගොඩ නැගෙන සමාජ විරෝධය පුපුරා විනාශ වන්නේ විශාල හානියක් කරමින්ය. තරුණ අරගල ඇතිවූයේ, ජන වර්ග අතර අර්බුද ඇතිවූයේ පවතින ක‍්‍රමයේ වැරුද්ද හෙයින් බව අමතක කළ යුතු නැත. සාධාරණ අවස්ථා නැතිවන විට, තමන්ට හිමි තැන ධනයට හා බලයට අනුව අහිමිවන බව පෙනෙන විට විරෝධතා නැගෙයි. සමාජයේ සෑම කෙනෙකුටම තම මතය දක්වන්නට යුක්ති සහගත අවස්ථාවක් හිමිවිය යුතුය. පවතින දේශපාලන ක‍්‍රමය ආරක්ෂා වී ඇත්තේ අයුක්තියට එරෙහිවීමෙන්, මර්දනයට ලක්වූවන්ගේ රුධිරයෙනි. ප‍්‍රශ්න පැන නැගෙන විට යටපත්කර එය මර්දනය කිරීමට වඩා මහජනතාව නොඉවසන, මහජන සම්මුතියට එපිටින් යන ප‍්‍රතිපත්ති වලට ඉඩ නොදීම මහජනතාවගේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන පක්ෂ වල නියත වගකීමකි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.