» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
16/06/2013 - ඉරිදා ලංකාදීප
පුරවැසියන්ගේ දියුණුවට පාලකයන් ගත යුතු තීරණ - මිලින්ද මොරගොඩ

පසුගිය දසක පහ හය තුළ ශ‍්‍රී ලංකවේ පැවැත්මට ගත් තීරණ සම්බන්ධව සියුම්ව අවධානය යොමු කරන විට කැපී පෙනෙන එක් පොදු කරුණක් තිබේ. පොදුවේ සමාජයේ සියල්ලන්ම එකගවී සාමූහික තීරණයක් ගන්නට නොහැකිවීමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක විවිධ මත අපේක්ෂා කළ යුතුය. නමුත් මෙම මත වලින් පැන නැගෙන කරුණු සාකච්ඡා කර පොදු හරයකට එළැඹෙන්නට දේශපාලන සහ සමාජ නායකයන්ට හැකියාව ලැබිය යුතුය. ආගමික නායකයන්ගෙන් අපේක්ෂා කරන දර්ශනය අන් එකකි. මැදහත්ව ප‍්‍රශ්න දෙස බලා කාලීන තත්ත්වය අනුව නිවැරදි මග රටට හෙළි කළ යුතුය. එවිට ගැටලූ නිරාකරනය කරගන්නට පදනමක් සැකසෙයි.

බෞද්ධ දර්ශනයෙන් මධ්‍යම ප‍්‍රතිපදාව ගැන ඉගෙනගෙන ඇති නමුත් සමාජයේ වැඩි පිරිසක් ප‍්‍රශ්න දෙස බලන්නේ අන්තවාදී කෝණයකින්ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණ අනුව අන් අයට ද අදහසක් දරන්නට අයිතියක් ඇතිනමුත් අප එම අයිතිය දෙන්නට සූදානම් නැත. බෙදී එකිනෙකා සමග සටන් කරන, පොදු අනන්‍යතාවයක් වෙනුවෙන් පෙනී සිටින්නට අසමත් අප හමුවේ අද අලූත් සාකච්ඡාවකට මග පෑදී තිබේ. එය සමාජය තුළ තවත් මහත් අදහස් කෝලාහලයකට ඉදිරි දින කිහිපය තුළ පසුබිම සකසනු ඇත. ජාත්‍යන්තර කැසිනෝ ව්‍යාපාර වලට ඉඩදෙන්නට ආණ්ඩුව තීරණය කර ඇති අතර එමගින් රට, සංස්කෘතිය හා ආධ්‍යාත්මික ගුණ වගාවන් විශාල පරිහානියකට ලක්වනු ඇතැයි අදහස් පළවෙයි.

බෞද්ධ දර්ශනය අනුගමනය කරන බොදුනුවන් බහුල රටක සූදුව යනු පිරිහීමට හේතුවකි. එය පරාභව සූත‍්‍රයෙහි කියැවෙයි. අනෙක් ඕනෑම ආගමක පවා සූදුව බැහැර කළ යුතු බවට අවවාද දෙයි. නමුත් මෙරට පමණක් නොව ලෝකයේ ඕනෑම තැනෙක සූදුව එළිපිටම සිදුවෙයි. නරක යැයි අවවාද කරන නමුත් දුප්පතුන් ලෙහෙසියෙන් උපයන්නටත්, ධනවතුන් ක‍්‍රීඩාවක් වශයෙනුත් සූදුවෙහි යෙදෙති. නීති මගින් පවා එය පාලනය කරන්නට අසමත් බව ලෝකයේ නොයෙක් රටවල දැඩි නීති හමුවේ පවා සූදු ක‍්‍රිඩා පැතිරීමෙන් පෙනී යයි.

කැසිනෝ සූදුව මුලින් ආරම්භ වූයේ යුරෝපයේ මොන්ටිකාලෝ නගරයේය. ප‍්‍රකට වූයේ ඇමරිකාවේ ලාස් වේගාස් නගරය සමගය. ඉතා ධනවත් පෙලැන්තිය නගරයට රැස්ව කමින් බොමින් ප‍්‍රීති වෙමින් සූදු ක‍්‍රීඩාවෙහි නිරත වූ බව එම නගරයේ ඉතිහාසය කියයි. චීනයට දැන් අයත් මැකාවෝ දුපත් වල පවා මෙවැනි කැසිනෝ ක‍්‍රීඩා මෑත කාලය තුළ ව්‍යාප්ත විය. පසුව ආසියාවට පැතිර යමින් තිබේ. සූදුවක් වශයෙන් කැසිනෝ ක‍්‍රීඩාවේ ඇති නරක පැත්ත දැන දැනම එය තුළින් ව්‍යාපාරික අදහස් මුදුන් පමුනුවාගත් රටවල් ද වෙයි. සිංගප්පූරුව හා මැලේසියාව ඒ අතරින් ප‍්‍රකටය. මෙම රටවල් දෙකම ඉස්ලාම් ආගම අදහන ආගමට මුල් තැනක් දී ක‍්‍රියා කරන රටවල් දෙකකි. සිංගප්පූරුවේ කැසිනෝ ව්‍යාපාර අරඹන විට එරට පාර්ලිමේන්තුවේ සහ මහජනතාව අතර විශාල ආන්දෝලනයක් ඇතිවිය. එම තීරණය ගන්නා අවස්ථාවේ ඡ්‍යෙෂ්ඨ ඇමති වශයෙන් සිටි ලී ක්වාන් යූ මහතා සමාජයට කියා සිටියේ සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් ලෝකයේ ඉහළම පෙලේ කැසිනෝ ව්‍යාපාර දෙකකට ඉඩ දෙන්නට රටට අවශ්‍ය බවය. අති විශාල ධනයක් ආයෝජනය කර සිංගප්පූරු අගනුවර ඇති කරන ලද කැසිනෝ කලාපය සම්පූර්ණයෙන්ම විදේශිකයන් සදහා වෙන් කළේය. සිංගප්පූරු ජාතිකයන්ට එහි යා හැකි වූයේ ඔහුගේ බිරිද දරුවන් ඇතුළු පවුලේ සමීපතම පිරිස සම්පූර්ණයෙන් කැමැතිනම් පමණකි. ව්‍යාපාර හා රැකිරක්ෂා වලින් බංකොලොත්ව බැංකු වල කලූ නම ලැබූවෙකුට එහි ඇතුළු විය නොහැකිය. ලෝකයේ නොයෙක් රටවල ධනවතුන් කණ්ඩායම් වශයෙන් සිංගප්පූරුවේ කැසිනෝ ව්‍යාපාරයට සම්බන්ධවී ක‍්‍රීඩා කරන්නට නිති පතා පැමිණෙති. එරටට පැමිණෙන යහමින් මුදල් වියදම් කරන සංචාරක ව්‍යාපාරයට පදනම වී ඇත්තේ කැසිනෝ ක‍්‍රීඩාවයි. මැලේසියාවේ පවා වෙනම කලාපයක එරට සංස්කෘතියට මුහු නොවන ආකාරයට කැසිනෝ ව්‍යාපාරය පවත්වාගෙන යයි.

ශ‍්‍රී ලංකාව ආසියානු කලාපය තුළ අවස්ථා මග හැරි ගිය රටක් වශයෙන් ජාත්‍යන්තර ප‍්‍රජාව තුළ සනිටුහන් වී තිබේ. අලූත් දේ ඇතිවන විට එයට අනුගත වන්නට කල් ගැනීමෙන් අපට සිදුවූයේ පැරණි මත වල එල්බ එහිම තර්ක කරමින් සිටින්නටය. පසුගිය වසර තිහ තුළ මෙරට පැවැති යුද වාතාවරණය හමුවේ සංචාරක ව්‍යාපාරය බරපතල ලෙස අඩාල විය. යුද්ධයෙන් පසු යම් පිබිදීමක් ඇතත් සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වාගෙන ඔවුන්ගෙන් රටට විනිමය උපයා ගන්නා මගක් අලූතෙන් සොයා ගත යුතුව තිබේ. සියවසක් පැරණි තේ කර්මාන්තයෙන් අවුරුද්දකට රටට ලැබෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 1.4 කි. රටේ විශාල ඉඩම් ප‍්‍රමාණයක් තේ වගාවට යොදවා ඇති අතර එහි නිරත අඩු ආදායම් ලබන ජන කොටස සමග සසදන විට මෙම ආදායම ප‍්‍රමාණවත් නැත. ඇගලූම් කර්මාන්තයේ ශුද්ධ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන තුනකට වැඩි නොවේ. මෑත කාලය තුළ වේගයෙන් දියුණු වූ මැද පෙරදිග ඇතුළු රටවලට ලාංකික ශ‍්‍රමිකයන් යවා එයින් උපයන ධනය අද මෙරට විනිමය උපයන ප‍්‍රධානම මාර්ගයයි. අවුරුද්දකට ඇමරිකානු ඩොලර් බිලියන 6.5 ක් උපයන්නේ අප‍්‍රමාණ දුක් විද තමන්ගේ දූදරුවන්ගෙන් පවා ඈත්වී සිටින මව්වරුන්ය. පියවරුන්ය. රට වැසියන්ගෙන් කොටසක් පිටරට යවා අනුන්ට සේවය කරන්නට ඉඩ දී එයින් ලැබෙන ආර්ථිකයෙන් රට දියුණු කිරීම රාජ්‍ය පාලකයෙකුගේ දර්ශනය විය යුතු නැත. තම පුරවැසියන් මවු රටේම යමක් කර, යමක් නිපදවා, යම් කර්මාන්තයක නිරතව සිටින්නේ නම් එය ආශීර්වාදයකි.

සිංගප්පූරුව කැසිනෝ ක‍්‍රිඩාවට ඉඩ දී අවුරුද්දකට උපයන ධනය ඇමරිකානු ඩොලර් බිලියන 40 කි. මැලේසියාව එයින් හරි අඩක් පමණ වන බව ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙයි. මේ වන විට ආසියානු කලාපයේ ආර්ථික දැවැන්තයන් වී ඇත්තේ ඉන්දියාව හා චීනයයි. මෙම රටවල අලූත් ධනපති පවුල් විනෝදාස්වාදය සදහා ලෝකයේ ඇති තැන් ගැන සොයමින් සිටී. මෙම රටවල් දෙකටම මැදින් ඇති ශ‍්‍රී ලංකාවේ කොටසක සංචාරකයන් වෙනුවෙන් අලූත් බහුකාර්ය සංචාරක කලාප ඇති කළ හැකිය. දරුවන්ට කෙළි සෙල්ලම්, ජල ක‍්‍රීඩා, සාප්සු සවාරි සහ කැසිනෝ ඇතුළු ක‍්‍රීඩා නඩත්තු කරන සංචාරක පාරාදීස ඇති කිරීමෙන් මෙම අලූත් විදෙස් සංචාරකයන් රටට ගෙන්වාගත හැකි බව අපට පෙනේ. දූගී පවුල් වල සාමාජිකයන් රට යවා ඔවුන් ලබන වැටුප රටේ ඉහළම විනිමය ආදායම වශයෙන් සැලකීමට වඩා සිංගප්පූරුව හෝ මැලේසියාව ගත් මග විශේෂ ශික්ෂණයක් ඇතිව විමසා බැලිය යුතුය.

කැසිනෝ උවදුරක් ගැන රට තුළ විවාදයක් ඇවිලෙමින් තිබේ. සෙන් කතාවකට අනුව දිය කඩිත්තකින් එතෙර වීමට සිටි භික්ෂූන් දෙනමක් අතරින් අයෙක් එහි රැදී සිටි එතෙර යා නොහැකිව සිටි දැරියක් ඔසවා දියෙන් එගොඩට තැබීය. අනෙක් භික්ෂුව මග දිගට ද, වෙහෙරට පැමිණි මොහොතේ සිට නොසන්සුන්ය. දැරියට ආධාර කළ භික්ෂුව එය වටහාගෙන මන්දැයි විමසීය. නොසන්සුන්ව සිටි හිමිනම දැරිය අතින් ඇල්ලීම භික්ෂුවකට නොවටිනා බව දක්වා අවැඩක් සිදු වූ බවට දොස් පරොස් නගන්නට විය. හිමියෝ කියා සිටියේ මම එම දැරිය දියෙන් එගොඩ කර එතැන තබා ආවෙමි. ඔබ තවමත් දැරිය ඔසවාගෙන සිටින්නේය, යන්න පමණකි. සමාජයක් වශයෙන් අප පසුකර ඇති දීර්ඝ ඉතිහාසය තුළ අවස්ථා අහිමිකරගෙන ඇත්තේ අනවශ්‍ය විවාද හා සෘජු තීරණ කෙලින්ම ගැනීමට නොහැකිවීමේ විපාකයක් වශයෙනි. කළ යුතු දේ ගැන ප‍්‍රතිපත්ති සංවාදයක් කරගෙන යන්නට අප අපොහොසත්ය. දේශපාලන මඩ ගැසීම, චරිත ඝාතන සහ තම දේශපාලන බලය ආරක්ෂා කර ගැනීමට ජනප‍්‍රිය තීන්දු ගැනීම අපගේ සිරිතය.

ආසියාවේ මූල්‍ය මධ්‍යස්ථානය වන්නට රටට අවස්ථාව තිබිණ, නිසි කල මූල්‍ය නීති ප‍්‍රතිසංස්කරණය නොකළ අප එම අවස්ථාව කොළඹ නගරය තරම් සිංගප්පූරුව සහ වැලිකතරක් වූ ඩුබායි රට උදා කරගන්නා තෙක් තීන්දු ගැනීමට එඩිතර වූයේ නැත. 1983 දී තායිලන්තය හා ශ‍්‍රී ලංකාව සංචාරක කර්මාන්තය අතින් සිටියේ සමාන මට්ටමකය. වර්තමානයේ ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක් අපයන විට තායිලන්තයේ ඉපැයීම ඇමරිකානු ඩොලර් බිලියන 30 කි. ඉන්දියාවට දොරටුවක් වන ආර්ථික ක‍්‍රමෝපායක් අනුගමනය කරන්නට හැකියාව තිබිණ. නමුත් සමාජයක් වශයෙන් ඉන්දියාව සමග සහයෝගයෙන් නොව ඉන්දියාවට තරග කරන්නට සූදානම් කුඩා රටක් වශයෙන් අප හැසිරෙමින් සිටී. ඇ`ගලූම් කර්මාන්තය ඇරඹෙන විට එයට ඇතුළු වන්නට සමාජයේ තිබුණේ අඩු දේශපාලන දැක්මකි. 90 දසකයේ බංගලාදේශය හා ලංකාව යන රටවල් දෙකම ඇ`ගලූම් කර්මාන්තයෙන් උපයන ලද්දේ ඇමරිකානු ඩොලර් බිලියනයකට අඩු ආදායමකි. දැන් ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් උපයන විට බංගලා දේශයේ එයින් ලබන වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 20 කි. තොරතුරු තාක්ෂණ යුගය අප පසුකරගෙන යමින් තිබේ. සංචාරක අංශයේ ද පොහොසතුන් වෙනුවට අඩුවෙන් වියදම් කරන සමාජය දිනා ගන්නා ක‍්‍රමයක අද නිරතය.

කැසිනෝ සූදුව අද ඇති කරන්නක් නොවේ. රට තුළ දැනටමත් කැසිනෝ බලපත‍්‍ර දහසකට වඩා නිකුත්කර ඇත. රේස් කොලය අදටත් රටපුරා කියැවෙන ඉංග‍්‍රීසි ලේඛනයකි. සෑම නගරයකම ඔට්ටු පොල තිබේ. කොළඹ හා තදාසන්න ප‍්‍රදේශ වල ඇති සංචාරක හා ඉහළපෙලේ අවන්හල් වල කැසිනෝ පමණක් නොව නොයෙකුත් විශමාචාර සිදුවෙයි. නීතියක් නැත. අද සමාජය සහ දේශපාලන නායකයින් එකට එකතු වී මෙම ධර්මද්වීපයේ අනාගතය ගැන බැරූරුම් සංවාදයකට යා යුතුය. දැනට පවතින සූදුව සමාජයට බලපා තිබේද? එම වටපිටාව ඉවත් කර පුරවැසියන් සූදුවෙන් තොරකරන්නට රටට ඇති හැකියාව කුමක්ද? පවතින තත්ත්වය සම්පූර්ණයෙන් සමාලෝචනය කර රටට හා සංචාරක ව්‍යාපාරයට ගැලපෙන ආකාරයට එහි ඉහළම තල නිර්මාණය කර ගැනීමට අපට හැකියාවක් නැද්ද? යන කාරණා විවෘතව කතා කළ යුතුය. රට පුරා රේස් බුකි ඇතත් එහි නොයන යහපත් ජනතාව එහි යන්නේම නැත. කැසිනෝ සමාජශාලා ඇතත් ධනය ඇති සමාජයේ නොයෙක් දෙනා එයට උනන්දුවක් දක්වන්නේ ද නැත. යහපත් සිතිවිලි, යහපත් ලක්ෂණ ඇති ජනතාවට යහපත් දේ දෙන අතර එයට වෙනස් ආකාරයට හැසිරෙන සමාජයට අවශ්‍ය පහසුකම දී එයින් උපයා ගන්නා විශාල ධනය රටේ අනාගත සංවර්ධනයට වියදම් කිරීම ගත හැකි තින්දුවකි. ඇමරිකානු ඩොලර් බිලියන 6.5 ක් උපයා දෙන මෙරට දුගී දුප්පත් ජනතාවගේ රට රැකියාව වෙනුවට එය මෙන් දෙතුන් ගුණයක විදේශ විනිමයක් ඉපැයිය හැකි මගක් නිසි ආකාරයට කළමනාකරණය කළහොත් අවස්ථාව ලැබෙන්නේ රටටය. දරුවන්ද, පවුල් ජීවිත ද අසරණ කරමින් විදේශ රැකියා කරන රට විරුවන් එවන ධනයෙන් මෙරට සියලූ යස ඉසුරු සපුරා ගන්නා අප එහි ගැලී සිටින ඔවුන්ගේ අසරණ භාවයෙන් සතුටින් සිටින අතර එය වෙනස් කිරීමට ගත හැකි එකම ආර්ථික පිළිවෙතක් නැගෙන විට එයට මුහුණ දෙන්නට සූදානම් නැත.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.