» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
15/01/2012 - ඉරිදා ලංකාදීප
ගොවිපොලේ පෙරැළියකට මග සදන සුපිරි පලතුරු - මිලින්ද මොරගොඩ

වසරක් උදාවීම අලූත් ආකල්ප වලට අවස්ථාවක්. කාලය සමග මුහුණ දෙන්නට සිදුව ඇති අභියෝග ගැන ජාත්‍යන්තර සමාජය අවධානයෙන්. කාලය වෙනස් වන නමුත් උත්තර දෙන්න සිදුවන ප‍්‍රශ්න එදාට වඩා සංකීර්ණයි. පසුගිය කාල පරිච්ඡ්දයෙන් එකතු වූ ගැටලූ වර්තමානයටත් පොදුයි. ජනගහනය වැඩිවෙනවා. ආහාර සැපයිය යුතුයි. ඉඩම සිමා සහිතයි. කෘෂිකර්මයට යොමුවන ශ‍්‍රමය සීමිතයි. නිෂ්පාදනය ප‍්‍රමාණවත් නැහැ. ඉල්ලූමට සරිලන තරමට ආහාර, වෙළද පොලට නොලැබෙනවිට මිළ ඉහල යයි. අඩු ආදායමක් ලබන පිරිසක් ඕනෑම සමාජයක සිටී. ඔවුහු දුප්පතුන්ය. මිළ වැඩිවන විට එයින් පීඩනයට පත්වන්නේ මෙම කොටසයි. ජීවත්වීමට අවශ්‍ය මූලික දේ සපයා ගන්නට ආදායමක් නැති කොටස අසරණවීම ඛේදවාචකයයි.

අපේ රටටත් මේ ප‍්‍රශ්නය පොදුය. නමුත් මුහුණුවර වෙනස්. මෙරට පසුබිම අනුව ජනතාවට අගහිගකම් දැනුනත් බඩගින්නට මොනවා හෝ දෙයක් හිග නැහැ. අල බතල පලා කොල වලින් හෝ යැපෙන්නට පුලූවන්. නමුත්, තවදුරටත් යැපෙන සංස්කෘතියට සීමා විය යුතු නැත. කෘෂිකර්මය සාමාන්‍ය මට්ටමට වඩා දියුණු කළ යුතුයි. එය ව්‍යාපාරයක් ලෙස කාලානුරූපව වෙනසකට ලක්විය යුතුය. ඉඩම හා කෘෂිකර්මය අලූත් යුගයට යොමු කරන්නේ කෙසේද?

ලංකාවේ වී වගාව සම්ප‍්‍රදායික එකකි. ඒ හා බැදුන සංස්කෘතියක් ඇත. ගොවියන් ට වී වගාව බුද්ධ භෝගයකි. කමත මහාර්ඝ තැනෙකි. සිරිත් විරිත් හා චාරිත‍්‍ර තිබේ. පාරම්පරිකව ඒවා ආරක්ෂා වෙයි. වී ගොවිතැන බත සපයයි. ඒ අතර රටට විනිමය උපයන කෘෂිකර්මයක් ද තිබේ. තේ වගාව එයින් ප‍්‍රධානය. රබර්, පොල් හා පොල් ආශ‍්‍රිත නිෂ්පාදන සහ සුලූ අපනයන භෝග ද වෙති. විනිමය උපයන කෘෂිකර්මය රටට ඇතුලූ වූයේ අධිරාජ්‍යවාදී බලපෑම අනුවය. මුතු, මැණික්, කුරුදු යනාදිය රෙදි පිළි සමග හුවමාරු කරගන්නා වෙළ`ද මාර්ගයක් ඉතිහාසයේ පැවතින. එකී වෙළද මං ඔස්සේ ලක්දිව ආක‍්‍රමණය කළ බටහිර රටවල් තමන්ට එයින් ඔබ්බට ගියහ. තම වෙළදපොළට රිසි දේ මෙරටින් නිපදවූහ. කෝපි වගා කළේ ඔවුන්ට අවශ්‍ය හෙයිනි. කෝපි වගාව විනාශ වන විට තේ හා රබර් වගා කළහ. අස්වැන්න ඔවුහු එකතුකර ගත්හ. වතු වගාව ඇරඹුණේ ද, ඒ හරහා කම්හල හා කම්කරු පෙලැන්තිය බිහිවුණේ ද බටහිර උවමනාව අනුවය. මාර්ග බිහි කෙරිණ. දුම්රිය සේවාව ඇරඹිණ. බැංකු ක‍්‍රමය ස්ථාපිත විය. සමස්ථ සමාජ රටාවම අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාව අනුවය.

නිදහස ලබා අවුරුදු හැට හතරක් ගතව තිබේ. සම්ප‍්‍රදායික රාමුවෙන් පිටට කෘෂිකර්මය ගෙන යා හැකිය. එයට කාලය උදා වී තිබේ. අද තේ වගාව විශාල දියුණුවක් ලබා නැත. රබර් වගා කරන ඉඩම් ප‍්‍රමාණය පිරිහී තිබේ. මේ වගාවන් හි නිරත වීමට ශ‍්‍රමය හිගය. එහි නිරතව සිටි පරම්පරාවේ අලූත් දරුවෝ රට හැර යති. ඔවුහු අවස්ථාව සොයන්නේ මැද පෙරදිග, කොරියාව, ජපානය ඇතුලූ රටවලය. කෘෂිකර්මයෙහි නිරතරව උපයන අල්ප ආදායම ට වඩා ධනයක් විදේශ රටක වැඩ කිරීමෙන් උපයති. මෙම පිරිස සේවය කරන්නේ ද කම්හලකය. ගොවිපොලකය. එසේ නැතිනම් සත්ව පාලන අංශයේ විය හැකිය. මවුබිමේ දී වානිජ වශයෙන් නොදියුණු වගාවක සුළු ආදායමක් ලබනවාට වඩා විදේශයක, එවැනි ම අංශයක මහා පරිමාන ව්‍යවසායක නිරත වන ඔවුහු එයින් උපයන ධනය මහත්ය. විදේශගත රැකියා වලින් යමක් උපයාගෙන පැමිණෙන අලූත් පරම්පරාව ගොවිතැනට කැමැත්තක් නොදක්වති. ඔවුන් ගේ ආකල්ප වෙනත් ව්‍යවසායයි. රටට අලූත් ව්‍යවසායකයන් බිහි කළ හැකිය. ඒ වෙනුවෙන් ඉඩම උපයෝගී කරගත හැකිය. අප එවැනි වෙනස් මගක් සොයා නොයන්නේ මන්ද? සම්ප‍්‍රදායික රාමුවෙන් එපිට කෘෂිකර්මයක් තිබේ. එය වානිජ එකකි. එයට තාක්ෂණය මුසු කිරීම අවශ්‍යය.

දෙලූම් පැලයක් ලංකාවේ හැම ගෙවත්තකම තිබුණි. ඒ අතීතයේය. අද දෙලූම් ගෙඩියක් මිලදී ගත හැක්කේ ධනවතුන්ටය. අලෙවි කෙරෙන්නේ සුපිරි වෙළද සැලේය. ගෙවත්තේ තිබුණ දෙලූම් පැලය වෙනුවට ඇත්තේ බෝගන්විලාය. ජර්බරාය. ලෝකය පුරා දෙලූම් සුපිරි පලතුරකි. එපමණක් නොවේ. නොයෙක් රටවල් තම රටට අනන්‍ය පලතුරු සුපිරි පලතුරු වශයෙන් තෝරා වගා කරන්නට පටන්ගෙන ඇත. අලූත් ආකාරයට වෙළද පොලට ඉදිරිපත්කර ධනය උපයන්නට ද පටන්ගෙන තිබේ. මැලේසියාව මෑතක දී සිය පලතුරු වගාව ගැන අලූත් අදහස් ඉදිරිපත් කළ රටකි. එහි ස්ටාර් ෆෘට් ඇත. ඒ අප දන්නා කාබරංකාය. ගස්ලබු, කෙසෙල්, අඹ, මොර, නාරං හා ඩ‍්‍රැගන් ෆෘට් වැඩිපුර වවන්නටත් අපනයනය කරන්නටත් සූදානම් වෙයි. රඹුටන් හා පෙයාර්ස් ද මහා පරිමානයෙන් වගා කරන්නට සැලසුම් කරයි. තායිලන්තය එලවලූ පලතුරු සම්බන්ධයෙන් ජාන තාක්ෂණ පර්යේෂණ කර සොයාගෙන ඇති නව ප‍්‍රබේධ කෘෂිකර්මයේ විප්ලවයක් කර ඇත. ජපානය, කොරියාව, චීනය හා ඉන්දුනීසියාව වැනි රටවල් වී වගාව ව්‍යාපාරයක් තරමට දියුණු කර ඇත. වැඩි අස්වනු ප‍්‍රබේධ සොයාගෙන ශ‍්‍රමය වෙනුවට යන්ත‍්‍රසූත‍්‍ර යොදුගනී. එයින් වියදම අඩුවන අතර අස්වැන්න වැඩිවෙයි. මැදපෙරදිග රටවල් තාක්ෂණික ක‍්‍රම භාවිතා කර කාන්තාරයේ වගා කරයි. වගාවට පස අත්‍යවශ්‍ය නැති තරමට එය දියුණු කර ඇත. ජලය සංරක්ෂණ ක‍්‍රම හා දියර පොහොර යෙදීම දක්වා එය දියුණුය. ඊශ‍්‍රායලය සෙවන දැල් සකස් කර ජල බිංදු තාක්ෂණයෙන් පලතුරු වවා බටහිරට අපනයනය කරයි. එවැනි ක‍්‍රම ප‍්‍රයෝජනයට ගන්නා රටවල් කෘෂිකර්මයේ නවෝදයක් උදා කරගෙන ඇත. ඉරානය හා ඊශ‍්‍රායලය දෙලූම් වගා කරන්නට පටන්ගෙන තිබේ. කොමඩු තවත් තෝරා ගැනීමකි. එක් එක් රටවල් තමන්ට ගැලපෙන දේ වගා කර ජාත්‍යන්තර වෙළද පොලට සපයයි.

ශ‍්‍රී ලංකාවට ද සම්ප‍්‍රදායික කෘෂිකර්මයෙන් ඔබ්බට යා හැකිය. වෙරලූ ගෙඩිය ඔලිව් තරමට ම ගුණ බව සොයා ගෙන තිබේ. ආවේනික වෙරලූ වර්ග කොතරම් රටේ තිබුණා ද? ඒවා තවමත් ඉබේ පැලවී එහි අස්වැන්නෙන් වැඩි ප‍්‍රමාණයක් ගස් යට ම විනාශ වී යයි. වෙරලූ ආච්චි පාසල් ගේට්ටුව ළග නැත්තේ මන්ද? ඒ වෙනුවට දරුවන් මිලදී ගන්නේ රසකාරක යෙදු ටොෆියකි. ආනයනික පලතුරකි. දේශීය පලතුරු අපේ රටේ දරුවන් අතර ප‍්‍රචලිත කරන සරල වැඩ පිළිවෙලක් අවශ්‍යය. එවිට අලූත් පලතුරු වෙළද පොලක් බිහිවනු ඇත.

අඹ අපේ රටේ රසවත් පලතුරකි. නොයෙක් හැඩයෙන් හා රසයෙන් යුතු අඹ විශේෂ ගණනාවක් රටට ආවේනිකය. ගෙවත්තක වගා කළ හැකිය. ගොවීන්ට ලාභ උපයන වගාවක් වශයෙන් මහා පරිමානයෙන් අඹ වගා කරන්නට අවස්ථාව තිබේ. ජම්බු නොසලකා හරින ලද තවත් පලතුරකි. ජම්බු, වෙරලූ, කටු අනෝදා සහ කාමරංගා මහා පරිමානයෙන් වගා කිරීම අපහසු නැත. තේ වගාවෙන් ලාභ නැති එහි දියුණුවක් නැති අවස්ථාවක අත්හැර දමමින් ඇති ඉඩම් මෙවැනි පරිවර්තන භෝගයකට යොමු කළ හැකිය. රට පුරා ප‍්‍රයෝජනයට නොගෙන ඇති ඉඩම් ප‍්‍රමාණය ද විශාලය. වතු ආශ‍්‍රිතව අක්කර තිස්දහසකට වැඩි ඉඩම් ප‍්‍රමාණයක් මුඩු ඉඩම් වශයෙන් පවතින බව ජනාධිපති හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2012 අය වැය ඉදිරිපත් කරමින් කියා සිටියේය. එතුමාගේ දැක්ම වූයේ මෙම ඉඩම් ප‍්‍රයෝජනවත් අන්දමට උපයෝගී කර ගැනීමයි. ඉඩම් නොමැති ජනතාව ට කැබලිකර බෙදා දෙන්නට යෝජනාකර ඇත. වතු ආශ‍්‍රිතව තැනින් තැන ඇති ඉඩම් බාහිර පුද්ගලයන් ට බෙදා දීම වෙනුවට මහා පරිමානයෙන් පලතුරු වගා කිරීමට පෙළඹවිය නොහැකිද? අවශ්‍ය වන්නේ නිසි මග පෙන්වීමක් පමණකි.

මේ අදහස් ප‍්‍රායෝගික නැති බව තර්ක කරන පිරිසක් සමාජයේ සිටී. මේවා අලූත් දේ නොවන බව ඔවුහු කියනු ඇත. බටහිර යටත් විජිත රාමුවේ සිරවී සිටින අප එයින් මිදෙන අලූත් කෘෂිකර්මයකට ගමන් නොකරන්නේ ඇයි?

සුළු වශයෙන් ගෙවතු ආශ‍්‍රිතව පලතුරු වගා කරන අතර මහා පරිමානයෙන් වගා කිරීම අද ඇති අවශ්‍යතාවයයි. කුඩා පරිමානයෙන් වගා කිරීමෙන් වියදම් අඩු කර ගත නොහැකිය. නඩත්තුව හා යෙදවුම් අඩු කර ගත හැකි වන්නේ තාක්ෂණය උපයෝගී කර ගනිමින් වැඩි දියුණු කරන ලද පලතුරු වගාව මහා පරිමානයෙන් ඇරඹුවහොත් පමණකි. පටක රෝපන තාක්ෂණයෙන් කෙසෙල් වගා කිරීම අද මෙරට සුළු ගොවීන් අතර ප‍්‍රචලිතය. වැඩි රසයක් නැතත්, ප‍්‍රවාහනයට ඔරොත්තු දෙන ගස්ලබු ප‍්‍රභේද ප‍්‍රචලිතව තිබේ. කෙසෙල් හා ගස්ලබු වගාවට ඉදිරිපත් වූ ගොවීන් අප රටේ සිටී. ඔවුන්ගේ අත්දැකීම් හා ආදායම උපයා ගන්නා අන්දම ගැන උනන්දුවක් ඇති අනෙකුත් අයට දැනුම්දීම වත්මන් තොරතුරු සන්නිවේදනයේ වගකීමකි. තොරතුරු හුවමාරුව මගින් අලූත් අදහස්, අලූත් සංකල්ප පැතිරවිය හැකිය.

වගා කිරීම පමණක් නොව, අස්වැන්න නෙලා ගැනීම, ඇසිරීම හා බෙදාහැරීම දක්වා ප‍්‍රමිතිය හා තත්ත්වය උසස් විය යුතුය. ගොවියා නිපදවන සියලූ ම දේ විකිණීම වෙනුවටතත්ත්වයෙන් උසස් දේ වෙළද පොලට එවීමෙන් පාරිභෝගිකයා දිනා ගත හැකිය. අවුරුදු ගණනකට කලින් මාලදිවයිනට එලවලූ හා පලතුරු සැපයීමට ලංකාවේ ව්‍යාපාරිකයන් හුරු වී සිටියේය. පසුගිය කාලය තුළ මාලදිවයිනේ සංචාරක ව්‍යාපාරය තත්ත්වයෙන් උසස් වී තිබේ. මේ ඉහළ පෙලැන්තියේ සංචාරකයන්ට හොදම එලවලූ පලතුරු සැපයෙන්නේ මෙරටින් නොවේ. ඒ වෙළද පොළ ගිලිහී යමින් තිබේ. ලංකාවේ සංචාරක හෝටල් පවා තත්ත්වයෙන් උසස්, නිසි ප‍්‍රමිතියෙන් යුතු එලවලූ හා පලතුරු සොයන විට මෙරට නිපැයුම, ඇසිරුම හා බෙදාහැරීම ගැන කණස්සල්ල පළ කරයි. අලූත් අත්හදා බැලීම් කළ යුතුය. විකල්පය සොයා යා යුතු අතර ලෝකයේ සිදුවන පරිවර්තනයට ගැලපෙන අන්දමට ගොවිපොල ද සකක් කරන්නට අපට හැකියාව තිබිය යුතුය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.