ධුර කාලය අවසන් වූ පසු ජන නායකයෝ ගත කරන ජීවිතය කෙබදුද? එක් එක් යුග වල රටවල් පාලනය කළ මහත් ජනප‍්‍රියත්වයක් හෙබවූ චරිත තමන්ගේ පසු කාලය අර්ථවත් ලෙස හරවා ගන්නට නොයෙක් තැත දරති. ''ක්ලින්ටන් ග්ලෝබල් ඉනීෂියටිව්'' යන පදනම ද එවැන්නකි. ඇමරිකානු රාජ්‍ය නායකයෙකුව සිටි බිල් ක්ලින්ටන් ලෝකයේ ජ්‍යෙෂ්ඨ වැසියෙකු ලෙස ජගත් ප‍්‍රජාවට ස්වකීය මෙහෙවර තවදුරටත් ඉටු කරමින් සිටී.
අන්තර් ජාතික සීමා මායිම් රටවල් අතර, තවදුරටත් නැති බව කියන හිටපු ලෝක නායකයා ඒ වෙනුවට ඇත්තේ අභිවෘද්ධිය, අදහස්, තොරතුරු හා දක්ෂතා නිදහසේ පැතිරෙන දැලක් පමණක් බව පෙන්වා දෙයි. ගෝලීය අනන්‍යතාවය වෙනස්වන නමුත් අභියෝග එලෙසමය. ලෝක ජනගහනයෙන් හරි අඩක් පමණ දිනකට ඇමරිකානු ඩොලර් දෙකකට අඩු ආදායමක් ලබන අතර බිලියනයකට වැඩි පිරිසක් දිනකට ඇමරිකානු ඩොලරයක් පමණ උපයමින් ඉතා දුකසේ ජීවත්වන බව ක්ලින්ටන් මහතා කියයි. ආර්ථික වේගය අඩුවීමේ ගෝලීය ප‍්‍රවනතා, ප‍්‍රචණ්ඩත්වය, බලශක්ති ප‍්‍රශ්න, කාලගුණ විපර්යාස හා දේශපාලන ගැටුම් ඇතුළු නොයෙකුත් කරුණු එයට පාදක වී ඇතැයි හෙතෙම අනාවරණය කරයි. මෙම සියලූ අභියෝග මැද ලෝකය යහපත් තැනක් බවට පත්කරන්නට වඩාත් මුල්විය හැකි සාධක පහක් එතුමා නම් කරයි.
තොරතුරු හුවමාරු තාක්ෂණය, ප‍්‍රජා දායකත්ව සෞඛ්‍ය ප‍්‍රවර්ධනය, හරිත බලශක්තිය, කාන්තාවගේ නිසි අයිතිය සහ යුක්ති ගරුක සමාජයක් වශයෙන් එම අංශ පහ දක්වන අතර බිල් ක්ලින්ටන් මහතා එම කරුණු වැදගත්වන ආකාරය කෙබදු දැයි විග‍්‍රහයට ලක් කරයි. ශ‍්‍රී ලංකාව ද ඇතුළු වෙමින් සිටින්නේ මෙම සමාජ ගෝලීයකරණ පරිසරයටය. රටක් වශයෙන් ලෝකය තුළ හුදෙකලාවීමට ඉඩක් නැත. භූගෝලීය මායිම් වෙනස්කරමින් රටවල් තුළට අන්තර් ජාතිකව සිදුවන වෙනස්කම් ඉක්මනින් ප‍්‍රවේශ වෙයි. දැලකින් සුළං බැදීමට නොහැකිය. මහත්මා ගාන්ධි ප‍්‍රකාශ කළ ආකාරය වැදගත්ය. '' මාගේ නිවසේ දොර ජනෙල් වසා තබනවාට මම අකැමැත්තෙමි. සියලූ දොර ජනෙල් විවෘත කර තබමි. සෑම දේශයකින් ම හමන සියලූ සංස්කෘතීන් මුසු සුළග මගේ නිවසට එන්නට ඉඩ හරිමි. එහෙත් ඒ සුළගින් ගසාගෙන යන්නට මම සූදානම් නැත. බැරිස්ටර් වරයෙකු වශයෙන් ඉගෙන ගන්නට ලන්ඩනයට ගිය ගාන්ධි නොයෙකුත් සංස්කෘතික ආක‍්‍රමණ වලට ගොදුරු වූ අතර අවසානයේ මවුබිමට පැමිණ නිදහස් සටනට අවිහිංසාවාදී ආකාරයට නායකත්වය දුන්නේය. කලින් පරම්පරාව මුහුණ දුන් එවැනි අභියෝග වලට හාත්පසින් ම වෙනස් ආකාරයේ පරිවර්තනයක් වර්තමානයේ සිදුවෙමින් පවතියි. නොදැනුවත්වම එයට නතු වෙමින් සිටින අවස්ථාවක බිල් ක්ලින්ටන් මහතා දක්වන විග‍්‍රහය මැදහත්ව විමසා බැලීම වැදගත්ය.
තොරතුරු හුවමාරු තාක්ෂණය වැදගත් පෙරැළියක් වනු ඇත්තේ ඇයි? ජනතාව දුගී දුප්පත්කමින් ගලවා ගන්නට දුරකථනයේ දායකත්වය ඉමහත් බව එක්සත් ජාතීන් 2010 දි කළ අධ්‍යයනයක් දක්වයි. හයිටි රාජ්‍යය ලෝකයේ දුප්පත් ම රටවල් අතරින් එකකි. දුරකථනය එරට වැසියන්ගේ මූල්‍ය අවස්ථා වෙනුවෙන් මැදිහත්වී ඇති ආකාරය එහි දැක්වේ. හයිටියේ ප‍්‍රධාන ආදායම එරට වැසියන් ඇමරිකාව, කැනඩාව හා ප‍්‍රංශයේ රුකියා කර එවන ධනයයි. එරට පුරවැසියන්ට බැංකු වලින් ණය නිකුත් කරන්නේ නැත. 2010 දි එරට වැසියන්ගෙන් සියයට දහයකටවත් බැංකු ගිණුම් තිබී නැති නමුත් එරට නිවාස වලින් සියයට 80කට වඩා දුරකථන භාවිතා වී තිබිණ. කැනඩාවේ බැංකුවක් හා එකතුවූ එරට දුරකථන සමාගමක් බැංකු වලට සම්බන්ධ නොවී දුරකථනය හරහා මුදල් ගෙවීමට හා ඉපැයීමට හැකි ක‍්‍රමයක් හදුන්වා දුන්නේය. අවුරුද්දක් ඇතුලත එහි ගනුදෙනු මිලියන හයක් වාර්තා වී තිබේ. මෙවැනිම පසුබිමක් අප‍්‍රිකාවෙන් ද අනාවරණය විය. එරට වැසියන්ගෙන් සියයට හතරකට අන්තර් ජාල සම්බන්ධතා ඇත. සෞඛ්‍ය පහසුමක් දුර්වලය. සමාගමක් දුරකථනය මගින් වෛද්‍ය උපදෙස් ලබාදීමේ සේවයක් ඇරඹීය. අප‍්‍රිකානු කලාපයේ රටවල සෞඛ්‍ය බලවත් ප‍්‍රශ්නයකි. පසුව අනාවරණයවූ පරිදි මෙම සේවාව මගින් ප‍්‍රතිකාර ගෙන ඇති ප‍්‍රමාණය මිලියන සංඛ්‍යාතය. සුනාමි අවස්ථාවේ දී හා හයිටි යේ සිදුවූ භූමි කම්පාවේ දී ද ආධාර දෙන්නට ඉදිරිපත්වූ නොයෙක් රටවල වැසියන් ඩොලර් 5-10 වැනි සුළු පරිත්‍යාග කෙලින් ම දුරකථන කෙටි පණිවුඩ මගින් ලැබෙන්නට සලස්වා තිබේ. දුරකථන සම්බන්ධතාවය ලෝකයේ දුප්පත්කම නැති කරන්නට මහත් විප්ලවයක් බව ක්ලින්ටන් පදනම පෙන්වා දෙන පළමු කරුණයි.
දෙවැන්න සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ දියුණුවට ප‍්‍රජා සහභාගීත්වයයි. එච්.අයි.වී සහ පිලිකා වැනි දරුණු රෝග රාජ්‍ය හා පුද්ගලික අංශ වල සහයෝගයෙන් විශාල වශයෙන් මර්දනය කරන්නට හැකියාව ලැබී ඇත. රාජ්‍ය මට්ටමින් සහ කීර්තිමත් ආයතන එයට කර ඇති පරිත්‍යාග සහ මෙහෙයුම් හෙයින් රෝගී තත්ත්ව වසංගත ලෙස පැතිරීම පාලනය කරගන්නට හැකියාව ලැබී ඇති අතර නව ප‍්‍රතිකාර ක‍්‍රම හා ප‍්‍රතිකාර වල වියදම ද අතිශය සීමාසහිත වී තිබේ. එය ලෝකය වෙනස් කරන සහ බලාපොරොත්තු ඇති කරන තත්ත්වයකි.
තෙවැනුව හරිත බලශක්තියයි. පසුගිය වසර විසිපහ තුළ ලෝක ජනගහනයෙන් සෑහෙන ප‍්‍රතිශතයක් දුගී බවින් මිදී මධ්‍යම පාන්තිකයන් බවට පත්ව ඇත. එය බලශක්ති ප‍්‍රශ්නයක් මතු කර තිබේ. යහපත් පැත්ත වන්නේ ලෝකයේ නව බලශක්ති ප‍්‍රභව සොයා යාමේ ප‍්‍රවනතාවයයි. සුර්ය බලශක්තියේ සිට මිහිතලය ආරක්ෂා කරමින් ශක්තිය නිපදවා ගන්නා ක‍්‍රම කෙරෙහි ලෝක අවධානය යොමුව ඇත. දියුණු රටවල් විශේෂයෙන් වනාන්තර ආරක්ෂා කර ගැනීමට උන්නදුවක් දක්වයි. පරිසර සංරක්ෂණය ගැන මහන්සි වෙයි. එයින් ධරණීතලයේ පැවැත්මට සිදුවන මෙහෙවර, ලෝකය වෙනස් කරන්නට සියුම් ලෙස බලපාන තවත් සාධකයකි.
සිව් වැනිව පාලනයට හා සංවර්ධනයට කාන්තාව ගේ ඇති දායකත්වයයි. අන්තර් පාර්ලිමේන්තු සංවිධානය දක්වන අන්දමට 1997 දී පමණ සියයට දහයකට මදක් වැඩි ප‍්‍රතිශතයක සිටි 2012 වන විට පාර්ලිමේන්තු වල කාන්තා නියෝජනය සියයට 20 ඉක්මවා තිබේ. එයින් සමාජ හා ආර්ථික ක‍්‍රියාකාරකම් වල අන් කවරදාටත් වඩා කාන්තාවගේ දායකත්වය පැහැදිලිය. සමාජයේ හරි අඩක් ක‍්‍රියාශීලීවන විට එයින් නිෂ්පාදනය නැංවෙයි. පිරිමින්ට වඩා කාන්තාව පවුලේ දියුණුව ගැන අවධානය යොමු කරයි. පවුලක පමණක් නොව සමස්ථ සමාජයේම දියුණුවක් එයින් අපේක්ෂා කළ හැකිය. පසුගිය වසර දහ හතර තුළ රුවන්ඩාවේ ආර්ථිකය පස් ගුණයකින් වැඞී ඇත්තේ කාන්තාව ගේ සහභාගීත්වයෙන්ය. මලාවි ය ද එසේය. ඉන්දියාව, කාම්බෝජය, වියට්නාමය, චීනය හා ශ‍්‍රී ලංකාව යන රටවල කාන්තාවන් ඇගලූම් කර්මාන්තයේ සිට තාක්ෂණික යුගයට ඇතුළු වෙමින් ඇති බව පෙන්වා දෙන ක්ලින්ටන් මහතාගේ සටහන එය ලෝකය වෙනස් කරන සාධක අතර කැපී පෙනෙන එකක් බව දක්වයි.
ක්ලින්ටන් මහතාගේ දැක්ම අනුව ලෝකය වෙනස්කරන ප‍්‍රධාන සාධක පහ අතර අවසන් කරුණ අතීතය හා වර්තමානය අතර සිදුවන පෙරැළියයි. රටවල් හා නගර අතර තිබුණ බෙදීම් අඩුවෙමින් පවතින අතර ප‍්‍රජාව අවබෝධයෙන් ක‍්‍රියාකරන බව පෙනේ. අනාගතය උදෙසා දැන් සිටම අරගලයක නිරත වන්නට සිදුව තිබේ. එහි ප‍්‍රතිඵල සුබදායක බව ක්ලින්ටන් මහතා පෙන්වන්නේ ඔහුගේ අත්දැකීමක් ඇසුරෙනි. මෑතක එතුමා සහභාගී වූ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක වාර්ෂික උත්සවයකදී අන්තර් ජාතිකව බලපාන ගැටලූ සම්බන්ධ අධ්‍යයනයක් කර එයට විසදුම් සෙවීමේ හොදම කණ්ඩායම් හතර හදුනාගෙන ඇත. එයින් එක කණ්ඩායමක් රටවල් හතරක සිසුන් නියෝජනය කර ඇති අතර ඉන්දියාව, පකිස්තානය, චීනය හා තායිවානය යන රටවල් හතරෙහි සිසුන් එකට සිට පින්තූරයක් ගන්නා අවස්ථාවේ දී එම ඡායාරූපය මවු රටවල දී ප‍්‍රසිද්ධ කරන්නට හැකි දැයි ක්ලින්ටන් මහතා විමසා ඇත. එකිනෙකාට දරුණු අන්දමින් පසමිතුරු බවක් පෙන්වන රටවල නියෝජිතයන් වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ පසුගිය කාලය ඇතුලත ඔවුන් ලබා ගත් අවබෝධය අනුව අප අතර දැන් එවැනි අදහස් නැති බවයි. ඉදිරි දශකය තුළ ජාතීන් අතර අවබෝධය හා යුක්ති ගරුක භාවය නැගී ලෝකය ලස්සන තැනක් විය හැකි බවට එය එක සංකේතයක් බව හෙතෙම දක්වයි.
ලෝකය වඩා යහපත් තැනක් බවට පත්කරන්නට හේතු විය හැකි ප‍්‍රධාන කරුණු පහක් බිල් ක්ලින්ටන් මහතා දක්වයි. මේවා වැදගත් කාරණාය. මෙහිදී තමන් ග‍්‍රහණය කර ගත් ආකාරය වඩා විචාරශීලීව නිරීක්ෂණය කළ යුතුය. ශ‍්‍රී ලංකාවට ද එහි කොටස් කරුවෙකු වීමේ බැරූරුම් වගකීමක් තිබේ. දුරකථන භාවිතය වැඩි වන විට එහි ප‍්‍රයෝජනය ගෙන දුප්පත්කම දුරැුලිය හැකි මග සොයා ගත යුතුය. ආණ්ඩුව පමණක් නොව දෙස් විදෙස් හැකි තැනකින් හා සම්බන්ධ වී රටට ඇති සෞඛ්‍ය ප‍්‍රශ්න අවම කර ගැනීමට මග සොයා ගැනීම වැදගත්ය. හරිත බල ශක්තිය සහ සංවර්ධනයේ කාන්තාවට හිමි නිසි තැන ගැන තීන්දු ගැනීම අවශ්‍යය. යුදමය කාල පරිච්ඡේදයකට පසු අලූත් යුගයකට දේශය අවතීර්ණ වී තිබේ. නොපෙනෙන අකාරුණික තර්ක වෙනුවට පෙනෙන යථාර්ථය තේරුම් ගැනීම වටී. බෙදුන සමාජය යළි එක්සත්ව එකමුතු කර ගත යුතුය. ඉන්දියාව හා පකිස්තානයට එකට එකතුවන මග දකින්නට හැකි පරම්පරාවක් බිහි වෙමින් තිබේ. චීනය හා තායිවානය අතර මිතුරුකම් ලියලන අලූත් යුගයක් ඇති බව ප‍්‍රකාශ වෙයි. එකම රටක් තුළ අලූත් සහජීවනයක් ඇති කරන්නට එයින් ගත හැකි අත්දැකීම ආදර්ශයකි.
බිල් ක්ලින්ටන් මහතා දකින ලෝකය වෙනස් කළ හැකි බලවේග වෙනුවට අපට කළ හැකි දේ කවරේද? ජාතික නායකත්වයක සිට එයින් නික්ම විශ‍්‍රාම සුවයෙන් පසුවන නායකයන්ට කළ හැකි දේ බොහෝ ඇති බව මෙතුමා පෙන්වා දෙයි. දේශපාලනයෙන් මිදී පවතින තත්ත්වයට ඉහළින් යථාර්ථය දකින්නට සමත් නායකයන් රටට අවශ්‍යය. ඔවුන්ට පටු දේශපාලනය වෙනුවට ජාතික අවශ්‍යතා ගැන දර්ශනයක් ඉදිරිපත් කළ හැකිය. ඉදිරි කාලය තුළ වෙනස්වන අන්තර් ජාතික ප‍්‍රවනතා හමුවේ ශ‍්‍රී ලාංකික අනන්‍යතාව කෙබදු විය හැකිද? ක්ලින්ටන් පදනම ඉදිරිපත් කරන අදහස එයට අවස්ථාවක් සකස් කරයි. සකච්ඡා කරන්නට අලූත් පැති ගණනාවක් අපට මෙයින් ඉගිකරයි.
මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
|