ආණ්ඩු තීරණ ගන්නේ පොදු ජනතාව වෙනුවෙනි. පොදු ජනතාව ආණ්ඩුවෙන් විශාල සේවයක් බලාපොරොත්තු වෙයි. එය සේවා සපයන ආයතනයකි. නීතිය හා විධි විධාන මගින් රට වැසි සියළු දෙනාට ම සමාන අවස්ථා සපයනු ඇතැයි මහජනතාව අපේක්ෂා කරයි. එහි අරමුණ යුක්තියයි. ආරක්ෂාව තවත් අපේක්ෂාවකි. විදේශ සම්බන්ධතා, අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් ඇති කර සියල්ලන්ට සැනසිල්ල උදා කරනු ඇතැයි බලාපොරොත්තුවයි. මහජනතාවට ධනය ඉපැයීමට අවශ්‍ය වාතාවරණය ඇති කිරීම ද ආණ්ඩුවක යුතුකමකි. ආණ්ඩුවක් තෝරා ගන්නේ තමන්ගේ ජීවිත දැන් පවතින තත්ත්වයට වඩා නගා සිටුවන වගකීම පවරමින්ය. ආණ්ඩුව මහජන නියෝජිතයන්ගෙන් සමන්විතය. ආණ්ඩු පක්ෂයේ මහජන නියෝජිතයන් අතර පක්ෂ විපක්ෂ විවිධ අදහස් තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණ අනුව විපක්ෂ බලවේග මහජනතාව වෙනුවෙන් කි‍්‍රයා කරයි. පාර්ලිමේන්තුව යෝජනා ගෙන එයි. විධායකය ක‍්‍රියාත්මක කරයි. අධිකරණය යුක්ති සහගතදැයි විමසිල්ලෙන් සිටී. ක‍්‍රමයෙන් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩු මහජනතාව බලාපොරොත්තුවන මෙම සම්ප‍්‍රදායික මූලධර්ම වලින් ඈත් ව තිබේ. එය මෙරට ජීවත්වන රට වැසියන්ට දැනෙන එකකි. රටින් එපිට අන්තර් ජාතික සමාජයේ සිදුවන දේ ගැන විමසිල්ලෙන් බලන විට අන් රට වලද එවැනි විපර්යාස සිදුවන බව පැහැදිලිව අවබෝධ කර ගත හැකිය.
සම්ප‍්‍රදායික මූලධර්ම වලින් ඈත්වන්නේ ඇයි? මහජනතාව සේවය කරන ආණ්ඩු වෙනුවට බලය හා ධනය කෙරෙහි සැලකිල්ලක් දක්වන්නේ මන්ද? සාමාන්‍යයෙන් මහජනතාවගේ අඩුවෙන් අය කර උපරිම සේවාවක් සැලසීම ආන්ඩුවක වගකීමයි. නමුත් ආණ්ඩු කරන්නේ හැකිතාක් විශාල කණ්ඩායමක් නඩත්තු කරන තත්ත්වයට පත්වීමයි. එය විමසිය යුතු වැදගත් කරුණකි. මහජනතාව වෙනුවෙන් සේවා සපයන ආණ්ඩු නිසි මගට ගන්නට විකල්ප වැඩ පිළිවෙල ඇති වෙමින් තිබේ.
සාමාන්‍යයෙන් ආණ්ඩුවක් තමන් සපයන සේවා වෙනුවෙන් මහජනතාව ගෙන් බදු අයකරයි. රජයේ ආදායම වශයෙන් ගැනෙන ඉපැයීම් වලින් සෑහෙන කොටසක් මෙම බදු ආදායමට අයත්ය. බදු ඇතුළු රජයේ ආදායම සංවර්ධන කටයුතු වලට වැය කෙරේ. රට වැසියන්ගේ පොදු ජන යහපත වෙනුවෙන්ය. ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවේ ආයතන හා දෙපාර්තමේන්තු ක‍්‍රියා කරන ආකාරය විමසන්නට විගනක සේවාවක් තිබේ. පොදු ව්‍යාපාර කාරක සභාව ද රජයේ ආයතන වල ක‍්‍රියාකාරීත්වය ගැන අවධානයෙන් සිටී. නමුත් රජයේ මුදල් වැය කරන ආකාරය සම්බන්ධයෙන් විශාල ආන්දෝලන විටින් විට හටගනී. සංවර්ධනයට වෙන් කරන මුදල් වලින් කොටසක් නාස්තිවන අතර තවත් කොටසක් වංචා හා දූෂණ වලට ලක්වන බවට නැගෙන චෝදනා බරපතලය. ඕනෑම රටක, ඕනෑම ආණ්ඩුවකට මෙකී ප‍්‍රශ්නයට මුහුණ දෙන්නට සිදුවෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය දියුණු රටවල් නොයෙක් ආකාරයෙන් විසදුම් යෝජනා කරති. තොරතුරු දැන ගැනීමේ අයිතිය මේ අතරට මෑතකදී එකතු වූ වැදගත් යෝජනාවකි. තමන්ගේ බදු ආදායම වියදම් කරන ආකාරය දැනගැනීම මහජනතාව සතු අයිතියකි. ලෝකයේ නොයෙක් රටවල් මෙම අයිතිය නීතියෙන් තහවුරු කරන්නට පියවර ගෙන ඇත.
මෙවැනි අලූත් සම්ප‍්‍රදාය අතරට තවත් පියවරක් පැමිණ තිබේ. කලින් කල රටක ප‍්‍රගතිය මැන බැලීමේ ක‍්‍රමවේදයයි. පුද්ගලික අංශය ව්‍යාපාරයක් මෙහෙයවන විට අධ්‍යක්ෂක මණ්ඩලය හමුවෙයි. වගකීම් පැවරේ. වගකීම කාර්යක්ෂමව ඉටු කිරීමට නිශ්චිත කාලයක් වෙන් කෙරේ. කාලය ගතවන අතරතුර අතර මැද පවත්වන සාකච්ඡා වලදී අරමුණ කරා ගමන් කරන ආකාරය විමසා බලයි. ප‍්‍රගතිය නිරීක්ෂණය කරයි. අඩුපාඩු ඇත්නම් සකස් කර ගනී. අවසාන ඉලක්කය සාක්ෂාත්කර ගනී. ආණ්ඩුවක ක‍්‍රියා පටිපාටියට ද මෙකී ප‍්‍රගතිය මැන බැලීමේ ක‍්‍රමවේදයට යටත්ව තබා ගැනීම අලූත් සංකල්පයයි. බි‍්‍රතාන්‍ය රජය එය පළමුවෙන් අත්හදා බැලීය. මලයාසියාව, තායිලන්තය වැනි රටවල එය ක‍්‍රියාත්මක වෙමින් පවතී. එයට අවශ්‍ය සංකල්පය ගොඩ නගා ඇත්තේ ප‍්‍රකට මැකෙන්සි ආයතනයයි.
මැකෙන්සි ආයතනය සකස් කර ඇති ආණ්ඩුවේ අභියෝගය නමැති සැලසුමට ප‍්‍රධාන කරුණු හතකින් සමන්විත පටිපාටියක් අඩංගුය. පළමු කාරණය "define the priority outcomes to be delivered" වශයෙන් දැක්වෙයි. ආණ්ඩුව තමන් ගේ සේවා වල වැදගත්ම අංශ කිහිපය තෝරා ගත යුතුය. මහජනතාව තමන්ගෙන් අපේක්ෂා කරන වගකීම් වලින් වඩාත්ම වැදගත් අංග එයට ඇතුලත් කර ගැනීම සුදුසු යැයි සැලකේ. රටක ඇමති මණ්ඩලයක වැදගත්ම අංශ මෙයට ඇතුලත් කළ හැකිය. "Unleash the power of delivery labs" දෙවැන්නයි. මහජනතාවට අවශ්‍ය ආදර්ශවත් ව්‍යාපෘති සකස්කරන සකස්කර ඒවා අනාරණය කිරීම ගැන දක්වන කරුණයි. තෙවැනි කරුණ "delivery more for less" යනුවෙන් දැක්වෙයි. නාස්තිය අඩු මහජනතාව ගෙවන මුදලට වඩා වැඩි යමක් ඔවුන්ට සැපයිය යුතු බව අගවයි. "intensify the internal and external pressure to perform" යන සතර වැනි කරුණ මගින් පෙන්වන්නේ සමාජයෙන් හා ආයතන අතර ප‍්‍රගතියට සම්බන්ධව යම් තරගකාරී පීඩනයක් ඇතිවීමේ අවශ්‍යතාවයයි. "Establish small, high powered delivery units" මගින් කුඩා නමුත් බලසම්පන්න මෙහෙයුම් ඒකකයක් පිහිටුවීමේ අවශ්‍යතාවය අවධාරණය කරයි. මලයාසියාවේ පිහිටුවා ඇති මෙවැනි ඒකකයක් සෑම සදුදාම අගමැතිවරයා ගේ ප‍්‍රධානත්වයෙන් රැස්වෙයි. අනුබද්ධ ව්‍යාපෘතිවල තත්ත්වය සාකච්ඡා කරයි. මාස හයකට වරක් ප‍්‍රගතිය සම්පූර්ණනේ සමාලෝචනය කෙරේ. එයින් සාර්ථක වන්නට හැකියාව ලැබී ඇත. හය වැනි කාරණයෙන් පෙන්වා දෙන්නේ "Ensure visible sponsorship from top leaders"යන නායකත්වය එයට දක්වන දෘෂ්‍ය දායකත්වයයි. අවසාන වශයෙන් "Don't just communicate with stakeholders-engage them" මගින් රටේ මහජනතාව වෙනුවෙන් යම් සංවර්ධන ව්‍යාපෘතියක් අරඹන විට එය හුදෙක් ප‍්‍රචාරාත්මක සන්නිවේදනය කිරීමකින් නතර නොවී එහි ප‍්‍රතිලාභීන් ව්‍යාපෘතියේ කොටස්කරුවන් ලෙස එයට සම්බන්ධකර ගැනීම වැදගත් බව පෙන්වා දෙයි.
මැකෙන්සි ආයතනය ගොඩ නගන අලූත් රාමුව ආණ්ඩු නිරායාසයෙන් අමතක කරමින් සිටින අරමුණු කරා තදින් යොමු කරන යාන්ත‍්‍රණයකි. බලයට පත්වන ආණ්ඩු වැඩ කරන්නට පටන් ගනී. නොයෙකුත් යෝජනා ඉදිරිපත් වෙයි. මෙම සංවර්ධන සැලසුම් ඉදිරියට ගමන් කරන විට එහි නැගෙන ගැටලූ හා ප‍්‍රතිවාදී අදහස් හෙයින් සම්පූර්ණ සාර්ථකත්වය කරා ළගා වන්නේ නැත. ධනය නාස්ති වෙයි. පරිපාලන කටයුතු දේශපාලනය සමග මිශ‍්‍ර වෙයි. ආණ්ඩු පත්වූ පසු දේශපාලනයෙන් බැහැර වී ප‍්‍රතිපත්ති වලට අනුව රට දියුණු කරන්නට පියවර ගත යුතුය. මැතිවරණයක දී දුන් පොරොන්දු මැතිවරණ ප‍්‍රකාශන අනුව මහජනතාවගේ අපේක්ෂා යථාර්ථයක් කරන්නට පියවර ගත යුතුය. නමුත් හැම විටම එය එසේ නොවේ. මහජන නියෝජිතයන් බලය ආරක්ෂා කරගැනීමට හා ලබා ගත් බලය තහවුරු කර ගැනීමට දේශපාලන බල යාන්ත‍්‍රණය සකස් කර ගැනීමට උනන්දු වනු විනා මහජනතාව ගේ අපේක්ෂා දෙවැනි සේ සැලකීම සාමාන්‍ය පිළිිවෙතයි. මැකෙන්සි ආයතනය එයට ගැලපෙන රාමුවක් සකස් කර තිබේ. රටක නායකයන්ට තම අරමුණ කෙරෙහි තදින් යොමු වන්නට අවශ්‍ය අමතර ශක්තියක් සපයයි. නායකත්වයට අවශ්‍යම ගුණාංගයක් වන කළමණාකරනය කෙරෙහි නැඹුරුවක් ඇති කරයි. මැකෙන්සි ආයතනයේ කරුණු සහිත වැඩ පිළිවෙල ආණ්ඩු බලය ලබා ගැනීම සමග පත්කරන වගකීම් සහිත කැබිනට් මණ්ඩලය නිසි ගමන් මගකට යොමු කර එය විටින් විට විමසා බැලීමට අවශ්‍ය විධාන සංග‍්‍රහය සේ සැලකිය හැකිය.
ලෝක ප‍්‍රකට පර්යේෂණ ආයතනයක් වන මැකෙන්සි සමාගම පනවන මෙම අදහස් වැදගත් වන තවත් පසුබිම් කාරණයක් ද අමතක කළ නොහැකිය. දේශපාලන පක්ෂ අතර වෙනස මහජනතාවට පෙන්වන්නට ද මෙකී යාන්ත‍්‍රණය ගැලපේ. ලෝකයේ පාලන ක‍්‍රම අතර පරතරය තුනී වී ඇත. කලින් වම හා දකුණු වශයෙන් කදවුරු බෙදී තිබිණ. දේශපාලන පක්ෂ වල ප‍්‍රතිපත්ති පවා එයට අනුරූප විය. වාමාංශික නබුරුවක් තිබුණ සංකල්ප වියැකී විවෘත ආර්ථිකය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලෝකය පුරා තහවුරු වී ඇත. ප‍්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ අතර ප‍්‍රතිපත්ති වල විශාල වෙනස්කම් නැත. ශ‍්‍රී ලංකාවේ පවා මෙය මැනවින් අවබෝධ කර ගත හැකි තත්ත්වයකි. ප‍්‍රධාන පක්ෂ අතර වෙනස්කමක් නැති අවස්ථාවක මහජනතාවට විකල්පය ගැන ඇති මත අවම මට්ටමකට පත්වෙයි.
මහතීර් මොහමඞ් මහතා මලයාසියාව ගොඩනැගීය. එය වෙනුවෙන් විශාල යාන්ත‍්‍රණයක් රට තුළ සකස් කරන ලද අතර එය සාර්ථක විය. රටක් ගොඩ නැගූ නායකයෙකු වශයෙන් මහතීර් සාර්ථකව කරන ලද අරමුණට පසු රටකට බලාපොරොත්තු විය හැක්කේ මොනවාද? මහතීර්ගෙන් පසු බලයට පත් නජීබ් එය ට අලූත් උත්තරයක් සැපයීය. ප‍්‍රගතිය පෙන්වීම එයයි. මහතීර් නිසි දැක්මක් සහිත දාර්ශනිකයෙකු වූ අතර නජීබ් තමන් සාර්ථක කළමණාකරුවෙකු බව ජනතාවට සාක්ශාත් කරයි. ප‍්‍රගතිය පෙන්වීම උදෙසා අලුත් යමක් කරන්නට හැකිය. සමාජයට එහි වෙනස ඒත්තු යයි. සංවර්ධනය හමුවේ එය ඉතා වැදගත්ය. සිදුවන සංවර්ධනයේ ප‍්‍රගතිය මැන එය බලයේ සිටින කාලය තුළ යම් යම් අවස්ථාවල මහජනතාවට ඉදිරිපත් කරන්නට හැකිය. කළමණාකරණයේ සාර්ථකත්වය එයයි.
මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
|