» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
12/05/2013 - ඉරිදා ලංකාදීප
බලය විමධ්‍යගත කිරීම පොදු ජනතාවගේ අවශ්‍යතාවයක් විය යුතුය - මිලින්ද මොරගොඩ

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලෝකයේ වැඩිම රටවල් ප‍්‍රමාණයක් පිළිගත් පාලන ක‍්‍රමයක් සේ සැලකේ. එය බහුතර කැමැත්ත මත පදනම් වූ සංකල්පයකි. බලය විමධ්‍යගත කිරීම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය එකට බැ`දී ඇති අදහස්ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක පරමාධිපත්‍ය බලය ඇත්තේ මහජනතාව සතුවය. මැතිවරණයකින් තෝරාගන්නා නියෝජිතයන්ට යම් ප‍්‍රමාණයකින් මහජනතාව තමන් සතු බලය පවරයි. එහි අදහස තමන් වෙනුවෙන් පොදු පාලන ක‍්‍රමයක් ඇති කරන්නට තම නියෝජිතයන් පත් කරගැනීමය. කාර්ය බහුල සහ රට වැසියන් සියළු දෙනාටම එකතු වී තීරණ ගැනීමට ප‍්‍රායෝගිකව නොහැකි පසුබිමක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය තුළ මහජන නියෝජිතයන් සතු වගකීම විශාල එකකි. මැතිවරණයකින් බහුතරය නියෝජනය කරන නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වැදගත්ම ලක්ෂණය වන්නේ සුළුතරයගේ අදහස පවා සැලකිල්ලට ගෙන පොදු අදහසකින් සැලසුම් ඉදිරියට ගෙනයාමයි. සංකල්පයක් ලෙස පොදු නමුත් විවිධ රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ලක්ෂණ වෙනස් මුහුණුවරක් ගනී. තමන්ට අනන්‍ය හා ගැලපෙන ආකාරයට එහි ප‍්‍රතිපත්ති සකස් කර ගෙන ඇත. දිනෙන් දින අලූත් අංග පවා ඇතුල් වෙමින් තිබේ. කාලානුරූපව සිදුවන මෙම සංශෝධන මගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය මහජනතාවට සමිප වෙයි.

ව්‍යවස්ථාව, විධායකය හා අධිකරණය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රමුඛ බලකණුය. එයට අමතරව ජනමාධ්‍ය කැපී පෙනෙන භූමිකාවක් ඉටුකරයි. ව්‍යවස්ථාව, විධායකය හා අධිකරණය කෙරෙහි මහජනතාවගේ ගරුත්වයක් ඇත. ගරුත්වය හා එයට අභියෝග නොකරන මට්ටමින් තබා ගැනීම අරමුණු කරගෙන සම්ප‍්‍රදාය හා වරප‍්‍රසාද බිහිවී තිබේ. පාලනය අරමුණු කරගෙන මහජන නියෝජිතයන් පත් කරගන්නා නමුත් මහජනතාව පවරන බලය කේන්ද්‍රගතව තිබිය යුතු ආයතන ගැන බලවත් විවාද පවතියි. සමාජයේ ප‍්‍රගමනය හා සමාජ ගෝලීයකරණය අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ලක්ෂණ වෙනස් වෙමින් පවති. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික ලක්ෂණ බි‍්‍රතාන්‍යයේ දී ඇතිවූවකි. එරට පාලනය කළ ජෝන් රජ හා බැරන්වරු අතර පාලනය සම්බන්ධව බල අරගලයක් හටගත්තේය. රජතුමා අසාධාරණ ලෙස බලය පාවිච්චි කරන බවට වූ චෝදනාව එයට මුල්විය. රජතුමා හා රදළ බැරන්වරු අතර ගිවිසුමක් අත්සන් කළ අතර එය මැග්නාකාර්ටා ගිවිසුමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධ මුල් අදහස නිශ්චිතව දැක්වෙන පළමු ඓතිහාසික ලියැවිල්ල ලෙස මෙය ඉතිහාසයට එක්ව තිබේ. 1215 වසරේ දී ඇතිවූ මෙම පසුබිමට පසු බලය සම්බන්ධ නොයෙක් දේ වෙනසකට ලක්ව ඇත. නොයෙකුත් රටවල් හා ප‍්‍රජාත‍්‍රත්ත‍්‍රවාදයේ ලක්ෂණ මහජනතාවට ගැලපෙන පරිදි මහජන සම්මුතියෙන් වෙනස් කරගෙන තිබේ. පොදු පාලනයට අවශ්‍ය අලූත් අංග ඇතුල් කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයට දීර්ඝ ඉතිහාසයක් ඇත. මැතිවරණය හා මහජන නියෝජිතයන් පත්කරගැනීම හමුවේ ආසියාවේ අනන්‍යතාවයක් පවත්වාගෙන යන්නට රටට හැකිවී තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ස්වභාවය දිනෙන් දින දියුණු වෙමින් තිබේ. එවැනි වෙනස් වන අවස්ථාවක මහජනතාවගේ කටයුතු ඉක්මනින් කර ගැනීමට හැකිවන අකාරයට බලය විමධ්‍යගත විය යුතු බව ප‍්‍රකාශ වීම සියුම් අවධානයට ලක්විය යුතුය.

ශ‍්‍රී ලංකාවේ වර්තමාන ජනගහනය මිලියන විස්සකට මදක් වැඩිය. ජනතාවට තම එදිනෙදා අවශ්‍යතා පහසුවෙන් ඉටු කරගැනිමට හැකිවන ආකාරයට බලය ප‍්‍රාදේශීය මට්ටමට විමධ්‍යගත නිරීම අවශ්‍ය බව අවිවාදයෙන් පිළිගත යුතුය. අතීතයේ දී ලංකාවේ පාලන පහසුව පිණිස රුහුණු මායා සහ පිහිටි වශයෙන් ප‍්‍රාදේශීය ක‍්‍රම පැවැති බව දැක්වෙයි. යටත් විජිතයක් වීමෙන් පසු අධිරාජ්‍යවාදීහු තමන්ගේ කැමැත්ත අනුව පලාත් සහ දිස්ත‍්‍රික්ක මායිම් ලකුණු කළේය. අදටත් පවතින්නේ එම සීමා මායිම්ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය අගනුවර කේන්ද්‍ර කරගෙන විහිදෙන නමුත් අගනුවරින් ඈත ප‍්‍රදේශවල ජීවත්වන ජනතාවට තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට පහසුවන ආකාරයට බලය පහල තල වලට පැවැරිම අවශ්‍යය. නොයෙක් මහජන නැගිටීම් හමුවේ රට තුළ එවැනි විකල්පයක් අවශ්‍ය බව පසුගිය අවුරුදු තිහ හතලිහ තුළ සනාථ වි තිබේ. බලය බෙදාහැරීම සම්බන්ධව ප‍්‍රාදේශීය සහ පලාත් මට්ටමේ ඒකක රටට දැන් පවතී. ප‍්‍රාදේශීය සභාව එහි පහලම ඒකකයයි. ගැටලූ පැන නැගුන අවස්ථාවේ දී බලය බෙදාහැරිමේ ඒකකයක් වශයෙන් පලාත් සභා ස්ථාපිත කරනු ලැබීය. පලාත් සභා ක‍්‍රමය අසාර්ථක බව ජනතාවගේ පැත්තෙන් බැලූ විට පෙනෙන යථාර්ථයයි. සමාජයට එයින් යහපතක් වී තිබේද? පාසල් අධ්‍යාපනය පලාත් මට්ටමට විමධ්‍යගත කර තිබේ. නමුත් එය සම්පූර්ණයෙන්ම පලාතට පවරා අධ්‍යාපනය පෝෂණය වන්නට ඉඩ දී නැත. කොටසක් ජාතික මට්ටමේය. ප‍්‍රතිපත්ති තීන්දු හා පරිපාලනය අතර බෙදීම් තිබේ. සෞඛ්‍ය, ප‍්‍රවාහනය වැනි පලාත් සභාවලට බලය බෙ¥ අංශවල පවා මහජනතාවට මුහුණ දෙන්නට සිදුව ඇත්තේ සංකීර්ණ තත්ත්වයකටය. මෙවැනි පසුබිමක් යටතේ ඉඩම් හෝ පොලිස් වැනි බලතල විමධ්‍යගත කිරීමෙන් ජනතාවට දැනෙන සහනය කුමක්ද?

බි‍්‍රතාන්‍යය බලය විමධ්‍යගත කිරීම හා මහජනතාවට බලය ලැබෙන ආකාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක කිරීමට හො`ද උදාහරණයකි. මහජනතාවට බලපාන අංශ වල තීන්දු ගැනීමේ දී මහජනතාවගෙන් විමසීම එහි නිතර සිදුවෙයි. බහුතරයකට බලපාන තීන්දු ගැනීමේදී සම්මත පරිපාලනය සමග මහජන මතය නියෝජනය කරන සාමාජිකයින් ගේ මතය සැලකිල්ලට ගැනීම එරට අත්හදා බලමින් සිටී. ඇමරිකාව හා ඉන්දියාව පෙඩරල් ක‍්‍රම යටතේ පලාත් අනුව බලය බෙදාහැර එරට වැසියන්ට සමීප පාලන ක‍්‍රම අනුගමනය කරයි. ඇමරිකාවේ පලාත් බල ප‍්‍රදේශ පාලනය, පොලිස් නිලධාරීන්. පාසල් ප‍්‍රධානීන් සහ අධිකරණයේ පහල මට්ටමේ විනිසුරුවන් පවා තෝරා ගන්නේ මහජන කැමැත්ත අනුවය. මහජනතාවගේ ඕනෑ එපාකම් වලට අනුව පාලනය කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් එහි ඇත. සිංගප්පූරුවේ පවා රට දියුණු කරන පාලන බලය නායකයන්ට පවරා ඇතත් එරට නායකයන් හැමවිටම මහජනතාව සමග සංවාදයෙන් වගකීම් ඉටු කරන බව පැහැදිලිය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවත් දියුණු වන ආකාරය මෙයින් අවබෝධ කරගත යුතුය.

ජනතාව සතු බලය තමන්ට නතුකරගන්නට ඇති බලහත්කාරය මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ බරපතල තැනෙක් හිමිකරගෙන තිබේ. එය අවාසනාවන්ත එකකි. මැතිවරණ ක‍්‍රමය, පාර්ලිමේන්තුව ඇතුලූ එහි ලක්ෂණ බිහිවීම ගැන සලකන විට ආසියානු රටවල් අතර ඉහළම තැනෙක සිටී. නමුත් ජාත්‍යන්තර සමාජය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ බලය පැතිරෙන ආකාරයට විමධ්‍යගතවන ආකාරයට සැලසුම් සකස්වන්නේ නැත. මහජනතාව සතු බලය ආරක්ෂාවන හා ඔවුන්ගේ අයිතීන් සුරක්ෂිත කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී යෝජනා ගණනාවක් මෑත භාගය තුළ හ`දුන්වා දී තිබේ. සාධාරණ ආකාරයකට මැතිවරණ පැවැත්වීමට අනුගමනය කළ හැකි ක‍්‍රම එයින් එකකි. මහජන නියෝජිතයන්ගේ සහ දේශපාලන පක්ෂ වල මැතිවරණ වියදම්, මහජන නියෝජිතයන් අතර කාන්තා ප‍්‍රතිශතය, පාර්ලිමේන්තු විවාද සජීවිව විකාශය සහ තොාරතුරු දැනගැනීමේ අයිතිය වැනි අංශ මෑත භාගය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ යහපතට එකතු වූ ලක්ෂණය. එවැනි අදහස් වලින් පුලූල්ව ජනතා පරමාධිපත්‍ය ශක්තිමත් කරයි. පාලනයේ දී පාරද්‍රශ්‍ය බවක් හා මහජන නියෝජිතයන්ට ස්වකීය රාමුව තුළ කි‍්‍රයාකරන්නට පෙළඹවීමක් ඇති කරයි.

ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන සහ මහජනතාව අතට බලය ලැබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නවීන සාරගර්භ දැක්මක් කරා යන්නට අපට ශක්තිය තිබේද? එවැනි වෙනසක් වත්මන් සමාජයට දරා ගත හැකිද? ලාංකික සමාජයේ පුරවැසියාට තැනක් ලැබෙන්නේ ඡුන්ද දිනයේ පමණකි. අනෙක් අවස්ථාවල ඔහු ආයතනික රාමුවට යටත්වෙයි. ලාංකික සමාජයේ මහජනතාව මැතිවරණයෙන් පසු මැති ඇමතිවරුන්නට බලය පවරා තමන්ට සියලූ දේ ඉටු කරදෙන ලෙස බල කරති. පාලනයට සහභාගී වන්නටසුදානම් නැත. ලාංකික සමාජය හා පවතින බලය එකතුවන පාලන ක‍්‍රමය සම්බන්ධ පුලූල් අවබෝධයක් කරා යා යුතු බව මෙයින් වටහා ගැනීම වැදගත්ය.

බලය විමධ්‍යගත කිරීම කුමක්ද? එයින් සමාජයට සහ රටට සිදුවන යහපත කවරේදැයි ප‍්‍රශ්න කිරීමට අපට අයිතියක් තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය අනුව බලය ඇත්තේ මහජනතාව සතුව බව වටහා ගැනීම වැදගත්ය. බලය විමද්‍යගත කළ යුතු ගම් මට්ටමින්ද? නොඑසේනම් පලාත් මට්ටමින් ද? දිසා හා පලාත් මායිම් සමග රටට බෙදීම් ඇතිවූයේ අධිරාජ්‍යවාදී බලපෑම අනුවය. ඒවා අතහැර දැමීමට සූදානම් නම් බලය තව දුරටත් ජාතික මට්ටමට කේන්ද්‍රගතවන ක‍්‍රමයක් අපට ගැලපේද? මේවා ගැඹුරෙන් විමසා පාලන ක‍්‍රමය සහ තමන්ගේ එදිනෙදා අවශ්‍යතා ඉටු කරගැනීම උදෙසා ක‍්‍රියා කළ යුතු ආකාරය ගැන අලූත් තීන්දු ගැනීමට සුදුසු කාලයක් උදා වී තිබේ. බලය විමධ්‍යගත කිරීඹ යනු දේශපාලන මාතෘකාවක් වී තිබේ. මෙම තීන්දු දේශපාලනයෙන් තොරව සමාජ අභිවෘද්ධිය සහ ජනතාව සතු පරමාධිපත්‍ය බලය සලකා පුළුල් සාකච්ඡුාවක් කිරීම අද ඇති බරපතල හා වැදගත් අවශ්‍යතාවයකි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.