» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
10/03/2013 - ඉරිදා ලංකාදීප
ශ‍්‍රී ලංකා ආර්ථිකයේ අනාගතයට පදනමක් - මිලින්ද මොරගොඩ

ජාත්‍යන්තර ආර්ථිකයේ පැවැත්ම සම්බන්ධයෙන් විවිධ විචිත‍්‍ර අර්ථකථන ඇත. රටවල් වල දියුණුව සහ ආර්ථික වශයෙන් ඇදවැටෙන ආකාරය දෙස බලන විද්වත්හු මත ගොඩ නගති. වර්තමානයේ ලෝක ආර්ථිකය ඉතා සංකීර්ණය. තියුණු තරගකාරීත්වයකට ලක්ව තිබේ. තරගකාරීවය තුළ ඉදිරියට යන්නට අවශ්‍ය වෙනස්කම් වලට ඉක්මනින් යොමු වන රටවල් දියුණුවට පත්ව ඇති බව නිරීක්ෂණය කළ හැකිය. හාවඞ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එරික් වේකර් Eric Werker මහතා ලෝක ආර්ථිකය තුළ රටවල තත්ත්වය අලූත් වර්ගීකරණයකට ලක් කර ඇත. මෙම වර්ගීකරණයට අනුව සලකා බැලීමෙන් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයෙහි අනාගතය පවතිනු ඇත්තේ කවර මට්ටමකදැයි හදුනා ගැනීම අපහසුවක් නැත.

රට තුළ සම්පත් බහුල රටවල් මෙම වර්ගීකරණය යටතේ පළමුවෙන් ගැනේ. නොර්වේ රාජ්‍යය ඛනිජ තෙල් සම්පත් බහුල එම සම්පත අනාගත දැක්මක් සහිතව ආයෝජනය කර ඇති රටකි. කටාර් රාජ්‍යය ද එසේය. නමුත් ඇංගෝලා රට එහි අනෙක් පැත්තයි. ඛනිජ තෙල් සම්පත් බහුලව පවතින නමුත් එය නිසි ආකාරයට කලමණාකරනය කර ගන්නට අපොහොසත්ව තිබේ. රටවැසියන්ට විවිධ දුෂ්කරතා වලට මුහුණ දෙන්නට සිදුව ඇත. ඕනෑම ඉරටක් තමන් සතුව ඇති ස්වභාවික සම්පත නිසි ලෙස පරිහරණය කිරීමෙන් අත්පත් කර ගන්නා ආර්ථික වාසි සලකා තමන් පළමු වර්ගීකරණයට අයත් යැයි නිශ්වය කර ගත හැකිය. දෙවැනි වර්ගීකරණයට අනුව වෙළද කේන්ද්‍රස්ථාන පදනම් කරගෙනය. ඩුබායි, හොංකොං සහ සිංගප්පූරුව එවැනි කේන්ද්‍රස්ථානයන්ය. ලෝකයේ නන් දෙසින් පැමිණෙන සැපයුම්කරුවන් හා ගැනුම්කරුවන් එහි දී මූණගැසෙන අතර වානිජ නගරයකි. ඩුබායි නගරය දියුණුවට පත්ව ඇත්තේ වෙළද කේන්ද්‍රයක් ආකාරයටය. නිෂ්පාදනයෙහි හා අපනයනයෙහි Manufacturing Exporter යෙදී සිටීම තුන්වැන්නයි. චීනය එයට උදාහරණයකි. විශාල ජනගහනයක් හා විශාල වෙළද පොළක් ඇති චීනය මහා පරිමානයෙන් නිෂ්පාදනය කරයි. කාර්මික හා කෘෂිකාර්මික අංශයෙහි මහා පරිමානයෙන් නිපදවීම හමුවේ නිෂ්පාදන පිරිවැය අඩු කර ගන්නට චීනයේ නිපැයුම්කරුවන්ට හැකියාව ලැබී තිබේ. මෙහි සෑහෙන වාසියක් අත්පත් වී ඇත්තේ අතිරික්තය අපනයනය කිරීමේ දීය. අපනයන වෙළදපොළ දිනාගන්නට චීන නිෂ්පාදකයන් සමත්ව ඇත. නිෂ්පාදනයෙන් හා අපනයනයෙන් රට දියුණුවට දායක කර ගැනීම පැහැදිලි කර ගත හැකි එලෙසිනි. හතර වැනි කාරණය දේශීය වෙළදපොළ Diversified Domestic පදනම් කර ගැනීමයි. රට තුළ ශක්තිමත් අභ්‍යන්තර වෙළද පොලක් ඇති අතර එයට සම්බන්ධ වී ස්වයං ආර්ථිකයක් ගොඩනගා ගැනීම මෙම වර්ගීකරණයට අයත් රටවල මූලික ලක්ෂණයයි. ලෝකයේ රටවල් අතරින් ආර්ජන්ටිනාව එයට දැක්විය හැකි හොද උදාහරණයකි. අවසාන වශයෙන් පස්වැනි වර්ගීකරණයට යටත්වන්නේ ලැබෙන දෙයට ඇබ්බැහි වූ රටවල්ය. Transfer Addict යනුවෙන් මෙම රටවල් වර්ගීකරණය කර තිබේ. විදේශ ආධාර හෝ වෙනත් රටක වැඩ කරන රට වැසියන් මවුබිමට එවන මුදලින් යැපීම මෙම රටවල සාමාන්‍ය ස්වභාවයයි. පකිස්තානය එයට උදාහරණයකි. පිලිපීනය ද පුහුණුව සහිතව උසස් ශ්‍රේණියේ විදේශ රැකියාවලට පුර වැසියන් යවා එම ආදායමෙන් රට දියුණු කරන බව දැක්විය හැකිය.

මෙම වර්ගීකරණයට අනුව ශ‍්‍රී ලංකාව ඇතුලත් කර ගත හැකි කවර ශ්‍රේණියකටදැයි විමසීම අප සියලූ දෙනාගේ යුතුකමකි. රටට සම්පත් බහුලද? නොඑසේ නම් ශ‍්‍රී ලංකාව අන් රටවලට වෙළද කේන්ද්‍රස්ථානයක් ව තිබේද? වැඩිපුර නිෂ්පාදනයෙහි හා අපනයනයෙහි නිරත රටක්ද? දේශීය වෙළද පොළ ශක්තිමත් වී රට තුළින් එන ආදායමෙන් දේශය දියුණු කර ගත හැකිවී තිබේද? නොඑසේනම් විදේශ ආධාර හෝ පිටරටවල රැකියාව කරන පිරිස එවන ධනය මත යහමින් යැපෙන්නේද? මෙම කවර වර්ගීකරණයක දී වේවා අවසාන අරමුණ ආර්ථික දියුණුව ඇති කර ගැනීමයි.

මහාචාර්ය එරික් වේකර් දක්වන කරුණු වලට අනුව මෙම අංශ පහකින් යුත් වර්ගීකරණයේ කවර ශ්‍රේණියකදී පවා එකිනෙකට වෙනස් ආකාරයකට රටවල් අතර ප‍්‍රතිපත්ති තිරණය විය හැකි බව සදහන් කරයි. දේශපාලන නායකයන් ගේ ප‍්‍රතිපත්තිවල දක්ෂතාවය අනුව එකිනෙක රටවල වෙළද පොළ විපර්යාස වෙනස් ආකාරයට සැසදිය හැකිය. එයින් රටවල් ඉදිරියට ගමන් කිරීම හෝ පසුබෑම තීරණය වන බව පෙනේ. ඕනෑම රටක ප‍්‍රතිපත්ති සම්පාදකයන් දේශපාලන උවමනාව අනුව තමන්ට ගැලපෙන ආර්ථික දැක්මක් සකස් කර ගැනේ. අවසානයේ දී එහි ඇති විශිෂ්ටත්වය අනුව රටවල් ඉදිරියට යන අතර දුර්වලකම් අනුව රටවල් ආපස්සට යාම සිදුවෙයි. එය ජාත්‍යන්තරව පවතින තරගකාරීත්වය තුළ ස්වභාවිකව මුහුණ පාන්නට සිදුවන තත්ත්වයකි.

කලින් දක්වන ලද මූලික පදනම තුළ රටවල් වල ඇති අවස්ථා යළිත් පවත්වාගෙන යන ක‍්‍රම සලකා පැති හතරකට දක්වා තිබේ. යටිතල පහසුකම් දියුණු කරන, අපනයනය වැඩි කරන්නට වෙහෙසෙන සහ සංවර්ධනය උදෙසා මූල්‍ය සම්පත් කාර්ය ශූර ආකාරයට යෙදවෙන අවස්ථාව පළමුවැන්නයි. දෙවනුව ව්‍යාපාර වලට හිතකර ආකාරයට ප‍්‍රතිසංස්කරණ මෙහෙයවන, රාජ්‍ය අංශයේ දැඩි නීති වලින් ආයෝජකයන් පීඩාවට පත් නොකරන, සාධාරණ බදු අයකරන මුල්‍ය හා යටිතල පහසුකම් මූලිකව ඇති රටවල් ය. තෙවනුව රජයට අනුබද්ධව යැපෙන ව්‍යාපෘති පවතින, තද බදු රාමු ඇති රජයට යටත් කළමණාකරනයකින් සම්පත් මෙහෙයවන අවස්ථා හදුනාගත හැකිය. සිව් වැනි කාණ්ඩය යටතේ සංවර්ධනයක් සිදුවන්නේ අතරමැදියන් හරහාය. නිෂ්පාදනය වැඩි කිරීම වෙනුවට අතරමැදි තැරුව්කාර ස්වභාවයකින් සම්පත් පාලනය කරන්නට උත්සුක වෙයි.

මහාචාර්ය එරික් වේකර් වැනි විද්වතුන් ලෝකයේ ආර්ථිකයේ ඇති ප‍්‍රබලතා සහ දුබලතා මෙසේ වර්ග කරන්නේ ඇයි ද යන කාරණය වටහා ගැනීම වැදගත්ය. ඉතා සංකීර්ණ හා තියුණුව හැසිරෙන පාරිභෝගික වෙළද පොළ අනුව රටවල් වලට හුවමාරු වන්නට සිදුවෙයි. තමන් සතු කළමණාකරන දක්ෂතාවය හා තමන්ගත කරමින් සිටින පසුබිම අනුව අනාගතයේ කුමක් විය හැකි දැයි තීරණය කරන්නට ඉඩ ලැෙබි. ලෝකයේ ප‍්‍රමුඛ රටවල් වරින් වර තමන්ගේ ආර්ථිකය සහ සමාජ රටාව සමාලෝචනය කරමින් සිටී. රටක නායකයින් අනාගතය සැලසුම් කරන්නේ නිසි දර්ශනයකට අනුවය. සමාජයට ඉදිරියෙන් සිටිමින් සමාජය ඉලක්කයක් කරා යොමු කරන්නට දක්ෂ නායකත්ව බහුලය. ඔවුන් අත්දැකීම් ලබා ගන්නේ ආර්ථිකය සහ සමාජය සම්බන්ධයෙන් කරන පර්යේෂණ අධ්‍යයනය කරමින්ය.

ශ‍්‍රී ලංකාව ආධාර, ණය හෝ විදේශ රටවල රැුකියාව කරන ලාංකිකයන් එවන ධනයෙන් යැපෙන්නට ඇබ්බැහි වෙමින් පවතින රටක් බව බැලූ බැල්මට පෙනේ. එයින් ලැබෙන ශක්තිය අනාගතය උදෙසා විස්මිත ආකාරයට පරිවර්තනය කර ගත යුතුව ඇත. එය කළ හැකි වන්නේ යටිතල පහසුකම් දියුණු කරන, අපනයනය වැඩි කරන්නට වෙහෙසෙන සහ සංවර්ධනය උදෙසා මූල්‍ය සම්පත් කාර්ය ශූර ආකාරයට යෙදවෙන ආකාරය අනුවය. පහසු නැත. මහන්සි වී ක‍්‍රියා කළ යුතුය. රට තුළ ව්‍යාපාර බිහිකරන්නට හිතකර වාතාවරණයක් ඇතිකිරීම එහිලා වැදගත් සාධකයකි. ආයෝජකයන් ආකර්ශනය වන්නේ එවිටය. රට තුළින් ම හෝ රටට එපිටින් ධනය ඇති ව්‍යවසායකයෝ ආයෝජනය කරන්නට යහපත් තැන් සම්බන්ධව අවධානයෙන් සිටිති. තම ධනය සුරක්ෂිතව ආයෝජනය කර එයින් උපයාගන්නට සුදුසුම රටක් බවට හරවා ගැනීම අද පවතින අභියෝගයයි. ආණ්ඩු පනවන තද නීති. දැඩි නිලධාරීවාදය. ජාතික හා ප‍්‍රාදේශීය වශයෙන් නොයෙක් තල වලදී මුහුණ දෙන්නට සිදුවන අවහිර ආයෝජන දුර්මුඛ කරයි. මාර්ග, අධිවේගී මාර්ග, වරාය, ගුවන් තොටුපොල, තොරතුරු තාක්ෂණය, බලශක්ති උත්පාදනය ඇතුළු නොයෙක් පැති වලින් ශ‍්‍රී ලංකාවේ යටි තල පහසුකම් වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. අවශ්‍යව ඇත්තේ අප රට සමග තරගකාරීව ක‍්‍රියා කරන ආසියාවේ හෝ වෙනත් රටකට කලින් තීරණ ගැනීමේ දක්ෂතාවයයි. අන් රටකට වඩා කලින් යටිතල පහසුකම් දියුණු කර ආයෝජනයට හිතකර පරිසරයක් සකස් කර ගත හැකි නම් අවධානය ඇති වන්නේ ශ‍්‍රී ලංකාව කෙරෙහිය. තිරසාර දැක්මක් ඇතිව අනාගතයට පදනමක් සකස් කර ගන්නට නම් මෙවැනි ආර්ථික වර්ගීකරණ හා එයින් කියැවෙන සමාලෝචනය අවධානයට ගත යුතුය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.