» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
10/02/2013 - ඉරිදා ලංකාදීප
අධ්‍යාපනය එකම අරමුණ කර ගැනීමෙන් සිදුවන අයහපත - මිලින්ද මොරගොඩ

පාසල් අධ්‍යාපන ගැන වර්තමාන ලාංකේය සමාජයේ විශේෂිත උනන්දුවක් තිබේ. දරුවන්ගේ ඉගෙනුම ගැන දෙමව්පියන් කරන්නේ මහත් කැපවීමකි. අධ්‍යාපනය ලැබීමේ අවසාන අරමුණ කුමක්ද? හොද රැකියාවක් ලබාගෙන යහපත් අනාගතයක් බව පැහැදිලිය. නිසි අධ්‍යාපනය ලැබීමෙන් දැනුම වර්ධනය කරගත හැකිය. එයින් බුද්ධිවන්තයෙකු වෙයි. දැනුමෙන් බුද්ධියෙන් පිරිපුන් තැනකට එන්නට අවස්ථාව ඇත්තේ පාසල් අධ්‍යාපනයෙන්ම පමණක් නොවන තරමට අධ්‍යාපන ක‍්‍රමය විශාල පරිවර්තනයකට පත්ව තිබේ. අද අප ජීවත්වන්නේ දැනුම පදනම් කරගත් සමාජ ක‍්‍රමයකයක බව එයින් පෙන්වයි. අතීතයේ ශ‍්‍රම ශක්තියට තිබුණ වටිනාකම දැනුම සහ අවබෝධය සහිත අයට අද ලැබී තිබේ.

වෙළද පොළ අවශ්‍යතාවට ගැලපෙන පරිදි වර්තමාන අධ්‍යාපනය සකස්වමින් තිබේ. නමුත් ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපනය තවමත් ඉටුකරන්නේ ඉතිහාස හා සංස්කෘතික අවශ්‍යතාවන්ය. අධ්‍යාපනය මගින් වෘත්තිය ජීවිතයට පදනමක් විය යුතු දැනුම වෙනුවට අද තවමත් උගන්වන්නේ සම්ප‍්‍රදායික පත පොතය. එහි ඉතිහාසය, ආගම සහ සංස්කෘතිය ඇතුලත්ය. එය අනවශ්‍ය අධ්‍යාපනයක් යැයි එයින් අදහස් කරන්නේ නැත. එහෙම නමුත් සමාජ ගෝලීයකරණය තුළ අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදුව ඇති පරිවර්තනය මෙරටට මුහුව නැත.

බටහිරට යටත් වීමට කලින් මෙරට පවත්වාගෙන ගියේ පන්සලට සම්බන්ධ අධ්‍යාපනයයි. එකී කාලයේ ඕනෑම රටක අධ්‍යාපනය පවත්වාගෙන ගියේ ආගම ද සම්බන්ධ කරගෙනය. යටත් විජිතයක් බවට පත්වීමෙන් පසු මෙරට පැවති පන්සලේ අධ්‍යාපන රටාව වෙනුවට බටහිර මිෂනාරී අධ්‍යාපනය ව්‍යාප්ත විය. අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය වූයේ දැනුම දී රටට පාලකයන් තනන්නට නොවේ. පාලකයන්ට අවශ්‍ය සේවය ඉටුකරන ලිපිකරු වැනි නිලධාරී පැලැන්තියක් බිහිකිරීමයි. ව්‍යවසායකයන් තනන්නට අවශ්‍ය වූයේ නැත. ව්‍යවසාය පවත්වාගෙන ගියේ යටත් විජිත පාලකයන්ය. නිෂ්පාදනය අයිති ඔවුන්ටය. ධනය නිපදවූයේ ඔවුන්ය. ස්වදේශිකයන්ට දැනුම අවශ්‍ය වූයේ එයට හවුල් විය හැකි තරමට විනා නිවහල් ආර්ථිකයක් සකසා ගන්නා තරමට නොවේ. මිෂනාරී අධ්‍යාපනය දකුණු ඉන්දියාවේ සහ මෙරට යාපනය ප‍්‍රදේශයට ව්‍යාප්තවූ බව පෙනේ. එයට හේතුව වූයේ දුෂ්කරව තිබුණ මෙම ප‍්‍රදේශවල දරුවන්ට අධ්‍යාපනයෙන් විනා නැගෙන්නට වෙනත් මගක් නොතිබීමයි. කොළඹ හා මුහුදුකරයේ ප‍්‍රධාන නගරවල ද මිෂනාරී පාසල් ආරම්භවූයේ ඒ කාලයේදීමය. අධිරාජ්‍යවාදී පාලනය තුළ ඉංග‍්‍රීසි උගත් උතුරේ නිලධාරී පෙැලැන්තියක් ඇති වීමට පදනම වැටුණේ එහෙමය. එයින් මෙරට දකුණට එතිහාසික අසාධාරණයක් සිදුව තිබේ. මිෂනාරී අධ්‍යාපනයට විරුද්ධව දේශීය බෞද්ධ බලවේග නැගී සිටින්නට විය. බෞද්ධ පාසල් පද්ධතියක් ඇතිවිය. එයට මුල පිරුවේ ද පිටරටින් ආ ඕල්කොට්, හිගින්ස් වැනි දරිත බව පෙනේ. මිෂනාරී අධ්‍යාපනය ද, එයට විකල්ප වශයෙන් නැගුන බෞද්ධ පාසල් පද්ධතිය ද සමස්ථයක් වශයෙන් බටහිරට නැඹුරු අධ්‍යාපන ක‍්‍රමයක් බව පැහැදිලිය. අධිරාජ්‍යවාදී පාලනය තුළ අධිරාජ්‍යවාදීන්ට සේවයට අවශ්‍ය පිරිස් බලය එම අධ්‍යාපන ක‍්‍රමයෙන් බිහිකරන ලද බව නිරීක්ෂණය කළ හැකිය. ස්වාධීනව හිතන, නිදහස්ව යමක් නිපදවන සහ ධනය උපයන ව්‍යවසායකයන් එකී අධ්‍යාපන ක‍්‍රමයෙන් බිහි කර නැත.

ශ‍්‍රී ලංකාව නිදහස් දිනා ගත්තේය. නිදහස් අධ්‍යාපන ක‍්‍රමයක් ස්ථාපිත කළේය. සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කළ මෙහෙවර ඉතා වැදගත්ය. නමුත් අධ්‍යයනය කරන විට පෙනෙන්නේ මෙරට තිබුණ අධ්‍යාපනය නිදහස්ව, නොමිලේ සපයන දිගුවක් විනා දරුවන් නිවහල්ව සිතන පතන හා නව නිර්මාණ බිහිකරන ගවේශකයන් බවට පත් කළේ නැති බවයි. මිෂනාරී අධ්‍යාපනයේ ඇති හොද කොටස හා අපගෙන් එකතුවිය යුතු හොද දේ එකතු කර අලූත් යමක් බිහි කළේ නැත. විකල්පයක් සකස් වූයේ නැත. අද අධ්‍යාපන ක‍්‍රමය අනුව කොතැනින් ලද ද එහි අවසානයේ ඇත්තේ යැපෙන්නන්ය. ආණ්ඩුවෙන් අධ්‍යාපනය දී ආණ්ඩුවෙන් ම රස්සා ඉල්ලන බහුතර පිරිසකි. ඉතාමත් සුළු කොටසක් පමණක් අධ්‍යාපනය තුළින් දැනුම ලබාගෙන ධනය උත්පාදනය කරන ව්‍යවසායකයෝ බවට පත්ව සිටිති. ඉපැරනිව පවත්වාගෙන ගිය පිරිවෙන් අධ්‍යාපනය පවා සම්ප‍්‍රදායට ඇතුළු වී ඇති අතර එයින් බෞද්ධ අධ්‍යාපන ක‍්‍රමය වෙනස්ව තිබේ.

රටක් දියුණු වන්නේ නිෂ්පාදනය වැඩි කිරීමෙනි. ධනය බිහි කිරීමෙන් විනා රට නැගෙන මගක් නැත. අලූතින් ධනය බිහිකරන, වැඩිපුර නිස්පාදනය කරන හැකියාව ඇත්තේ ව්‍යවසායකයන්ටය. ව්‍යවසායකයෙකු නොවන ඕනෑම කෙනෙකු තවත් අයෙකු නිපදවන දේ බෙදාගන්නා අයෙකි. කර්මාන්ත, කෘෂිකර්මාන්ත හෝ සේවා අංශයේ ව්‍යවසායකයන් සහ නිෂ්පාදකයන් නොවී ආණ්ඩුවක සේවය කරන්නට බැදෙන කණ්ඩායම යැපෙන්නේ මුලින් කි ව්‍යවසායකයන් රජයට ගෙවන බදු වලින්ය. අධ්‍යාපනයෙන් බිහි කළ යුතු මහජන බදු වලින් යැපෙන පරපුරක් නොව රටට බදු ගෙවිය හැකි තරමට සමත්කම් ඇති ව්‍යවසායක පරපුරකි.

ව්‍යවසායකත්වයට සමාජය තුළ ඇති පිළිගැනීම ද සැලකිය යුතු ප‍්‍රශ්නයකි. තමන්ම නැගෙන්නට තතනන තරුණන් කෙරෙහි ඇත්තේ ඔවුන්ට දිරිදෙන වට පිටාවක් නොවේ. ප‍්‍රාග්ධනය සොයා ගැනීම, නීති රීති වලින් නිදහස්වීම යනාදී වශයෙන් බාධක රැසකි. පවතින අධ්‍යාපන ක‍්‍රමය තුළ ව්‍යවසායකත්වයට ඉඩ නොදෙන අතර සම්ප‍්‍රදායික අධ්‍යාපනයෙන් පසු ඉහළට ඉගෙනගන්නට ඇති අවස්ථා ඉතාම තරගකාරීය. තරගය හමුවේ නිදහස් අධ්‍යාපනය විකෘති වී තිබේ. දරුවෝ ප‍්‍රාථමික පන්තිවල සිට ටියුෂන් යති. හොද පාසලක් සදහා අපමණ වෙහෙස වෙයි. නගරබද ප‍්‍රසිද්ධ පාසල් වලට දරුවන් ඇතුළු කරන්නට නොයෙකුත් අක‍්‍රමවත් ක‍්‍රම භාවිතාවට ගැනෙයි, දේශපාලනය, ධනය එහි බෙහෙවින් ගැවසේ. ජනප‍්‍රිය පාසලකට ඇතුලත් කරන ලද පසුව පවා විෂයයන් සදහා බාහිර උපකාරක පන්ති අනිවාර්ය සාධකයකි. ධනය ඇති සමාජය ගුරුවරු නිවසට ගෙන්වා ගනිති. තවත් තැනෙක කණ්ඩායම් පන්ති පැවැත්වේ. පොදුවේ උගන්වන පුද්ගලික උපකාරක පන්තියක ජනප‍්‍රිය ගුරුවරයෙකු යටතේ එක වර ඉගෙන ගන්නා දරුවන් ගණන හය හත් දහස ඉක්මවන බව වාර්තා වෙයි. නමුත් විකෘතිව ඇති මෙම අධ්‍යාපන ක‍්‍රමය නිදහස් එකක් යැයි අපේ පිළිගැනීමයි. ඉතා වෙහෙසකර තියුණු තරගයකින් පසු උසස් අධ්‍යාපනය සමත්වන දරුවන්ගෙන් විශාල කොටසකට විහ්ව විද්‍යාලයට ඇතුළුවන්නට ඉඩ නැත. විශ්ව විද්‍යාල පද්ධතිය පුළුල් කරන්නට රජයට හැකියාවක් නැති බව පෙනේ. ලෝකයේ ප‍්‍රකට ඔක්ස්ෆඞ්, හාවර්ඞ් කෙම්බි‍්‍රජ් වැනි විශ්ව විද්‍යාල පුද්ගලික අංශය පාලනය කරයි. මෙරට දරුවන් බංගලාදේශය, මැලේසියාව, ඉන්දියාව, චීනය, රුසියාව ඇමෙරිකාව හා බි‍්‍රතාන්‍ය ඇතුලූ නොයෙක් රටවල පුද්ගලික විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නට රට හැර යති. එයට වියදම් කරන ධනය අති විශාලය. රට තුළ පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිකර ඉගෙනගන්නට අවස්ථාව දෙන්නට අප සූදානම් නැත. පටු ප‍්‍රතිපත්තිවල සිරව ඇත. දේශපාලන ක‍්‍රමය එයට එරෙහිව නැගෙයි. ඉන්දියාවේ අන්ද්‍රා ප‍්‍රදේශ හිටපු මහ ඇමතිවරයා බලයේ සිටියදී එම ප‍්‍රාන්තය තුළ පුද්ගලික උසස් අධ්‍යාපනය ඇති කරන්නට යෝජනා කළේය. මැති ඇමතිවරු ද, නිලධාරීහු ද එයට එකහෙලා විරුද්ධ වූහ. විරුද්ධ වන ඔබේ දරුවන් දැන් ඉගෙනගන්නේ කොතැනදැයි හෙතෙම ප‍්‍රශ්න කළේය. පුද්ගලික උසස් අධ්‍යාපනය ඇති කරනවාට විරුද්ධ වූ අන්ද්‍රා ප‍්‍රදේශයේ දේශපාලනඥයන්ගේ හා නිලධාරීන්ගේ දරුවන්ගෙන් වැඩි දෙනෙකු විදේශ රටවල ඉගෙන ගනිමින් සිටියේය. තමන්ගේ උත්සාහය එවැනි අවස්ථා අහිමි, ප‍්‍රාන්තයේ සෙසු දරුවන්ට උසස් අධ්‍යාපනයට ඉඩ දීම බව පෙන්වා දුන් චන්ද්‍රබාබු මහ ඇමතිවරයාට විප්ලවීය ප‍්‍රතිසංස්කරණයක් කරන්නට හැකියාව ලැබිණ. මෙරට ද ඇත්තේ එවැනිම ස්වභාවයකි. පවතින අධාපන ක‍්‍රමය වෙනස් කිරීමෙන් ව්‍යවසායකත්වය ඇතුළු කළ හැකිය. ප‍්‍රාථමික අධ්‍යාපන ක‍්‍රමයේ තරගකාරී බව තුරන් කිරීමට තීරණ ගත හැකිය. පුද්ගලික අංශයට ද තරගකාරී අධ්‍යාපන ක‍්‍රමය තුළ යම් වගකීමක් පැවරිය හැකිය. එය කළ යුතු නීති සහ නිසි නියාමනයක් සහිතවය. රජයේ පාසලක පන්ති කාමරයේ තිස් පහකට වඩා සිටිය යුතු නැති බවට නීති ඇති නමුත් පුද්ගලික ටියුෂන් පන්තියක දහස් ගණනක් ඉගෙන ගන්නා ක‍්‍රමය තුළ යම් අන්තර් ජාතිකව පිළිගත් ප‍්‍රතිපත්ති ඇති කරන යෝජනා සමාජය හෝ දේශපාලන නායකයන් ප‍්‍රතික්ශේප කිරීම කණගාටුවට කරුණකි. නිදහස් අධ්‍යාපනය බව ප‍්‍රකාශ කර නමුත් නගරයක් පාසා පෝස්ටර් වලින් පුවත් පත් හා රූපවාහිනී දැන්වීම් වලින් ටියුෂන් ගුරුවරු ඉදිරියට පැමිණ තිබේ. දරුවන්ගේ අතිරේක පන්ති වෙනුවෙන් දෙමාපියන් වැය කරන වියදම සෑහෙන එකකි.

අධිරාජ්‍යවාදීන් ඇති කළ මිෂනාරී අධ්‍යාපනය හා එයට විකල්පව නැගුන බෞද්ධ අධ්‍යාපන ක‍්‍රමය ශ‍්‍රී ලංකාවට අවශ්‍යව ඇති නිවහල් හා නිදහස් අධ්‍යාපනයද? මෙම අධ්‍යාපන ක‍්‍රමයෙන් තැනෙන දරුවන් මහා මාර්ගයේ විරෝධතා නගමින් ආණ්ඩුවේ රස්සා ඉල්ලන්නට අවශ්‍යද? අවුරුදු හැට පහක නිදහස් ස්වෛරී කාල පරිච්චේදයක් අවසානයේ දී වර්තමාන අධ්‍යාපන ක‍්‍රමයෙන් බිහිකර ඇත්තේ විදේශ රටවලට ශ‍්‍රමිකයන්, හමුදාවට, ඇගලූම් කම්හලට සහ රජයේ සේවයට ගැලපෙන බහුතර පිරිසක් බව වටහාගත යුතුය. හොදම දරුවන් රට හැර යයි. රජයේ සේවයෙන් හොදම යැපෙන්නන් ඉතිරිව සිටී. රජයේ සේවයට එකතුවන පිරිස දක්ෂයන් සහ එම සේවය ඉහළම එකක් නම් ජනතාව රජයේ කාර්යාලයකින් ඉටු කර ගන්නා කාර්ය භාරය ගැන තෘප්තිමත්ය. එය ද නැති බව ඉතාමත් පැහැදිලිය. අධ්‍යාපනයේ අරමුණ නිසි ලෙස ස්ථාපනය නොකිරීමේ වරදට නිදහසින් පසු ගතවූ කාලය තුළ තරුණ පරම්පරා තුනක් හෝ හතරක් වන්දි ගෙවා තිබේ. තරුණ කැරළි වලට පසුබිම වූයේ ද අධ්‍යාපනයේ වරද සහ තරුණන්ට අවස්ථාව නැති වීමයි. වර්තමාන සමාජයේ අධ්‍යාපනයේ අරමුණ සම්බන්ධව ආකල්ප වෙනසක් ඇතිකළ යුතුය. උපාධියක් යනු රජයේ රැකියාවකට සුදුසුකමක් බවට ඇති පිළිගැනීම වැරදි එකකි. ලෝකයේ කිසිදු රටක උපාධියට පසු රජයේ රැකියාවක් දෙන්නේ නැත. අධ්‍යාපන ක‍්‍රමය දරුවන්ට දැනුම සපයන එකක් බවට පරිවර්තනය විය යුතුය. දැනුම අවශ්‍ය ජීවත්වන්නට විනා පොත පත කට පාඩම්කර විෂයය කරුණු වලට උත්තරදීම නොවේ. ගවේශනශීලී නිදහස් මනසක් ඇති ව්‍යවසායක පරපුරක් බිහි කිරීම වෙනුවෙන් අධ්‍යාපන ක‍්‍රමය තුළ බරපතල සංශෝධන ඇති කරන්නට කාලය උදාවී තිබේ.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.