» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
09/12/2012 - ඉරිදා ලංකාදීප
මාධ්‍ය සංස්කෘතියේ ජාත්‍යන්තරව බලපා ඇති අලූත් පෙළඹවීම් - මිලින්ද මොරගොඩ

ජනප‍්‍රිය පුද්ගල චරිත ආශ‍්‍රිතව හඹා යමින් තොරතුරු වාර්තා කරන හා එම චරිතවල අතිශය පුද්ගලික අවස්ථා පළකිරීම විශාල මාධ්‍ය ලෝකයේ එක්තරා ව්‍යායාමයකි. පැපරාසි පුවත් පත් කලාව වශයෙන් එය ප‍්‍රකටය. ඩයනා කුමරිය සම්බන්ධයෙන් ඇති වූ ප‍්‍රවෘත්ති හඹා යාමේ පැපරාසි පුවත්කලාව අවසානයේ දී කළ හානිය කුමක්දැයි ජාත්‍යන්තර සමාජය අතර තීන්දුවක් තිබේ. එදා පැවති තිබුණ විරෝධයට වඩා තියුණු හා සංකීර්ණ ආකාරයට අද යුගයේ මාධ්‍ය වලට එරෙහිව මතයක් වැඩෙමින් තිබේ. විකීලීක්ස් අනාවරණය කළ එක්සත් ජනපදයේ රාජ්‍ය තාන්ත‍්‍රික තොරතුරු ලෝකය මහත් විස්මය දනවන අවස්ථාවක් ඇති කළේය. අවසානයේ දී එයින් ඇති කළ නව ප‍්‍රවනතාවය බරපතල එකකි. පසුගිය දා බී.බී.සී සේවාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ස්වකීය ධුරයෙන් ඉල්ලා අස්වන්නට සිදුවූයේ ද නවීන යුගයේ මාධ්‍ය හැසිරීම බරපතල විවේචනයකට ලක්කරමින්ය.

බි‍්‍රතාන්‍ය බී.බී.සී. සේවාවේ එක්තරා වැඩසටහනක් එරට දේශපාලනඥයෙකු සම්බන්ධයෙන් තහවුරු නොවූ පුවතක් දේශපාලනඥයගේ නම සදහන් නොකර ප‍්‍රචාරය කර තිබේ. එයින් විශාල ආන්දෝලනයක් හට ගැණින. එය උපුටාගත් වෙබ් අඩවි සිද්ධියට පාදකවූ පුද්ගලයාගේ නම අන්තර් ජාලයට මුදා හැරියේය. පසුව වාර්තා වූයේ බී.බී.සී. සේවාවේ ඉගි කිරීම අසත්‍ය එකක් බවයි. නමුත් සිද්ධියට මුහුණ දුන් පුද්ගලයා අන්තර් ජාතිකව මහත් අවමානයකට හා අපකීර්තියකට ලක්වී හමාරය. යුක්තිය හා සාධාරණත්වය සම්බන්ධයෙන් ජනතා වේදිකාවක් වියයුතු මාධ්‍ය මෙවැනි සිද්ධි හමුවේ අභියෝගයක් වන අවස්ථාවක එයට ගොදුරුවන තැනැත්තා ඉතාමත් අසරණය. එය පාදක කරගෙන විරෝධය නැගෙනවිට නූතන මාධ්‍ය භාවිතාව කෙරෙහි කනස්සල්ලට පත්ව සිටි නොයෙක් දෙනා තමන්ට සිදුවූ හිරිහැර ගැන මහත් ආවේගයෙන් කතාකරන්නට පටන්ගෙන තිබේ.

ඇමරිකාව ස්වකීය ව්‍යවස්ථාවෙන්ම තොරතුරු සම්බන්ධ නිදහස නීතිගත කර ඇති අතර බි‍්‍රතාන්‍ය එය කරගෙන යන්නේ සම්ප‍්‍රදායානුකූලවය. නමුත් මාධ්‍ය නිදහසක් නැති රටවලට මාධ්‍ය පාලනය සම්බන්ධ තීරණ අමුත්තක් නොවේ. චීනය, සිංගප්පූරුව හා මැලේසියාව වැනි රටවල් මාධ්‍ය සම්බන්ධව සම්පූර්ණ නිදහසක් දී නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ඇති සම්ප‍්‍රදාය මගින් එය පාලනය වන බි‍්‍රතාන්‍යයට එම නිදහස ගරු කටයුතු ලෙස ආරක්ෂා කර ගැනීමේ බැරූරුම් වගකීමක් මතුව තිබේ. සාමාන්‍යයෙන් පැවති පුවත්පත් නිදහස තාක්ෂණය පැමිණ ගුවන් විදුලිය හා රූපවාහිනිය පැමිණීමෙන්තවත් අභියෝගයක් විය. නමුත් ආණ්ඩුව හරහා විකාශන බලපත‍්‍රය ලබාගත යුතු හෙයින් විද්‍යුත් මාධ්‍යයේ යම් පාලනයක් පොදුවේ ඇත. නමුත් අන්තර් ජාලය හා වෙබ් අඩවි මගින් කරන තොරතුරු පළකිරීම පාලනය කිරීම අපහසුය. සමහර රටවල් වෙබ් හා බ්ලොග් සංවාද පාලනය කරන්නට විශාල වියදමක් දරයි. ආර්ථික ප‍්‍රශ්න ඇති රටවලට එවැනි දේ කරන්නට හැකියාවක් නැත. නිදහසේ මාධ්‍ය භාවිතා කළ බි‍්‍රතාන්‍ය මාධ්‍ය පාලනයට කොමිසමක් හෝ අලූත් අණ පනත් යෝජනා කිරීම අවධානයට ලක්වීම ඉතාම වැදගත්ය.

නීති පනවා ජනමාධ්‍ය පාලනය කළ යුතු යැයි අලූත් විවාදයක් බි‍්‍රතාන්‍ය සමාජයේ ඇතිවිය. Lord Justice Leveson ගේ ප‍්‍රධානත්වයෙන් ජනමාධ්‍ය කාර්ය භාරය සොයා බැලීමට ලෙවින්සන් කොමිසම පත් කළ අතර මාස දහසයක විභාගයකින් පසු පිටු දෙදහසකින් සමන්විත එම කොමිසමේ වාර්තාව දැන් නිකුත්ව තිබේ. එයට අනුව මාධ්‍ය පාලනය සම්බන්ධ දරුණු නිර්දේශ ඉදිරිපත් කර ඇති නමුත් නමුත් බි‍්‍රතාන්‍ය අගමැතිවරයා එය සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් නැවතත් මාධ්‍ය භාවිතාව නිවැරදි කර ගන්නට අවස්ථාවක් දිය යුතුය යන මතයෙහි සිටී. එය වැදගත් සන්ධිස්ථානයකි. ව්‍යවස්තාවක් නැති රටක් නීති පනවා මාධ්‍ය පාලනය කරන්නට පෙළැඹුනහොත් එය එරටට ද අලූත් රාමුවක් වනු ඇත.

මාධ්‍ය ස්වයං වගකීමකින් පාලනය වූ වකවානුවක් තිබිණ. සම්ප‍්‍රදායික පැවැත්ම අභියෝගයට ලක් වන විට වගකීමකින් යුතු මාධ්‍ය සංස්කෘතියක අවශ්‍යතාව කෙරෙහි ලෝකය අවධානය යොමු කරමින් සිටී. අන්තවාදී අන්දමට මාධ්‍ය භාවිතාව හැරෙන අවස්ථාවක දී තමන්ට එරෙහිවන මාධ්‍ය පානය කරන තීන්දුවකට යන්නට සූදානම් වෙයි. එය සන්නිවේදනයේ අලූත් මුහුණුවර අනුව වෙබ් අඩවි, බ්ලොග් සටහන් ඉතාමත් ඉක්මනින් ලෝකය පුරා තොරතුරු පතුරවයි. එහි තොරතුරුවල සත්‍ය අසත්‍ය භාවය විභාග කෙරෙන්නේ පසුවය. එවිට හානිය සිදුවී හමාරය. සීමා මායිම් නැති සහ සංස්කාරකවරයෙකු ගේ වගකිමට යටත් නැතිව මුදාහැරෙන තොරතුරු නිසා අද සන්නිවේදන ප‍්‍රශ්නයේ තවත් පැත්තක ගැඹුරු මුහුණුවර දක්වයි. පාලනය කළ නොහැකි, නොයෙක් අන්දමින් තත්ත්වය විග‍්‍රහ කරන ආරංචි පැතිරයන තොරතුරු තාක්ෂණ යුගයේ දී මාධ්‍ය භාවිතාව වඩාත් ප‍්‍රායෝගික නව මුහුණුවරකට යොමුකරන්නට සමාජයටම සිදුව තිබේ.

මාධ්‍ය පාලනයට නව නීති පනවන්නට හැකිය. නමුත් තොරතුරු හුවමාරුවේ අලූත් තාක්ෂණය පාලනය කිරීම පහසු නැත. නඩු මගට පිවිසිම, එය විභාගයක් දක්වා දුරදිග යාම පහසු කාර්යයක් නොවේ. නීති පැනවීමෙන් මාධ්‍ය පාලනයක් සිදුවෙයි. එය මහජනතාවට ස්වකීය මත පළ කරන්නට ඇති අවස්ථාව අවුරාලයි. මාධ්‍ය භාවිතාව අතිශය සංකීර්ණ මගකට යොමු වී ඇත්තේ තොරතුරු තාක්ෂණ යුගයට ප‍්‍රවේශවීම සමගය. තොරතුරු සන්නිවේදනය සහ මාධ්‍ය භාවිතාව වගකීමක් සහිත එකක් බවට පෙරළා ගැනීම අවශ්‍යය. ජාත්‍යන්තරය ගමන් කරන සංකීර්ණ තාක්ෂණික යුගය තුළ මෙම වගකීම පහසු එකක් නොවේ. ශ‍්‍රී ලංකාව ද ප‍්‍රවේශ වෙමින් සිටින්නේ අභියෝගාත්මක යුගයක් කරා බව පැහැදිලිව පෙනේ. ඉක්මනින් ප‍්‍රවෘත්ති සැපයීම සම්බන්ධව මෙරට මාධ්‍ය අතර ද තියුණු තරගයකි. රටට අනන්‍ය වගකීමක් සහිත මාධ්‍ය භාවිතාවක් කෙරෙහි කතිකාවතක් රටට අවශ්‍යය. තරෙතුරු සන්නිවේදනය සහ මාධ්‍ය භාවිතාව ජන ජීවිතය නගා සිටුවීමට විය යුතුය. අද තාක්ෂණික යුගයේ සියලූම දෙනා කතුවරුන්ය. ඔවුන් දුරකථනය මගින් යවන කෙටි පණිවුඩයකින් පුවතක් සකස්වෙයි. මතයක් ගොඩනැගේ. රටට සමාජයට එයින් අතිවන සුබසිද්ධිය ගැන සිතන්නට සියලූ දෙනාටම වගකීමක් තිබේ.

පැවති යුද කාලපරිච්ෙඡ්දයකට වඩා සාමකාමී වකවානුවක මාධ්‍ය සතු වගකීම කා කාර්ය භාරය වෙනස්ය. මහජනතාවගේ මත නැගෙයි. සාමකාමී පරිසරයක දී නිහඩව සිටි පිරිස කතාකරන්නට පටන් ගනී. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හඩ මතුවෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක මාධ්‍ය භූමිකාව බලවත්ය. හඩක් නැති මහජනතාව ගේ හඩ මතු කරන්නේ නිදහස් මාධ්‍යයයි. නමුත් මාධ්‍ය හැසිරෙන ආකාරය හා වගකීම සම්බන්ධ අලූත් රාමුවක් කෙරෙහි ජගත් ප‍්‍රජාව අවධානය යොමු කර ඇත. දැනුම පදනම් කර ගත් සමාජ ක‍්‍රමය තුළ තොරතුරු හුවමාරුව බුද්ධිමය සංවාදයක් බවට පත් කළ යුතුය. බුද්ධියට ගරු කරන අන්දමට තීරණ ගැනීම සමාජය එයට යොමු කිරීම කෙරෙහි ජනමාධ්‍යයට පැවරෙන වගකීම ඉතා පුලූල්ය. සංවාදය පැතිරෙමින් ඇත්තේ එම වගකීම නිසි ආකාරයට යොමු කර ගැනීම කෙරෙහිය.

දිනපතා මුද්‍රිත පුවත් පතකින් පළකරන තොරතුරු ගලායාමේ ක‍්‍රමවේදයට වඩා හාත්පසින්ම වෙනස් පරිසරයක් අද ලෝකය පුරා ඇත. පරිගනක තාක්ෂණය හා අන්තර්ජාලය පරිහරණය සම්බන්ධයෙන් රටවල් අතර ඉහළ ප‍්‍රගතියක් දක්වමින් තිබේ. අවුරුදු කිහිපයකට කලින් ජංගම දුරකථනය සමාජයේ ධනවත්කම පෙන්වන සංකේතයකි. නමුත් අද එය සාමාන්‍ය මෙවලමකි. සාමාන්‍ය කෙනෙකු පවා කෙටි පණිවුඩ යවන අතර විදු්‍යුත් තැපැල, ට්විටර්, ෆේස් බුක් වැනි සමාජ ජාල පරිහරණය සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. මෙම වෙනස සිදුවූයේ අප බලා සිටිය දී අවුරුදු කීපයක් ඇතුලතය. තවත් දශකයකට පසු ලෝකයේ මාධ්‍ය භාවිතාව කෙබදු දියුණුවකට පත්විය හැකිදැයි විශාල අවධානයක් යොමුව ඇත. පාඨකයන් ප‍්‍රවෘත්ති ලබාගන්නා ආකාරය විශාල පෙරුළියකට පත්ව තිබේ. පුළුල්ව වැඩෙන තාක්ෂණයට අනුව දියුණුවෙමින් පවතින මාධ්‍ය භාවිතාවේ විශිෂ්ඨ අංග සමාජ ක‍්‍රම වලට ගලපා ගැනීම සම්බන්ධව ප‍්‍රශ්න මතුව ඇත.

නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන බටහිර රටවල් මාධ්‍ය භාවිතාව විවෘත තත්ත්වයක පැවතිය යුතු බව තීරණය කර තිබිණ. නමුත් යම් අවස්ථාවක මෙම සීමා පැන යමින් තරගකාරී ආකාරයකට පවත්වාගෙන යන බවට චෝදනා නැගිණ. තොරතුරු ඉක්මනින් සැපයීමට ඇති තර`ගය හා වෙළද පොළ දිනාගැනීමට ඇති අරමුණ එයට පදනම විය. පසුගිය කාලයේ මර්ඩොක් මාධ්‍ය ජාලය එකී චෝදනාවට ලක්විය. තොරතුරු සොයාගැනීමට මහජනතාවගේ පෞද්ගලික දුරකථන සංවාද වලට අනවසරයෙන් සවන් දී තිබේ. සීමාව ඉක්මවා මිනිසුන්ගේ පුද්ගලික කරුණු අනාවරණය කරන්නට පටන්ගෙන ඇත. එය මහජන විශ්වාසය දිනාගත් මාධ්‍ය ජාලයක බි`දවැටීමට හේතුවක් විය. තොරතුරු ගවේශනයේදී අන්තවාදී පැත්තට යොමුවීම ප‍්‍රශ්නයක් වී තිබේ.

මහජනතාව ගෙවන බදු වැය කරන ආකාරය හොයා බැලීමේ විනිවිද භාවය ඇති කරන යාන්ත‍්‍රණයක් ඇතිකිරීමට ඇති අවශ්‍යතාවය ගැන සාකච්ඡා කරන සමාජයක් ජනමාධ්‍ය ක‍්‍රියාකරන ආකාරය ගැන අලූත් අණ පනත් සම්මත කිරීමට විධිවිධාන යොදන තරමට උනන්දුවීම විශාල වෙනසකි. පුද්ගලයන් සම්බන්ධ සත්‍ය අනාවරණය කර ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ශක්තියක් විය යුතු මාධ්‍ය භාවිතාව සීමාව ඉක්මවා යන අවස්ථාවේ දී හිරිහැරයක් වන බව පෙනේ.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.