ශ‍්‍රී ලංකාව ඉතා ඈතට විහිදෙන ඉතිහාසයක් ඇති රටකි. ඉතිහාසය හදාරන විට රට තුළ තිබුණ නොබිදෙන බැදීම් ගැන කතා කරන්නට සිදුවෙයි. මෙම බැදීම් රට සමග ඉදිරියට පවත්නා එකකි. ලංකාවේ ජීවත්වන, රටේ සොබාවට අනුව ගති සිරිත් පවත්වාගෙන යන ජන සමාජයක අනන්‍ය ආකාරයේ බැදීමකි. එය පවත්වාගෙන එන්නේ ආගමෙන් භාෂාවෙන් හෝ ඇදුම පැළදුමෙන් නොවේ. කන බොන හැසිරෙන ආකාරයෙන් ද නොවන බව පැහැදිලිය. රටක අනන්‍යතාවය විදහා දක්වන උල්පත කුමක්ද? එය ඇත්තේ කොතැනද? මනුස්සකම විනා අන් යමක් නැත. මනසින් උසස් වී මිනිසුන් ලෙස ජීවත්වන විට බැදීම් ඇතිවෙයි. නිවස, අසල් වැසියන්, ගම, පලාත සහ අවසාන වශයෙන් රටක් වශයෙන් එකට බැදී පොදු අදහස් අනුව ක‍්‍රීයාකරන්නට පටන් ගනී. රටවල් අතර සම්බන්ධකම් ඇති කර ගැනීමට දියුණු වී ඇති වර්තමානය අද මහන්සි වෙමින් සිටින්නේ විශ්වයේ කොතැනක හෝ ජීවීන් ඇත්නම් සම්බන්ධතා ඇති කරගෙන දැන හැදුනුම්කම් ඇති කර ගැනීමටය.
ගතවූ පසුගිය කාලය මෙරට ගැටුම් බහුල යුදමය කාල පරිච්ඡේදයකි. වසර තිහක් පමණ ජාතීන් එකිනෙකා ගැන සැකයෙන් සහ අවිශ්වාසයෙන් ජීවත් වූහ. යුද සමයක අනෙකා කෙරෙහි ඇල්ම දුරු වීම ස්වභාවිකය. එකට මග තොට යනෙන සැක කටයුතු පුද්ගලයෙකු දෙස පසුගිය කාලයේ දී හැරී බැලූ ආකාරය අද ද සිහිපත් නොවන කෙනෙකු නැත. යුද සමයට පසු සාමකාමී යුගයක් උදා වී තිබේ. මනුස්සකමට දොරටු විවර විය යුතුය. යුද්ධය වෙනුවෙන් වන්දි ගෙවූ සමයෙහි පවා අසල්වැසි දන්නා කියන අන්‍ය ආගම් සහ අන්‍ය බස කතා කරන අය අතර විශාල සැකයක් තිබුණේ නැත. සාමකාමී යුගයේ අප මුහුණ දෙන අභියෝගය යුද ගැටුම් පැවැති වකවානුවේ අභියෝග වලට වඩා වෙනස් බව මෙයින් පෙනේ. මනුස්සකම ඇතිවිය යුතු වකවානුවක අප දැන් හැසිරෙමින් සිටින්නේ අන්‍යයන් ස්වකීය මායිම පැන ආක‍්‍රමණය කරන බව සිතා එයට එරෙහිව නැගෙන මහා බලවේගයක් ගොඩනගන අරමුණෙනි.
ශ‍්‍රී ලංකාව බහු ජාතික බහු ආගමික රටක් බව පිළිගත යුතුය. බුදු දහමට මෙරට විශාල තැනක් තිබේ. බුද්ධාගමට නිසි, පළමු ස්ථානය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගෙන ඇත. එය ආරක්ෂා කරන්නටත්, පෝෂණයටත් රජය පියවර ගත යුතු බව දක්වා තිබේ. එසේම මූලික අයිතිවාසිකම් සහ සාරධර්ම ආරක්ෂාව සම්බන්ධ වගකීම ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇත. ඉන්දියන් සාගරයේ කුඩා දුපතක් වන රටට ඉතිහාසයේ සිට නොයෙකුත් ආක‍්‍රමණ සහ සංක‍්‍රමණ වලට මුහුණ දෙන්නට සිදුවී ඇත. බුදු දහම පවා ධර්මාශෝක රජ තුමාගේ මැදිහත්වීමෙන් මෙරටට පැමිණි ආගමකි. එහි පිරිසිදු බව දැන මෙරට වැසියන් එයට නතු විය. පෙර අපර හා නොයෙක් තැන් වලින් විජාතිකයෝ මෙරටට පැමිණීයෝය. මෙරටින් යම් දැක්මක් රැගෙන ගියා පමණක් නොව මෙරටට ද නොයෙකුත් අදහස් ඇවතුම් පැවතුම් හුරු කරන්නට මෙම විජාතික සංක‍්‍රමණ බරපතල ලෙස හේතු විය. යටත් විජිත ආක‍්‍රමණය හමුවේ එය ඉතා සූක්ෂම සහ බලහත්කාරය ඇතිවන ලෙස පැතිරුන බව වටහා ගැනීම වටී. විජයාගමනයේය සිට අද රටට පැමිණෙන ආයෝජකයා දක්වා නොයෙකුත් දෙනා ගෙන ආ අනන්‍යතා වලින් මිශ‍්‍ර වූ සමාජයක් තුළ පැරණි උරුමය සොයා ආපසු හැරී බැලීම බලවත් දුශ්කර කරුණකි. සැබෑ උරුමය තිබූ මෙරට දුපත් වාසීන් සොයා ගත හැකිවූව ද එය අදට නොගැලපෙන එකක් විය හැකිය. අද ජීවත්වන ලාංකිකයන්ගේ ආගම, ජාතිය සහ භාෂාව පිරිසිදු එකක් කර ගැනීම අපහසු පමණක් නොව එයට තර්ක නගන බලවේග වලට සමාජයේ විශාල ඉඩක් නැති බව ද වටහා ගත යුතුය.
ජාත්‍යන්තර සමාජයේ අද පවතින ආර්ථික සහ සමාජ පසුබිම තුළ අන්තවාදී ආකාරයට සිතන පතන කුඩා කණ්ඩායම් වලට පැවැත්මක් නැත. තොරතුරු තාක්ෂණය වේගයෙන් දියුණුවීම සමග නොයෙක් අනන්‍යතා ඇති සමාජ සංවිධාන රටවල්, දුපත් සහ දේශ සිමා මායිම් රහිතව එකතුවනු පෙනේ. නමුත් මේවායේ පොදු අරමුණ විදහා දැක්වෙන්නේ නැති අවස්ථාවේ දී එයට ඇති පිළිගැනීම දුබලය. එයින් පැතිරෙන්නේ අන්තවාදයයි. අන්තවාදය, ආගමකට හෝ ජාතියකට නිසි දර්ශනය සපයන්නේ නැත, විශේෂයෙන් බුදු දහම වැනි විශාල දැක්මක් සහිත මැද මාවතේ දහමක් බලහත්කාරය හෝ අන් ආගමකට නීති පනවන තත්ත්වයකට පත්විය යුතු නැත.
අතීතය තුළ බුදු දහම නොයෙකුත් අභියෝග වලට මුහුණ පා තිබේ. නමුත් දහම දක්වන සදාකාලික සත්‍යය සගවන්නට එම බලවේග වලට හැකියාවක් ලැබී නැත. දහම සුරක්ෂිතය. බුද්ධ දර්ශනය සතු ගැඹුර එහි මධ්‍යස්ථ භාවයයි. අට ලෝ දහම එහි එක් වැදගත් දැක්මකි. බුදු රජාණන් වහන්සේ ජිවමානව වැඩ විසූ සමයේ පවා එයට සමාන්තරව නොයෙක් ආගම්, ඇදහිලි හා විශ්වාස පැවතුන බව ඉතිහාසය සාක්ෂි දරයි. අන්‍ය මත වලට ඉඩ දුන් බුදු රජාණන් වහන්සේ කෙනෙකු උසස් හෝ පහත්වන්නේ ක‍්‍රියාවෙන් මිස උපතින් නොවන බව දේශනා කළහ. තමන්ගේ මතය පවා තමන් කියන හෙයිනි පිළිගත යුතු නැති බව පෙන්වා දුන් සේක. රන් කරුවෙකු රන් කැබැල්ලක් පිරිසුදු රන් දැයි සොයන්නට කපා කොටා පුළුස්සා බලන්නාක් මෙන් නියම ධර්මය සොයාගන්නට තර්ක කර ගවේශනය කළ යුතු බව බුදු හිමිපාණෝ දේශනා කර තිබේ. එවකට ඉන්දියාවේ පැවති කුල වාද. දේව වාද හා ආගම් වාද වෙනුවට බුදු රජාණන් වහන්සේ සමානාත්මතාව ඇති කළහ. අන් ආගම් ගරහා ඒවා යටපත් කරන්නට උත්සාහ නොකළ අතර අබෞද්ධ යැයි අන් ආගම් ප‍්‍රතික්ෂේප කළේ ද නැත. වෙනත් ආගමක් ඇදහීම අබෞද්ධ නොවන අතර බෞද්ධයන් බෞද්ධ දහමට නොගැලපෙන ආකාරයට ක‍්‍රියාකිරීම අබෞද්ධකම යැයි දැක්වූහ. අන්‍යයන්ගේ දොස් දැකීම බුදු දහමේ නැත. මිත්‍යාදෘෂ්ටිය ඇතිවන්නේ දර්ශනය නොසලකා මිත්‍යාවෙහි ඇලීමත් සමගය.
වර්තමානයේ අප සාකච්ඡා කළ යුතු ප‍්‍රධාන කරුණු කිහිපයක් තිබේ. ආගම සහ ජාතීන් අතර සම්බන්ධයක් නැති බව පිළිගැනීමය. දේශපාලනයට ආගම සම්බන්ධ කර ගැනීම නුසුදුසුය. අවුරුදු දහස් ගණනක් නොයෙකුත් අභියෝග මැද මහා සංඝරත්නයද, බෞද්ධයන්ද බුද්ධාගම අද පවතින මට්ටමට ගෙනැවිත් තිබේ. තවත් අවුරුදු දහස් ගණනක් අවිච්ඡින්නව පවතින ආකාරයට ධර්මය හා බොදුනු විනය ආරක්ෂා කරගැනිම අපගේ වගකිමකි. එයට ගැලපෙන ආකාරයට මනුස්සකම පෝෂණය කරන වැඩ පිළිවෙලක් රටට අවශ්‍යය. අන්‍යයන්ට අභියෝග කිරීම අන්‍යයන් මැඩ පැවැත්වීමෙන් තමන් ඉස්මතුවීමට වඩා අනුන්ගේ දේ ඉවසන අනුන්ගේ සිති දිනාගන්නා සමාජ රටාවක් ඇති කිරීමට මහන්සිවීම වටී. මූලික වශයෙන්ම එය කළ හැකිවන්නේ ගෙදර දොර ඇවැතුම් පැවතුම් වලින්ය. දෙවනුව පාසලේ දීය. අප ජීවත්වන්නේ මිශ‍්‍ර සමාජයක වන අතර අපට අනන්‍යතාව ආරක්ෂා කරගෙන පොදු වේ ජීවත්විය හැකි පරිසරයක් අප විසින් ම සකස් කර ගත යුතුය.
ජාතීන් හා ආගම් අතර අවබෝධ්‍ය ඇති කරන පුළුල් වැඩ පිලිවෙලක් අපට අවශ්‍යය. බුදු දහම උගන්වන අතර අන් ආගම් වල දැක්වෙන ප‍්‍රතිපත්ති ගැන මූලික අවබෝධයක් අද සමාජයට අවශ්‍යව තිබේ. අන්‍ය ආගම්වල ඇති සංස්කෘතික ලක්ෂණ ගැන නොදැනීම සමාජය තුළ බලවත් ගැටලූ ඇති කරයි. බෝධි වන්දනාව බොදුනුවන්ට වැදගත් සේ ම තවත් ආගමක ඔවුන්ගේ දෙවියන් උදෙසා කරන බිලි පූජාව ද මැදහත් සිතින් ඉවසන්නට හැකියාව ලැබෙන්නේ ආගම් අතර ඇති ලක්ෂණ අවබෝධ කර ගැනීමෙන් පමණකි. ගමේ පන්සල සහ මහා සංඝරත්නය අවට ඇති කෝවිල. දේවස්ථානය හා පල්ලිය සමග සෘජු සම්බන්ධතා ගොඩනගා ගත යුතුය. ප‍්‍රශ්න ඇති වන්නේ අනවබෝධයෙන්ය. අනවබෝධ්‍යට දේශපාලනය, ජාතිවාදය හෝ ආගම්වාදය එකතුවීම විශාල විනාශයකට මග පෑදීමකි.
මහා සංඝරත්නය සහ අන්‍ය ආගමික නායකයන් අතර අන්තර් ආගමික අනබෝධය ඇති කරන සර්ව ආගමික විද්වත් කමිටුවක අවශ්‍යතාව රටට ඇත. දැනට යම් යම් අංශ අතර ආගමික සම්බන්ධතා ගොඩනැගී තිබේ. එය පුළුල්ව යම් අර්බුදකාරී අවස්ථාවක මධ්‍යස්ථව ප‍්‍රශ්න දෙස බලන්නට හැකි ආගමික නායකයන් එකතුවීම දක්වා දියුණු කිරීමට පියවර ගැනීම අවශ්‍යය. එවැනි කි‍්‍රයාමාර්ග මහජනතාව අතර සැනසිල්ල ඇති කරයි. බොදුනුවන් ගේ මැදහත්භාවය දර්ශනය කරවයි. එය මනුස්සකම අතින් දියුණු වන බව අපටම පෙන්වන එක කැඩපතක් වනු නිසැකය. මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
|