» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
08/01/2012 - ඉරිදා ලංකාදීප
ජන සමාජය බලගතු කිරීමේ අලූත් අභියෝගය ඉදිරියේ සමාජ වගකීම - මිලින්ද මොරගොඩ

නව වසරක් උදා වී තිබේ. වසර උදාව සමග සියලූ හදවත් තුළ ජනිත වන්නේ නැවුම් බලාපොරොත්තුය. ප‍්‍රාර්ථනාය. ශ‍්‍රී ලංකාවාසීහු යහපත හා මිත‍්‍රශීලී බව නිතර පතුරවති. රටට ආදරය කරන රටේ අනාගතය ගැන මහත් උපේක්ෂා සහගතව හැසිරෙන සියලූ දෙනා ඉල්ලා සිටින්නේ අලූත් ආරම්භයකි. අරමුණ අලූත් ආරම්භයක් නම් ඒ සඳහා පදනමක් තිබිය යුතුය. සමාජය එකතු කරන සමාජ ප‍්‍රතිසංවිධානය එයයි. බෙදීම් දුරු කොට එක අරමුණකින් සමාජය ගොනු කිරීමයි.

අවුරුදු දෙකහමාරකට කලින් රට තුළ දරුණු යුද පරිසරයක් තිබිණ. එය සමාජ අතර පරතරයක් නිර්මාණය කලේය. අවිශ්වාසය තිබුණි. සැකයෙන් බලන්නට හුරු වී සිටියේය. එය, යුද්ධයෙන් සිදුවූ ආර්ථික හානියට වඩා බරපතලය. සමාජ විෂමතා ඇති කිරීමකි. අතීතය ඉතිහාසයට එක්වී ඇත. අද වැරදි නිවැරදි කරගන්නට සිදුව තිබේ. උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසම කරන ලද අධ්‍යයන ඇතුලත් වාර්තාව නිකුත් විය. එය මෙරට සිදුවූ සිදුවිම් ගැන සොයා බැලීමකි. මෙම වාර්තාව අලූත් අදහස් ඉදිරිපත් කර ඇත. දේශපාලන සංස්කෘතිය ගැන කතා කර තිබේ. සිදුවීම් ගැන සමාව ගැනීමට යෝජනා කර ඇත. තොරතුරු සම්බන්ධ ඇත්ත තත්ත්වය දැන ගැනීමට ඇති අයිතිය ගැන සාකච්ඡා කර තිබේ. අලූත් දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීම ගැන අදහස් දක්වයි. විවාද සම්පන්නය. දේශීය විද්වතුන් සේ ම විදේශීය ප‍්‍රජාව ද මෙම වාර්තාව ගැන නොයෙකුත් අදහස් ඉදිරිපත් කරයි. රටට එය පුලූල් අවස්ථාවකි.

ස්වයං විවේචනයකට අප සමාජය සූදානම්ද? අද ඇති ගැටලූව එයයි. රට වැසියන් බහුතරයක් ජීවත්වන්නේ බෞද්ධ සංස්කෘතියක පසුබිමකය. බුද්ධ දර්ශනය ජනතාවගේ ජීවිත සරුකරයි. එහි නිවැරදි දේ දකින්නට මග පෙන්වා ඇත. තමා ගැන සිතන්නට ඉඩ දී තිබේ. සත්‍යය දකින්නට, හා ප‍්‍රශ්න කරන්නට මග දක්වයි. නව වසර සමග අලූත් අනාගතයකට පදනම සකස් කරගත හැකි වන්නේ සත්‍යය දැකීමෙන්ය. අන්‍ය ආගම් වල දර්ශනය ද සත්‍යය දකින්නට පොළඹවයි. සියලූම ආගම්වල දර්ශනය යහපතයි. යුක්තිය හා සාධාරණත්වයට ඉඩ තිබේ.

කාලාම සූත‍්‍රයට අනුව රන් කරුවෙකු තමන් අතට පත්වන රන් කැබැල්ල පිරිසිදු රන් දැයි සොයා බලන්නට කපා, කොටා බලයි. සූරා බලයි. අවසානයේ රසායනික යොදා පුලූස්සා නියම රන් දැයි බලයි. පසුව පිරිසිදු රත්ත‍්‍රන් බව පැහැදිලි කර ගනී. බුදු වදන වුවත් එකවර පිළිගැනීමට වඩා ප‍්‍රශ්න කර, සාකච්ඡා කර තෝරා බේරා විමසුම් සිතින් සත්‍ය පසක් කර ගත යුතු බව බුද්ධ දේශනාවේ දක්වා තිබේ. වර්තමාන ශ‍්‍රී ලාංකික සමාජය ගමන් කළ යුතු දිසාව දෙස අවබෝධයක් මේ බුදු වදනින් ලබා ගත හැකිය. කිසිවෙකු කිසිම කාරණයක් ප‍්‍රශ්න කිරීමෙන් තොරව පිළිගත යුතු නැත. යහපත් සංවාදයක් තුළින් හරය අනාවරණය වෙයි. සත්‍ය පසක් කර ගත හැකිය. මිත්‍යාව විසින් අවුරා ඇති සියලූ අවස්ථා නිරාවරණය කර සත්‍ය සොයාගන්නට මේ බුදුන් වහන්සේ ම හෙළි කළ වදන වටහා ගැනීම වැදගත්ය.

ගත වූ කාලය තුළ ජාත්‍යන්තර සමාජය තුළ පරිවර්තනයක් සිදුවිය. ලෝක දේශපාලනය වෙනස් වී තිබේ. තොරතුරු හුවමාරුවේ විශාල දියුණුවකි. අතීතයේ දේශපාලන නායකයන් හා ඡන්දදායකයන් අතර යම් පරතරයක් තිබුණි. දැන් එවැනි පරතරයක් නැත. දේශපාලනඥයන් ගේ හැසිරීම, කි‍්‍රයාකාරකම් සමාජයට පැහැදිලිය. ඔවුන්ගේ ප‍්‍රතිපත්ති සන්නිවේදනය වෙයි. මෙයින් ඇතිකර තිබෙන වෙනස සියුම්ය. මහජනතාව දේශපාලනඥයන් කෙරෙහි ඇති විශ්වාසය අඩු වී තිබේ. ලාංකික දේශපාලනය ට ද එය ඇතුල් වන ලකුණු පෙනේ. සමාජ පීඩනය එල්ලවන දිසාව වෙනස් වී ඇත. මහජනතාව එකතුවන්නේ නොසිතන ආකාරයටය. විරෝධතා පැන නැගෙන්නේය. ඒවාට නායකත්වය දෙන්නේ සම්ප‍්‍රදායික ජනතා නායකයින් නොවන්නට ඉඩ තිබේ. නොසිතූ තැනක දී නොසිතන පුද්ගලයෝ නායකත්වය ගනිති. මේ නිසා අද ඇති අභියෝග වලට යථාර්ථවාදී අන්දමට මුහුණ දෙන්නට අප හුරු විය යුතුය.

රුසියාවේ සියාවේ තරුණ පෙල රජයේ රූපවාහිනිය ගැන වැඩි උනන්දුවක් නැත. රජයේ මාධ්‍ය තරුණ පරම්පරාවෙන් ඈත්ය. ඔවුන් පණිවුඩය ගන්නේ ෆේස් බුක් වැනි සමාජ සම්බන්ධතා මාධ්‍යවලිනි. එය අලූත් අත්දැකීමකි. සම්ප‍්‍රදායික අන්දමට මෙවැනි සමාජයක් තේරුම් ගැනීම පහසු නැත. ඔවුන්ගේ ආකල්ප වෙනස්ය. රුසියානු නායකයින් තරුණ පෙල සම්ප‍්‍රදායික රජයේ සන්නිවේදන ජාල වලට ඇතුලූ කර ගන්නේ කෙසේදැයි අවධානය යොමු කරමින් සිටී. රුසියාවේ ආර්ථික දියුණුවක් ඇතිවිය. එම පරිවර්තනය කළේ පුටින්ගේ නායකත්වයයි. ආර්ථිකය දියුණුව සමග ප‍්‍රශ්න ඇත. දේශපාලනය ද වෙනස් විය යුතු බව මෙම දියුණුව හරහා මතු වූ තරුණ පෙළ හඩ නගයි. පසුගිය කාලසීමාවේ මැදපෙරදිග රටවල විශාල පෙරැලියක් සිදුවිය. ටියුනීසියාව, ඊජිප්තුව, ලිබියාව දක්වා පැමිණියේය. අවසානයක් නැත. සම්ප‍්‍රදායික පාලනයට අභියෝගයක් මතුව තිබේ. මෙවැනි යුගයක් තුළ ලාංකික සමාජය වෙනස් වන්නේ කෙසේද? යුද්ධය අවසානයේ දී ඇත්ත සොයාගෙන උගත් පාඩම් හා ප‍්‍රතිසංවිධානය ගැන කතා කරන විට මෙවැනි දේ ගැන අලූතින් හිතන්නට අවශ්‍යය. එයට පෙරමුණ ගත යුතු සමාජයයි. සමාජ නායකත්වයයි.

නිදහස ලැබුණ දා සිට පැමිණි ගමන කෙබදුද? සාර්ථකත්වය මෙන්ම අසාර්ථක වූ අවස්ථා තිබේ. තරුණ පරපුර අපේක්ෂා භංගත්වයට පත්වූ අවස්ථා ඇත. එය කෙලවර වූයේ ලේ ගලන විප්ලව වලින්ය. විප්ලව මැඩපැවැත්විය හැකිය. බලහත්කාරයෙනි. එයින් යටපත්වන්නේ පැන නැගුන විරෝධයයි. ජන මතයයි. ප‍්‍රශ්නය විසදුනේ ද? එහි අවසානය කොතැනකද?

සමාජය තම ගැටලූ වලටවිසදුම අපේක්ෂා කරන්නේ දේශපාලනඥයන්ගෙනි. දරුවා පාසලට ඇතුලත් කරගැනීමට දේශපාලනඥයාගේ පිහිට අවශ්‍යය. නිවසක් ගන්නට, ණයක් අයැදුම් කරන්නට දේශපාලන අනුග‍්‍රහය අවශ්‍යය. රැකියාවක්, උසස්වීමක් වෙනුවෙන් දේශපාලන පිහිට පතයි. පක්ෂ වලට සම්බන්ධවී ඇත්තේ තම පුද්ගලික අරමුණු ඉටු කර ගැනීමේ අදහසින්ය. බලයට පත්ව සිටින පක්ෂයේ අනුගාමිකයන්ට එයින් අවස්ථාව ලැබේ. පාක්ෂිකයන් සියලූ දෙනාට නොවේ. කොටසකට පමණකි. සෙසු පිරිස හා විරුද්ධ පාක්ෂිකයෝ මෙම ක‍්‍රමයට වෛර කරති. මෙම දේශපාන ක‍්‍රමය ප‍්‍රශ්න විසදන්නේ නැත. සමාජය එකමුතු කරන්නේ ද නැත. අවසානයේ දී අප සියලූ දෙනා ආත්මාර්ථකාමීන් බවට පත් කර තිබේ. ආගමික විනය එකමුතු වන්නැයි කියයි. පරාර්ථකාමී හා අනුන් ගේ දුක බෙදා ගන්නැයි දක්වයි. සමානාත්මතාව හා උසස් ගුණ දහම් ගැන කියාදෙයි. සියලූම ආගම් ගෙන එන පණිවුඩය එයයි. එයට ඉඩ තිබේද? නැත. මේ සමාජයට බුදු දමින් කියා දෙන අන්දමට තමන් ගැන සිතන්නටත්, සත්‍යය ගවේශනය කරන්නටත් හුරුකමක් තිබේද? අප අපගෙන් ම අවංකව ප‍්‍රශ්න කළ යුතු මොහොත උදා වී තිබේ.

මෙයට වඩා වගකීමක් ඇතිව කි‍්‍රයාකරන්නට අද අපට සිදුව තිබේ. විශාල සමාජ පරිවර්තනයක් ඉල්ලා සිටින අවස්ථාවක මහා සංඝරත්නය ඇතුලූ ආගමික නායකයින්, සමාජ නායකයින් සහ විද්වතුන් ගෙන් විශාල මෙහෙයක් ඉටුවිය යුතුය. ඔවුන්ගේ සංවාදය වැදගත් එකකි. සියලූ දේ දේශපාලනයට පවරා සිටීම සුදුසුද? මහජනතාව තුළින් සංවාදය ඇරඹිය යුතුය. එය මහජනතාව බලගතුකිරීමකි. ලෝකයේ නොයෙක් තැන පරිවර්තනය සිදුවන්නේ සමාජය එකතුවීමෙන්ය. මෙරට ජන සමාජයට ද එකී වගකිම තිබේ. සමාජය ඉල්ලා සිටින වෙනස්කම් වෙනුවෙන් සංවාද බිහිකරන කෘති වර්තමානයේ ලළවෙයි. මෙම කෘති පෙන්වන්නේ සමාජ ධාරාවේ ගමන්මග ගැනය. තමන්මග ට අභියෝග එල්ලවන ආකාරය හා එයට මුහුණ දෙන ආකාරය ගැනය.

ඉතිහාසය ගැන ආඩම්බරය. ගතවූ මෑත කාලය අමිහිරිය. අතීත අත්දැකීම් වලින් අත්දැකීම් සොයා වර්තමාන යුගයට උත්තර සෙවීම අප සියලූ දෙනාගේ වගකිමකි. එය හුදෙකලා ගමනක් නොවේ. ජාත්‍යන්තරය සමග සම්බන්ධවිය යුතුය. අනන්‍යතාවය ආරක්ෂා කරගැනීමත් රටට ගැලපෙන ආකාරයට තීරණ ගැනීමත් කෙරෙහි සමාජ නායකයින් යම් පෙළඹවීමක් කළ යුතු දිනය උදා වී තිබේ. මෙරට දේශපාලන පක්ෂ අතර අද ඇත්තේ බෙදීම්ය. පෙන්වන්නේ අලූත් යුගයට ගැලපෙන අන්දමට ජනතාව හමුවට යාමට ඇති අසමත් බවයි. උගත් පාඩම් හා ප‍්‍රතිසංවිධානයෙන් රටට ගැලපෙන කරුණු පහත් තෝරාගෙන එය තියුණු සංවාදයකින් පසු සමාජයට ඇතුලූ කළහොත් සමාජයට පදනමකි. විශ්වාසය ඇති කරගෙන සමාජය එකතු කරන්නට එය ශක්තියකි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.