» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
07/04/2013 - ඉරිදා ලංකාදීප
යටිතල පහසුකම් නිසි ආකාරයට ප‍්‍රයෝජනයට ගැනීම - මිලින්ද මොරගොඩ

ශ‍්‍රී ලංකාව යුද ආර්ථිකයකින් ඉනික්බිතිව සාමකාමී ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටී. පරිවර්තනය සිදුවන ආකාරය සහ එම පරිවර්තනයට ගතවන කාලය සම්බන්ධව ප‍්‍රශ්න තිබේ. සාමකාමි ආර්ථිකයක අභියෝග එකිනෙකට වෙනස්ය. පාරිභෝගික සමාජය තුළ නිෂ්පාදනය වැඩි කිරීම, ආයෝජනය සහ වෙළදාම සම්බන්ධව විශාල තරගයක නියැලිය යුතුය. යුද කාල පරිච්ඡේදය ඉක්මනින් තීන්දුගෙන වේගයෙන් වැඩ කළ කාලයකි. දැන් පවතින සාමකාමී වකවානුව ආරම්භ වූයේ මෑතකදීය. දැන් පවතින තත්ත්වය තුළ ආර්ථිකයේ සෑම අංශයකම යම් නිස්කාන්සුවක් දැකිය හැකිය. සමාජය අපේක්ෂා කරන්නේ වේගවත් දියුණුවකි. වේගයෙන් දියුණුවන ආර්ථික ඇති රටවල එහි ඇති ජවය සමාජයට දැනේ. ආර්ථිකයක වේගය වැඩිකරන්නට නම් ඉක්මනින් තීන්දු ගෙන තරගකාරීව මෙහෙයවන්නට අවශ්‍යය. එවැනි ප‍්‍රතිපත්ති අනුගමනය කරන්නට නම් තද තීන්දු ගෙන ආර්ථික ජවය ඇති කරන ප‍්‍රතිසංස්කරණ මාලාවක් හදුන්වාදීම අවශ්‍යය. විවෘත ආර්ථික ක‍්‍රමය තුළ තරගකාරීව පවතින්නට අවශ්‍ය කරන නිසි රාමුව එයින් සකස් කර ගත හැකි වෙයි.

පසුගිය දශක තුන තුළ ආර්ථික සහ සමාජ වශයෙන් ශ‍්‍රී ලංකාව ක‍්‍රමයෙන් යම් මට්ටමක දියුණුවක් ලබා ඇත. එම කාලය තුළ මහජනතාව ඉල්ලා සිටි පහසුකම් සම්පූර්ණයෙන්ම සපයන්නට රටට හැකියාවක් තිබුණෙ නැත. රටට ලැබෙන ආදායම වියදම් කිරීමේ දී ප‍්‍රමුඛතාව දැක්වුයේ යුද වියදම් වලටය. එම කාලය තුළ රටට මගහැරී ගිය යටිතල පහසුකම් ව්‍යාපෘති දැන් රට තුළ ආරම්භ කර ඇති බව පෙනේ. ප‍්‍රවාහනයට අවශ්‍ය, මහා මාර්ග සංවර්ධනයට එහි විශාල තැනක් වෙන්වී ඇත. දිවයිනේ සියලූම ප‍්‍රදේශවල මහා මාර්ග වාහන ගමනා ගමනයට සුදුසු ආකාරයට වැඩි දියුණු වන බව නිරික්ෂණය කළ හැකිය. අය වැය ලේඛනයෙන් මහා මාර්ග වැඩි දියුණු කරන්නට විශාල ධනයක් වැය කරයි. විදේශ රටවලින් සහ විදේශීය බැංකු වලින් ද එයට ණය ගෙන ඇත. මුදල් ගෙවා ගමන් කළ යුතු අධි වේගී මාර්ග සංකල්පයට ද මෑතකදී රට ඇතුළු විය. එයින් ප‍්‍රවාහනය වේගවත් වී තිබේ. රජය මැදිහත්වී ඉදි කරන අධිවේගී මාර්ග වල ගමන් කරන වාහන වලින් ගාස්තු අය කරයි. ලෝකයේ ඇතැම් රටවල මෙවැනි ව්‍යාපෘති අරඹන්නේ පුද්ගලික අංශයයි. නොඑසේනම් රාජ්‍ය හා පුද්ගලික අංශ එකට එකතු වී පොදු සහයෝගීතාවයක් අනුවය. ආණ්ඩුව ක‍්‍රියාත්මක කරන අධිවේගී මාර්ග පද්ධතිය සදහා රටට තවත් ණය ආධාර ගන්නට සිදුවී ඇත.

වරාය සහ ගුවන් තොටුපොල සංවර්ධනය පසුගිය කාලය තුළ රට තුළ වේගයෙන් සිදුවූ තවත් යටිතල පහසුකම් සංවර්ධන අංශ දෙකකි. කොළඹ වරාය වැඩි දියුණු කරන අතර හම්බන්තොට දිස්ත‍්‍රක්කයේ අලූත් වරායක් ඉදි කෙරිණ. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල නවීකරණය කරන අතර මත්තල තවත් ජාත්‍යන්තර ගුවන් තොටුපොලක් ඉදිවිය. මෙම ව්‍යාපෘති වෙනුවෙන් විශාල ධනයක් ආයෝජනය කරන්නට රටට සිදුවූ බව පැහැදිලිය. විදුලිය ජනනය, තොරතුරු තාක්ෂණය වැඩි දියුණු කිරීම, පොදු මගී ප‍්‍රවාහන සේවා, අධ්‍යාපනය සහ සෞඛ්‍ය පහසුකම් නැංවිම යනාදී නොයෙකුත් යටිතල පහසුකම් වෙනුවෙන් විශාල ධනස්කන්ධයක් මෑත කාලය තුළ වැය කර ඇත. මෙම ධනය රට තුළින් උපයා ගත නොහැකිවිට ලෝකයේ ප‍්‍රකට වානිජ බැංකු වලින් වානිජ ණය වශයෙන් ලබාගන්නට ද සිදුවු බව තොරතුරු පෙන්වා දෙයි. මෙම ණය ආපසු ගෙවිය යුතු අතර සාමාන්‍ය සහනාධාර වලට වඩා වැඩි සේවා ගාස්තුවක් අය කරයි. දුගී දුප්පත් රටක් වශයෙන් පසු වූ වකවානුවේ දුප්පත් කමෙන් මිදෙන්නට ආධාර දුන් ජාත්‍යන්තර ප‍්‍රජාව සහ ජාත්‍යන්තර ප‍්‍රදානක ආයතන මැදි ආදායම් ලබන රටක් වශයෙන් ශ‍්‍රී ලංකාවට තවදුරටත් සහනාධාර දෙන්නට සූදානමක් නැත. තමන්ම සැලසුම් කරගෙන ස්ව ශක්තියෙන් නැගීසිටින අභියෝගයට මුහුණ දෙන්නට වර්තමානයේ දී අප රටට සිදුවී තිබේ.

යටිතල පහසුකම් වශයෙන් විශාල සංවර්ධන කටයුතු අරඹන විට මෙවැනි ව්‍යාපෘති රටට අවශ්‍ය දැයි ප‍්‍රශ්න කරන අවස්ථා ද දැක ගත හැකිය. මැලේසියාව පෙට්‍රොනාස් ටවර් නමැති ලෝකයේ විශාලතම ගොඩනැගිල්ල ඉදි කළේය. එය ඉදිකරන විට දුප්පත් මැලේසියාවට එය කුමකටදැයි ඇතමුන් ප‍්‍රශ්න කරන්නට ඇති බව නිසැකය. ජපානය දෙවන ලෝක යුද්ධයෙන් පසු ගත් ණයවලින් වේගවත් දුම්රිය සේවාවක් ඇති කළේය. යුද්ධයෙන් හෙම්බත්ව සිටි ජපාන ජනතාවට දුම්රියේ වේගවත් ගමනක ඇති ප‍්‍රයෝජනය ප‍්‍රශ්නයක් වන්නට ඇත. සිංගප්පූරුව එරට විශේෂ ආර්ථික කලාපයක් ඇති කරන විට එය පලක් නැති වියදමක් බවට බරපතල චෝදනා නැගින. මැලේසියාවේ ගොඩනැගිල්ල, ජපානයේ වේගවත් දුම්රිය හෝ සිංගප්පූරුවේ ආර්ථික කලාපය අද ජාත්‍යන්තර තලයේ වැඩි අවධානයට ලක් වූ ආර්ථික මර්මස්ථාන බවට පත්ව තිබේ. යම් පරිවර්තනයකට මග පෑදෙන්නේ සියුම් එක වෙනසක් මගින් බව මෙයින් පැහැදිලි වනු ඇත.

නමුත් යටිතල පහසුකම් ඇතිකිරීම පමණක් ප‍්‍රමාණවත් නැත. මෙම පහසුකම් ප‍්‍රයෝජනයට ගෙන රට තුළ නිෂ්පාදන හා සේවා අංශ වල පුනරුදයක් ඇති විය යුතුය. එය කළ හැකි අලූත් ව්‍යවසායකත්වයක් බිහි කිරීමෙන් පමණකි. කෘෂිකර්මයෙහි හා කාර්මික අංශයෙහි අලූත් දේ නිපදවිය යුතුය. අලූත් සේවා අංශ කෙරෙහි අවධානය යොමු කළ යුතුය. දෙස් විදෙස් ආයෝජනය එයට අවශ්‍යය. රට වැසියන් ව්‍යවසායකයන් බවට පත්කරන ආයෝජනයට හිතකර ප‍්‍රතිපත්ති සහ විදේශ ආයෝජකයන්ට හිතකර වන ආකාරයේ ප‍්‍රතිපත්ති ඇති කිරිම ද එකසේ වැදගත්ය. වරාය, ගුවන් තොටුපොල හා මහා මාර්ග දියුණු වන විය ආනයන හා අපනයන අංශ වල වේගවත් බවක් අපේක්ෂා කළ යුතුය. ශ‍්‍රී ලංකාවේ දොරටු ජාත්‍යන්තරයට විවෘතවන විට එහි ප‍්‍රයෝජනය ගැනීමට හැකි ආකාරයට පසුබිම සැකසෙන දුරදර්ශී ප‍්‍රතිපත්ති අපට අද වැඩිපුර අවශ්‍යය. නැතිනම් විශාල ධනයක් වැය කර ඇතිකරන මෙම පහසුකම් වලින් රටට ප‍්‍රයෝජනයක් නැත.

තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් විශාල ආයෝජනයක් සිදුව තිබේ. රජය හා පුද්ගලික අංශයේ මැදිහත්වීමෙන් එය ඉතා තරගකාරී ආකාරයට පවතින බව පැහැදිලිව පෙනේ. ලෝකයේ නොයෙක් තැන නිපදවන දේ ගැන සහ මෙරට නිෂ්පාදන හා සේවා වලට ජාත්‍යන්තර වෙළද පොළ තුළ ඇති අවස්ථා තොරතුරු තාක්ෂණය ඔස්සේ ගවේශනය කළ හැකිය. අවුරුදු හත අටකට කලින් වෙළද විමසුමක් වෙනුවෙන් ලිපි ලියා තැපැල් කරමින් කාලය ගත කරන ලද නමුත් අද එවැනි විමසුමකට ගත වන්නේ ඉතාමත් කෙටි කාලයකි. ලිපියක විස්තරයට අමතරව පැහැදිලි සවිස්තරාත්මක තොරතුරු ගැනුම්කරුවන්ට යැවීමට තාක්ෂණය මග පාදා ඇත. එයින් ලබා ගන්නා දැනුම ඔස්සේ ලෝකයේ ඕනෑම තැනක සිටින ගැනුම්කරුවෙකු සමග විවෘතව සම්බන්ධවීමට මෙරට ව්‍යවසායකයන්ට ඉඩ කඩ තිබේ. ඉන්දියාව වේගයෙන් දියුණු වන රටක් වශයෙන් සැලකේ. එරටට සමීප අපට ඉන්දියාවට සැපයුම් දොරටුවක් විය හැකිය. එහි විශාල වෙළද පොලක් තිබේ. නමුත් තවමත් සම්ප‍්‍රදායික වශයෙන් ජාත්‍යන්තර වෙළ`ද පොළට යවන්නේ තේ, රබර් සහ පොල් කෘෂි නිපැයුම් බව පෙනේ. කාර්මික නිපැයුම් අතර පළමු තැන ගෙන ඇත්තේ ඇගලූම් කර්මාන්තයයි. සංචාරක අංශයට ගැලපෙන පසුබිමක් රට තුළ ඇති නමුත් එය ඵලදායී ආකාරයට මෙහෙයවා සංචාරක වෙළද පොළ දිනාගන්නට අප සම්පූර්ණයෙන්ම සමත්ව නැත. මෙවැනි පැති වෙනස් කරන්නට හැකියාව ඇත්තේ අලූතින් සිතන අලූත් පරම්පරාවට පමණකි.

චීන ආර්ථිකය සමග තරගකරන්නට නම් යුද බිමේ තීරණ ගන්නා ආකාරයට ආර්ථිකය දියුණු කරන්නටත් තීරණ ගැනිම වැදගත් බව බි‍්‍රතාන්‍ය අගමැති කැමරන් මෑතක දී ප‍්‍රකාශ කළේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග ඉහළින් සලකන රටවල් පවා ආර්ථික වේගය අඩු වන විට එයට මුහුණ දෙන්නට තද තීරණගනී. ඉක්මන් තීන්දු තීරණ ගන්නට බි‍්‍රතාන්‍යය කල්පනා කරන්නේ එහෙයින්ය. ශ‍්‍රී ලංකාවට ද එයට නොදෙවෙනි ව කි‍්‍රයා කිරීමේ අවශ්‍යතාවය පැන නැගි ඇති මෙහොතකි. තද ප‍්‍රතිපත්ති තීරණ ගැනීමේ දී ආත්ම ශක්තිය ඇති කරගන්නට සිදුවෙයි. ජනතාවට යථාර්ථය වටහා දෙන්නට අවශ්‍යය. කෙටි කාලීනව සමාජය අසතුටට පත්විය හැකි නමුත් දිගු කාලීනව අත් පත් වන්නේ යහපතකි.

මෑතක දී කොරියානු සම්භවයක් සහිත කාන්තාවක් ප‍්‍රංශ රජයේ ආයෝජන අමාත්‍යවරිය ලෙස පත් කළේය. රජය තුළ බලපවත්වන නිලධාරී වාදය හා අනවශ්‍ය නීති ඉවත් කිරීම ඇයට පැවරී ඇති වගකිමයි. පිටරටක චරිතයක් පැමිණ ප‍්‍රංශයේ නීති වෙනස් කිරීමට යෝජනා කිරිම විශාල සිද්ධියකි. එවැනි තීරණයක් ශ‍්‍රී ලංකාවේ සිදුවිය හැකිද? දියුණුවන ආසියාවෙන් ආයෝජන ඇද ගැනීම අලූත් අමාත්‍යවරිය උත්සුක වෙමින් තිබේ. රටක ප‍්‍රතිපත්ති වෙනස් කළ යුතු ඇයි දැයි එයින් අවබෝධ කරගත හැකිය.

ශ‍්‍රී ලංකාවේ මූල්‍ය හා බදු ක‍්‍රමය ගැන විශේෂ අවධානය යොමු කළ යුතුය. පවතින බැංකු හා මූල්‍ය ක‍්‍රම ඉටුකරන්නේ ව්‍යවසායකයන්ගේ අරමුණ නොවේ. අධිරාජ්‍යවාදීන්ගේ කාලයේ වතු පාලනයට අවශ්‍ය මූල්‍ය රාමුව සකස්කළ බැංකු රටේ ව්‍යවසායකත්වයට ඉඩක් දෙන්නේ නැත. පොලිය හා ඒවායේ ප‍්‍රතිපත්ති අනුව වානිජ බැංකු විශාල ලාභ උපයයි. මෙරට බදු අයකිරිම ආසියාවේ සෙසු රටවලට වඩා ඉහළය. බැංකු වලින් වැඩි පොලියට ප‍්‍රාග්ධනය ගෙන විශාල බදු ගෙවමින් නිෂ්පාදනය කරන ව්‍යවසායකයෙකුට එම නිපැයුම් ලෝකයේ කොතැනකටවත් අලෙවි කර ගත නොහැකිය. මෙම පැති ස්වාධීන පර්යේෂණ වලින් පසු හදුනාගෙන නිවැරදි කිරීම වටී. බදු ක‍්‍රම ගැන අලූත් අදහස් විවිධ අවස්ථාවල යෝජනා කර තිබේ. නමුත් කි‍්‍රයාත්මකවන්නේ නැත. පවතින ක‍්‍රමය තුළ රටට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ සමාජයට කියන්නට දේශපාලනඥයන් නිර්භීත නැත. නිර්භීතව ඇත්ත කියන දේශපාලනඥයන් රට තුළ ජනපි‍්‍රය නැත.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.