» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
06/11/2011 - ඉරිදා ලංකාදීප
යුගයෙන් යුගය වෙනස් කරන අත්දැකීමක හැඩය සාකච්ඡා කිරීම - මිලින්ද මොරගොඩ

නතරවීමක් නැත. වෙනස්වීමක් තිබේ. මේ වෙනස්වීම හොඳටය. නැතිනම් නරකටය. ගමන් කරන දිශාව වෙනස් කරන මොහොතක් තිබේ. ඒ මොහොත තීරණාත්මකය. එය හැරවුම් ලක්ෂ්‍යයකි. ගමන හරවන තැන ගැන නිසි අවබෝධයක් තිබිය යුතුය. අවධානයෙන් සිටිය යුතුය. එය පහසු නැත. සුපරීක්ෂාකාරී විය යුතුය. මතුවෙන අදහස් උදහස් ගැන සිතන්න අවශ්‍යය. නිතර නිතර වෙනස්වන ලෝක ස්වභාවය තුළ හැරවුම් ලක්ෂ්‍යය ක්ෂණිකව ගන්නා තීන්දුවකි. හැරවුම් ලක්ෂ්‍යයේ සාධකය ජීවිතයට වැදගත්ය. ජන සමාජයට ද එසේය. ආර්ථිකයට ද එක සේ බලපායි.

එදිනෙදා හමුවන තත්ත්ව යථාර්ථවාදී ලෙස සාකච්ඡා කරන්නට මම උත්සාහ කළෙමි. එහි අරමුණක් තිබිණ. විශාල පරාසයක් පුරා විහිදුනු නොයෙකුත් පැති ගැන සංවාදයක් පවත්වාගැනීමය. විවිධ අදහස් ඒ ඔස්සේ ලැබුණි. ප‍්‍රතිචාර සෑහෙන තරම්ය. මහජනතාවට උනන්දුවක් තිබේ. ඒ සමගම ඔවුන් තුළ යම් කාන්සියක් ඇති බව අවබෝධ කර ගත හැකිය. දශක හයකට වැඩි කාලයක් එකම අරමුණකින් නොනැවතී වෙසෙයි. නමුත් ජීවිත සැනසිලිදායක තැනකට ගමන් කරන බවක් නොපෙනෙනවා විය හැකිය. අපේක්ෂාභංගත්වය දියුණුවන සමාජයකට භයානක එකකි. නිතර බලාපොරොත්තු දල්වන වෙනස්කම් සිදුවිය යුතුය.සමාජයට එය වැදගත්ය. තමන් රැවටිල්ලකට ගොදුරුවන අතර රට පාලනයේ දී තමන්ට සමාන අවස්ථා අහිමි බව මහජනතාව සිතන බව පෙනේ. අප අවංකව මේ ප‍්‍රශ්න දෙස බැලීම අවශ්‍යය.

හැරවුම් ලක්ෂ්‍යය සමාජයේ සිදුවන වෙනස්කම් වෙනත් කෙළවරක සිට බලන්නට දරන උක්සාහයකි. මැදහත් ප‍්‍රයත්නයකි. පසුගිය පරම්පරාවට වඩා අද පරම්පරාව බෙහෙවින් වෙනස්ය. ගතානුගතිකත්වයෙන් මිදී ඇත. සම්ප‍්‍රදායට අභියෝග කරයි. තාක්ෂණය වහල් කර ගනී. ඉදිරි පරම්පරාවේ අනාගතය කුමක් විය හැකිද? ප‍්‍රශ්නකි. මුහුණ දෙන ආකාරය වෙනස්ය. අවතීර්ණවීම ද වෙනස් විය හැකිය. එයට කරන විග‍්‍රහය සහමුලින්ම වෙනස් එකක් වීමට ද ඉඩ තිබේ. එයින් සිදුවිය හැකි යහපත අයහපත අදට වඩා තීරණාත්මක එකක් විය හැකිය. එය හැරවුම් ලක්ෂය්‍යකි. හැරවුම් ලක්ෂ්‍යයේ සංවාදය කණට මිහිරි, හිත පිනවන එකක් විය නොහැකිය. අමිහිරි යථාර්ථය ට මුහුණ දිය යුතුය. ප‍්‍රශ්නයේ සැබෑ මුහුණුවර හඳුනාගත යුතුය. අද අවශ්‍ය එයයි.

මේ දක්වා සමාජය ගෙන එන්නට ජනතාව දහඩියෙන්, කඳුලෙන් පමණක් නොව රුධිරයෙන් ද වන්දි ගෙවා තිබේ. ඒ වන්දිය විශාල එකකි. එතරම් වන්දියක් ගෙවා ඇතත් සමාජයේ ඇති නැති පරතරය දරුණුය. පසුගිය දිනවල කොළඹ මහ නගර සභාවේ මැතිවරණය පැවැත්වීය. කොළඹට කිරි යන භාවිතාව ප‍්‍රශ්න කරන්නට අපට සිදුවිය. නගරයේ මහා මාර්ග දෙපස මහා මන්දිරය. වීදියේ ඇති වෙළඳසැල් සැල් නොයෙක් විසිතුරු දෙයින් පුරවා තිබේ. හෝටල්වල රස මසවුලූය. ලෝකයේ ඉහළම සත්කාරය ඇති රෝහල්ය. සුපිරි පාසල් හා තාක්ෂණික අධ්‍යාපනය නගරයේ අත ළඟින් ඇත.

ධාවනය කරන මෝටර් රථයක් ඉඟි කරන්නේ මේ ඉසුරුමත් දිවයිනක් බවය. එහෙත් ප‍්‍රධාන මාර්ගයෙන් යාර දෙතුන් සියයක් ඔබ්බෙහි ඇත්තේ සිතාගැනීමට පවා නොහැකි පරිසරයකි. අසංවිධිත ජීවිත ගතකරන එහි වෙසෙන්නෝ නගරයේ සුවය ආග‍්‍රහනය කරන අතර සාපකරන්නේ තමන්ට එහි ජීවත්වන්නට බල කර ඇති සමාජ ක‍්‍රමයටය. ජීවත්වන්නේ අනවසරයෙන් ඉදිකරගත් කුඩා තැනෙකය. පර්චස් දහයක් පහලොවක් තරම් ඉඩමක සිය ගණනක් ජීවත්වෙති. මූලික පහසුකම් නැත. ජලය නගරයේ පයිප්පයෙනි. පොදු වැසිකිලි ඇති නමුත් ඒවා අතිශය ජරාවාස වී තිබේ. වැසි කාලයට මල නාලිකා උතුරා යයි. නිවාස යටකරගෙන වැසි දිය ගලා යයි. මැස්සන් සහ මදුරුවන් බහුලය. බෝවෙන රෝග පැතිරෙයි. මේ පරිසරයේ වෙසෙන ඇතැම් නිවෙසක පවුල් කීපයක් වෙසෙන අතර රාත‍්‍රියට නිදාගන්නේ ද කඩින් කඩය. මේ සමාජය තෘප්තිමත් එකක්ද?

සමාජ ක‍්‍රමය වෙනස් කරන හැරවුම් ලක්ෂ්‍යයක අවශ්‍යතාවය තදින් දැනේ. මේ ආගාධයෙන් එතෙරවිය යුතුය. පිඩනයෙන් කම්පිතව එහිම ගැලී අසරණව සිටින හදවත් ලෙල දෙන මොහොතක් අනිවාර්යයෙන් ඇත. ඒ මොහොත උදාවන්නේ කෙදිනද? ලිබියානු නායක ගඩාෆි ගේ ජිවිතයේ අවසානය අනපේක්ෂිත එකකි. ඔහුගේ පාලනය ඔහුට අනන්‍යය. එම පාලනයේ අවසානය සංකේතවත්කරන හැරවුම් ලක්ෂ්‍යයක් තිබිණ. මර්දනය තිබිණ. තෙල් ධනය බෙදී ගිය ආකාරය ගැන ජනතාව ප‍්‍රශ්න කළේය. මතුපිටින් නොපෙනී ක‍්‍රමයෙන් උත්සන්න වූ ප‍්‍රශ්න පුපුරා ගියේය. ඉතිහාසය දෙස බලන්න. හිට්ලර් බිහිවූයේ ඇයි? චේගුවේරා බලවත් වූයේ කොහොමද? ගාන්ධි චරිතයක් වශයෙන් ජන නායකත්වයට පත්වූණේ කොහොමද? කස්ත්‍රෝ හෝ කොමෙයිනි සැසඳිය හැකිද?

සමාජයේ පුරුෂාර්ථ අභියෝගයට ලක්ව ඇත. ශ‍්‍රී ලංකාවේ පමණක් නොවේ. ලෝකයේ හැම තැනෙකම අලූත් අභියෝග එල්ලවෙයි. මතවාද නැගෙයි. අතීතයට වඩා වෙනස්ය. මේ මත නැගෙන්නේ අලූත් පැත්තකින්ය. තොරතුරු තාක්ෂණය එයට එකතු වී තිබේ. නොයෙකුත් අදහස් මතිමතාන්තර නොයෙක් දිසාවන්ගෙන් අන්තර් ජාලයට එකතු වෙයි. එහි හරය අවබෝධ කර ගැනීම පහසු නැත. පාලනයකින් තොරය. සම්මත මතවාද වෙනුවට එකතු වන සංවාද සමාජය බේධ කරයි. අනවශ්‍ය පැති කරා යොමු කරයි. තොරතුරු තාක්ෂණය අද ලෝකයට හැරවුම් ලක්ෂ්‍යයකි. මේ අනුව යුගය වෙස් වී තිබේ. සමාජය විවිධ යුග පසුකර තිබේ. ගල් යුගය අතීතයටය. කාර්මික යුගය පසුකර තාක්ෂණ යුගයට ලෝක ප‍්‍රජාව පැමිණ තිබේ. පරිවර්තනයක් සිදුව ඇත. අපේ සමාජය මේ දියුණුවට ඇතුල් වී තිබේද?

කතා කරන්න. අප ජීවත්වන්නේ මවාගත් ක‍්‍රමයකය. ලෝකයේ සිදුවන දේ පිලිගන්නට සූදානම් නැත. තෙල් මිළ වැඩි වෙයි. ආහාර හිඟවෙයි. ජනගහනය වැඩිවෙයි. කර්මාන්ත බිඳවැටෙයි. දේශපාලන ක‍්‍රම වෙනස්වෙයි. අපේ මහජනතාවට මේ වෙනස්කම් විඳින්නට සූදානම් ද? පවතින ක‍්‍රමය මේ වෙනස්කම් සඟවා මහජනතාව හීන වල සතපවයි. දේශපාලනයේ හැටි එහෙමය. නොදැනෙන්නට රිදවයි. දුප්පතුන් දුප්පත් වෙති. එවිට සහනාධාර සැපයේ. එයට ද දේශපාලන අනුග‍්‍රහය අවශ්‍ය සාධකයකි. ජාති. ආගම්, කුල බෙදීම් වැඩිය. පක්ෂ වශයෙන් බෙදී ඇත. ප‍්‍රතිපත්ති නොසැලකේ. එකමුතුබව අඩුය. හැම දෙනෙකුගේ ම අදහස තනිව දිනන්නටය. අනෙකා ගැන නොතකන අතර පුද්ගල චරිත ඉස්මතුව තිබේ.

යුද්ධයෙන් ගැටුම් වලින් විනාශය කරා තල්ලූ වී ගිය රටක් යළි ගොඩනගන ආකාරය නැවුම් හැරවුම් ලක්ෂ්‍යයකි. බලවේග අවදිවෙයි. මේ බලවේග පාලනය කරන්නට යාම භයානකය. බලහත්කාරය හානියකි. තොරතුරු හුවමාරුව වේගවත්වීම සමාජ පරිවර්තනය නොයෙක් හැඩ ගෙන තිබේ. එයින් හානි වන අවස්ථා ඇත. දශක ගණන් පැවති පාලනක‍්‍රම බිඳ වැටෙයි. සමාජක‍්‍රම වෙනස් වෙයි. මේ සියල්ල ගැන එකින් එක වෙනම කතා කරන්නට සිදුව තිබේ. ප‍්‍රායෝගිකව හිතන්න එයින් අවස්ථාව හදා ගනිමු. අනාගතය දරුවන්ටය. දරුවන් වෙනුවෙන් ජන සමාජය ගොඩනැගිය යුතුය. පරිවර්ථනයක් සිදුවිය යුතුය.