» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
06/10/2013 - ඉරිදා ලංකාදීප
රාජකීය තැපැල් සේවයෙන් බෙදා හරින පණිවුඩය - මිලින්ද මොරගොඩ

ජාත්‍යන්තර සමාජය තුළ අලුත් පරිවර්තනයක් සිදුවෙමින් තිබේ. කාර්යක්ෂමතාව සහ ඵලදායිත්වයට එහි පළමු තැන ලැබෙන බව පෙනේ. කිසියම් කාර්යයක් තව දුරටත් පවත්වාගෙනයාම ඵලදායී නැති බව අවබෝධ වන විට එය වෙනස් කිරීමෙහි අවශ්‍යතාවය පැන නැගේ. වෙනසකින් තොරව අඛණ්ඩව පැවැති තත්ත්වයෙන්ම ගෙන යන්නට නම් කිසියම් මිලක් ගෙවිය යුතුය. එම වියදම උසුලන්නේ සමාජයයි. වර්තමාන තරගකාරී ආර්ථික ප්‍රතිපත්ති අනුව යම් සේවාවක් නිසි ආකාරයට පවත්වාගෙන යන්නට සමාජය තුළ උවමනාවක් තිබිය යුතුය. එම උවමනාව වෙනුවෙන් සමාජය ගෙවන වන්දියක් ද ඇත. එය තක්සේරු කළ හැකි එකකි.

බ්‍රිතාන්‍ය සම්ප්‍රදායට ගරු කරන රටකි. එහි නීතියට වඩා ඇත්තේ සම්ප්‍රදාය බව අධ්‍යයනය කරන විට පෙනෙන කරුණකි. නමුත් වත්මන් සමාජ ගෝලීයකරණය තුළ අවශ්‍ය පරිදි අලුත් අත්හදා බැලීම් කරන්නට සූදානම් බව බ්‍රිතාන්‍ය ක්‍රියාකරන ආකාරයෙන් නිරික්ෂණය කළ හැකිය. අලුතෙන්ම වාර්තාවන්නේ එරට රාජකීය තැපැල් සේවාව පුද්ගලීකකරණය කිරීමේ තීන්දුවය. එරට තැපැල් සේවාව වසර පන්සියයක් පැරණිය. එය පුද්ගලිකකරණය කරන බව බ්‍රිතාන්‍ය රජය පසුගියදා නිල වශයෙන් නිවේදනය කළේය. එය විශේෂිත සිදුවීමකි. පසුගිය වසර දහය තුළ බ්‍රිතාන්‍යයේ කරන ලද විශාලතම පුද්ගලීකකරණ ව්‍යාපෘතිය එය බව අනාවරණය වෙයි.

රාජකීය තැපැල් සේවාව ආරම්භවන්නේ 1516 දීය. අටවැනි හෙන්රි රජ ආරම්භ කරන ලද මෙම සේවාව සතුව විශාල ‍ඓතිහාසික වටිනාකමක් ද තිබේ. මුල් වකවානුවේ මෙම සේවාව තැපැල් ලිපි බෙදීම ආදායම් මාර්ගය කරගෙන සිටියේය. තැපැල් කාර්යාලය සහ එහි කරන මුද්දර විකිණීම බ්‍රිතාන්‍ය තැපැල් සේවයට තවදුරටත් ආදායමක් නොවේ. පාර්සල් බෙදා හැරීම රජකීය තැපැල් සේවයේ හොදම ආදායම උපයන මගයි. තොරතුරු වලට අනුව එම ආයතනයේ වාර්ෂික පිරිවැටුම රන් පවුමි බිලියන නමය ඉක්මවන බව මෙම වසරේ මාර්තු මාසයේ මුල්‍ය වාර්තා පෙන්වා දෙයි. එම කාලය තුළ ලාභය දෙගුණයකින් වර්ධනය කරගෙන ඇත. එයින් වටහාගත යුතු කරුණ නම් මෙම පුද්ගලීකකරණයට හේතුව ආයතනයේ අලාභය ‍පමණක් නොවන බවය. තැපැල් සේවාව පුලුල් කර එහි සේවය කරන එක් ලක්ෂ පහලොස් දහසකට වැඩි සේවක පිරිසකගේ වෘත්තීය තත්ත්වය නැංවීම එහි ඉලක්කයයි. පවතින ලිපි සහ පාර්සල් බෙදීමට වඩා වෙනස් ව්‍යාපාරික පැත්තක් දක්වා රාජකීය තැපැල් සේවය යොමු කරන්නට හැකියාවක් ඇති බව එරට බලධාරීහු පෙන්වා දෙති.

එනමුත් යම් පරිවර්තනයක් කිරීම පහසු නැත. පවතින දෙය වෙනස් කර අලුත් ව්‍යාපාර ගොඩනගන බව සදහන් කළ ද සේවයකයන් එයට කැමැත්තක් නොදක්වයි. විශ්වාස කරන්නේ නැත. බ්‍රිතාන්‍යයේ තැපැල් වෘත්තීය සමිති පවා රාජකීය තැපෑල පුද්ගලීකකරණය කරන යෝජනාව ඉදිරිපත් කළ සෑම අවස්ථාවක දීම එයට විරුද්ධ වී තිබේ. පසුගිය වසර දහ නමය ඇතුලත එම යෝජනාව බරපතල විරෝධතා හෙයින් තුන් වතාවක් ආපසු ඉවත් කරගෙන ඇත. දැන් සිදුකරන පුද්ගලීකකරණය අනුව එරට කොටස් වෙළද පොල මගින් සේවාවේ සෑහෙන කොටස් ප්‍රමාණයක් විකිණෙන අතර බ්‍රිතාන්‍ය රාජකීය තැපෑලේ සේවකයන්ට ද කොටස් යම් ප්‍රතිශතයක් හිමිවෙයි. වසර පන්සියයකට වැඩි ඉතිහාසයක් ඇති තැපැල් සේවය රජය සතු භූමිකාව අවසන් කිරීමට වඩා අවධානය යොමුකළ යුතු එයින් ඉනික්බිතිව සිදුවිය හැකි වෙනස සම්බන්ධවය.

ශ්‍රී ලංකාවට ද මෙය ඉතාම වැදගත් ආදර්ශයක් සපයයි. බ්‍රිතාන්‍යයේ පමණක් නොව ‍ලෝකයේ නොයෙක් රටවල රාජ්‍ය ව්‍යවසාය පුද්ගලික අංශයට පවරන්නට පටන්ගෙන තිබේ. යුරෝපීය රටවල් චීනය සහ ඉන්දියාව පවා පුද්ගලික අංශය සතු ආර්ථික ශක්තිය ගැන නිසි තක්සේරුවකට පැමිණ ඇත. රජය පමණක් අධිකාරියක් වශයෙන් ව්‍යවසාය මෙහෙයවන විට සහ එය පවත්වාගෙන යන ආකාරය අනුව සමාජයට අනිවාර්ය බරක් දරන්නට සිදුවන බව පිළිගැනීමයි. ව්‍යවසාය මෙ‍හෙයවන්නට ඇතුලත්වන සම්පූර්ණ වියදම රජය දරන බව පෙන්වන නමුත් අවසානයේ දී ඒවා ආවරණය වන්නේ මහජනතාව ගෙවන බදු වලින් බව ඔප්පු වෙමින් තිබේ. රජය කුඩා සහ කාර්යක්ෂම වන විට එහි නඩත්තු වියදම අඩුවන අතර එය කෙළින්ම මහජනතාවට ලැබෙන සහනයකි. විශාල කාර්ය මණ්ඩල සහිතව රජයේ ආයතන පවත්වාගෙන යාමෙන් තරගකාරීත්වයක් අපේක්ෂා කළ නොහැකිය. නියම කරන මිලට සේවය සපුරා ගන්නට මහජනතාවට සිදුවෙයි. එය යල් පැන ගිය අකාර්යක්ෂම එකක් බව පැහැදිළි වෙමින් තිබේ.

ව්‍යාපාර මෙහෙයවීම රජයට කළ හැකි දෙයක් නොවන බව අද පවතින පිළිගැනීමයි. ලෝකය පුරා එයට අවනත වන පදනමක් සකස් වෙමින් තිබේ. රටට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය ආණ්ඩුව සතු වගකීමක් වන අතර සමාජය තුළ යම් අසාධාරණයකට ලක්වන පිරිස රුක බලා ගැනීමට සහ යුක්තිය ඉටු කිරීමට ආණ්ඩු ඉදිරිපත් විය යුතු බව අවධාරණය වෙයි.

රජය සතු ව්‍යවසාය පුද්ගලීකකරණය වන විට එය මහජන දේපොල විකුණා ජීවත්වීමක් බවට චෝදනා නැගෙයි. එහි යම් පසුබිමක් තිබේ. රජයේ ආයතනයක් පුද්ගලීක අංශයට විකිණීමෙන් පසු ලැබෙන ආදායම රජයේ අය වැයට එකතු වෙයි. අය වැය හිගය පියැවීම එයින් සිදුවන අතර අවුරුදු හත අටක් ඇවෑමෙන් ව්‍යවසාය විකිණීමෙන් ලත් ආදායමට සිදුවූයේ කුමක්දැයි මතක නැත. විපක්ෂ දේශපාලනය පහසුවෙන් මතු කරන රජයේ දේපොල විකුණන අදහසට විශාල ජනමතයක් ගොඩනැගිය හැකිය. රජයට අයත් සාර්ථක හෝ අසාර්ථක ව්‍යවසාය නවීකරණය කරන තින්දුවකට එළැඹීම පහසු නැත. වෙනස්කිරීම හමුවේ වෘත්තීය සමිති සහ සේවකයෝ විරෝධය පළ කරති. පුද්ගලීකකරණයට ද එරෙහිව මත ඇතිවෙයි.

අලුත් දේ ගැන අවධානය යොමු කරන විද්වත්හු එයට ද උත්තරයක් සොයා ගෙන තිබේ. ජර්මනිය වතාවක් එය සාර්ථක ලෙස අත්හදා බැලුවේය. ජර්මන් රජයට අයත්ව තිබුණ වොක්ස්වාගන් වාහන නිෂ්පාදන සමාගම පුද්ගලීකකරණය කිරීමේ ව්‍යාපෘතිය එයයි. පුද්ගලීකකරණයෙන් මතුවන ගැටලුවකට ගැල‍පෙන යහපත් ආදර්ශයක් එයින් සැපයීය. මෙම සමාගම පුද්ගලීකකරණය කිරීමෙන් උපයා ගත් මුදල වෙනම භාරයක තැන්පත් කිරීමට ජර්මන් රජය තීරණය කළේය. එයට අනුව එම මුදල වෙනම භාරයක පවත්වාගෙන යමින් සමාජයේ සුබසාධනය අවශ්‍ය තැන් වලට එයින් උපයන ධනය වියදම් කළේය. සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යනවාටත් වඩා පහසුවෙන් දක්ෂ කළමණාකාර පිරිසකට අරමුදල් භාරයක් පවත්වාගෙන යා හැකි බව මෙයින් ඔප්පු කරන්නට හැකියාව ලැබිණ. එය අලුත් අවස්ථාවකි. රජයට අයත් ව්‍යාපාරයක් පුද්ගලීකකරණය කරන විට උපයන ධනය මහජනතාවට විනිවිද පෙනෙන ආකාරයට දැක බලාගත හැකි වන ආකාරයේ අරමුදල් භාරයක් ඇති කිරීමෙන් එම උපයන මුදල රජයේ අය වැය පියවන්නට යොදවා ගත නොහැකිය. එයට ඉඩකඩ ඇවිරෙයි. විපක්ෂ දේශපාලනඥයන්ට රජයේ දේපොල විකුණා උපයාගත් ආදායම ගැන ප්‍රශ්න කරන්නට ඇති අවස්ථාව මෙමගින් සම්පූර්ණයෙන්ම අවහිර වෙතැයි සැලකෙයි. එය ආණ්ඩුවකට තමන්ගේ ව්‍යවසාය ගැන සලකා බලන්නට හැකි තවත් ආකාරයකි.

ලාභ උපයන රාජකීය තැපැල් සේවාව එහි ඇති ඓතිහාසික වටිනාකම නොසලකා පුද්ගලික අංශයට පවරන්නට බ්‍රිතාන්‍ය රජය යෝජනා කරන විට මෙරට ප්‍රතිපත්ති සම්පාදකයන් යම් අධ්‍යයනයක නිරතවීම අවශ්‍යය. එසේ කරන්නට තැත් දරන්නේ මන්දැයි විමසීම වැදගත්ය. ජාත්‍යන්තරයේ සිදුවන්නේ කුමක්ද යන්න ගැන සමාජය තුළ ‍යම් සංවාදයක් තිබිය යුතුය. පුද්ගලීකකරණය යනු හුදෙක් රජය සතු ආයතන විකුණා ආදායමින් අය වැය පියැවීම පමණක් නොවේ. ධනය බිහි කරන්නට පසුබිම සැකසීමක් බව අද පිළිගෙන හමාරය. ආයෝජනය කර දක්ෂ අන්දමට කළමණාකරනය කර ආයතන පවත්වාගෙන යන්නට හැකියාව ඇති කොටසට එයට ඉඩ දෙන අතර එයින් උපයන ධනවයන් කොටසක් බදු වශයෙන් පවරා‍ගෙන සමාජයේ සහන අවශ්‍යව ඇති කොටස් වලට සහන සැපයීම සුදුසු බව ඔප්පු වෙමින් තිබේ. එය ද කරන ආකාරය සම්බන්ධව විවිධ නිර්මාණාත්මක පැති ඇති බව ජර්මනිය දක්වයි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.