» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
06/01/2013 - ඉරිදා ලංකාදීප
2025 දි ඇතිවිය හැකි ජාත්‍යන්තර ස්වභාවය ගැන දැක්මක් - මිලින්ද මොරගොඩ

තවත් අවුරුද්දක් ගෙවී යයි. අලූත් බලාපොරොත්තු සමග උදා වි ඇත්තේ 2013 වසරයි. ගෙවුණ වසරේ දී පමණක් නොව උදාවන සෑම වසරකම අපේක්ෂා බලාපොරොත්තු සම්බන්ධ හැගීම් බලවත්ව තිබෙන්නට ඇත. ඒ අප සියලූ දෙනාටමය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුව ජන නායකයන් තෝරා අනාගතය ගොඩනැගීම ඔවුන්ට පවරන නමුත් සමාජයට ද එහි වගකීමක් තිබේ. අනාගතය ගොඩනගා ගත යුතු අපගේම මැදිහත්වීමෙන්ය. ලෝකයේ කොතැනකින් හෝ ශ‍්‍රී ලංකාවේ අනාගතය සාක්ෂාත් කරන්නේ නැත. ප‍්‍රශ්න වලට විසදුම සොයා ගැනීමේ වගකීම අපට ම භාර වූ වගකිමකි.

ශ‍්‍රී ලංකාව දීර්ඝ ඉතිහාසයක් ඇති රටකි. එහි සංස්කෘතිය, අනන්‍යතාවය බෙහෙවින් අද මිශ‍්‍ර වී තිබේ. යටත්ව ගත කළ යුගය හා එයින් පසුව ගත කරන ලද දශක හයහමාරකට ආසන්න කාලය විවිධ තත්ත්වයන්ට මුහුණ දුන් කාල පරිච්ඡේදයකි. නිදහසින් පසු ගතවූ කාලය තුළ දේශපාලනික වශයෙන් නොයෙකුත් අත්හදා බැලීම් වල නිරතව සිටියේය. පවතින ක‍්‍රමය වෙනස්කර අලූත් මුහුණුවරකට ගමන් කිරීම වෙනුවෙන් තරුණ පෙළ ගෙවන ලද වන්දිය බරපතල එකකි. රට දියුණු කරන්නට ගත් නොයෙකුත් කි‍්‍රයාමාර්ගයන්හි අවසන් ප‍්‍රතිඵලය අද අප හමුවේ ඇත.

දියුණු රටවල් බුද්ධිමතුන් සහ විශේෂිත සංවිධාන දායක කරගනිමින් තමන් ගේ ගමන් මග සහ අනාගතය ගැන පර්යේෂණයන්හි නිරත වෙති. අමෙරිකාවේ ජාතික බුද්ධි කවුන්සලය වසර 2025 වන විට ලෝකයේ හැඩතල කෙබදුවිය හැකි දැයි පර්යේෂණයක නිරතව තිබේ. එම වාර්තාව Global Trends 2025 – A Transformed World නමින් ප‍්‍රකාශයට පත්ව ඇත. එම වාර්තාව ගෝලීයකරණයට මුහුණ දෙන ලෝකය තුළ විය හැකි දේ හා එයින් සිදුවිය හැකි ප‍්‍රතිඵලය ගැන දක්වයි. විය නොහැකි පැති ගැන ද අනාවරණය කරන අතර එයින් සිදුවන අවාසි ද විග‍්‍රහයට ලක්කරයි. ඇමරිකානු බුද්ධි කවුන්සලය අනාවරණය කරන මෙම තොරතුරු වාර්තාව පෙන්වන්නේ එරටට මුහුණ දෙන්නට සිදුවිය හැකි අභියෝග ගැනය. ලෝකයේ බලවත් ම රට වශයෙන් සැලකෙන්නේ අමෙරිකාවයි. එය විශාලතම ආර්ථිකය හිමි රට ද වෙයි. දැනට පෙනෙන එකී විශාලත්වයට ඉදිරි කාලයේදී එල්ල වන අභියෝග මෙම පර්යේෂණයෙහි සියුම්ව අනාවරණය කර තිබේ. අමෙරිකානු බුද්ධි කවුන්සලය එරට ගැන දක්වන දත්ත සහ අනුමාන ශ‍්‍රී ලංකාවට වැදගත්ම විය නොහැකිය, අප රටට ද වසර 2025 වන විට එල්ලවිය හැකි ආර්ථික සහ සාමාජයීය තත්ත්ව ගැන අනුමානයක සිටීම වඩා ප‍්‍රායෝගිකය.

අමෙරිකානු බුද්ධි කවුන්සලයට අනුව වසර 2025 වන විට රටවල් අතර ඇති බලය අලූත් මුහුණුවරක් ගනු ඇත. දැනට ලෝකයේ පිලිගැනීමට අනුව ආර්ථික හා යුද ශක්තිය අතින්බලවත්ම රට අමෙරිකාවයි. නමුත් නුදුරු කාලයේ දී චීනය, ඉන්දියාව ඇතුළු නොයෙකුත් රටවල බල අධිකාරිය දැනට වඩා බලවත් විය හැකිය. එය ඔස්සේ ව්‍යාපාරික, ආගමික, රාජ්‍ය නොවන සංවිධාන පමණක් නොව දරුණු අපරාධ කල්ලි ද ඇතිවිය හැකියැයි නිරීක්ෂණය කෙරේ. රාජ්‍යය යන සම්මත සීමා ඉක්මවා යන්නට හැකියාව ඇත. සම්ප‍්‍රදායිකව දැනට පවතින බටහිරට නතු ස්වභාවය ගිලිහීයාම එයින් අපේක්ෂා කරන්නට හැකි බව ද මෙම වාර්තාව සදහන් කරයි. සංවර්ධනය හා දේශපානලය සම්බන්ධ දැනට ඇති බටහිර ආකෘතිය වෙනුවට ලෝකයේ නොයෙකුත් රටවල් විකල්ප වශයෙන් නැගෙන චීන සංවර්ධන ආකෘතියට ග‍්‍රහනය වනු ඇති බව ද පළවෙයි. මෙම වාර්තාවේ තවත් අනුමානයක කියැවෙන්නේ ආර්ථික ඉසුරුමත්බව සම්බන්ධව බටහිර තුළ ඇති අධිකාරිය එහි සිට ලෝකයේ නැගෙනහිර ප‍්‍රදේශයට ගලා යා හැකි බවය. එහි ප‍්‍රතිඵලක් වශයෙන් සමහර රටවල් නව ආර්ථික ආකෘති සමග දියුණුවන අතර භූගෝලිය වශයෙන් ඇති අවස්ථා සමග ස්ථිරසාර සංවර්ධනයකට යොමු විය හැකිය. මෙහිදී බලවත්වන ඇතැම් රටවල් බටහිර පැවැත්මට යම් අභියෝගයක් විය හැකි බව ද එහි ප‍්‍රකාශ වෙයි. දර්ශකය අනුව අමෙරිකාව ලෝකයේ උසුලන තැනින් තරමක් පහතට මාරුවන නමුත් තනි රටක් වශයෙන් ලෝකය තුළ තවදුරටත් පවතින්නට හැකියාව ලැබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් තමන් සතු ආර්ථික සහ ආරක්ෂක නිපුණතා ආරක්ෂා කර ගැනීමට දැනට වඩා වෙහෙසෙන්නට අමෙරිකාවට සිදුවන අතර එයින් අමෙරිකාව තුළ හා සබ`දතා ඇති රටවල් සමග විදේශ ප‍්‍රතිපත්ති හමුවේ පැන නගින අසිරුතා මැඩපවත්වන්නට ද මහන්සි වීම අනිවාර්යය බව දැක්වේ.

අමෙරිකානු ජනගහනය තවත් බිලියන 1.2 කින් ඇමරිකාව තුළ වැඩිවන අතර බලශක්තිය, ආහාර සහ පිරිසිදු ජලය සම්බන්ධව තරමක අර්බුද ඇතිකරනු ඇත. මෙම කාලය තුළ විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධ නව සොයාගැනීමි එයට යම් පිටුවහලක් වෙයි. පවතින තාක්ෂණය හා සම්ප‍්‍රදායික බලශක්ති ප‍්‍රභව අවශ්‍යතා පරිදි සහමුලින්ම වෙනස් රාමුවකට ගමන් කරන්නට ඉඩ තිබේ. විශේෂ අවධානයක් යොමු වී ඇත්තේ ලෝකයේ තරුණ ජනගහනය ප‍්‍රතිශතයක් වශයෙන් අඩුවීම ගැනය. එනමුත් ඇතැම් රටවල එයට විරුද්ධ පත්තකට ගමන්කරමින් තරුණ පිරිස වැඩිවිය හැකි බව පර්යේෂණ වාර්තා අනාවරණය කරයි. එයින් සිදුවිය හැකි දෙය නම් ඇෆ්ගනිස්තානය, නයිජීරියාව, පකිස්තානය සහ යේමනය වැනි රටවල තරුණන්ගේ විරැකියා ප‍්‍රශ්න විසදාගත නොහැකිවුවහොත් අඛණ්ඩව අස්ථාවර හා අසාර්ථක භාවයට මුහුණ දෙනු ඇති බව එහි කියැවේ. මෙම බුද්ධි කවුන්සල වාර්තාවට අනුව මැදපෙරදිග ඇතැම් රටවල දේශපාලන ස්ථාවර බාවය තවදුටත් පවතින්නට ඉඩ තිබේ. කලාපීය සමබරතාවය ආරක්ෂා කිරීම හමුවේ වසර 2025 වන විට අමෙරිකාවේ අවධානය යොමු කරන්නට සිදුවන අතර කෙසේ නමුත් සෙසු බලවතුන් විය හැකි රුසියාව, චිනය සහ ඉන්දියාව අදට වැඩි කාර්ය භාරයක් මැදපෙරදිග සම්බන්ධයෙන් උසුලන්නට ඉඩ ඇති බව ද දක්වයි.

අමෙරිකානු වාර්තාවට අනුව ඉතාම සැලකිල්ලක් දැක්විය යුතු පැත්තක් වන්නේ ත‍්‍රස්තවාදයේ නව මුහුණුවර සම්බන්ධයෙන් දක්වන කරුණු කෙරෙහිය. 2025 වන විට ලෝකයේ ත‍්‍රස්තවාදී ප‍්‍රශ්න සිමා සහිත විය හැකිය. නමුත් එයට බලපාන මූලික සාධකයක් වන්නේ ආර්ථික සංවර්ධනය සමාජයේ සෑම කොටසකටම පැතිරයාම හා මැදපෙරදිග ඇතුළු කලාපයේ විරැකියාව දුරුවන තරමටය. ත‍්‍රස්තවාදය ද දැනට ඇති මුහුණුවරට වසා සංකීර්ණ හා භයානක තත්ත්වයකට පත්විය හැකි බව මෙහි අනතුරු අගවයි. භයානක කල්ලි අලූත් මුහුණුවරකින් ඇතිවිය හැකි අතර ඔවුන් තාක්ෂණික පැත්තෙන් ද සන්නද්ධ විය හැකිය. මෙම අලූත් තාක්ෂණික වශයෙන් දියුණු තත්ත්වයට පත් ත‍්‍රස්තවාදීන් එහි සෘජු හැකියාවන් අනුව සිය ඉල්ලීම් දිනා ගැනීමට රසායනික ද්‍රව්‍ය හා ජෛව තාක්ෂණික ප‍්‍රහාර වලට නැඹුරු වන්නට ඉඩ තිබෙන බව දැක්වේ. එයින් සිදුවන විනාශය දරුණු හා මනුෂ්‍ය සංහතියේ ඉරණමට එල්ල කරන අනතුර සු`ථ එකක් නොවේ. වසර 2025 වන විට ලෝකයේ හැඩ තල වෙනස්වන ආකාරය අනුව මෙවැනි උපකල්පන වලින් පූර්ව සූදානමකට යා හැකි බව වාර්තාවේ නිගමනයයි.

බලවත් රටක් වශයෙන් අමෙරිකාවට අභියෝගයක් වනු ඇතැයි දැනට නිරීක්ෂණය කළ නොහැකි වකවානුවක එරට ජාතික බුද්ධි කවුන්සලය තවත් අවුරුදු දහයක් දොලහක් ගතවීමෙන් පසු බිහිවන යුගය ගැන ඉදිරි දැක්මක් ප‍්‍රකාශයට පත් කර ඇත. එයින් කියැවෙන පණිවුඩය ඉතාම වැදගත්ය. ලෝකය විවිධ කාල පරිච්ඡේද වලදී එහි බල රාමුව වෙනස් කරගෙන ඇත. කලක් නැගෙනහිර පැවති බලය බටහිරට ඇදී ගියේය. අමෙරිකානු ඉතිහාසයට අනුව එරට ගමන් මග සියවස් දෙකකට වඩා වැඩි නැත. නමුත් එයට වඩා විශාල ඉතිහාසයක් තිබුණ රටවල් අද පරිවර්තනයකට පසු අන් තැනෙක පසුවෙයි. අමෙරිකාව තමන් ගේ දක්ෂතා සහ නව සොයා ගැනීම් හමුවේ අලූත් යුගයක් උදා කරගත් අතර එම මාවත ඔස්සේ ගමන් කරන ජගත් ප‍්‍රජාව යම් කාලයක තමන්ට අභියෝගයක් වනු ඇත යන අවධානයෙන් ද සිටී.

ශ‍්‍රී ලංකාව වසර දෙදහස් සහ සියයකට වැඩි ඉතිහාසයක් සහිත රටකි. විවිධ කාල පරිච්ඡේදවල මෙරට තිබු හැකියාව හා දක්ෂතා ගැන නොයෙක් මති මතාන්තර තිබේ. පවතින ගැටලූ හමුවේ පවා අලූත් යුගයකට ඇතුළුවිය හැකි ආකාරය ගැන මැදහත්ව සිතන්නට රටට අවස්ථාව ඇත. බුද්ධිමතුන්, ප‍්‍රතිපත්ති සම්පාදකයන් සහ ජන නායකයන් රට ගැන ඉදිරි දැක්මක් සහිතව ක‍්‍රියා කළ යුතුය. ඉදිරි මැතිවරණය නොව ඊළග පරම්පරාව ඉලක්ක කර සැලසුම් සකස් කළ යුතුය. අපේ දරුවන්ට අපේ භූමිය තුළ නැගෙන්නටත්, ලෝකයේ සෙසු රටවල් සමග උරෙනුර ගැටී වැඩ කරන්නට හැකි සමාජ තලයක් බිහිකිරීමට පදනම සකස් කිරීම අප හැමගේ වගකීමකි. එයින් බැහැරවිය නොහැකි බව අමෙරිකානු ජාතික බුද්ධි කවුන්සලය වාර්තාව අපට දෙන කාරුණික දැක්මකි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.