» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
05/05/2013 - ඉරිදා ලංකාදීප
පොදු ජනතාව මුහුණ දෙන ගැටලූ - මිලින්ද මොරගොඩ

විදුලිය බලය පරිහරණය වෙනුවෙන් අයකරන ගාස්තුව වැඩි කිරීමට විදුලිය බල මණ්ඩලය තීරණය කර තිබේ. මෙම ගාස්තු වැඩිකරන ලද ප‍්‍රතිශතය ගැන බලවත් විවේචන එල්ල වී තිබේ. අලාභ පියවා ගන්නට වැඩි කරන ලද විදුලිය බිලට හමුවේ සාමාන්‍ය පාරිභෝගිකයන්ට ලබා දිය හැකි සහන ගැන රජයේ වගකිව යුතු අංශ අවධානය යොමු කරන බව පෙනේ. පසුගිය කාලය තුළ විදුලිය බල මණ්ඩලය වාර්තා කළ අධික අලාභ බරපතල විවේචනයට ලක්විය. සම්පූර්ණයෙන්ම නැතත් යම් ප‍්‍රමාණයකින් අලාභ පියවාගෙන විදුලිය බල සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන්නට හැකි පසුබිමක් සකස් කර ගැනීම නව ගාස්තු සංශෝධනයේ අරමුණ වූ බව පෙණින. විදුලිය බලය අත්‍යවශ්‍ය බලශක්තියකි. පොදු ජනතාව විදුලිය බලය බෙහෙවින් පාවිච්චි කරයි. ගෙවන මුදල ගැන අවබෝධයක් ඇති හෙයින් සාමාන්‍ය පාරිභෝගිකයන් විදුලිය පරෙස්සමකින් තොරව පාවිච්චි කරන්නේයැයි උපකල්පනය කළ නොහැකිය.

විදුලිය බල ගාස්තු වැඩිකරන්නට සති කිහිපයකට කලින් ඉන්ධන මිළ ද ඉහළ ගියේය. ඉන්ධන හා විදුලිය ගාස්තු එකතු වූ විට බලශක්තිය සම්බන්ධයෙන් තීරණාත්මක ආකාරයට පිරිවැය ඉහළ යාමේ පොදු පිඩනයකට මුහුණ දෙන්නට රටට සහ ජනතාවට සිදුව තිබේ. බලශක්තිය වෙනුවෙන් ගෙවන මිල ඉහළයාම හමුවේ කර්මාන්ත හා සේවා අංශ වල නිතිපතා දරන්නට සිදුවන වියදම ඉහළ යයි. එහි ප‍්‍රතිඵලය නිෂ්පාදන වියදම වැඩිවීමයි. එය පියවා ගැනීමට නම් භාණ්ඩ හා සේවා මිල වැඩි කිරීම විනා විකල්පයක් නැති බව පැහැදිලිය. අත්‍යවශ්‍ය දේ මිල වැඩිවීමෙන් ගැටලූවකට මුහුණ පාන්නේ එදිනෙදා ආදායමෙන් ජීවත්වන සාමාන්‍ය ජනතාවයි. තවත් වටයකින් ජීවන වියදම වැඩිවන විට ජනතාව නගන විරෝධය තව දුරටත් උත්සන්න වන බව නිසැකය.

මෙරට ජනතාව තමන්ට බලපාන විෂය කරුණු අතරින් ආර්ථිකය ගැන දක්වන අවධානය වැඩිවී ඇති බව පෙනේ. දසක තුනක කාලයක් ජන ජීවිතයේ ප‍්‍රදාන මාතෘකාවක් වූයේ යුද්ධයයි. භීතිය හා ත‍්‍රාසය වෙනුවට දියුණුව හා වර්ධනය ගැන සිතන්නට ලාංකේය සාමාන්‍ය ජනතාව නැඹුරු වෙමින් සිටී. පසුගිය වසර දෙක තුන තුළ සාමකාමි ජන ජිවිතය එයට මහත් උපකාරයක් විය. ජන ජිවිතය දියුණු වන්නට නම් රටක ආර්ථිකය ඉතාම වැදගත් බව පොදු ජනතාව අවබෝධ කරගෙන සිටී. ලංකාවේ ජීවත් වූ ඉකුත් පරම්පරාවට වඩා වත්මන් පරම්පරාව දැනුම හා අවබෝධය අතින් ද ඉදිරියෙනි. ලෝකයේ සිදුවන දේ ගැන දකින ජාත්‍යන්තරය සමග මුහු වූ පිරිස බහුලය. ලෝකයේ නොයෙක් රටවල සිදුවන දේ සම්බන්ධ අලූත් තොරතුරු නිතිපතා තමන් අතට ලැබෙන ආකාරයට ජනතාව තාක්ෂණයෙන් පොහොසත්ය. තවත් රටක් දියුණු වන විට තමන්ගේ මවුබිම තුළ ඇති ප‍්‍රශ්න ගැන පොදු ජනතාව ප‍්‍රශ්න කරන්නට පටන්ගනී. ආර්ථික දියුණුවට ගත යුතු තිරණ සහ පවතින විවෘත ආර්ථික ක‍්‍රමය හොදම ආර්ථික ක‍්‍රමය නොවන නමුත් එයට විකල්පයක් තවමත් නැති බව බුද්ධිමත් ජනතාව තුළ අවබෝධයක් තිබේ.

විවෘත ආර්ථික ක‍්‍රමය තුළ තරගකාරීත්වය අවශ්‍යය. සාමාන්‍යයෙන් තරගකාරී ස්වභාවය හෙයින් හොදම දේ නිපදවන්නට පසුබිම සකස්වෙයි. මිල තරගකාරීත්වයක් ද ඇතිවෙයි. අඩු මිලට හොද දේ තෝරා ගන්නට අවස්ථාව ඇති සමාජයක විවෘත ආර්ථික ක‍්‍රමයේ විපුල ප‍්‍රයෝජන අත්පත් කර ගත හැකිය. පවතින ව්‍යවසාය අතර, රාජ්‍ය පුද්ගලික අංශ අතර සහ රටවල් අතර ඇති වන තරගය යම් අවස්ථාවක සිමාව ඉක්මවා යා හැකිය. එයින් අසමාන තත්ත්ව ඇති වන්නට ඉඩ තිබේ. දියුණු රටවල් එවැනි අසාදාරණකම් වලින් පාරිභෝගිකයන් ගලවා ගන්නට නියාමන පද්ධති සකස් කර නීති වලට යටත් කර තිබේ. ශ‍්‍රී ලංකාවේ පවා නොයෙකුත් ක්ෂේත‍්‍රවල ඇතිවන තරගය නිසා පාරිභෝගිකයන්ට සිදුවන අවාසි මැඩ පවත්වන්නට නොයෙක් ආයතන ස්ථාපිත කර තිබේ. ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව විවෘත ආර්ථික ක‍්‍රමය තුළ ප‍්‍රයෝජනවත්ව වැඩෙන වැදගත් අංශ දෙකකි. නොයෙක් දියුණු පර්යේෂණ වල නිරතව කර්මාන්තයක හෝ සේවා අංශයක ඵලදායීතාව වර්ධනය කර ගත හැක්කේ කෙසේදැයි ජාත්‍යන්තර පර්යේෂකයෝ අවධානයෙන් සිටිති. එහි කාර්යක්ෂමතාව ඇති කිරීමෙන් වියදම අඩු කර ගත හැකි කවර ආකාරයකට දැයි විමසා බලති. කෘෂි භෝගයක ඵලදායිතාව වැඩිවන විට මූලික යෙදවුම්වලට සාපේක්ෂව වැඩි අස්වැන්නක් ලැබේ. නිසි කළමනාකරණ ශිල්ප අනුගමනය කිරීමෙන් වියදම අඩුකරගෙන හොද මිලක් ලබා ගැනීමට ඉඩ සැලසෙයි. එහි අවසන් ප‍්‍රතිඵලය පාරිභෝගිකයන්ට අඩු මිලකට හොද තත්ත්වයේ භෝග මිලදී ගැනීමට අවස්ථාව ලැබීමය. කවර ක්ෂේත‍්‍රයක වේවා සිදුවන එවැනි දාර්ශනික ආයෝජනයකින් රටට සහ සමාජයට වැඩි ප‍්‍රතිලාභ අත්පත් වෙයි.

ශ‍්‍රි ලංකාව මැදි ආදායම් ලබන රටක තත්ත්වයට පත්ව තිබේ. ඒක පුද්ගල ආදායම ඉහළ නැග ඇත. මහජනතාවගේ ජීවන තත්ත්වය උසස් වෙමින් තිබේ. නමුත් මෙම පරිවර්තනය සිදුවන වේගයට වඩා ඉක්මනින් මහජනතාවගේ ජීවන වියදම ඉහළ යාම අනපේක්ෂිත තත්ත්වයකි. මෙරට ඇති බලශක්තිය සම්බන්ධ ප‍්‍රශ්නය එහිලා මූලිකව බලපායි. රටට අත්‍යවශ්‍ය බලශක්ති අතරින් ඉන්ධන සම්පූර්ණයෙන්ම බාහිරව සපයා ගත යුතුය. විදුලිය නිපදවීමේ දී පවා හරි අඩක් ඉන්ධන පාවිච්චි කරන බව පෙනේ. මේ අනුව රට තුළ ජීවන වියදම සම්බන්ධයෙන් යම් වෙනසක් කරන්නට අවශ්‍යනම් මූලිකව බලශක්ති අංශය නිසි ආකාරයට කළමණාකරනය කර ගැනීම ඉතාම අවශ්‍ය කරුණකි.

සාමාන්‍යයෙන් මෙරට පැවති ඕනෑම ආණ්ඩුවක් අනුගමනය කළ ප‍්‍රතිපත්තිය වූයේ රජයේ ආදායම හා වියදම ගලපා ගැනීමයි. නමුත් ආදායම අඩුවන විට එය පිරිමසාගන්නට හැකි ආකාරයට කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ගැන ද සොයා බලන්නට වෙහෙසීම වැදගත්ය. නොඑසේ නම් ආන්ඩවේ ආදායම නංවා ගැනීමට තව තවත් බදු පනවන්නට සිදුවෙයි. බදු පැනවීම නිසා භාණ්ඩ මිල තවත් වටයකින් ඉහල නැගේ. බදු පැනවීමේ සීමාව ඉක්මවා ගිය තැන දෙස් විදෙස් ආයතන වලින් ණය ගනී. එවිට පොලියක් ගෙවන්නට සිදුවෙයි. එය උද්ධමනය තවත් වැඩි කරන කාරණයකි. නිෂ්පාදනය වැඩි නොවී, කාර්යක්ෂමතාවය, ඵලදායකත්වය හා තරගකාරීත්වය ගැන තීන්දු නොගෙන කි‍්‍රයාකිරීම නිසා උද්ධමනය පාලනය කිරීම අසීරු අවධියක් කරා ගමන් කිරිම රටක ආර්ථිකයට අනතුරුදායකය.

මේ නිසා රටක් වශයෙන් අප කළ යුතු වන්නේ විවෘත ආර්ථික ක‍්‍රමය තුළ විකල්පය සොයා ගැනීමයි. මෙරටට වඩා අඩු මිලට භාණ්ඩ නිපදවන්නට වෙනත් රටකට හැකියාව ලැබී ඇත්තේ කෙසේද යන ප‍්‍රශ්නය අප අපෙන්ම විමසීමයි. ඉතාම වැදගත්වන්නේ මෙම තරගකාරීත්වය ඇතිකිරීමයි. වෙනත් රටකට වඩා තත්ත්වයෙන් උසස් අඩු මිල භාණ්ඩ නිපදවා ගැනීමට ප‍්‍රයත්න දැරීමයි.

ජීවන වියදම වැඩිවන බව දැනෙන විට විරුද්ධ දේශපාලන පක්ෂ මතවාද අවුලවයි. ජනමතය නැග විරෝධතා ඇති කරයි. ඕනෑම ආණ්ඩුවක් පොදුවේ මුහුණ දෙන තත්ත්වයකි. එවිට තාවකාලික සහන දී මහජනතාව තවදුරටත් සැනසිය හැකිය. සහන වෙනුවෙන් වැය කළ යුතු ධනය සැලකියුතු මුදලකි. සහන වෙනුවෙන් අවශ්‍ය මුදල සොයා ගන්නේ ද පොදු ජනතාවගෙන් කරන වක‍්‍ර බදු අයකිරීමෙන් බව අවබෝධ කර ගැනීම වටී. අද උපයන සහනය වෙනුවෙන් මතු දිනයක වන්දි ගෙවන්නට සමාජයට සිදුවෙයි. සමාජයේ ජිවන වියදමෙන් පිඩනය ලබන කොටසට සහන වෙනුවට ඔවුනගේ අතට ධනය නිපදවන අවස්ථාව වැඩිපුර ලබාදීම කෙරෙහි සැලකිලිමත්වීම අවශ්‍යය. ව්‍යවසායකත්වය ඇතිකිරීමට අවශ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීම වැදගත්ය. ඒ සදහා ඉතාම වැදගත්වන්නේ දැක්මක් ඇතිව අවශ්‍ය ආර්ථික රාමුව සකස් කර ගැනීමයි. පවතින ක‍්‍රමය වෙනස් කරන්නට නම් ආර්ථික ප‍්‍රතිසංස්කරණ රටට හදුන්වා දිය යුතුය. අද රටට අවශ්‍ය මතු පරම්පරාවට ගැලපෙන ආර්ථිකයක් ඇති රටක් බිහි කිරිමයි. දරුවන් වෙනුවෙන් යහපත් ආර්ථිකයක් ඇති කරන්නට නමි දීර්ඝ කාලීනව බලා යහපත් තීන්දු වලට වහා එළැඹෙන්නට සිදුවෙයි.

විදුලිය බලය ගාස්තු සංශෝධනය සමාජයට තිත්ත කසායක් වී තිබේ. විදුලිය බල මණ්ඩලය පවතින තත්ත්වයෙන් මුදා ගන්නට නම් සමාජයේ සියලූ දෙනාට මෙම තිත්ත කසාය බොන්නට සිදුවීම වැලැක්විය නොහැකිය. කලින් කලට කසාය බොමින් ගත කරන ජීවිතයට වඩා පවතින රෝග නිධානය සොයා එකවර පිලියම් යොදන්නට මහන්සි දැරීම ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි. අවශ්‍ය යෝජනා සකස් කර සමාජයට ඉදිරිපත් කර සංවාදයක් ඇති කිරීඹ අවශ්‍යය. තීන්දු නොගෙන ඉදිරියට යා නොහැකි බව ජනතාවට ඒත්තු ගැන්වීම උවමනා බව පැහැදිලිව පෙනේ. වෙනසක් තුළින් විනා පවතින ස්වභාවය අලූත් මුහුණුවරකට ඇතුළු කිරීම අපහසුය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.