බන්ධනාගාරය වැරදිකරුවන්ටය. වරදක් සිදුවී ඇති බව ඔප්පුකරන තෙක් සැකකරුවෝද රක්ෂිත බන්ධනාගාර ගත කරති. එසේ කරන්නේ සැකකරු නිදහසේ සිටීමෙන් යුක්තිය පසිදලීමේ දී බාධා වෙතැයි යන අදහසින්ය. රක්ෂිත බන්ධනාගාරයේ පසුවෙන සැකකරුවන්ට මෙන්ම දඬුවම් විඳින්නන්ට ද ඇත්තේ එක හා සමාන පරිසරයකි. ශ‍්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය අනුව එහි වඩා වැඩි පහසුකම් නැත. එය යටත් විජිත සමයේ ඉදිවූ ගොඩනැගිලි පද්ධතියකි. ඉඩකඩ අඩු හා පහසුකම් අතින් දුර්වල තැනකි. පසුගිය දා කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිදුවූ ගැටුම බන්ධනාගාරයේ වර්තමානය දෙස පුලූල් සමාජ අවධානයක් යොමු කරන්නට හේතු විය.
බන්ධනාගාර ගතව සිටින පිරිස විශාලය. එය දිනපතා අඩු වැඩි වෙයි. 2010 වසරේ දී කරන ලද සමීක්ෂණයක දත්ත එහි අභ්‍යන්තරය ගැන යමක් දක්වයි. දඩුවම් නියමව සිටි 32,128 ක් වූ සිරකරුවන්ගෙන් සියයට පණහක් එනම් 16,061 ක් සිරගතව සිටියේ අධිකරණයෙන් නියම කරන ලද දඩ මුදල් ගෙවා ගත නොහැකි වීම නිසාය. සිරගත වී සිටි එකී නේවාසිකයන් වැඩි දෙනෙකුගේ ගේ දඩ විශාල ගණන් නොවේ. එනමුත් එය ගෙවාගන්නට වත්කමක් නැති වැරදිකරුවන් වෙනුවෙන් වන්දි ගෙවන්නේ මහජනතාවයි. සිරකරුවන් නඩත්තුවට වැය කරන්නේ රජය මහජනතාවගෙන් අයකරන බදු මුදල්ය. බදු ආදායම යා යුතු මහජන සුබසාධනයටය. රටේ සංවර්ධනයටය. දඩ ගෙවාගත නොහැකිවිට එය අය කර ගැනීමට හැකිවන විකල්ප ක‍්‍රම අධ්‍යයනය කළ යුතුය. නොඑසේනම් එයට සරිලන ලෙස රටට වැඩදායක ප‍්‍රජා සේවාවක නිරතවන්නට හැකිවන ලෙස නීති වෙනස් කිරීම සුදුසුය. දැනටත් සුළු වැරදිකරුවන්ට අධිකරණය ප‍්‍රජා සේවයට යොමු කරයි. ප‍්‍රජා සංවිධාන හා ආගමික සිද්ධස්ථාන හරහා එවැනි ප‍්‍රජා සේවා අවස්ථා වැඩි කළ හැකිය. අවධානයට ගත යුතු එයයි. එයින් බන්ධනාගාරගතවන පිරිස හරි අඩකින් පහත වැටෙනු ඇත.
දෙවනුව 2010 වසරේ බන්ධනාගාරයේ සිටින වැරදිකරුවන් අතුරින් සියයට 41.6 ක් පමණ මත්පැන් හා මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් දඩුවම් ලැබූවන්ය. නැතිනම් රක්ෂිත භාරයේ පසුවන්නන්ය. එය බන්ධනාගාර නේවාසික සිටින 32,128 කගෙන් 13,378 කි. කාන්තාවන් හා පිරිමින් ද වන මෙයින් වැඩි කොටසක් මත්ද්‍රව්‍ය අලෙවිය, ලඟතබා ගැනීම වැනි චෝදනා වලට ලක්ව සිටිති. පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතා කරන පිරිස්ය. අධ්‍යාපන පසුබිම අතින් පහල මට්ටමක සිටින මෙම පිරිස අතුරින් වැඩි දෙනෙකු ගේ පොදු ලක්ෂණය දරිද්‍රතාවයි. ඇතැම් වැරදිකරුවන් මාස ගණන් සැක පිට අත් අඩංගුවේ පසුවෙයි. මත්ද්‍රව්‍ය හා මත්පැන් වැරදි සම්බන්ධයෙන් ඉක්මනින් ඇප ලබන්නට හෝ දඬුවම් ලබන්නේ රජයේ රස පරීක්ෂකවරයා ගේ වාර්තාව අවශ්‍යය. අධිකරණයට එහි අඩංගු රසායනික තත්ත්වයන් ගැන වාර්තාවක් ඉදිරිපත් කළ යුතු ය. දිවයිනේ සියලූ පොලිස් ස්ථානවලින් අත් අඩංගුවට ගන්නා නීතිවිරෝධී මත්පැන් හෝ මත්ද්‍රව්‍ය සාම්පල් වාර්තා ලබා ගැනීම සඳහා යොමු කරන්නේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවටය. අනවසර ගිනි අවි, බෝම්බ හෝ වෙනත් පිපිරීම්, වස විස වැනි අවස්ථා ඇතුලූ සියලූ කාරණා සමග අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය හෝ කසිප්පු සම්බන්ධ රස පරීක්ෂණ වාර්තා සකසන්නේ දෙපාර්තමේන්තුවයි. මෙම වාර්තා අධිකරණයට ලැබෙන තෙක් සැකකරු නිදහස් නොවේ. දඬුවම් නියම කිරීමක් ද නැත. දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරයේය. අධිකරණ කි‍්‍රයාවලිය අනුව යුක්තිය පසිඳලීම සඳහා සාක්ෂි විභාග අවසන් කරන තෙක් තීන්දුවක් නැත. නීතියේ පමාව යුක්තිය ඉටුවීමේ පමාවකි. අවාසනාවකට මේවා සමාජය විසින් ඉවසිය යුතු අවස්ථා බවට පත්ව තිබේ.
කොළඹ නගරයේ ජනතාව අද මත්ද්‍රව්‍ය ප‍්‍රශ්නය ගැන වැඩිපුර තම අදහස පළකරයි. කාන්තාවන් තම වැදගත්ම කරුණ ලෙස පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය උවදුරයි. මේ ප‍්‍රශ්නයට ගොදුරුව ඇත්තේ ඔවුන්ගේ දරුවන්ය. නැතිනම් ස්වාමිපුරුෂයාය. එය ඛේදජනකය. තමන්ගේ දරුවා මත් උවදුරට ගොදුරුවී ඇති බව දැන ගන්නා ඕනෑම මවක පත්වන්නේ දරා ගත නොහැකි කම්පාවකටය. තමන් උපයන ධනයෙන් සෑහෙන කොටසක් මත්ද්‍රව්‍ය වෙනුවෙන් වැයකරන ස්වාමි පුරුෂයෙකු සිටින පවුලක ඉරණම අවාසනාවන්තය.
මත්ද්‍රව්‍ය ලඟතබා ගැනීම හෝ අලෙවිය මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම ලැබෙන බව දැන දැනත් එහි නියැලි ඇති පිරිස බොහෝය. මෙම පිරිස විපතට වැටෙන්නේ මන්ද යන ප‍්‍රශ්නය විමසූ විට ඔවුන් කියන්නේ එයට හේතුව නම් දුප්පත්කම හා විරැකියාවක් බවය. ශ‍්‍රී ලංකාවට වඩා දිළිඳු සමාජ ආසියාවේ ඇත. එහෙත් එම සමාජ අතර මෙවැනි බරපතල ව්‍යසනයක් නැත. මත්ද්‍රව්‍ය රටට වසංගතය රටට බලපාන බරපතල එකකි. සංඛ්‍යා ලේඛන අනුව කොළඹ දිස්ති‍්‍රක්කයේ පමණක් මත්ද්‍රව්‍ය වලට ගොදුරුවී ඇති පිරිස දහ අට දහසකට ආසන්න බව දැක්වේ. එයින් 14,000 ක් පමණ කොළඹ නගරයෙන් වාර්තාවීම අවධානයට ලක්විය යුතුය. බන්ධනාගාර ගත වී සිටින මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පිරිස පුනරුත්ථාපනයට යම් වැඩ පිළිවෙලක් ඇත. නමුත් එය තත්ත්වයට ප‍්‍රමාණවත් විසදුමක් නොවේ. පුනරුත්තාපනයට රජය පමණක් නොව ආගමික මධ්‍යස්තාන හා ප‍්‍රජා සංවිධාන වලට මැදිහත්විය හැකිය. එසේ කරන්නට අවශ්‍යය. සමාජය මේ ගැන සිතන්නට අවශ්‍යය. මේ රටේ නීති පද්ධතියක් තිබේ. එ් නීති පනවා ඇත්තේ මහජන යහපතටය. මුදල් උපයන පටු පරමාර්ථ ඇත්තන් නීති විරෝධී මෙවැනි ව්‍යාපාර මගින් ඉතා ඉක්මනින් ධනවතුන් බවට පත්වෙයි. මේ ධනය පිටුපස ඇත්තේ මත්ද්‍රව්‍ය වසංගතයයි. දේශපාලන බලය හා නීතිය විවිධ උපක‍්‍රම ඔස්සේ මෙහෙයවන්නට තරම් මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාර මෙහෙයවන පිරිස සූක්ෂමය. එය ජාලගත මෙහෙයුමකි. මහා පරිමාන වෙළඳුන්, බෙදාහරින්නන් සමග සම්බන්ධ වී ඇත්තේ අපරාධකරුවන් හා සාහසික පුද්ගලයන්ය. අහිසංක තරුණන් හා දරු පවුල් මේවාට ගොදුරු වෙති. නීතිය ට වඩා වේගයෙන් මෙම මත්ද්‍රව්‍ය ජාලය කි‍්‍රයාත්මක වෙයි.
බන්ධනාගාර ප‍්‍රශ්නය දෙස බලන විට ඇප ලබාදීමේ හැකියාව ද වැදගත් එකකි. 1997 සංශෝධිත ඇප පණත අනුව පොලිස් ඇප නියම කළ හැකි අවස්ථා පැහැදිලිව දක්වා තිබේ. එසේ කළ නොහැකි බරපතල අපරාධ ගැන ද දැක්වේ. ඇප විධිවිධාන නිසි ලෙස අනුගමනය නොකිරීමෙන් ගැටලූවට පත්වන්නේ බන්ධනාගාරයයි. සැකකරුවෙකු උසාවියට ඉදිරිපත් කරන අතර එහිදී පැමිණිල්ල වශයෙන් පොලිසිය ඉදිරිපත් කරන කරුණු අනුව සැකකරුවෝ බන්ධනාගත කරති. එසේ බන්ධනාගාර ගත වන්නේ පොලිස් ඇප දිය හැකි වරදක් කළ විත්තිකරුවෙකු නම් අධිකරණය, හා බන්ධනාගාරය යන අංශ දෙකටම අනවශ්‍ය කාර්යභාරයක් පැවරේ. 2010 අවුරුද්දේ බන්ධනාගාරයට ඇතුලූ වී ඇති සැකකරුවන්ගේ ගණන 132,319 ක් නම් එයින් සියයට 75.7 ක් බන්ධනාගාරයට ඇතුළු වී ඇත්තේ මාසයකට අඩු කාලයකටය. එය විශාල ගණනකි. දත්ත වලට අනුව 100,191 කි. මෙම ලක්ෂයකට වැඩි පිරිසෙන් තවත් විශාල කොටසක් සතියක් දෙකක් ඇතුලත නිවැරදිකරුවන්ව නිදහස් කරන අතර තවත් කොටසක් සුළු දඩයක් ගෙවා යළි සමාජගතවෙති. එනමුත් මෙම ලක්ෂ සංඛ්‍යාත පිරිසට බන්ධනාගාරය ඉඩ පහසුකම් සැපයිය යුතුය. ආහාර පාන දිය යුතු අතර ඔවුන් සම්බන්ධයෙන් ලිපිගොනු පවත්වාගෙන විශාල කාර්යාලීය ක‍්‍රම අනුගමනය කරන්නට සිදුව ඇත. අවුරුද්දකට ලක්ෂයක් නියමිත දිනයට ආරක්ෂාව ඇතිව යළි අධිකරණයට ප‍්‍රවාහනය කිරීම හා නැවත රැගෙන ඒම සරල කාර්යයක් නොවේ.
අවසානයේ බන්ධනාගාර ගතව සිටින්නන්ගෙන් වැඩි පිරිස එකම අච්චුවකට දැමිය නොහැකි පුද්ගලයන්ය. දරුණු අපරාධකරුවන් අතර සැකකරුවන්, සුළුඅපරාධ කරුවන්, හා මත්ද්‍රව්‍යවලට ගොදුරු වූවන් වෙති. නීතිය බලගැන්වීම, එහි ඇති අඬු ලූහුඬුකම් මගහැරවීම, යුක්තිය ඉටු කරගැනීමට යන කාලය ඉක්මන්කිරීම හා එහි වියදම අඩු කරගැනීම වැනි කාරණා වැදගත්ය. ප‍්‍රායෝගිකව මේ සියල්ල ක්ෂණයකින් කළ නොහැකිය.
ශ‍්‍රී ලංකාව දැන් පසු කරමින් සිටින්නේ පරිවර්තන යුගයකි. මේ අවස්ථාවේ සමාජය ගමන් කළ යුත්තේ චිකාගෝ සංස්කෘතියට ද නැතිනම් දියුණු සංස්කෘතියකින් යුත් යුක්ති සහගත සාධාරණ සමාජයකට ද යන්න දැන් තීරණය කළ යුතුය. එම තීන්දුව ගත යුත්තේ රාජ්‍ය පාලකයන් පමණක් නොවේ. පළමු පියවර තිබිය යුත්තේ තම නිවසෙනි. නිවසේ සාමාජිකයන් යහපත් ජීවිතයකට සූදානම් නම්, අසල්වැසියන් හා එකට වෙසෙන්නේ නම්, ඒ නිවසත් අසල්වැසියනුත් යුක්තිගරුක යහපත් මිනිසුන්ය. ඒ මිනිසුන් වෙසෙන ගම යහපත් වෙයි. පලාත සැනසිලිදායක පලාතක් ද වනු ඇත. එවැනි පලාත් වලින් සැදුනු රටක පාලකයෙකුහට විසඳන්නට ප‍්‍රශ්න තිබිය නොහැකිය.
එහෙත් අප වෙසෙන සමාජය එසේ නොවේ නම් එවැනි පරිවර්තනයක් වන තුරු මේ සංවිධානාත්මක ඝාතන හා අති බිහිසුණු අපරාධ කරන වැරදිකරුවන්ට කිසියම් හෝ ඉඩක් ඉතිරි කිරීම අසාධාරණය. කිරිි දරුවෙකුට හෝ ගැබිණි කතකට අතවරකර පසුව මරා දමන අතිශය කුරිරු ඝාතකයෙකු මාස කිහිපයකින් ඇප පිට නිදහස ලැබේ නම් වරදකි. එම වරදකරු අවුරුදු කිහිපයකින් අනතුරුව නිදහස් පුද්ගලයෙකු ලෙස පැමිණෙන්නේ නමි සාධාරණ සමාජය හා එවැනි අපරාධකරුවෙකු අතර වෙනසක් නැත. සුළු වරදකට අත් අඩංගුවට ගැනෙන සැක කරුවෙකු බරපතල අපරාධකරුවෙකු ගනයේ ලා සැලකීම ද අනුචිතය. නීතිය ඉදිරියේ සියලූ දෙනා සමාන නමුත් යුක්තිය ඉටුකර ගැනීමට නීතිය කල් ගන්නේ නම් ප‍්‍රශ්නයකි. නීතිය තදින් ක‍්‍රියාත්මකවීම අවශ්‍යය. නීති ක‍්‍රියාදාමය ද ඉක්මනින් අවසන් විය යුතුය. වරදක් සිදුවී අවුරුදු හත අටකට පසු නීති කටයුතු අවසන්වන්නේ නම් එය ගැටලූවකි.
රට දියුණු වන විට සිර ගෙවල් ද වසා දැමිය හැකිය. එය තීරණ කළ යුත්තේ සමාජයයි. පවුල් ඒකකයේ සිට හික්මීම විනය නැති සමාජයක් යළි ගොඩනගන්නට නම් පවතින විෂම චක‍්‍රය බිඳින්නට කොතැනකින් හෝ ගමන ආරම්භ කළ යුතුය. පසුගියදා බන්ධනාගාරයේ දී පැන නැගුණේ මෙම යතාර්ථයෙන් එක පැත්තකි. බන්ධනාගාරය හා සමාජය අතර මෙයට වඩා සමීපවීමක් අවශ්‍යය. එය පවතින පීඩනය වෙනස් කරනු නිසැකය.
මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
|