» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
04/11/2012 - ඉරිදා ලංකාදීප
ඉලක්කම් හරඹ වෙනුවට අය වැය තුළින් රටට දර්ශනයක් - මිලින්ද මොරගොඩ

මහජනතාව ජීවන වියදම දැනේනට පටන්ගෙන තිබේ. අත්‍යවශ්‍ය සියලූ දේ ක‍්‍රමයෙන් මිල වැඩි වෙයි. වැඩකරන ජනතාවගේ ආදායම එයට සමාන්තරව වැඩිවන්නේ නැත. එය සංකීර්ණ ප‍්‍රශ්න ඇති කරයි. රට තුළ ආර්ථිකය ගැන සංවාදයක් ඇත. අය වැය ඉදිරිපත් කරන්නට නියමිත දින වකවානු ලංවන විට ඉලක්කම් වලින් කරුණු දක්වන්නට ඉදිරිපත් වන බව පෙනේ. අවුරුද්දක ආදායම හා වියදම කරන ආකාරය අය වැය මගින් දක්වන පුරෝකථනයයි. ඉලක්කම් වලට පරිබාහිරව අය වැය ට අනන්‍යතාවයක් අවශ්‍යය. එය රටක ආර්ථික දර්ශනයකි. ඉදිරි වසර තුනක කාලය ගැටලූ සහගත බව අන්තර් ජාතිකව ප‍්‍රකාශ වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව වැනි ප‍්‍රධාන මූල්‍ය අංශ ලෝකයේ ආර්ථික වර්ධනය අපේක්ෂිත ඉලක්ක වලට වඩා යම් පමණකින් පහත වැටෙනු ඇතැයි ප‍්‍රකාශ කර ඇත. එහි බලපෑම ශ‍්‍රී ලංකාවට ද පොදුය. ඉදිරි මාස දහ අට මෙරට ආර්ථිකයේ ප‍්‍රතිසංස්කරණයක් අපේක්ෂා කළ යුතු වකවානුවකි. පවතින රාමුව අනුව ගමන් කරන්නට අපහසු බව දැනෙන විට මාර්ගය වෙනස් කළ යුතුය. අන්තර් ජාතික ආර්ථික අභියෝග හමුවන විට ඒවාට මුහුණදීම විනා විකල්පයක් නැත.

ලෝකයේ ප‍්‍රධාන ආර්ථික කලාප වල සංවර්ධන වේගය අඩුවී තිබේ. ඇමරිකාව හා යුරෝපය එයින් ප‍්‍රධානය. වේගවත් දියුණුවක් අපේක්ෂා කළ ඉන්දියාව හා චීනයේ ද සංවර්ධන වේගය යම් තරමකින් සීමා වනු පෙනේ. එම කලාප වල දියුණුව අඩුවන විට එකි තත්ත්ව අභිබවා යන්නට ශ‍්‍රී ලංකාවට හැකියාවක් නැත. එකිනෙක ආර්ථික බැදී ගෝලීය ආර්ථික රාමුවකට ගොනුවී ඇති අවස්ථාවක ඉදිරි පැවැත්ම ගැන දුර දක්නා නිසි දර්ශනයක් ඇතිව තීරණ ගැනීම අවශ්‍යය.

ලෝකයේ නොයෙක් රටවල් ණය අර්බුදයකට මුහුණ පා සිටී. ආර්ථිකය දියුණුවන විට ණය ගැනීම, ඒවාට පොලිය හා වාරිකය ගෙවීම ප‍්‍රශ්නයක් නොවේ. සංවර්ධන වේගය අඩුවී ආදායම පහත වැටෙන විට ගත් ණය ආපසු ගෙවීමට බාධා ඇතිවෙයි. පුද්ගලික ජීවිතය හා සමානය. සාමාන්‍ය පවුලකට පවා නිති පතා උපයන ආදායම ප‍්‍රමාණවත් නොවන විට ණය ගන්නට සිදුවෙයි. ණය යොදවා නිවාස අලූත් වැඩියා කරනු ඇත. අලූත් වාහනයක් හෝ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් යෙදවිය හැකිය. එය ආයෝජනයකි. අනපේක්ෂිත අයුරින් තමන්ගේ දියුණුව සීමා වී අතට ලැබෙන ආදායම අඩුවුවහොත් එය ණය ගෙවීමේදී බාධා ඇති කරයි. එය ගැටලූවකි. අලූතෙන් ණයක් ඉල්ලන්නත් නොහැකි, ගත් ණය ගෙවා ගන්නටත් අපහසු අවස්ථාවක එහි පිඩනය එල්ලවන්නේ දරු පවුලටය. වියදම් අඩු කරන්නට සිදුවෙයි. ආහාර පාන, ඇදුම් හා ප‍්‍රවාහන වියදම් සීමාවෙයි. එවිට ප‍්‍රතිසංස්කරණයට මුහුණ දී ගෙදර ආර්ථිකය හදා ගැනීමට හැකියාව ඇත්නම් කෙටි කාලයකින් එය යහපතට හැරේ. ඒ බව නොසිතා ගිනි පොලියට ද ණය ගෙන පුරුදු ජීවන රටාව අනුගමනය කරන්නට පෙළඹෙන පවුලකට සිදුවන අවාසනාවන්ත ඉරණම රටකට ද එසේම පොදුය.

ශ‍්‍රී ලංකාවේ ආර්ථික වේගය අඩුවන විට එයට සාර්ථකව මුහුණ දිය හැක්කේ තරගකාරීව කි‍්‍රයාකිරීමෙන් පමණකි. තරගයෙන් ජය ගැනීම සාර්ථකත්වයට මගයි. අනවශ්‍ය බර උසුලාගෙන තරග කරන්නට නොහැකිය. බලශක්තිය මෙරට ආර්ථිකයට මහා බරකි. එහි වියදම් අධිකය. බලශක්තියෙන් තොරව ජන ජීවිතය පවත්වාගෙන යාම කිසිසේත් කළ නොහැකි අතර එහි බර අඩු කරන සැහැල්ලූව ගැන අවධානය යොමුකළ යුතුය. එය කළ හැක්කේ නිසි කළමණාකාරීත්වයෙන් හා කාර්යක්ෂමතාවයෙන් පමණකි. ආණ්ඩුවට එය කළ නොහැකි නම් දක්ෂ ලෙස කරන්නට හැකි පාර්ශවයකගේ සහයෝගය ගැනීම සමාජයට කරන යුතුකමකි. කළ නොහැකි දේ කරන්නට දක්ෂ නිර්මාණ ශිල්පී ක‍්‍රම නිතිපතාම අලූතින් බිහිවෙයි. වැරුද්ද එම අලූත් දේ අත්හදා නොබැලීමයි. ආණ්ඩුවට විශාල වියදමක් දරන්නට සිදුවන හා එය කළමණාකරණය කළ නොහැකි විදුලිය බලශක්තිය නිපදවීම හා බෙදාහැරීම පුද්ගලික අංශයට කළ හැකිය. නැතිනම් රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ක‍්‍රමයක් ඇතිකළ හැකිය. ඒවා රටට නුහුරු දේ නොවේ. ඛනිජ තෙල් කර්මාන්තයේ ද අලූත් සැපයුම්කරුවන්ට අනුමැතිය දිය හැකිය. එවිට තරගයක් ඇතිවෙයි. ශ‍්‍රී ලංකා ටෙලිකොම්, ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය වැනි දේශීය ව්‍යවසාය රටට අපහසු කාල පරිච්ඡේදවල විදේශ ආයෝජනයට ඉඩ දෙමින් පුද්ගලිකකරණයට ලක්විය. එයින් අලූත් ආයෝජන, අලූත් දැනුම සහ ජාත්‍යන්තර කලමණාකරන ශක්තිය මෙරට නිලධාරීන්ට ලැබිණ. වර්තමානයේ ජනගහනයට වැඩි දුරකථන භාවිතාවක් රට තුළ තිබේ. එයින් සමාජයට හා ආර්ථිකයට සිදුව ඇති වාසිය තක්සේරු කිරීම පහසු නැත. ටෙලිකොම් සමාගමේ පරිවර්තනය සිදු නොවුනානම් රජයට පමණක් එය කරන්නට දශක කිහිපයක් යනු ඇත. ත‍්‍රස්තවාදී ප‍්‍රහාර හමුවේ ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය මුහුණ දුන් අවාසනාවන්ත තත්ත්වය හා එයින් යළි අවදිවීම ද රටට තවත් උදාහරණයකි. ජාත්‍යන්තර ගුවන් සමාගමක් සමග එකතුවී සිටීම හෙයින් අඛණ්ඩව සේවා පැවති අතර සේවාව යළි ඉක්මනින් යථා තත්ත්වයට පත් කර ගත හැකි විය. ලෝකයේ ගුවන් සේවාව අර්බුදයකට පත්ව තිබේ. ශ‍්‍රී ලංකාව වැනි කුඩා රටකට තනිව ගුවන් සේවාවක් පවත්වාගෙන යාම පහසු නැත. ඉන්දියාව එරට ජාතික ගුවන් සේවය වෙනස් කරන තීන්දුව ගෙන තිබේ. අකාර්යක්ෂම ආකාරයට පවත්වාගෙන යන හා දිගින් දිගටම අලාභ වාර්තා කරන රජයට අයත් ආයතන ඉක්මනින් ප‍්‍රතිසංස්කරණය කළ යුතුය. එය ප‍්‍රතිසංස්කරණයකි. එයින් සිදුවන පරිවර්තනය රටට හා ආර්ථික වාසි අත්පත් කරදෙයි.

ප‍්‍රතිසංස්කරණ යෝජනා අතරතුර රටට ආයෝජන අවස්ථා උදාකර ගැනීම ගැන ද අවධානය යොමු කිරීම අවශ්‍යය. දෙස් විදෙස් ආයෝජකයන් යෝජනා කරන නව ව්‍යවසාය ආරම්භ කරන්නට රට තුළ පහසුකම් ඇති කිරීම කෙරෙහි වැඩි අවධානයක් දැක්විය යුතුය. ව්‍යපාරයක් ආරම්භකරන විට රෙගුලාසි රාශියකි. ජාතික පලාත් හා ප‍්‍රාදේශීය වශයෙන් විවිධ තල වලදී නීති රීති හා බලපෑම් බහුලය. එයට එකතුවන දූෂණය ද සැලකිය යුතු එකකි. විවිධ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු හරහා කි‍්‍රියාත්මක වන අලූත් ආයෝජන වලට පහසුකම් සපයන වැඩ පිළිවෙල එක තැනෙකින් ඉක්මනින් කරන ආකාරයට ප‍්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍යය. පසුගිය කාලය තුළ රට තුළ සිදුවූ තින්දු වල අත්දැකීම් සහිතව අලූත් යුගයක් දෙස අවධානය යොමු කළ හැකිවෙයි. ව්‍යවසාය ඉක්මනින් ආරම්භ කරන තරමට එහි වාසි සමාජයට හා රටට ලැබේ. එයට අවහිර කරන ස්වභාවය අවාසියකි. මේ වන විට ඉඩම් හා මාර්ග ඉදිකිරීම වැනි ආයෝජන සම්බන්ධව වේගවත් ක‍්‍රම ඇතිව තිබේ. කෙළඔ හා තදාසන්න නගරවල ඉඩම් කළමනාකරණය කර අලූත් ගොඩනැගිලි හා හෝටල් රාශියක් ඉදිවෙමින් පවතී. ඉක්මන් තීන්දු ගැනීඹ නිසා මහා මාර්ග ඉදිවී යටිතල පහසුකම් සංවර්ධනය වී ඇත. එම ක්ෂේත්‍රවල පිබිදීම අනෙකුත් ක්ෂේත්‍රවලටද යොමු වීම වටී. මහා පරිමාන ආයෝජකයන්ට පමණක් නොව දෙස් විදෙස් කුඩා ආයෝජන වලට පවා අවස්ථාව දෙන රටක් බවට ශ‍්‍රී ලංකාව හැරෙන්නට අවශ්‍යය. තරගකාරීත්වය ගැන අවධානය යොමු කිරීමෙන් මේ ගැන අවබෝධයක් ලබා ගත හැකිය. ව්‍යාපාරයකට අනුමැතියක් ගන්නට යන කාලය, ඉන්පසුව එය ගොඩනැගිලි තනා ආරම්භ කරන්නට ගතවන කාලය ලෝකයේ වෙනත් තැනෙකට වඩා තරගකාරී මුහුණුවරක් ගත යුතුය. ශූර ආයෝජකයන්ට දේශ සිමා මායිම් නැත. ලංකාවේ ඉඩ නැතිනම් වෙනත් රටකින් එයට ඉඩ සොයා ධනය ආයෝජනය කිරීම ඔවුන්ගේ සිරිතයි. රටට ගැලපෙන අනන්‍ය ක‍්‍රමවේදයකට අනුව හිතකර ආයෝජන වලට උපරිම පහසුකම් සැපයීම ආර්ථික ප‍්‍රතිසංස්කරණ වලදී වැදගත් මෙහෙවරකි. ඉන්දියාවේ ප‍්‍රධාන නගරයක ගොඩනැගිල්ලක් ඉදිකරන්නට යන වියදමට වඩා දෙගුණයක් ලංකාවේ වැය වන බව ගණන් බලා තිබේ. ඉන්දියානු වෙළද පොළ දෙස බලන විට ඕනෑම ආයෝජකයෙකුට එය වැඩි දුර නොතිසා ඉන්දියාවට එැරෙන්නට සාධකයකි. කම්කරු නීති, සමාගම් නීති ගැන අලූතින් නවීකරණය කරන්නට අවශ්‍යය. රජයේ සේවය කාර්යක්ෂම කළ යුතුය. ආයෝජකයන්ට ඉඩ දෙන්නේ රජයේ අනුමැතිය ඇතිවය. 2005 සිට මේ දක්වා රජයේ සේවකයන් ගණන දෙගුණයක් වී තිබේ. නමුත් සපයන සේවාවේ ගුණාත්මක බව දෙගුණයකින් වැඩිවී නැත. කුඩා හා කාර්යක්ෂම රාජ්‍ය සේවය ආර්ථිකය නැගෙන්නට හොද පදනමකි.

රට තුළ ආර්ථික ප‍්‍රශ්න ඇතිවන බව පෙනෙන විට එයට පිළියම් සෙවීමට තීරණ ගත හැකි වාතාවරණය ගැන ද සැලකිල්ල දැක්වීම වැදගත්ය. තද තීරණ ගත යුතුය. තීරණ ගන්නේ දේශපාලන අධිකාරියයි. ජනතා කැමැත්තට එය බලපානු ඇත. වර්තමාන මැතිවරණයකදී ජනතාව අතරින් කොටසක් තීරණ ගන්නේ දුර දැකීමෙන් නොව තමන්ට එදිනෙදා ලැබෙන වාසි ගැන අවධානය යොමු කරමින්ය. එම ප‍්‍රතිශතය පාවෙන තීරණාත්මක ඡන්දයකි. මැතිවරනයක් නැති කාලයේ දැඩි තීරණ ගෙන ආර්ථිකය පාලනය කළොත් ඉදිරි කාලයේ දී එහි ප‍්‍රතිඵල රටට දැනෙනු ඇත. එයින් රැකියා බහුලවෙයි. රජයේ ආදායම වැඩිවෙයි. ජනතාවට සැහැල්ලූවෙන් ජීවත්වන්නට හැකියාව ලැබෙයි. රාජ්‍ය පාලකයන් ආර්ථික ප‍්‍රතිසංස්කරණ වලට තීරණ ගැනීමට නිසි කාලය උදාවනතෙක් බලා සිටින්නේ එහෙයින්ය. ඉන්දියාවේ කොන්ග‍්‍රස් පක්ෂය තද ආර්ථික තීන්දු ගණනාවක් ගෙන ඇත. එරට පාරිභෝගික වෙළදාමපරිවර්තනයකට ලක්කරමින් විදේශීය සුපිරි වෙළ`ද සැල් වලට රට තුළ වෙළදාම් කරන්නට අවසර දී තිබේ. ගුවන් සේවා ආයෝජනය සම්බන්ධ නීති වෙනස් කර ඇත. භාරත දේශපාලනය අනුව ඒවා දුෂ්කර තීන්දුය.

ශ‍්‍රී‍්‍රී ලංකාවටත් අලූත් යුගයක් ගැන අවධානය යොමු කළ හැකි කණට මිහිරි දේ කියමින් නොවේ. ප‍්‍රතිසංස්කරණය හා වෙනස්කම් මගින් අලූත් දේ සොයාට යාම ජනතාව එතරම් කැමති නැත. පවතින තත්ත්වය වෙනස් කිරීම සැකය හා අවිශ්වාසය වඩවයි. කැපවීමෙන් හා පරිත්‍යාගයෙන් තොරව අනාගතය ගොඩ නැගෙන්නේ නැත. අද කරන කැපවීම දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරයි. අප සියලූ දෙනාගේ ම බලාපොරොත්තුව දරුවන්ට යහපත් හෙටක් උදා කරන්නට නම් පවතින තත්ත්වය අවබෝධ කරගෙන හැකි ඉක්මනින් තීරණ ගත යුතුය. තරගකාරී ගොලීය ආර්ථිකය තුළ පවතින තත්ත්වයේ දී ඉක්මනින් හැසිරෙන්නා ජයග‍්‍රාහකයා බවට පත්වෙයි. තර්ක කරමින්, හොදම පරිසරටය බලමින් කල් ගන්නා විට ලෝකයේ වෙනත් රටක පරිවර්තනය සිදුවී හමාරය. එවිට ජයග‍්‍රාහකයා වන්නේ ඔවුන් විනා අප නොවේ. ඉදිරි මාස දහ අට තුළ ජාත්‍යන්තර ආර්ථිකය අලූතෙන් සකස්වනු ඇත. එහි අභියෝග වෙනස්ය. ගෝලීය ආර්ථිකයක හා ගෝලීයකරණ යට ලක්වූ සමාජයකටආපසු හැරෙන්නට නොහැකි ආකාරයකට අප ඇතුළු වී සිටී. පාලනය වූ ආර්ථිකයකට ආපසු ගමන් කරන්නට කිසිවෙකුගේ සුදානමක් නැති බව ඉදුරාම කිව හැකිය. අන්තර් ජාතිකව සිදුවන වෙනස්කම් වටහා ගනිමින් එයට ක්ෂණිකව සීරුමාරු වීම විනා සාර්ථකත්වයට අනු මගක් නැත. රට දර්ශනය විය යුතු එයයි. ඉලක්කම් මගින් ණය බර, උද්ධමනය, සුබසාධනය හා දුෂණ වංචා ගැන කතාකරන්නට හැකිය. නමුත් ලෝක ආර්ථිකය තුළ ශ‍්‍රී ලංකාවේ ආර්ථික දර්ශනය කුමක්විය යුතුද? තරගකාරී රටවලට වඩා ඉදිරියෙන් සිටිමින් විනා කුඩා රටකට අවධානය ගැනීමට හැකියාවක් නැත. එය අපට පෙනෙන සත්‍යයයි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.