ඇවිදීම විනෝදාංශයකි. ඥාතීන්, හිතවතුන් හමුවීමට ඇවිදින පිරිස බහුලය. ඇවිදීමෙන් ජීවන අත්දැකීම් උපයා ගනිති. අලූත් දේ දැක සිත සතුටු කර ගනිති. ගම් පලාතෙන් එපිටට ඇවිදින්නට යන අවස්ථා තිබේ. අතීතයේ පටන් ම රටින් රටට යන සංචාර ගැන කියැවෙයි. ලෝකය පුරා සංචාරය කිරීම අද විශාල ව්‍යාපාරයක් වශයෙන් වර්ධනය වී ඇත. බොරතෙල් වෙළදාමට පසු ලෝකයේ විශාලතම ධනය බිහිකරන්නේ සංචාරක ව්‍යාපාරයයි. අතිවිශාල ධනස්කන්ධයක් මේ සමග බිහිවෙයි. එක රටක සිට තවත් රටකට පැමිණ කරන වියදම එම රටේ ආර්ථිකයට බලවත් ශක්තියකි. නිෂ්පාදනය ඉහළයයි. වෙළදාමට ඉඩ ඇතිවෙයි. අලූත් රැකියා බිහිවෙයි. ආර්ථිකය සක‍්‍රීය වී ජන ජීවිතය ස්ථාවර වන්නට එයින් පිටිවහලක් ලැබේ.
සංචාරක ව්‍යාපාරය ශ‍්‍රී ලංකාවේ ආර්ථික ය පොහොසත් කරන ප‍්‍රධාන පදනමකි. විදේශ විනිමය උපයා දීම අතින් එය මෙරට සිව්වැනි තැන උසුලයි. ත‍්‍රස්තවාදය පැවති වකවානුවේ සංචාරක ව්‍යාපාරයට සෑහෙන බාධා සිදුවූ කාලයකි. විදේශ රටවලින් පැමිණීමට අකැමැත්තක් පළ කළ අතර ඇතැම් රටවල් ශ‍්‍රී ලංකාවේ සංචාරට අනතුරුදායක බව තම පුරවැසියන්ට නිවේදනය කළේය. ලාංකිකයන් පවා රට තුළ සංචාරයට බියක් දැක්වීය. කාලයක් රටට අවහිරයක් වූ ත‍්‍රස්තවාදය තුරන්කිරීමෙන් පසු රට වැසියෝ තමන්ට ඇති ආදායම අනුව නොයෙක් තැන සංචාරය කරන බව පෙනේ. රටට විදේශීය සංචාරකයන්ගේ පැමිණීම ද කැපී පෙනෙන අන්දමින් වැඩිවී ඇත. එය සතුටට කරුණකි.
ආසියානු කලාපයේ කුඩා රටක් වන සිංගප්පූරුව සංචාරක අංශයෙන් දියුණු තැනකි. එහි වපරිසය කොළඹ තරම් කුඩා භූමියකි. එහි මුහුද ඇත්තේ එක පැත්තක පමණී. වෙරළ සුන්දරත්වය නැති තරම්ය. වනාන්තර සහිත සොබා සො`දුරු බව ද අඩුය. සංචාරකයන්ගේ සිත් පැහැර ගන්නා ඉපැරණි සංස්කෘතික හා ආගමික තැන් නොමැත. එනමුත් වසරක් පාසා අති විශාල ලෝකවාසීන් පිරිසක් සිංගප්පූරුවට පැමිණේ. එසේ පැමිණෙන සංචාරකයන් සිංගප්පූරුව තුළ වියදම් කරන ඡුනය අති විශාල එකකි. මෑතක දී එරට සංචාරක ව්‍යාපාරයේ අලූත් තොරතුරු ප‍්‍රකාශයට පත්විය. දශක තුණක යුද්ධයකට පසු සංචාරක අංශයේ පිබිදීමක නිරත රටට සිංගප්පූරුවේ තත්ත්වය අවබෝධ කර ගැනීම වැදගත්ය. එරට අත්දැකීම් රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නට පාදක කරගත හැකිය.
2011 අවුරුද්දේ සිංගප්පූරුවට මිලියන 13.2 ක සංචාරක පිරිසක් පැමිණ තිබේ. මේ අනුව එක මාසයකට දක්ෂ දහයකට වැඩි පිරිසක් එරටට පැමිණ තිබීම විශේෂත්වයකි. 2010 අවුරුද්දට වඩා සංචාරකයන්ගේ පැමිණීම සියයට 13 කින් ඉහළ ගොස් තිබීම සිංගප්පූරු බලධාරීන්ගේ අමන්දානන්දයට හේතු වී ඇත. වැඩිවශයෙන් සංචාරකයන් පැමිණ ඇත්තේ නැගෙනහිර කලාපයෙන්ය. ඉන්දුනීසියාව, චීනය, මලයාසියාව, ඔස්ටේ‍්‍රලියාව හා ඉන්දියාව වැනි රටවලිනි. මෙම පිරිස වසර තුළ සිංගප්පූරුවේ දී වියදම් කර ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 22.2 කි. වියදම් කිරීම එයට කලින් වසරට වඩා සියයට 18.9 කින් ඉහළට ගොස් තිබේ. පසුගිය වසර ශ‍්‍රි ලංකාවට වැඩිම සංචාරක පිරිසක් පැමිණි වසරයි. ලක්ෂ නමයක් පමණ පිරිසකි. මේවසරේ ජනවාරි මාසයේ දී අසූ හය දකසකට ආසන්න පිරිසක් පැමිණ ඇත. අවුරුද්දකට රටට ලැබෙන විදේශ විනිමය ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 800 ක් පමණ වෙයි. සිංගප්පූරුව හා ශ‍්‍රී ලංකාව අතර වෙනස තේරුම් ගැනීම වටී.
පසුගිය වසරේ සිංගප්පූරුවට පැමිණි විදේශ සංචාරකයන් ගේ වියදම් රටාව ද අධ්‍යයනය කිරීම වැදගත්ය. සිංගප්පූරුවට ඇතුලූවීමට වීසා අවශ්‍ය නැත. වීසා ගාස්තුවක් ද නැත. ගුවනින් ගොඩබිමින් රටට පැමිණෙන විදේශිකයෝ එහි දී වීසා අනුමැතිය ලබති. නීති තදය. අක‍්‍රමිකතා වලට පැමිණෙන පිරිස හරවා යැවෙති. එහි ආගමන හා විගමන අංශ කි‍්‍රයා කරන්නේ සිනා මුහුණු ඇතිවය. ගුවන් ගමන් බලපත‍්‍රය පරීක්ෂා කරන විට ඔවුන් රැගෙන එන ගුවන් භාණ්ඩ විද්‍යුත් පරීක්ෂාවකට ලක්ව හමාරය. සැකයක් මතු වුවහොත් පමණක් දෙවැනි පරීක්ෂාවකට ලක් කෙරේ. මේ නිසා ගුවන් තොටුපොලේ අනවශ්‍ය පෝලිම් හා ගැටුම් නැත. මේ නිසා විදේශිකයෝ සිංගප්පූරුවට එන්නට කැමැතිය. එරට කීර්තිමත් සිංගප්පූරු ගුවන් සේවය පමණක් නොව ලෝකයේ නොයෙක් ගුවන් සේවා සිංගප්පූරුවට සංචාරකයන් ගෙන එති. ජාතික ගුවන් සේවයට විශේෂිත වරප‍්‍රසාදයක් නැත. ගුවන්යානයක ආසනයක් හිස්ව තිබීමට වඩා කවර ගුවන් සේවයකින් හෝ පැමිණ හෝටල කාමරයක් පිරවීම වැදගත් බව වරක් එරට සංචාරක බලධාරීයෙකු ප‍්‍රකාශ කළේය. එය සනාථ කරන්නේ එරට සංචාරක ආදායමයි. ඇමරිකානු ඩොලර් බිලියන 22.2 ක ආදායමෙන් සියයට 10 ක් උපයාගෙන ඇත්තේ සංචාරකයන් කරන ලද ආහාර වියදම් වලින්ය. සියයට 19 ක් නවාතැන් වෙනුවෙන් හෝටල උපයා ගෙන ඇත. සියයට 20 ක් සාප්පු සවාරි ආදායමයි. සියයට 25 ක් කැසිනෝ වැනි සූදු ඇතුලූව ක‍්‍රීඩා කටයුතු වලටය. ඉතිරි සියයට 26 උපයා ගෙන ඇත්තේ ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර, ගුවන් තොටුපොල බදු හා ප‍්‍රවාහනය වැනි දේ වලින්ය. 2007 අවුරුද්දේ පටන් දළ වශයෙන් සෑම මාසයකම දස ලක්ෂය බැගින් සංචාරකයන් පැමිණ ඇති සිංගප්පූරුව එරට ආර්ථික නවෝදයට සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන් උපයෝගී කර ගෙන තිබේ.
එරට ඇත්තේ ආගන්තුකයන්ට අවශ්‍ය පසුබිමකි. රෝහල් හොදම තත්ත්වයේය. හෝටල වල පහසුකම් ඇත. විනෝද ක‍්‍රීඩා වෙනුවෙන් උපරිම අවස්ථා තිබේ. නිදහස භුක්ති වි`දින්නට ඉඩ තිබේ. සැලසුම් සහගතව සියල්ල අලූතින් නිර්මාණය කර ඇත. කැසිනෝ වැනි ක‍්‍රීඩා තද නීති සහිතව නීත්‍යානුකූලව පවත්වාගෙන යයි. ලෝකයේ දෙවන විශාලතම කැසිනෝ ව්‍යාපාරය ඇත්තේ සිංග්පූරුවටය. කැසිනෝ ආරම්භ කරන විට එරට ආගම අනුව එයට ඉඩ දිය නොහැකි බවට විශාල සංවාදයක් පැන නැගින. ලී ක්වාන් යූ මහතා එවකට විශාම සුවයෙන් සිටියේය. ඔහු ගේ අදහස වූයේ ඉහළම ප‍්‍රමිති වලට ඒ වෙනුවෙන් වෙන්වූ කලාපයක කැසිනෝ පවත්වාගෙන යා යුතු බවය. ඒ වෙනුවෙන් වෙනම කලාපයක් පිහිටුවා ඇත. ලෝකයේ ඉහළම සමාගම් එහි ක‍්‍රීඩා මෙහෙයවයි. ස්වදේශිකයන්ට ඇතුල්වීමට තද නීති පනවා තිබේ. අලූතින් ධනවත් වන චීනයෙන් ද, ලෝකයේ නොයෙක් තැන් වලින් ද සූදු ක‍්‍රීඩා කිරීමට පැමිණෙන පිරිස තම අරමුණු ඉටුකරගෙන ආපසු යයි. සෙසු සමාජය හා මේ ක‍්‍රීඩා සමග මිශ‍්‍රවිමක් නැත. ප‍්‍රධාන වෙනස එයයි. සිංගප්පූරුවේ වැසියන් සූදු සංස්කෘතියට ඇතුලත්ව නැති අතර ඔවුන් ඒ වෙනුවෙන් පහසුකම් සපයා රටට ආදායම උපයා ගනී. නමුත් රෝහල් හා සෞඛ්‍ය සේවාව එයට වෙනස් මුහුණුවරකි. ඉහළම සුව සේවා සිංගප්පූරුවෙන් ලබා ගත හැකිය. ලෝකයේ දක්ෂතම වෛද්‍යවරු එහි රෝහල් වලට සේවයට කැදවිය හැකිය. අවශ්‍ය වන්නේ ධනය පමණී. නවීන වෛද්‍ය විද්‍යා තාක්ෂණය හා විශේෂඥ වෛද්‍යවරුන් ගේ සේවය ගන්නට සිංගප්පූරු වැසියන්ට ද ඉඩ කඩ විවෘතය. ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ, සාකච්ඡා පවත්වන්නට එහි පහසුකම් ඇත. තාක්ෂණය හා පහසුවෙන් බැදීම් නැතිව ලගාවී තම ව්‍යාපාරික කටයුතු අවසන්කර ආපසු පිටත්වන්නට ලෝකයේ ධනවත් පිරිස තෝරා ගෙන ඇත්තේ සිංගප්පූරුවයි.
ශ‍්‍රී ලංකාව අත්දැකීම් වශයෙන් මෙම දියුණුව දෙස නිරීක්ෂණය කළ යුතුය. රටට සමීප ඉන්දියාව මෙරට සංචාරක උල්පතකි. ගුවනින් පැයකින් සම්බන්ධතා ඇති කළ හැකිය. මුහුදෙන් දිනක් හෝ දෙකකි. දකුණු ඉන්දියාව හා ලංකාවේ උතුර යා කරන ගොඩබිම් මාර්ගයක් ගැන සාකච්ඡා කරයි. අද ජීවත්වන වැඩිහිටි පරම්පරාවේ ඇතමුන්ට කොළඹින් දුමිරිය ප‍්‍රවේශපත‍්‍ර ගෙන තලෙයිමන්නාරමට ගොස් එහි සිට බෝට්ටුවක නැගී වීසා නැතිව රාමේශ්වරමට ගිය අතීතය තවමත් මතකය. දෙරට අතර සංචාරක ව්‍යාපාරයට හා වෙළදාමට මුහුද ප‍්‍රයෝජනයට ගත හැකිය. ගොඩබිම් මාර්ගය ඉදිකිරීමට හැකියාව ලදොත් එය මෙරට සංචාරක කර්මාන්තයේ දැවැන්ත පරිවර්තනයකට හේතු වෙයි. දැනට වේගයෙන් සංවර්ධනය වෙමින් සිටින ඉන්දියාවේ ධනවතුන් රටට ගෙන්වා ගැනීම අපහසු නැත. දෙරට සම්බන්ධ කරන සංස්කෘතික මත තිබේ. සිහිවටන දිවයින පුරා ඇත. ආහාර පාන හා නවාතැනි සම්බන්ධයෙන් ආසියානු කලාපයේ මේ දෙරට අතර අසමානකම් නැත. ඉන්දියානු සංචාරකයන් ගෙන් යම් ප‍්‍රතිශතයක් ගෙන්වා ගැනීම රටට වාසිදායකය.
චීනය ද එවැනි අවස්ථාවකි. අලූතින් ධනවත්වන පරම්පරාව කණ්ඩායම් වශයෙන් ලෝකය පුරා සංචාරය කරති. පෙනෙන අන්දමට ඔවුන් වැඩි වශයෙන් තෝරා ගෙන ඇත්තේ බටහිර රටවල්ය. සිංගප්පූරුව තෝරා ගෙන ඇති පිරිස ද සැලකිය යුතු තරම්ය. රට සංවර්ධනය වන විට ලැබෙන ආර්ථික ශක්තිය ප‍්‍රයෝජන ගෙන රටින් රට සැරි සරන චීන සංචාරකයන් ද ලංකාවට යොමු කර ගැනීමට හැකියාව තිබේ.
යුද කාල පරිච්ඡේදයට පසු ශ‍්‍රී ලංකවේ යටිතල පහසුකම් දියුණු වී ඇත. මාර්ග පද්ධතිය යහපත්ය. ගුවන් සේවා දියුණුය. පරිසරය හා වෙරළ තිරය සංචාරකයන් ආකර්ශනය කරයි. අවුරුදු ගණනක් ජන ශුන්‍යව පැවති ප‍්‍රදේශ ජනාකීර්ණ වි ඇත. අවශ්‍ය වන්නේ සංචාරක කර්මාන්තයේ මතුව ඇති අවස්තා ප‍්‍රයෝජනයට ගැනීමය. එයට විශාල ආයෝජනයක් අවශ්‍ය නැත. වැලි කතරක් වූ ඩුබායි නගරය සංචාරක හා මූල්‍ය පාරාදීසයකි. සම්පත් නැති සිංගප්පූරුව එයට නොදෙවෙනිය.
අතීතයේ රටට නොයෙකුත් පැති වලින් ආගන්තුකයන් පැමිණ ඇත. වැඩි පිරිසක් වෙළදාමටය. සංස්කෘතික වශයෙන් මෙරට සමාජය ට ආගන්තුක නැත. එය අභියෝජගයක් වී නැත. රටේ අනන්‍යතාවය ආරක්ෂිතය. යටත්වි විජිතයක් බවට පත්වීමෙන් පසු බාහිරෙන් පැමිණෙණ බලවේග ගැන සමාජය සැකකරන්නට පටන් ගත්තේය. යටත්ව ගතකළ අවුරුදු පන් සියය විශාල බලපෑමක් කර ඇත. සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රගතියට එය සියුම් බාධාවක් වී ඇති බව පෙනේ.
අලූතෙන් විවෘතව සිතන්නට අවශ්‍යය. රටට අවශ්‍ය විනිමය උපයාගෙන රැකී රක්ෂා බිහි කරන්නට සංචාරක ව්‍යාපාරය තරම් ශක්තියක් නැත. එහි ප‍්‍රගතියක් ඇතත් රටේ ඇති අවස්තා අනුව පහසුවෙන්ම විශාල ආකර්ශනයක් දිනාගැනීමට හැකියාව තිබේ. රටට පැමිණෙන විදේශිකයන්ට ආරක්ෂාව හා පහසුකම් සැපයිය යුතුය. එය රජයේ හා ස්වදේශිකයන්ගේ යුතුකමකි. එසේ ම රටට පැමිණෙන පිරිස නීති විරෝධීව හැසිරෙන්නට, මෙරට සමාජය, සංස්කෘතියට හානිකරන්නට ද ඉඩ නැති අන්දමට සංචාරක කලාප සකස් කිරීම උචිතය. මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
|