» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
03/06/2012 - ඉරිදා ලංකාදීප
නව සියවස ඉදිරියේ ජල පරිහරණය සම්බන්ධව ශ‍්‍රී ලාංකික අත්දැකීම් - මිලින්ද මොරගොඩ

ශ‍්‍රී ලංකාව සුන්දර වී ඇත්තේ දුපත් ස්වභාවය හෙයිනි. වෙරළ තීරය ආශ‍්‍රීතව හිරු රැස් හා අභ්‍යන්තරයේ සම සීත දේශගුණයක් ඇති කරයි. ස්වභාවික වරාය ගණනාවකි. වර්තමාන සියවස ජගත් ප‍්‍රජාව ගොඩබිම නොඑසේනම් භූමිය අභිබවා යන අවස්ථාවක පසුවෙයි. ගුවන එක් පැත්තකි. අනෙක් දිසාව මුහුද යි. සයුර ගවේශනය මගින් ජන ජීවිතයට ලබා ගත හැකි ප‍්‍රයෝජන වෙත පර්යේෂකයෝ යොමු වී සිටිති. ජනගහනය වැඩිවීම සමග ජීවත් වන්නට ඉඩ කඩම් හා සම්පත් සීමාසහිත වන විට අලූත් ප‍්‍රවාහයක් වශයෙන් ජල සම්පත තුළින් ඇති අවස්ථා සොයන්නට මෙහිදී වෙහෙසෙයි. එය වැදගත්ය. මන්ද ගෙවීයන සියවසේ රටවල් අතර යුද තත්ත්වයක් ඇතිවීමට හේතුව තෙල් සම්පත නම් ඉදිරි සියවසේ දී යුද්ද ඇතිවනු ඇත්තේ ජලය වෙනුවෙන් බව ප‍්‍රකාශ වෙයි.

ඉතිහාසයට අනුව ශ‍්‍රී ලංකාව ජල තාක්ෂණය සම්බන්ධයෙන් පොහොසත්ය. වාරි කර්මාන්තය අතින් ලෝකය මවිත කරන අත්දැකීම් මෙරට සතුය. දුපත් ස්වභාවය නිසා රටට වෙළදාම ලෝකයේ රටවල් සමග සම්බන්ධතාවයක් තිබිණ. මේ උරුමය ආපසු හැරී ඇත්තේ යටත් විජිතයක් බවට පත්වීම සමගය. රජ දවස තිබු වාරි තාක්ෂණය වෙනුවට අධිරාජ්‍යවාදීන් තම උවමනාවන් අනුව ලංකාවේ පාලන තන්ත‍්‍රය සහ මුලින්ම වෙනස් කරනු ලැබීය. එහි අවසානය එකී අනගිභවනීය උරුමය මෙරටින් වියැකී යාමයි. මෙරට භූමිය මුලින් කෝපි වගා කරන්නටත් පසුව තේ හා රබර් වගාවටත් යොමු කරනු ලැබීය. ලිප්ටන් ගේ තේ වත්ත බවට ලංකාව පරිවර්තනය වන විට මෙහි ඒ හා සමාන කාලයේ තිබුණ මුතු මැණික්, කුලූ බඩු ඇතුලූ පාරම්පරික වෙළඳ ද්‍රව්‍ය යටපත්ව ඇත. අධිරාජ්‍යවාදීන් ඉඩම් අත්පත්කර ගෙන අනතුරුව වගා බිම් බවට පත්කිරීමෙන් පමණක් නතර වූයේ නැත. අස්වැන්න ඔවුන්ගේ මව්බිමට ගෙන යන්නට යටිතල පහසුකම් ද ඔවුන්ට රිසි පරිදි සකස් කර ගත්හ. මංමාවත් තැනීමේදීත්, දුම්රිය මාර්ග ඉදිකිරීමේ දීත් නිෂ්පාදන වරායට ගෙන ඒම පමණක් ඉලක්ක කර ගැනීමට එදා කටයුතු සම්පාදනය කළ නිසා වර්තමානයේ ද ඒ රාමුවෙන් මිදෙන්නට නොහැකි වී තිබේ.

ලංකාවේ වෙරළ තීරය ලෝකයේ සංචාරක හා විනෝද අවස්ථා සඳහා ආකර්ශණීය තැනකි. තායිලන්තයේ හෝ වෙනත් ප‍්‍රකට සංචාරක තෝතැනි අතර නැති සුවිශේෂීතා මෙරට වෙරළ තීරයේ ඇත. නමුත් දකුණේ සිට වයඹ දක්වා වෙරළ තීරයේ සෑහෙන කොටසක් වසා ඇත්තේ දුම්රිය හා මහා මාර්ග පද්ධතියයි. ඇති තරම් ඉඩම් තිබූ එම යුගයේ රට මැදින් මාවත් ඇතිකර ප‍්‍රවාහනය දියුණු කළේ නම් වර්තමානයේ වෙරළ ආශ‍්‍රීතව මාර්ග තිබියදී රට අභ්‍යන්තරයෙන් යළි අධිවේගී මාර්ග තනන්නට විශාල පිරිවැයක් දරන්නට උවමනා නොවේ. රට වටා ඇති දුපත් හා රට තුළ ඇති කළ හැකි ජල සංස්කෘතිය රටට පරිසර හිතකාමී සංචාරකයන් ආකර්ශනය කර ගැනීමට යෙදවිය යුතුය. රටින් රට යන රුවල් බෝට්ටු, පාවෙන අවන්හල්, ධීවර කර්මාන්තය, මසුන් හා ජල ජීවී නිරීක්ෂණය වැනි පැති සංචාරකයන්ගේ අලූත් වෙළද පොළයි. මෙම අංශ වෙනුවෙන් ආයෝජනය කරන්නට පුද්ගලික අංශය මෙහෙයවිය හැකිය. එවිට අලූත් අවස්ථා බිහිවෙයි.

දුපත් වැසියන් වශයෙන් අද අසීමිත ප‍්‍රවාහනය හා බලශක්ති ප‍්‍රශ්නයක සිරවී සිටින නමුත් මුහුද, අභ්‍යන්තර ගංගා හා ඇල මාර්ග ආශී‍්‍රතව ප‍්‍රවාහන සේවා ඇති කරන්නට උනන්දුවක් අඩුය. අතීතයේ ඔරුව පාරුව ප‍්‍රවාහනයේ දී භාවිතා කර තිබේ. ප‍්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් වියදම් අඩු තදබදයකින් තොර ගංගා හා සයුර අසීමිත නමුත් එහි ඇති අවකාශය උපයෝගී කරගන්නට ඇත්තේ අඩු අවධානයකි. ධීවර, ප‍්‍රවාහනය, සංචාරක හෝ වෙනත් ආකාරයකින් මුහුද ප‍්‍රයෝජනයට ගන්නා තරම වැඩි කිරීම ආර්ථිකයට ශක්තියකි.

ධීවර කර්මාන්තය ඇත්තේ ප‍්‍රාථමික අවධියේය. ආගමික හා සංස්කෘතික පසු බිම නමුත් බෞද්ධාගම අදහන ජන කොටස් සිටින තායිලන්තය, ජපානය හා චීනය ධීවර කර්මාන්තය අතින් ඇත්තේ ඉදිරි දැක්මක් සහිතව කි‍්‍රයාත්මක වෙයි. මෙරට මුහුදු සීමාවට පැමිණෙන වෙනත් රටවල නැව් ශ‍්‍රී ලංකාව අවට මුහුදු තීරයට ආවේනික මතස්‍ය සම්පත නෙලා ගෙන අධික ආදායමක් උපයයි. එම මාලූ,කරවල හෝ ටින්මාලූ නැවත මෙරටට ගෙන එන්නේ මෙරට විදේශ විනිමය වැය කරමිනි. පර්යේෂණ හා හොඳ සැලසුම් අනුව අලූත් ව්‍යාපෘති සම්පාදනය කරන්නේ නම් ධීවර අංශය ඇතිතරම් රැකියා හා ව්‍යාපාරික අවස්ථා බිහිකරනු ඇත. සමාජ පිළිගැනීමක් පුලූල් භාවිතයක් එයට යොමු කළ හැකි පරිසරයක් සකස් කිරීම වැදගත්ය. තරුණ පිරිස කල්පනා කරන්නේ මෙය හොඳ අධ්‍යාපනයක් අවශ්‍ය නැති නොගැලපෙන රැකියාවක් බවය. තාක්ෂණික ආකාරයට මසුන් බහුල ප‍්‍රදේශ සොයාගැනීම අද විශේෂිත පැත්තකි. වෙළඳ පොල සපයා ගැනීමේදී බුද්ධියට හා අධ්‍යාපනයට ඉඩ විවරවෙයි. ජාත්‍යන්තර විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන පසුබිම සකසා ඇති ආකාරයට උපාධිය හෝ එයටත් ඉහල අධ්‍යාපනය ධීවර හා සාගර සම්පත් විෂයය අලලා සැකසී තිබේ.

ශ‍්‍රී ලකාවේ අතීතයේ දී හලාවත, කල්පිටිය, මන්නාරම හා ඇතැම් මුහුදු තීරයන්ගෙන් ලොව අනර්ඝතම මුතු තිබූ බව දක්වයි. එවැනි සම්පත් ගැන සොයන්නට උනන්දුව අඩුය. ඇතැම් රටවල් දැන් ටැංකිවල බහා කෘතීමව බෙල්ලන් ඇතිකරමින් මුතු සකස්කර වෙළදපොළ අවශ්‍යතා සපුරයි. රටට නමක් හා හැකියාව ඇති නමුත් සයුරෙන් ගතහැකි ප‍්‍රයෝජන යටපත් වූයේ බටහිර රාමුව අනුව ආර්ථිකය වෙනස්කළ අභාග්‍යය නිසාය. අදටත් එයින් මිදෙන්නට අප නොසිතන්නේ මන්ද? මේ අතර ලෝකය පුරා අනාගත ආහාර හිගයක් ගැන කියැවෙයි. ජනගහනයවැඩිමීම සමග භූමියෙන් නිපදවන ආහාර පරිභෝජනයට ප‍්‍රමාණවත් නැත. නිෂ්පාදනය වැඩි කිරීමට ජාන තාක්ෂණය ඇතුලූ ක‍්‍රම උපයෝගී කර ගනිමින් සිටී. මෙයට අමතරව මුහුදේ වගාව කෙරෙහි ද පර්යේෂණ පවත්වයි. මුහුදු ජීවීන්, පැලෑටි වගා කිරීම ආහාර හිගයට පිලියමක් බව පෙනේ. ශ‍්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ඇති සම්පත් ප‍්‍රයෝජනයට ගැනීම හා වගා කිරීම විශාල ආර්ථික දියුණුවකට මගකි.

එමෙන්ම ති‍්‍රකුණාමලය වරාය ලෝකයේ ස්වභාවික වරායන් අතරින් ප‍්‍රධාන තැනෙක ඇති එකකි. දැනට ලෝකයේ ඇති ඕනෑම විශාල නැවකට එහි ළගාවිය හැකිය. ගාල්ල සංචාරක වරායක් ලෙස වැඩි දියුණු කරන්නට හැකියාව ඇත. ශ‍්‍රි ලංකාව අවට මුහුද ප‍්‍රයෝජනයට ගන්නා ප‍්‍රධාන නැව් මාර්ග පහසුවෙන් මෙම වරාය සමග යා කළ හැකි භූගෝලීය ලක්ෂණ පෙන්නුම් කරයි. ටොලමි ලංකාවට පැමිණ ඇත්තේ ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශයෙන් බව කියැවේ. සුප‍්‍රකට දේශ ගවේශක මාර්කෝ පොලෝ ද එතැනින් මෙරටට පැමිණ තිබෙන බව ඉතිහාසය දක්වයි. මුස්ලිම් ප‍්‍රජාව මෙරට වෙළද ගනුදෙනු වලට පැමිණ ඇත්තේ ගෝකන්න වරාය ප‍්‍රයෝජනයට ගනිමින්ය. පළමුවන පරාක‍්‍රමබාහු රජතුමා ද ගෝකන්න වරාය රටේ අවශ්‍යතා වෙනුවෙන් ප‍්‍රයෝජනයට ගෙන ඇත. 1650 ගණන් වලදී මෙරට වෙළදාමට දායක වූ හා ලෝකය සමග යා කළ ස්ථානය හැටියට ගැනෙන්නේ ද ති‍්‍රකුණාමය වරායයි. එහි වීන වරායක් ඇත. නෝර්වේ පොයින්ට් යනුවෙන් හදුන්වන තැනෙකි. එළිසෙබත් හා ෆෙඞ්රික් යන නම් වලින් හැදින්වෙන ස්ථාන ඇත. ප‍්‍රංශ හමුදාව ද ති‍්‍රකුණාමලය වරාය භාවිතාකර ඇත. විවිධ රටවල් හා ජාතීන් එහි ගැවසුන බව සනාථ වෙයි. භූමිය වශයෙන් කොළඹ වරාය මෙන් දස ගුණයක් විශාලත්වය ඇති ති‍්‍රකුණාමලය ලෝකයේ හොදම ස්වභාවික වරාය අතුරින් එකකි. ලංකාවේ ආර්ථීකය ප‍්‍රසාරණය කරමින් විදේශ වෙළදාම, සංචාරක ව්‍යාපාරය නංවන්නට ති‍්‍රකුණාමලයේ පවතින සම්පත් ප‍්‍රයෝජනයට ගැනීමට හැකිය.

ත‍්‍රිකුණාමලය අවට මුහුදේ මතුපිට උශ්ණත්වය හා ගැඹුරේ උශ්ණත්වය අනුව විදුලිය බලශක්තිය නිපදවන්නට එහි පරිසරය සුදුසු බව පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි. ජල විදුලිය නිපදවන්නට ඇති හැකියාව අවසන් වී සහ තාප විදුලිය නිපදවන්නට අවශ්‍ය තෙල් හා ගල් අගුරු මිල වැඩිවන අවස්ථාවක රටට හිතකර මේ අවස්ථාවන් දියුණු කිරීමට හැකි වාසනාවන්ත සම්පත්ය.

ශ‍්‍රී ලංකාව බෝතල් කළ පානීය ජලය ආනයනය කරයි. වර්තමානයේ පමණක් නොව අතීතයේ පටන්ය. මහා පරිමාණයෙන් නොව සංචාරක හා ඉතා ධනවත් අය වෙනුවෙන්ය. දැන් ලෝකයේ අවධානය අනුව පිරිසිදු පානීය ජල සම්පත හි`ග වෙමින් තිබේ. ශ‍්‍රී ලංකාව ස්වභාවික උල්පත් ජලයෙන් පොහොසත්ය. දැනට ආයතන විශාල ගණනක් දේශීයව පානිය ජලය අලෙවි කරයි. මෙය විශාල වශයෙන් විදේශ විනිමය උපයා ගන්නා මගක් ලෙස දියුණු කරන්නට හැකියාව ඇත. නුදුරු අනාගතයේ දී පානීය ජල ප‍්‍රශ්නයක් ඇතිවන විට එයට සරිලන ආකාරයට පියවර ගන්නට නම් දැන සිටම ප‍්‍රතිපත්ති තීන්දු වලට එළැඹිය යුතු වෙයි. අනාගත ලෝකයට ජලය සම්පතකි. සයුර සම්පත් ආකරයකි. මුහුදු සීමා නොමැති රටවල් පවා මෙම සම්පත් ඇසුරෙන් රුකියාමාර්ග හා වෙළඳපොළ සකසා ගන්නා ව්‍යාපෘති සකස් කරමින් සිටින යුගයක ශ‍්‍රී ලංකාව දුපතක් වශයෙන් තමන්ට සම්පතක් වශයෙන් ලැබී ඇති ජලය හා දිවයින වටා ඇති සයුර අවධානයට ලක් නොකර තිබීම යුතු නැත. අපි තවමත් ගොඩබිම හා එහි ඇති ආර්ථිකයට සීමාවි සිටිමු. එයින් එපිට තවත් අවකාශයක් ඇත. ජන ජීවිතයේ සෑම පැත්තකටම ජලය හා ආශ‍්‍රීත කි‍්‍රයාකාරකම් යොමු කරන්නට හැකියාව තිබේ. අවශ්‍ය වන්නේ මග පෙන්වීම හා ඒ වෙනුවෙන් පහසු සරල නීති රීති හදුන්වා දීමයි. එය ආණ්ඩුවේ හා ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.