» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
03/03/2013 - ඉරිදා ලංකාදීප
ලෝකය වෙනස් කරන්නට මුල් විය හැකි කරුණු හයක් - මිලින්ද මොරගොඩ

ඇල්බර්ට් ආර්නෝල්ඞ් ඇල් ගෝ Albert Arnold "Al" Gore ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරය බිල් ක්ලින්ටන් යටතේ හෙබවූ අතර වසර 2000 එරට ජනාධිපති ධුරයට තරග කළ බව ජාත්‍යන්තරයට එතරම් මතක නැත. එනමුත් අවුරුදු දොළහකට පසු ජගත් ප‍්‍රජාව ඔහුගේ වත්මන් මෙහෙවර විවිධ ආකාරයට අගය කරන්නට පටන්ගෙන තිබේ. හෙතෙම පරිසරය සහ කාලගුණ විපර්යාස කෙරෙහි ක‍්‍රියා කරන ලාභ නොලබන ස්වේච්ඡා සංවිධානයක් පිහිටුවීය. එයින් කරන ලද මෙහෙවර උදෙසා 2007 වසරේ ඔහුට නොබෙල් තැග්ග හිමිවී ඇත. ලියන ලද කෘතියකට ග‍්‍රැමී සාහිත්‍ය සම්මානය ද, එයින් නිර්මාණය කරන ලද සිනමා පටයකට ඔස්කා සම්මානය ද හිමිවීම විශේෂත්වයකි. පසුගියදා ඇල් ගෝ තවත් ග‍්‍රන්ථයක් The Future: Six Drivers of Global Change නමින් පළ කරමින් ලෝකය වෙනස් කරන ධාවකයන් හයක් ඇතැයි අනාවරණය කළේය.

ජාත්‍යන්තර සමාජය වේගයෙන් වෙනස් වෙමින් තිබේ. සිය වසරකට වැඩි කාලයක් ගත විය හැකිව තිබූ වෙනස්කම් ඇති කරන්නට පසුගිය දශකය තුළ හැකියාව ලැබී ඇත. අද පවතින ස්වභාවයට වඩා ඉතා සංකීර්ණ මෙවලම් සහිත යුගයකට අප ගේ ඉදිරි පරම්පරාව ප‍්‍රවේශවන බවට සැකයක් නැත. මෙම දියුණුව සම්බන්ධයෙන් අනාවැකි ප‍්‍රකාශ කිරිමට පවා කාලයක් නැති තරමට ඉක්මනින් වෙනස සිදුවෙමින් පවතී. මෙම වෙනස්කම් සමග ජන සමාජය ගෝලීයකරණයට ලක්වන අතර රටවල් හා දේශ සීමා රහිත ගෝලීයකරණ සමාජයක් බිහිවෙමින් තිබේ. ශ‍්‍රී ලංකාවට එවැනි පසුබිමකින් ඈත් විය නොහැකිය. මෙරට ජනගහනයෙන් සියයට දහයකට වැඩි කොටසක් ලෝකය පුරා විහිදී විසිරී සිටිති. එක රටක සිදුවන දේ අනෙක් සමාජය තුළට එකතුවන ආකාරය කැපී පෙනෙයි. එවැනි පසුබිමක ඇල් ගෝ මතු කරන ලෝකය වෙනස් කරන අලූත් ආකාර හය කුමක් දැයි විමසා බැලිම වැදගත්ය.

ඔහුට අනුව ආර්ථික ගෝලීයකරණය එයින් ප‍්‍රධානය. අද පවතින ආර්ථික රාමුව ලෝකය පරිවර්තනයකට ලක්කරන ප‍්‍රබල සාධකයකි. වර්තමානය එකම සැපයුම් ජාලයකි. නිෂ්පාදනය සිදුවන්නේ රටවල දේශ සීමා පදනම් කරගෙන නොවේ. මතක ඇති කාලයේ රටක යම් දෙයක් නිපදවන විට අමු ද්‍රව්‍ය, තාක්ෂණය සහ සේවා අංශ එක තැනක පිහිටුවා තිබිණ. දැන් එක් එක් තැන එකලස් කරන කොටස් සම්පූර්ණයෙන් නිම කරන ලද ඒකකයක් බවට පත් කරන්නේ තවත් රටකය. නිෂ්පාදනයක අයිතිය එක රටකට සීමා නොවේ. වාහනයක් නිපදවන විට එහි කොටස් එකිනෙක සකස් වන්නේ ඒ සදහා සම්පත් ඇති සහ අඩුම වියදමකින් එය කළ හැකි තැනෙකය. විකිණෙන්නේ වෙන රටකය. නිපදවන සමාගමේ අයිතිය තවත් රටක වන අතර අවශ්‍ය ප‍්‍රාග්ධනය රටවල් කිහිපයක බැංකු වලින් සපයා ගෙන ඇති බව පෙනේ. මෙවැනි ගෝලීය ආර්ථිකයක් ලෝකය පවතින ස්වභාවයෙන් වෙනස් කරන බව අවබෝධ කර ගැනීම අපහසු නොවේ. ජාතිකත්වය නොඑසේනම් රටවල අනන්‍ය ලක්ෂණ මෙ මගින් පාලනයකට ලක්වෙයි.

දෙවනුව ලෝකය වෙනස් කිරීමට බලපා ඇත්තේ ක්ෂණික තොරතුරු හුවමාරුවයි. රටවල් අතර පණිවුඩයක් යවන්නට දුම් නැව එකම අවස්ථාව වූ යුගය වැඩි ඈතක නොවේ. ගුවන් යානයකින් හෝ ඉන් පසුව ටෙලි ග‍්‍රාෆ් වැනි ක‍්‍රමයකින් සිදුවූ පණිවුඩ හුවමාරුව වැඩි පහසුකම් නැති දුරකථනයකට පැවරුණ කාලය ඉතා මෑතක විය. දැන් අන්තර් ජාලය හා විද්‍යුත් තැපෑල තොරතුරු හුවමාරුව ඉතා වේගවත් කර තිබේ. පණිවුඩයක් ලැබෙන තෙක් මාස ගණන් බලා සිටි පුද්ගලයෙකුට ලෝකයේ කෙළවරක සිට තොරතුරක් හුවමාරු කරගන්නට වැඩි වේලාවක් ගතවන්නේ නැත. එය ලෝකය පරිවර්තනය කළ විප්ලවයකි.

ඇල් ගෝ දක්වන ආකාරයට ලෝකය වෙනස් කරන්නට බලපෑ තුන් වැනි කාරණය ලෝක බල තුලනයේ වෙනස්කමයි. අමෙරිකාව ලෝක බලවතා බවට පිළිගැනීමක් තිබිණ. ලෝකයේ හැඩරුව අනුව බටහිර කලාපය ප‍්‍රමුඛ තැනෙක් ගත්තේය. නමුත් දැන් ලෝකයේ බලවත් බව ආසියාවට පැතිරෙමින් තිබේ. ආර්ථිකය සහ වෙළද පොල අතින් ඇමෙරිකාව තවමත් ප‍්‍රධාන තැනෙක සිටින නමුත් ඉන්දියාව හා චීනය ඇතුළු නැගෙනහිර කලාපය ක‍්‍රමයෙන් එය අත්පත් කර ගනිමින් සිටී. පවතින රාමුව වෙනස් කරන්නට එය විශාල සාධකයකි.

හතර වැනිව දක්වන්නේ වර්ධනය යන සාධකයයි. ආර්ථිකය සහ දේශපාලනය විශාල වර්ධනයක් දක්වා තිබේ. ජනගහනය ද එසේය. කවර ආකාරයෙන් තක්සේරු කළත් මෑත කාලය තුළ ලෝකයේ සෑම රටක්ම වේගවත් වර්ධනයක් දක්වා තිබේ. ඇතැම් රටවල ආර්ථිකය දෙගුණ වන්නට ගතවී ඇත්තේ ඉතා කෙටි කාලයකි. දේශපාලන වශයෙන් ද එම වර්ධනය කැපී පෙනෙයි. ආර්ථිකය වෙනස්වන විට පාලන ක‍්‍රමය ද එයට සමාන්තරව දියුණු වී තිබේ. ජනගහනය ද වර්ධනයකි. මෙම වර්ධනය හමුවේ සම්පත් සොයා ගැනීම හා ප‍්‍රයෝජනයට ගැනීම ද තරගකාරී ලෙස දියුණුවන බව පෙනේ. තරගකාරීත්වය වර්ධනයවීම හමුවේ ජගත් ප‍්‍රජාවට අලූත් අවස්ථා ද බිහිවන්නට පටන්ගෙන ඇත. පවතින සම්පත් උපරිම ආකාරයට ප‍්‍රයෝජනයට ගැනෙන ආකාරය ගැන හිතන්නට පටන්ගෙන ඇත. මෑත කාලය තෙක් ලෝකයේ වාහන අයිතිය තිබුණේ සීමිත පිරිසකටය. නමුත් කවර හෝ ආකාරයේ වාහනයක් හිමි පවුල් ලෝකයේ බහුල වෙමින් තිබේ. එය වර්ධනයකි. එම වර්ධනය හමුවේ නිපැයුමේ සිට පාරිභෝජනය දක්වා විශාල වර්ධනයක් සිදුව ඇත.

ජාන තාක්ෂණය පස්වැනි කරුණයි. වෛද්‍ය විද්‍යාවේ සොයා ගැනීම් හමුවේ ස්වභාවික රීතිය වෙනස් ව තිබේ. ජාන වෙනස් කිරීමෙන් නිෂ්පාදනය වැඩි කිරීමේ සිට ඒ හා සමාන කාබන් පිටපත් වැනි සතුන් හා ගහ කොළ නිපදවන්නට ද මිනිසුන් සමත්ව ඇත. කෘෂිකර්මය සත්ව පාලනය වැනි පැති වලට දඑය බලපා තිබේ. ලෝකය වෙනස් කරන්නට බලපා ඇති මවිත කරන කරුණකි. ඉදිරියේ දී එය තවත් ප‍්‍රසාරණය වනු ඇති අතර ගෝලීයකරණයට ලක් වූ ජාත්‍යන්තරය මහත් පෙරැුළියකට මුහුණ පාන බව නිසැකය. ඇතැම් අංශවල දියුණු රටවලට පමණක් සීමාවී ඇති ජාන තාක්ෂණය ලොව පුරා සුලබ යාන්ත‍්‍රණයක් වනු නිසැකය.

ඇල් ගෝ සිය හය වැනි කරුණ ලෙස දක්වන්නේ මිනිසා සහ පරිසරය යන කරුණයි. මිනිසාගේ බලපෑමෙන් පරිසරය වේගයෙන් වෙනස් වන්නට පටන් ගෙන ඇත. එහි ඵල විපාක ලෝකයට අත්විදින්නට සිදුව තිබේ. පරිසරය නොතකා ක‍්‍රියාකිරීම හමුවේ ස්වභාවිකත්වය අභියෝගයට ලක්ව ඇත. සංවර්ඡුනය හමුවේ ධරණී තලයේ ජල චක‍්‍රය විකෘති වී ඇති බව අනාවරණය වෙයි. එය අධික වැසි සහ දිග නියං වකවානු ඇතිකරන්නටහේතු වී ඇත. ලෝකය වෙනදා නො ඇසූ සුනාමි, සුළි සුලං, භූමි කම්පා හා ටොනාඩෝ අද නොයෙක් තැනින් වාර්තා වෙයි. තාක්ෂණික සහ යාන්ත‍්‍රික වශයෙන් දියුණු වී ඇති නමුත් ඉදිරියේ දී යුද්ධයක් ඇතිවුවහොත් එය පිරිසිදු ජලය වෙනුවෙන් යැයි උපකල්පනය කරන තරමට ස්වභාවික පරිසර සාධක ජන ජීවිතයට බලපාන බව අනාවරණය වෙමින් තිබේ.

මෙම කරුණු හය ලෝකය වෙනස් කරන ප‍්‍රධාන සාධක බව ඇල් ගෝ රචනා කරන ලද කෘතියේ පදනමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා විවෘත ආර්ථකය ජගත් ප‍්‍රජාවට විශාල මෙහෙවරක් කර ඇති බව පිළිගන්නා හෙතෙම එයට විකල්ප සාර්ථක ක‍්‍රම තවමත් ඉදිරිපත්ව නැති බව පෙන්වා දෙයි. නමුත් මෙම ක‍්‍රම දැනට පවතින්නේ විකෘති ස්වභාවයකින් බව ද ඇල් ගෝ ගේ අදහසයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමාජය පාලනය කරන ජන සම්මතවාදී නියෝජනය නමුත් එය අද විකෘතියට ලක්ව ඇත. විවෘත ආර්ථික ක‍්‍රමයෙන් සෑම පුද්ගලයෙකුටමසමාන අවස්ථා සැපයෙනු ඇතැයි අපේක්ෂා කළ නමුත් එය යථාර්ථයක්වූයේ සීමිත කාලයකටය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නමින් බලය තහවුරු කර ගැනීමට නොයෙකුත් විධාන ඇති කරගන්නට පාලකයන් සමත් වී ඇති අතරම විවෘත ආර්ථිකයේ මුවාවෙන් ධනය ඉපැයීමේ අනවරත කැමැත්තට ද බලය එකතු වී තිබේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය දියුණු සමාජ වල පවා මැද පන්තිය අපේක්ෂා භංගත්වයට පත්ව තිබේ. තමන්ට යම් වෙනසක් කරන්නට නොහැකි යැයි සිතන්නට පටන්ගෙන ඇත. මුල් කාලයේ දී සමාජ පරිවර්තනයක් ඇතිකරන්නට මැද පැලැන්තියේ ජනතාවගේ ධෛර්යය හා ආත්ම ශක්තිය මහගු ලෙස උපයෝගී විය. බුද්ධිමත් ජන කොටස ජනමත ඇති කළේය. නායකයන් තීන්දු ගත්තේ බුද්ධිමත් ජන කොටස ඉදිරිපත් කරන නිර්වචන පදනම් කරගෙනය. ඇල් ගෝ අවසාන වශයෙන් පෙන්වන්නේ නිෂ්පාදනය වැඩි කරන්නට, ධනය බිහිකරන්නට ක‍්‍රමය ඉවහල් වූ නමුත් කෙටි කාලීන බලාපොරොත්තු ඇති කිරීමෙන් එය නිස්සාරත්වයට පත්ව ඇති බවයි. තාක්ෂණික යුගය මෙම තත්ත්වය යළි ආපසු හැරවීමට ඇති එක්තරා අවස්ථාවකි. අන්තර් ජාලය ප‍්‍රයෝජනයට ගෙන මහජනතාව සෘජු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ට නැඹුරු කළ හැකිය. එය නායකයන් ගේ වගකීමකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ විවෘත ආර්ථිකයේ බලය අපේක්ෂා නොකළ පිරිසක් අතට පත්වීමෙන් පැවති ශිෂ්ඨාචාරය වෙනස් වී තිබේ. ලෝකය වෙනස් කරන්නට බලපාන ප‍්‍රධාන බල සාධක හය ඇසුරු කරගෙන යහපත් පරිවර්තනයකට මග පාදා ගැනීම සමාජයේ වගකීමයි. ඇති වෙමින් පවතින ප‍්‍රවනතාව අනුව ගමන තේරුම් ගන්නා සමාජයකට විශාල සාර්ථකත්වයක් අත් පත් කර ගත හැකිය. එය නොතකා නොසලකා අත්තනෝමතික ආකාරයකට ගමන් කරන සමාජයකට මහා ඛේදවාචකයකට මුහුණ දෙන්නට සිදුවෙයි. එය තීරණය වන්නේ සමාජයේ ඉදිරියෙන් සිටින නායකයන්ගේ දැක්ම අනුවය.

ඇල් ගෝ වැනි ජේ්‍යෂ්ට නායකයින් දක්වන මත ජාත්‍යන්තර සමාජය නිර්නායක සේ සාකච්ඡාවට ගනී. එවැනි පණිවුඩ අප සමාජයට ද ගලපා ගැනීම වටී. පසුගිය දශක කිහිපය තුළ සමාජය දියුණු වී ඇත. පණිවුඩ හුවමාරුව, වර්ධනය හා ජාන තාක්ෂණය රටට අත්දැකීම් ගෙන දී තිබේ. මිනිස් ක‍්‍රියාකාරකම් සහ පරිසරය ද රටට නිසි අනතුරු ඇගවීම කර තිබේ. පුළුල් දැක්මක් ඇති නායකයන්ට අනාගතය උදෙසා පවතිනවා ද නොඑසේනම් අන්ධකාරය කරා සමාජය කැදවාගෙන යනවා දැයි තීරණය කළ හැකිය. සමාජයට අදීන බුද්ධිවන්තයන් බිහි කළ මධ්‍යම පැලැන්තිය නිහඩවීම එය ඉක්මන් කරන සාධකයක් බව අවබෝධ කරගත හැකිය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.