» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
03/02/2013 - ඉරිදා ලංකාදීප
ධෛර්යවන්ත මිනිසුන්ට අනාගතයක් හිමි නිදහස් රටක් - මිලින්ද මොරගොඩ

ශ‍්‍රී ලංකාව නිදහස්, ස්වෛරී රාජ්‍යයක් බවට පත්ව අවුරුදු හැට පහක් සම්පූර්ණ වෙයි. ඉකුත් කාලය තුළ ආපසු හැරී බලා එයින් අත්දැකීම් ලැබ අනාගතය වෙත බලාපොරොත්තු සහගත ගමනක් යාමට කාලය උදා වී තිබේ. ගැටුම් හා ප‍්‍රචණ්ඩත්වය හෙයින් පසුගිය කාලයෙන් අවුරුදු තිහක් රටට අහිමි විය. එය පරම්පරා දෙකක සමාජ සැලසුම් බරපතල ලෙස විනාශයට පත්වීමකි. වරද සිදුවුයේ කොතැනක දැයි ප‍්‍රශ්න කිරීම පහසුය. ආර්ථික සහ සංස්කෘතික වශයෙන් සිදුවූ හානිය තක්සේරු කිරීම අපහසුය. චෝදනා කිරීමෙන් පලක් නැත. පසුගිය කාලය තුළ නිවැරදිව ක‍්‍රියාකළ අවස්ථා කොතැන ද හා සමාජයට ගමන් මග වැරැදුන තැන ගැන සමාලෝචනයක නිරතවීම අවශ්‍යය.

යටත් විජිතයක්ව තිබිය දී, වැවිලි ආර්ථිකයට ප‍්‍රමුඛස්ථානයක් හිමිව තිබිණ. තේ, රබර් සහ පොල් එවකට මෙරට කෘෂිකර්මයේ විනිමය උපයන ප‍්‍රධාන ක්ෂේත‍්‍ර විය. නිදහස ලබන වකවානුවේ ලෝක වෙළෙද පොලේ රබර් මිල ඉහළ මට්ටමක පැවතීම රටට වාසිදායක පසුබිමක් සැකසීය. ආර්ථික සශ‍්‍රීකත්වය පැවති එම කාලයේ දී ආණ්ඩු, රජයේ වියදමින් අධ්‍යාපනය, සෞඛ්‍ය, ප‍්‍රවාහනය, ආහාර ඇතුළු නොයෙකුත් මහජන අවශ්‍යතා වෙනුවෙන් සහනාධාර ක‍්‍රම අනුගමනය කළේය. මහජනතාවට රජය සපයන ලද සේවා හෙයින් ජීවිතය එතරම් අපහසු එකක් වූයේ නැත. ආර්ථිකය තුළ ප‍්‍රශ්න මතුවීම සහ ජාත්‍යන්තර වෙළදාමේ සිදුවන වෙනස්කම් වලට ක්ෂණිකව අනුගත නොවීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් රටට සහ මහජනතාවට නොයෙකුත් ප‍්‍රශ්න වලට මුහුණ දෙන්නට සිදුවිය. සහල් මිල වැඩිවන විට, අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් කපා හරින විට මහජනතාව නොසන්සුන් වූ බව ඉතිහාසය කියයි. ජීවන වියදම වැඩි වී රුකී රක්ෂාහි`ගවන විට ආණ්ඩුවලට එරෙහිව මහජනතාව නැගී සිටි අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගැනීම උදෙසා කැරළි මර්දනය කර සන්සුන් තත්ත්වයකට මග පාදා ගැනීම පාලකයන්ගේ වෑයම වූ බව පෙනේ. පවතින ක‍්‍රමය වෙනස් කිරීමෙන් අලූත් යුගයකට මග පාදා ගත හැකි බවට තර්ක කරමින් නැගුන මතවාද තුළ ශ‍්‍රී ලංකාවේ ගමන් මග නොයෙකුත් ගැටලූවලට මුහුණ දුන් බව පැහැදිලිය. සමාජ සම්මතය අනුව ක‍්‍රමය වෙනස් කිරීම පහසු නැති බව පෙනෙන විට අවිගත් කැරළි සහ ප‍්‍රචණ්ඩ ත‍්‍රස්තවාදය පැතිරිණ. දස දහස් ගණනක් ජීවිත රටට අහිමිවිය. විනාශ වූ දේපොල ප‍්‍රමාණය මහත්ය.

එකී කාල පරිච්ෙඡ්දය අවසන්ව ඇති වර්තමානයෙහි මෙරට ආර්ථිකයේ මර්මස්ථාන බවට පත්ව ඇත්තේ විදේශගත ශ‍්‍රී ලාංකිකයන් එවන ධනය, ඇ`ගලූම් කර්මාන්තය සහ තේ අපනයනයයි. කර්මාන්ත සහ වෙළ`ද පොළ ස`දහා අවශ්‍ය දේ අපනයනය කරන ලද ශ‍්‍රී ලංකාව සේවා ආර්ථිකයක් ඇති රටක් බවට පරිවර්තනය වී ඇත. සේවා ආර්ථිකයේ විශාලම කොටස හිමිව ඇත්තේ විදේශගත ශ‍්‍රමයටය. මෑත කාලීනව මහත් ආන්දෝලනයකට ලක්වූ මරන ද`ඩුවමට ලක්වූ රිසානා නමැති කාන්තාවගේ සිද්ධිය එහි එක් ඉරණමක් දක්වයි. මැදපෙරදිග හා සෙසු රටවලින් මෙරට ශ‍්‍රමිකයන් ගැන ඇසෙන ශෝකාකූල කතා අතර එය එකක් පමණකි. මෙරට දරු පවුල් ආරක්ෂා කරන්නට පිටරට යන දෙමවුපියන් නිසා දරුවන් ද, කුටුම්බ ජීවිත ද ඛේදවාචකයකට ලක්ව තිබේ. දරුවන් නිසා පිටරට යන මවුවරුන් හමුවේ මෙරට ළමා පරපුරෙන් සැලකිය යුතු කොටසක් අතරමං ව සිටී. ඇ`ගලූම් කර්මාන්තය ශුද්ධ විදේශ විනිමය උපයන එකක් නොවේ. කර්මාන්තය වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණය හා අමු ද්‍රව්‍ය වෙනුවෙන් එතෙරට යන ධනය සැලකිය යුතු තරම්ය.

නිසි අවස්ථාවේ දී රටට ගැලපෙන ආර්ථික තීන්දු ගන්නට හැකියාව ලැබුණේ නම් ගැටුම් හා ත‍්‍රස්තවාදය පැතිරෙන්නේ නැත. රට වැසියන්ට වෙනත් රටවලට ගොස් දුකසේ හරි හම්බ කරන්නට සිදුවන්නේ ද නැත. එවැනි පරිවර්තනයක් තිබුණේ නම් වත්මන් ශ‍්‍රී ලාංකිකයෝ දියුණු ආර්ථික ජයග‍්‍රහණයක කොටස්කරුවන් වන බව නිසැකය. සංචාරක ව්‍යාපාරයේ වර්ධනයෙන් ලැබෙන විශාල ආදායමෙන් එය විය හැකිය. නොඑසේනම් තොරතුරු තාක්ෂණය වැනි දියුණුවන අවස්ථාවකින්ය. එවැනි වටිනා අවස්ථා අර්ථවත් ලෙස උපයෝගී කර ගන්නට රටට ඉඩ නොලැබිණ. එහෙයින් අද රටට වැඩිම විදේශ විනිමය ප‍්‍රමාණයක් උපයන්නේ මැද පෙරදිග ඇතුළු නොයෙක් රටවල දුශ්කරතා වි`දිමින් සේවය කරන ලාංකිකයන්ය. මෙය නූතන වහල් සේවාවකි. රට තුළ රැකියාවක් සොයා ගැනීමට නොලැබුණ සහ තම පවුල දුක් කරදර වලින් මුදවාගෙන අලූත් ජීවිතයකට ඇතුල් කරන අදහසින් නොයෙකුත් දෙනා විදේශ රැකියා ස`දහා පිටත්ව ගොස් තිබේ. ඔවුන් ගත කරන්නේ සැපවත් ජීවිත නොවේ. සංචාරක කර්මාන්තය දියුණු වූයේ නම් මෙලෙස විදේශයන්ට මෙරට මානව සම්පත යොමු නොවන බව නිසැකය. නමුත් දැනට එතෙර ගොස් සිටින දස ලක්ෂයක් තරම් වන ලාංකික ශ‍්‍රමිකයන් හෙයින් රට තුළ විශාල ආදායම් මාර්ගයක් මතුව ඇති අතරම සමාජය විකෘති කරන ගැටලූ ගණනාවක් ද ඇතිකර තිබේ. නුපුහුණු ශ‍්‍රමය හෙයින් වැඩි වැටුපක් ලැබෙන්නේ නැත. ලැබෙන රැකියා මාර්ග වැඩි කොටසක් ද පහල මට්ටමේ ඒවාය. මග හැරී ගිය අවස්ථා යළි උදා කර ගන්නට නම් ප‍්‍රමිති සහ සැලසුම් අවශ්‍යය. මැද පෙරදිග ශෝකාන්ත වාර්තා වූ වහාම විදේශ රටවලට යැවීම නතර කිරීම එකම උත්තරය නොවේ. ලෝකයේ වෙනත් රටවල් එයට මුහුණ දී ඇති අයුරු විමසා බැලිය යුතුය. පිලිපීනය සහ ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තය හෙද සේවාව ශ‍්‍රමිකයන් සපයයි. එය විශේෂිත පුහුණුවක් ඇති ආදායම් මාර්ගයකි. හො`දින් පුහුණුව ලත් හෙද හෙදියන් මැද පෙරදිග පමණක් නොව යුරෝපයට ද යැවීමෙන් විශාල ආදායමක් සහ වෘත්තීය ගරුත්වයක් දිනා ගෙන ඇත. ශ‍්‍රී ලාංකික කාන්තාවන් හෙද සේවයට පුහුණු කළ හැකිය. ආණ්ඩුවට පමණක් නොහැකි නම් පුද්ගලික අංශයට ද අවස්ථාව දිය හැකිය. නමුත් සමාජය සිතන පතන ආකාරය පටුය. ''ලංකාවේ සංචාරක හෝටලයක සේවය කරන්නට අකැමැති නොයෙකුත් දෙනා මැදපෙරදිග රටක බැල මෙහෙවර කරන්නට කැමතිය''. ''ආණ්ඩුවට පුහුණුව දෙන්නට නොහැකිනම් පුද්ගලික අංශයට එය විවෘත කිරීම නුසුදුසුය''. මෙවැනි ආකල්ප ඇති තාක් රට තුළ යම් පරිවර්තනයක් කරන්නට හැකියාවක් නැත.

ආකල්ප වෙනස්කළ යුතු පාසලේ පන්ති කාමරයේ සිටය. බි‍්‍රතාන්‍යයේ කම්කරු විලප්ලවය සිදුවන්නට කලින් 1800 ගණන් වල තිබුණ ආකල්ප අද තවමත් මෙරට පවතී. එදා බි‍්‍රතාන්‍ය සමාජයේ වැදගතුන් ලෙස හැසිරුණේ වැඩකරන ජනතාව නොවේ. අත් වල මඩ හෝ දැලි නැති ටයි පැළැ`දි සුළු පිරිසක්ය. ආණ්ඩුවට සේවය කළ එම පරිපාලන පෙලැන්තිය වැඩකරන ජනතාවට වඩා ඉහළින් සිටියේය. අද එසේ නැත. ශ‍්‍රමයට ගරුත්වයක් ලැබී තිබේ. අප රටේ ද එම ආකල්ප වෙනස ඇති විය යුතුය. පාසල් අධ්‍යාපනයේ දී ශ‍්‍රමාභිමානය, වෘත්තීය පුහුණුව යන ආකල්ප ඇතිකර දරුවන් ව්‍යවසායකත්වයට නැඹුරු කිරීමට හැකිවන ආකාරයේ අධ්‍යාපන ක‍්‍රමයක් රටට අවශ්‍යය. වැඩ කිරීමෙන් ධනය ඉපැයිය යුතුය. කරන සේවය අනුව ගරුත්වය හිමිවන සමාජයකින් රටට පැවැත්ම ඇතිවෙයි. වර්තමාන අධ්‍යාපනයේ දී කොටසක් ඉහළටම නැගෙන අතර තවත් කොටසක් සමාජයේ අතරමංවෙයි. එම පිරිස තම අනාගතය සකස්කර ගන්නට නම් රජයේ සේවයට ඇතුළු වන්නට වෙර දරයි. එය ධනය උත්පාදනය නොකරන සේවා තැනෙකි. රජයට ඇතුළු වීමෙන් වැඩි සේවයක් සිදුවන්නේ නම් රාජ්‍ය සේවය ගැන මහජනතාවට සතුටක් තිබිය යුතුය. නමුත් එසේ නැත. මහජනතාව අතෘප්තියට පත් කරන රජයේ සේවය යැපෙන්නේ ජනතාවගේ බදු වලින්ය. රජයේ සේවයට එකතු වනන්ට ඉඩ නැති පිරිස විදේශ රටවල රැකියා වලට යයි. එවැනි ආර්ථිකයකින් රට දියුණු කරන්නට නොහැකිය. අධ්‍යාපනයට කරන ආයෝජනය නිවැරදිම එකක් නොවන බව මෙයින් පැහැදිලිය. දියුණු වන අතර දරුවන්ට බාල වියේ සිටම රටට වැඩදායක වෘත්තියකට ඇතුළු වන්නට මග පාදන ආකල්ප වෙනසක් ඇතිකරන රාමුවක් අද අවශ්‍යව තිබේ.

එය කළ හැක්කේ වැඩ කරන ජනතාවට රට තුළ නිසි පිළිගැනීමක් ඇති කිරීමෙන්ය. මෙරට වෘත්තියක නිරත වන්නට අකමැති පිරිසක් පිටරටක ගොස් නොපෙනෙන්නට ස්වකීය ආත්ම ගරුත්වයට ද හානි වන ආකාරයේ දුෂ්කර රැකියා කිරීම යුක්ති සහගත නැත. එසේ කරන රැකියා වලින් උපයන ධනය රටේ ඉහළම විනිමය උල්පත වීම කනස්සල්ලට හේතුවකි. රට තුළ ව්‍යවසායකත්වය ඇතිවන්නේ නම් කෘෂිකර්මය, ධීවර කර්මාන්තය වඩා හා මේසන් වැනි කර්මාන්ත අභිමානවත් වෘත්තීන් බවට පත් කළ හැකි නම් රට තුළ දැනට පවතින ගැටලූ වලට විස`දුමක් ලැබෙනු නිසැකය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.