» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
02/12/2012 - ඉරිදා ලංකාදීප
ව්‍යුහාත්මක වෙනසකින් විනා පවතින චක‍්‍රයෙන් මිදෙන්නට නොහැකිය - මිලින්ද මොරගොඩ

අය වැය යෝජනා ඉදිරිපත් කිරීම සම්ප‍්‍රදායකි. නිදහස ලැබූ දිනයේ පටන් ආණ්ඩු අය වැය ලේඛන ඉදිරිපත්කර තිබේ. රජය උපයා ගන්නා ආදායම හා එය වියදම් කරන ආකාරය ගැන කලින් සැලැස්මක් ප‍්‍රකාශයට පත් කිරීම එහි අරමුණයි. සමාජවාදී හෝ අවෘත ආර්ථික පවතින යුගයක අය වැය විශාල එකකි. නමුත් දැන් විවෘත ආර්ථිකය සහ වේගයෙන් ආර්ථික සංකල්ප වෙනස්වන වකවානුවක අය වැය යනු ඇස්තමේන්තුවක් පමණකි. පසුගිය කාලයේ පැවති ආණ්ඩු හා නායකයන් තමන්ගේ දර්ශනය අනුව ආර්ථික සැලසුම් කි‍්‍රයාවට නැගූහ. එය එක් එක් කාලයේ පැවති තත්ත්වය අනුව ගන්නා තීන්දුවකි. දේශපාලන පක්ෂ ආණ්ඩු බලය ඉල්ලන්නේ රට දියුණු කරන්නටය. කිසිදු නායකයෙකු රටට අනාදරයෙන් රට ගැන කැක්කුමක් නැතිව ක‍්‍රියා කරනු ඇතැයි කල්පනා කිරීම අපහසුය. ඔවුන් දකින, ඔවුන් විශ්වාස කරන පදනම අනුව ප‍්‍රතිපත්ති ඉදිරිපත් කරයි. නිදහසින් පසු යුගයේ ආර්ථිකය නිවැරදිව හසුරවන ක‍්‍රමවේදයකට රට ගමන් කළේ නැත. හැම ආණ්ඩුවක්ම දැන හෝ නොදැන ආණ්ඩුවේ වියදමින් ජනතාව නඩත්තු කරන ක‍්‍රමයකට ඇතුළු විය. ජනතාවට ද එය හුරුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක එයට විකල්ප අදහස් තිබෙන බව ඇත්තකි. විකල්ප මත ඉදිරිපත් කරන්නට ද අවස්ථාව ඇත. රටක පැවැත්මට නිසි අවස්ථාවේ දී සමබර නිසි තීන්දු ගැනීම ප‍්‍රතිපත්ති සම්පාදකයන් ගේ වගකීමකි.

අය වැය සම්බන්ධව මහජනතාවට විශාල බලාපොරොත්තු තිබේ. වාර්ෂික අය වැය ලේඛනයෙන් තම ප‍්‍රශ්න වලට විසදුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන පිරිස විශාලය. නමුත් ඕනෑම ආණ්ඩුවකට සියලූම බලාපොරොත්තු එක ලෙස සාක්ෂාත් කළ නොහැකිය. බරපතලම අභියෝගය එයයි. අය වැය අනුව රටට ආදායම අපයා ගන්නේ ජනතාව ගෙවන බදු වලිනි. එම බදු රටේ ආරක්ෂාවට, සංවර්ධනයට සහ සමාජ සුබ සාධනයට වැය කෙරේ. මෙරට දේශපාලනය ජනපි‍්‍රය සංසස්කෘතියට යටත්ව තිබේ. දේශපාලනඥයන් තීන්දු ගන්නේ මනාපය ගැන සැලකිල්ල දක්වමින්ය. රට ගැන සිතා ප‍්‍රතිපත්ති අනුව ක‍්‍රියා කරන්නට ගොස් මනාප අහිමි කර ගන්නවාට වඩා මහජනතාව දිනා ගෙන ඔවුන් සතුටු කරන දේශපාලනයකට මෙරට නැඹුරුය. නොදැනුවත්වම ආර්ථිකය ද ගමන් කරමින් සිටින්නේ එම දිශාවටය. නිදහස ලැබූ වකවානුවේ සිට මහජනතාවට නොමිලේ සහල් ඇතුළු නොයෙකුත් සහනාධාරක‍්‍රම ක‍්‍රියාත්මක කර ඇත. ආණ්ඩු පත් වූයේ හා ආණ්ඩු බලයෙන් පහ වූයේ සහනාධාර සම්බන්ධයෙන් ගත් තීන්දු අනුවය. මහජනතාවගේ අපේක්ෂා ඉටු කරන ජනප‍්‍රිය ආර්ථිකය කුස පුරවන නමුත් අනාගතය බිහි කරන්නේ නැත. දියුණුව ඇති කරන්නට නම් කැපවීම අවශ්‍යය. රජය කළ යුතු ධනය බිහිකරන, රුකායා ඇතිකරන වගකීම එය නිසි ආකාරයෙන් කරන්නට හැකි පිරිසට බාර දී එයින් ලබා ගන්නා බදු වලින් සමාජයේ නැගී සිටින්නට ප‍්‍රයත්න දරන කොටසට වාරුවක් වෙමින් අවශ්‍ය යටිතල පහසුකම් නැංවීමයි. එයට කැපවීම අද කළ යුතු ප‍්‍රතිසංස්කරණයයි. කැපවීමකින් තොරව දියුණුව අත්පත්කර ගත් රටක් නැත.

2013 අය වැය හරය සම්බන්ධව පුළුල් සංවාදයක් ඇති කළ යුතුය. ජනප‍්‍රිය ආර්ථිකයෙකින් ඇති කරන සමාජ යැපීම වෙනුවට රට ගොඩනගන්නට ගත යුතු මග ගැන අවබෝධයක් ඇති වන්නේ එවිටය. මෙවර අයවැය ඇස්තමේන්තු අනුව රජයේ වාර්ෂික ආදායමෙන් සියයට තිස් පහක් වැය කරන්නේ මෙතෙක් ලබාගෙන ඇති ණය වාරික හා ණය පොලිය ගෙවීමට බව පෙනේ. එය ආදායමේ විශාලම කොටසයි. දෙවැනිව රජයේ ආදායමෙන් සියයට තිස් තුනක් වැය කරන්නේ රජයේ සේවක වැටුප් හා විශ‍්‍රාම වැටුප් වෙනුවෙන්ය. රජයේ වාර්ෂික ආදායමෙන් සියයට විසි එකක් සහනාධාර ක‍්‍රම වෙනුවෙන් වැය කරන බව නිරීක්ෂණය කළ හැකිය. සමෘද්ධිය, ගොවියන්ගේ පොහොර සහනාධාරය, පාසල් දරුවන්ට පොත් නිල ඇදුම් හා ආහාර ඇතුළු නොයෙකුත් සහන වලට මෙම කොටස වෙන් වෙයි. ඉතිරි වන්නේ ආදායමෙන් සියයට එකොලහක් පමණකි.

රුපියල් සියයක ආදායමක් උපයන දරු පවුලක් නම් එයින් ණය පොලිය, ඇතුළුව මෙමම වියදම් ඉවත් කළ පසු රුපියල් එකොලහකින් ජීවත් වන්නේ කෙසේද? ඔවුන්ට එයින් ඉතිරි සියලූම අවශ්‍යතා සපුරා ගන්නට බල කළ හැකිද? ආණ්ඩුවට සිදුව ඇත්තේ ද එයයි. දැන් ගෙවන ණය වර්තමාන ආණ්ඩුව පමණක් ගත් ණය නොවේ. රජයේ සේවක වැටුප් විශාල වියදමක් වී ඇත්තේ වත්මන් රජයේ ප‍්‍රතිපත්ති හෙයින් ම නොවේ. මෙය මෙතෙක් අනුගමනය කරමින් සිටින ප‍්‍රතිපත්ති වල එක්තරා සන්ධිස්ථානයක් පමණකි. එය අවබෝධ කර ගැනීම වැදගත්ය. සියයට එකොලහක ඉතිරියෙන් සමාජයේ විවිධ තැනින් අය වැයෙන් ඉල්ලන කිසිදු දෙයක් සම්පූර්ණයෙන් සපුරාලිය නොහැකිය. සංවර්ධනය, අලූත් කර්මාන්ත වෙනුවෙන් ආයෝජනය හෝ අධ්‍යාපනය වැඩි දියුණු කරන්නට මෙම සුළු මුදග කිසිසේත් සෑහෙන්නේ නැත. එවැනි අවස්ථාවක යළිත් තව තවත් ණය ගැනීමට තැත් දරනවා හැරෙන්නට අන් මගක් නැත. ඕනෑම නායකයෙකු මෙබදු තත්ත්වයක දී ලෝකයේ ඕනෑම තැනකින් ණය හෝ ආධාර උපයා ගෙන ජනතා අවශ්‍යතා ඉටු කරනු නිසැකය. එය ආණ්ඩුවක වගකීමකි. රාජ්‍ය පාලකයෙකුගේ යුතුකමකි.

වියදම අඩු කර ගැනීම අද වහා ඉටු කර ගත යුතු කාර්ය භාරයකි. පහසු නැත. එවැනි අවස්ථාවක ආදායම වැඩි කර ගැනීම අවශ්‍යය. ජනතාව මත බදු පටවා ඔවුන්ගෙන් රජයේ ගාස්තු නංවා ආදායම වැඩි කර ගන්නට හැකියාවක් තිබේ. වැඩකරන ජනතාවගේ අතට සුළු මුදලක් දෙන ආණ්ඩුවකට එය යළි උපයා ගන්නට නොයෙකුත් උපාය අනුගමනය කළ හැකිය. ජනතාව අපහසුතාවයට පත්කරන එවැනි සැලසුම් කල් පවතින දෙය නොවේ. ජනතාවාදී ආණ්ඩුවකට නිසි ගෞරවය අත්වන්නේ ආදායම වැඩි කර ගැනීමට කරන අලූත් ආයෝජන අනුවය. තමන්ට ආයෝජනය කරන්නට ශක්තිය නැති නම් එය කළ හැකි පාර්ශවයකට ඉඩ දී එයින් ලැබෙන වාසි රටේ යහපතට හරවා ගත යුතුය.

ලෝක ආර්ථිකයේ ගැටලූ තිබේ. එම පීඩනය රටට දැනෙන බව පැහැදිලිය. සමාජ ගෝලීයකරණයකට ලක් වූ අවස්ථාවක ලෝකයේ එක් තැනෙක සිදුවන පරිවර්තනය සමස්ථයටම පොදු එකකි. ලෝක ආර්ථිකය ප‍්‍රශ්න වලට මුහුණ දෙන අවස්ථාවක ශ‍්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන වේගය ද අඩුවී තිබේ. සංවර්ධන වේගය වැඩි කරන්නට නම් අලූත් ආයෝජන අවශ්‍යය. ප‍්‍රතිපත්ති පර්යේෂකයන් දක්වන අන්දමට ශ‍්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට දහයකින් වැඩි කරන්නට නම් වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 35-40 ක පමණ ආයෝජනයක් අවශ්‍යය. එම ආයෝජනය ද කල් නොහැර කළ යුතු කඩඉමකට ශ‍්‍රී ලංකාව සේන්දු වී තිබේ. එය ජනගහනයේ වයස් ප‍්‍රශ්නයයි. මෙරට ජනගහනය ක‍්‍රමයෙන් වැඩි මහලූ වෙමින් පවතින අතර ළමා හා වැඩිහිටි ජනගහනය සමස්ථ සමාජයේ ප‍්‍රතිශතයක් වශයෙන් දියුණුවන රටකට දරා ගත නොහැකි තත්ත්වයකට පත්වෙමින් තිබේ. එහි අවසාන ගැටලූව ශ‍්‍රමය හිග රටක් බිහිවීමයි. වැඩ කරන්නට හැකි වයසේ ජනගහනයක නැති ඉදිරි කාල පරිච්ඡේදයක ධනය ඇතත් එය ආයෝජනය කරන්නට නොහැකි අක‍්‍රීය යුගයකට ශ‍්‍රී ලංකාව පත්වීමේ අවදානමක් තිබේ. එය සමාජ ප‍්‍රශ්න තවත් බරපතල විය හැකි තත්ත්වයක් බව සදහන් කළ යුතුය.

බුද්ධිමත් ජනතාව මෙවැනි අනතුරක් හමුවේ සංවාදයක් ගොඩනැගිය යුතුය. අද පවතින ප‍්‍රශ්න හුදු දේශපාලන ඒවා විය හැකිය. නමුත් අපේ දරුවන්ට අනාගතයේ දී මුහුණ පාන්නට සිදුවන්නේ ආර්ථිකයේ අභාග්‍ය සම්පන්න අවස්ථාවකට නම් කල් තබා එයට විසදුම් සකස් කිරීමේ වගකීමක් අපට තිබේ. දරුවන්ට හො`දම පාසලට යවා, අතිරේක පන්ති වලට යොමුකර ඉතා ආදරයෙන් බලාගන්නා නමුත් දෙමවුපියන් ඔවුන්ට ඉතිරි කරන අනාගතය අවිනිශ්චිත බව මෙයින් පැහැදිලි වනු ඇත. ආණ්ඩුවෙන් යැපෙන ක‍්‍රමයෙන් මිදෙන ආකල්ප දරුවන් තුළ ඇති කළ යුතුය. ආණ්ඩුව සහන දෙන විට එය කරන්නේ ජනතාවගෙන්ම ගන්නා බදු වලින් බව වටහා ගත යුතුය. එයට විසදුම ඇත්තේ ව්‍යුහාත්මක වෙනස්කම් කරන තීන්දුවක පමණකි. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයේ හැබෑ තත්ත්වය පර්යේෂණාත්මක පෙරැළියකට පත් කළ යුතුය. ප‍්‍රතිසංස්කරණයකට මහුණ දිම අද වේදනාත්මක එකකි. දුක් වි`දින්නට සිදුවෙයි. ජනප‍්‍රිය ආර්ථිකයක් නොවේ. නමුත් ආදායමෙන් සියයට එකොලහක් පමණක් ඉතිරි කරගෙන රටට ඉදිරි ගමනක් නැත. ණය අඩු කරන රජයේ සේවක වැටුප් වියදම සීමාසහිත කරන සහ සුබසාධනය අවශ්‍යම තැනට පමණක් යොදවන ආකාරය ගැන අප සියලූම දෙනා හොද අවධානයකින් සාකච්ඡුා කළ යුතුය. ආර්ථිකය ආණ්ඩුවක කාර්යයක් විනා එහි අපට යමක් නැතැයි සිතන්නට අයිතියක් තිබේ. ආණ්ඩුව ද එසේ කරනු ඇත. ක‍්‍රමයෙන් ණය බර, වැටුප් වියදම හා සුබසාධනය තව තවත් දරාගත නොහැකිවන විට බදු අය කරන්නේ පොදු ජනතාවගෙන්ය. එය දැනෙන එකක් විය හැකිය. දැනටත්, සාමාන්‍යයෙන් පැවතිය යුතු මට්ටමකට වඩා සෘජු හා වක‍්‍ර බදු අයකරමින් සිටී. එය තව දුරටත් බරපතල හා නොවැලැක්විය හැකි තැනකට පත් කිරීම ආර්ථිකයේ ඛේදවාචකයකි. එයට ඉඩ නොතබන්නට නම් වහා ව්‍යුහය වෙනස් කළ යුතුය. බටහිර එය සිදුවෙමින් පවතී. ඉන්දියාවට එය කරන්නට සිදුවිය. චීනය ක‍්‍රමානුකූලව එය කරයි. අපට වඩා ඉක්මනින් එවැනි තීන්දු ගත් රටවල් පැවති දුඛිත ආර්ථික තත්ත්වයන් ගෙන් නැගී දියුණුව කරා අවතීර්ණ වී තිබේ. දකුණු කොරියාව, බ‍්‍රසීලය, මැලේසියාව සහ සිංගප්පූරුව යනාදී වශයෙන් එය ආදර්ශයට ගත හැකි දිග ලේඛනයකි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.