» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
02/09/2012 - ඉරිදා ලංකාදීප
පොදු ජනතාවට ප‍්‍රමාණවත් ආහාර සම්පාදනයේ අභියෝග - මිලින්ද මොරගොඩ

පොදු ජනතාවට අවශ්‍ය ආහාර සැපයුමට නැගෙන බාධා ගැන අවුරුදු හතරකට පසු යළිත් අන්තර් ජාතිකව කතා කරන්නට පටන්ගෙන තිබේ. 2007-08 වකවානුවේ පරිභෝජනයට ගන්නා අත්‍යවශ්‍ය ආහාර මිළ ඉහළට නැගිණ. නිෂ්පාදනය පහත වැටී ආහාර හිගයක් ඇති වීම එයට හේතුවයි. කාලගුණ විපර්යාස එයට බලපෑවේය. ජනගහන වර්ධනය සහ ආහාරයට ගත හැකි තිරිගු හා වෙනත් භෝග ජීව ඉන්ධන නිපදවීමට ද යොදා ගැනීම හිගයට පසුබිම විය. පසුගිය සති කිහිපය තුළ සිදුවීම්නිරීක්ෂණය කරන විට නැවතත් ලෝක වෙළද පොලේ ආහාර ද්‍රව්‍ය මිල ගණන් වැඩි වෙමින් පවතින බව පෙනේ. ලොව පුරා රාජ්‍ය පාලකයන් පොදු ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිසි පරිදි සහ පහසු මිලට සපයන්නට හැකි ආකාරය ගැන වෙහෙසෙති.

අවුරුදු පහකට පසු ඇමරිකාවට බලපා ඇති දරුණු නියගය එරට තිරිගු නිෂ්පාදන ඉලක්කයෙන් හයෙන් එකක් අඩුකරනු ඇතැයි සැලකේ. ලෝකයේ විශාලතම තිරිගු නිපදවන්නා ඇමරිකාවයි. ලෝකයේ අවශ්‍යතාවයෙන් සියයට හතලිහක් නිපදවන්නේ එහිය. එරට වාර්ෂික නිපැයුමෙන් හරි අඩකට ආසන්න ප‍්‍රමාණයක් එතනෝල් නමැති ජීව ඉන්ධන නිපදවන්නට යොදා ගැනේ. අතිරේකව යම් කොටසක් සත්ව ආහාර වශයෙන් යෙදවෙයි. දෙවනුව රුසියාව සහ ඇමරිකාව ලෝකයේ විශාලතම තිරිගු අපනයනයකරුවන්ය. චීනය, බ‍්‍රසීලය, මෙක්සිකෝව, ඉන්දුනීසියාව සහ ඉන්දියාව තිරිගු නිපදවන සෙසු ප‍්‍රධාන රටවල් අතර වෙයි. ඇමරිකාවේ නිපැයුම අඩුවීම වෙළද පොලට තිරිගු සැපයුම සීමා කරනු ඇත. සෝයා බෝංචි නිෂ්පාදනය ද සිමාසහිත වි ඇත. තිරිගු සහ සෝයා බෝංචි මිල වාර්තාගත අන්දමට වැඩිවිය හැකි බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි. ලෝකයේ ආහාර අවශ්‍යතාවයෙන් යම් ප‍්‍රමාණයක් අඩු වන විට එය වෙළද පොලට ලැබෙන සැපයුම සීමා කිරීමකි. වෙළද පොල හැසිරීම අනුව භාණ්ඩයක් හිග වන විට මිල වැඩිවෙයි. එතනෝල් සහ ඉන්ධන මිල සමග සම්බන්ධයට එය බලපාන අතර එහි මිල වෙනස්වීම සාමාන්‍ය ඉන්ධන වෙළද පොලට පීඩනයකි. ඞීසල්, පෙට‍්‍රල් සහ වෙනත් ඉන්ධන වර්ග මිල වැඩි වන්නට ඉඩ කඩ තිබේ. සත්ව ආහාර මිල ඉහළ යාම කිරි පිටි සහ මාශ නිෂ්පාදන මිල වැඩිකරන කාරණයකි.

ඇමරිකාවට අමතරව ඉන්දියාවේ වර්ෂාපතනය අඩුවීම හා චීනයේ යම් යම් පලාත් වල නියගය පැතිරීම ද පොදුවේ ආහාර නිෂ්පාදනයට අහිතකර ලෙස බලපා තිබේ. සහල් සහ සීනි නිපැයුම එහි ඒ අතරින් ප‍්‍රධානය. ලොව පුරා සහල් සහ තිරිගු තොග පරිභෝජනයට ප‍්‍රමාණවත්ව ඇති අතර අවුරුදු පහකට කලින් රටවල් විශාල ගණනක් ආහාර අර්බුදයකට පත් කරමින් සිදුවූ හානිය තරමට පත්වන්නට ඇති ඉඩ කඩ සීමිත බව ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අදහසයි. නමුත් එම සංවිධානය ආහාර මිල ස්ථාවරව පවත්වා ගැනීම වෙනුවෙන් නිසි වෙළද පොල සැපයුමක අවශ්‍යතාව අවධාරණය කරමින් සිටී. නිෂ්පාදනයෙහි යථා ස්වරූපය හදුනා ගැනීමට අවස්ථාවක් ඇමරිකාව හා සෙසු රටවල අස්වැන්න වෙළද පොලට පැමිණීමෙන් පසු දැකගත හැකි වෙතැයි අපේක්ෂා කෙරේ. එවිට ආහාර හිගය සහ මිල පාලනය පහසු එකක් නොවේ. දැන් සිට ම වෙළද පොල මිල උච්චාවචන සහ දේශීය මිල ගණන් වැඩිවීම කෙරෙහි මනා සුපරීක්ෂාවකින් සිටීම වැදගත්ය.

ලෝක ආහාර මිල ගණන් කෙරෙහි බලපාන ප‍්‍රධාන සාධක දෙකකි. ජනගහනය වැඩිවීම එයින් ප‍්‍රධානය. ඉන්දියාව හා චීනය වැනි රටවල විශාල ජනගහනයක් වෙසෙති. ආර්ථික දියුණුව සමග මෙම රටවල ජනතාවගේ පරිභෝජන රටා වෙනස් වෙමින් තිබේ. පසුගිය කාල වලට වඩා ආහාර පාන පරිභෝජනය කරන්නට දියුණුවන ඉන්දියාවේ හා චීනයේ වැසියන් නැඹුරුවීම, නිපදවන ආහාර ප‍්‍රමාණවත් නැති තත්ත්වයකට ඉඩ සලසයි. දෙවනුව ලෝකය පුරා පැතිරෙන විෂම කාලගුණයයි. එය ඉතා බරපතල අන්දමින් ගොවියන්ට සහ ගොවිතැනට හානි කරන්නට පටන් ගෙන ඇත.

කාලගුණ වෙනස්කම් නිසා කලට වැසි නොලැබෙන සහ අවශ්‍ය පරිදි ජල සම්පාදනය නොමැතිවීම විසදා ගැනීමට අපහසු තත්ත්වයකි. ශ‍්‍රී ලංකාවට ද මෙහි බලපෑම දැනේ. රජරට ප‍්‍රදේශයේ වැව් සිදී ඇත. වී ගොවීන් වගා කළ කුඹුරු වාරි ජල සම්පාදනය ප‍්‍රමාණවත් නොවීමෙන් විනාශ වෙමින් තිබේ. එය ඉතා සංවේගදායී සිද්ධියකි. තමන් ගේ වගාව ජල හිගයෙන් විනාශවන ආකාරය මහ පොලවට ආදරය කරන එහිම ගැටී හැපෙමින් රටට බත සපයන ගොවියන්ට දරා ගත නොහැකිය. හම්බන්තොට ඇතුළු ප‍්‍රදේශ වල ජීවත්වන දකුණේ ගොවියන් ද ජලය ඉල්ලා උද්ඝෝෂණය කරමින් සිටිති. වෙනදා ප‍්‍රමාණවත් වන වාරි ජලය මෙවර හිගවීම ගැන නොයෙක් චෝදනා සහ අදහස් පතුරවන්නට පටන්ගෙන තිබේ. එය දේශපාලන උපක‍්‍රමයකි. ගොවියන් සහ අහිංසක ජනතාව කාලගුණ තත්ත්වය සහ ජල කලමණාකරනය ගැන වැඩි අත්දැකීම් රහිත පිරිසකි. ගොවියන්ගේ ගොවිතැන් විනාශ වන බව වාර්තාවන විට වෙළද පොල ක‍්‍රියාත්මක වන්නට පටන්ගෙන තිබේ. දේශීය සහල් මිල වැඩිවෙමින් තිබේ. පසුගිය සති දෙක තුළ රතු කැකුලූ සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 44.00 සිට 50.00 තෙක් වැඩිවී ඇත. වෙළද පොලට සහල් තොග නොලැබෙන විට වෙළදුන් මිල වැඩි කරයි. එය ඉල්ලූම හා සැපයුම මත තීරණයවන පාලනය කිරීම අපහසු තත්ත්වයකි. ඇමරිකාවේ තිරිගු නිෂ්පාදනය අඩුවී ලෝකයේ තිරිගු මිල වාර්තාගත ලෙස වැඩිවන ආකාරයට මෙරට වී ගොවිතැනින් අස්වැන්න අඩුවන වකවානුවේ සහල් මිල වැඩිවන්නට ඇති ඉඩකඩ කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

රජය කෘෂිකර්මය වෙනුවෙන් සහන සපයයි. පොහොර සහනාධාරය එයින් විශේෂ තැනක් ගනී. වී වගාවට අමතරව අතුරු භෝග සහ අපනයනය වෙනුවෙන් කරන කෘෂි භෝග වගාවට ද පොහොර සහනාධාරය හිමිය. එයට අමතර වශයෙන් ප‍්‍රතිපත්තියක් වශයෙන් ගෙවතු බෝග වගාවට දිරිය දෙන ''දිවි නැගුම'' වැඩ සටහන ක‍්‍රියාත්මක කරයි. මෙවැනි රාමුවක් තුළ රට තුළ යම්ප‍්‍රමාණයකින් ආහාර නිපැයුම වැඩිකරන්නට හැකියාව ලැබී ඇති බව වටහා ගත හැකිය. කෘෂිකර්මය දියුණු කිරීමේදී වැඩි ඵලදාවක් සහ නිෂ්පාදන වියදම අඩු කරන්නට හැකි ආකාරය ගැන සැලකිල්ලක් දැක්වීම වටී. ගෙවතු වගාවේ දී අඩු වියදමකින් නිවසේදීම යොදා ගත හැකි කාබනික පොහොර යොදමින් පවුලේ සාමාජිකයන්ගේ අතිරේක කාලය යොදවමින් එහි නිරතවිම සුදුසුය. විශාල වියදමක් දරා බීජ මිලදී ගෙන ආනයනික පොහොර හා රසායනික ද්‍රව්‍ය යොදන විට නිපදවන භෝගයක මූලික වියදම බරපතලය. ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මයේ ප‍්‍රතිපත්ති වෙනසකට ද කාලය උදා වී තිබේ. ජල හි`ගය සහ කාල ගුණ විපර්යාස නිසා ගොවියන්ගේ ආදායම අඩුවන මෙම කාලයේ දී ගොවියන් ආර්ථික අතින් සමෘද්ධියට පත් කරන ඵලදායී සහ ලාභදායක ගොවිතැනට යොමු කිරීම වැදගත්ය. ගොවියන් මෙකල ජලය ඉල්ලා උද්ඝෝෂණය කරන නමුත් අස්වැන්න නෙලන සමයෙහි නිසි මිලක් ඉල්ලා විරෝධතා නගයි. නිෂ්පාදන මිල වැඩි වන විට අවසානයේ දී පාරිභෝගිකයන්ට ආහාර වෙනුවෙන් වැය කරන්නට සිදුවන වියදම අධිකවෙයි. ආහාර ද්‍රව්‍ය මිල සාමාන්‍ය ජනතාවට දරාගත හැකි එකක් වීම සංවර්ධනයේ මූලික ලක්ෂණයකි. එය ට මග කෘෂිකර්මයෙහි දියුණුවයි. නිසි කලමණාකරනයයි.

කෘෂි තාක්ෂණය අන්තර් ජාතිකව මහත් දියුණුවට පත්ව තිබේ. පස සකස් කිරීම, පොහොර භාවිතය, බීජ සපයා ගැනීම, අස්වනු නෙලීම පමණක් නොව ගොවි පොලෙන් ලබා ගත් අස්වැන්න ආරක්ෂා කර ගැනීමට ද තාක්ෂණය මුසු වී තිබේ. දියුණු ක‍්‍රම උපයෝගී කර ගැනීමෙන් අස්වැන්න වැඩි වන අතර එහි අපතේයාම සීමා වෙයි. ආහාර නිෂ්පාදනයේ ගුණාත්මක බව ඉහළ යයි. එහි සම්පූර්ණ වාසිය අත්පත්වන්නේ ගොවියාටය. කෘෂිකර්මය විවිධාංගීකරණයට ලක්විය යුතුය. වී වගාවට අමතරව ගොවියන්ට වගා කළ හැකි බව භෝග සෑහෙනතරම් තිබේ. එලවලූ හා පලතුරු වලට රට තුළ විශාල ඉල්ලූමක් නිර්මාණය වෙමින් පවතී. සම්ප‍්‍රදායික පලතුරු හා අල වර්ග වලට හොද වෙළද පොලක් ඇත. ගොවියන් ගොවිතැනට නැඹුරුවන රටක ආහාර සුරක්ෂිතතාව සහ පොදු ජනතාවට අවශ්‍ය ආහාර සම්පාදනය අභියෝගයක් නොවේ. ලෝකයේ නොයෙකුත් රටවල් ආහාර මිල ඉහල නගින විට තැති ගන්නා නමුත් සොබා දහම හා සමීපව ගොවිතැනෙහි යම් ප‍්‍රශස්ථ තත්ත්වයක් ඇති අප රටට එය විශාල අර්බුදයක් නොවේ. ගොවිතැන හා කෘෂිකර්මයෙහි යම් විද්‍යාත්මක ප‍්‍රතිසංස්කරණයක් කළ යුතුය. එයින් නිෂ්පාදනය වැඩි කළ හැකිය. ගොවිතැන අලභදායී බව දක්වමින් එය හැර දමා කම්හලක කුලීකරුවන් වන්නට තැත්දරන පරම්පරාවට එය සුබසෙත සදනු ඇත. අන්තර් ජාතිකව සිදුවන වෙනස්කම් රට තුළ සාකච්ඡුා කළ යුතු අතර අභියෝග වලට මුහුණ දෙන ආකාරය කල්තබා සැලසුම් කළ යුතුය. වැදගත්වන්නේ එයයි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.