» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
02/06/2013 - ඉරිදා ලංකාදීප
බෞද්ධ දර්ශනය අභියෝගයක් කරගත් වත්මන් සමාජය - මිලින්ද මොරගොඩ

වෙසක් මාසය බෞද්ධයන්ට ඉතාමත් වැදගත් කාලවකවානුවකි. අප ජීවත්වන්නේ සම්බුද්ධත්ව ජයන්තියෙන් දෙදහස් හයසිය වසරකුත් තවත් අවුරුද්දක් ගෙවී ඇති, ඉතා සංකීර්ණ ආර්ථික සහ සමාජ පසුබිමකය. තාක්ෂණික යුගයකය. ගෝලීයකරණයට ලක් වූ වත්මන් සමාජයට ගැලපෙන දර්ශනය බුදු දහමින් සපයන බව පිළිගැනීමයි. බුදු දහම ශ‍්‍රී ලාංකික සමාජ අනන්‍යතාවයට බද්ධ වූ සදාකාලික දර්ශනයකි. ගෙවී ගිය අතීතය තුළ බුදු දහම නොයෙකුත් අභියෝග වලට මුහුණ පා තිබේ. මෙසමයෙහි ද බුදු දහම සහ එය අදහන ජනතාව තමන් අනාරක්ෂිත යැයි සිතන්නට පටන්ගෙන තිබේ. නොයෙකුත් බාහිර බලවේග ධර්මය යටපත් කරන්නට ද, බුද්ධ දේශනාව නොසලකාහරින්නට ද තැත් දරන බව සිතන බව පෙනේ.

ආපසු හැරි බලන විට ඉතිහාසයේ දි නොයෙක් බලවේග වලින් බුදු දහමට බලපෑම් එල්ල වී තිබේ. නමුත් දර්ශනයක් වශයෙන් දහම දක්වන සදාකාලික සත්‍යය සගවන්නට හැකියාවක් ලැබී නැත. දහම සුරක්ෂිතය. බුදු දහම වටා බැ`දී ඇති සිරිත් විරිත් සහ සංස්කෘතිය නිතිපතා වෙනස් වන බව අවබෝධ කර ගත යුතුය.

ථෙරවාදී බුදු දහම ගැඹුරින් පවතින්නේ ශ‍්‍රී ලංකාවේය. ඉන්දියාවෙන් ක‍්‍රමයෙන් විකාශය වූ මහායාන ධර්මය අද ලෝකයේ නොයෙක් තැන ජනප‍්‍රියව පවතී. වෛතුල්‍යවාදය වැනි ඉගැන්වීම් සහිත මහායානය අභයගිරිය හා ජේතවනාරාමය යන පොලොන්නරු යුගයේ විහාර වල පෝෂණය විය. මහායාන දර්ශනය ව්‍යාප්ත වීම සමග ශාරීරික ධාතු වන්දනාව වෙනුවට ධර්ම ධාතු වන්දනාව ප‍්‍රචලිත කෙරුණ බව සදහන්ය. විශාලතම අභියෝගය එල්ල වූයේ ලංකාව යටත්වීම සමගය. පවතින දේ වෙනුවට බටහිර කි‍්‍රස්තියානි ආගම ද අධ්‍යාපනය ද යටත් විජිතය තුළ පතුරුවන්ට අධිරාජ්‍යවාදීහු පියවර ගත්හ. ස්වදේශිකයන්ගෙන් කොටසක් කැමැත්තෙන් ද, තවත් කොටසක් බලහත්කාරයෙන් ද අන්‍යාගමීකරණයට ලක්වූ බව දැකිය හැකිවේ.

බුද්ධ කාලයට පසු යම් යම් අභියෝග වලට මුහුණ දෙන බුද්ධ දේශනාව වටා ජාතක කතා එකතු වූ බව පිළිගැනිමයි. බුදු රජාණන් වහන්සේ සතුව තිබූ අසම සම ඥානය වෙනුවට අසම සම ප‍්‍රාතිහාර්යය ඉදිරියට ගෙන ඇත. මේවා කලින් කලට සිදුවන විකෘති බව වටහා ගැනීම දැනුමැති සමාජයේ වගකිමකි.

මෙරට බෞද්ධ ප‍්‍රබෝධය හා නිදහස දිනාගැනීම අරඹෙන්නේ යටපත් වී සිටි ජාතිය නිවහල් බව ඉල්ලා සිටින අවස්ථාවේදීය. පරාධීන යුගය අවසන් කරන්නට ජනතාව පෙළ ගැසෙන විට බොදුනු පුනර්ජීවනය මහත් බලයක් විය. පානදුරාවාදය එහි එක් සංකේතයකි. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණෝ බුදු දහම යළි නගා සිටවනු වස් වාද කළහ. කර්නල් ඕල්කොට්, මියුසියස් හිගින්ස් වැනි විදේශිකයන් බුදු දහමේ සත්‍යතාව දැක මෙරටට පැමිණ අනගාරික ධර්මපාල ඇතුළු දේශීය නායකයන් සමග ප‍්‍රබෝධය ඇති කරන වැඩ පිළිවෙල ඇරඹූහ. බෞද්ධ කොඩියක් නිර්මාණය කළ අතර පල්ලියේ භක්ති ගීත වලට සමානව පන්සලේ ද භක්ති ගීත ගායනය ඇරඹීය. වෙසක් කාඞ් වලින් සුබ පැතීම, වෙසක් කූඩු ප‍්‍රදර්ශනය හා තොරණ ද බොදු දහමට සම්බන්ධ අංග ලෙස පැතිරිණ. ඕල්කොට් ඇතුළු ලාංකික දුත පිරිසක් චීනයේ බුදු දහම පතුරවන වැඩ සටහනකට සම්බන්ධ විමෙන් ඉනික්බිතිව වෙසක් කූඩු හා තොරණ සැරසිලි ගැන මෙරට බොදුනුවන් උනන්දු කරන ලද බව පැවසේ. අද වන විට එය වෙසක් උත්සවශ‍්‍රීය ඇති කරන ව්‍යාපාරික හා ප‍්‍රචාරක අරමුණු කරා ලගා වූ අංග ලෙස ප‍්‍රචලිතය. බුදු දහම වඩවන පින් තකා කරන දේ සලකා දන් සැල් තැන තැනය. සල්පිල් වෙන්දේසි හා විහාර කර්මාන්ත ආධාර එකතු කිරිමය වශයෙන් තවත් දේ සිදුවේය. රූකඩ, ඔල් බක්කන් නැටවිම හොල්මන් ගුහා යනාදී මහත් විවේචනයට ලක් වූ අංග පමණක් නොව පරිගණක තොරන් දක්වා එහි විකාශය නොයෙක් පැති ගෙන තිබේ.

බුදු දහම සතු ගැඹුර එහි මධ්‍යස්ථ භාවයයි. අට ලෝ දහම එහි එක් වැදගත් දැක්මකි. බුදු රජාණන් වහන්සේ ජිවමානව වැඩ විසූ සමයේ පවා එයට සමාන්තරව නොයෙක් ආගම්, ඇදහිලි හා විශ්වාස පැවතුන බව ඉතිහාසය සාක්ෂි දරයි. එවැනි මත වලට ඉඩ දුන් බුදු රජාණන් වහන්සේ කෙනෙකු උසස් හෝ පහත්වන්නේ ක‍්‍රියාවෙන් මිස උපතින් නොවන බව දේශනා කළහ. ඉන්දියාවේ පැවති කුල වාදය වෙනුවට බුදු රජාණන් වහන්සේ සමානාත්මතාව ඇති කළහ. අන් ආගම් ගරහා ඒවා යටපත් කරන්නට උත්සාහ නොකළ අතර අබෞද්ධ යැයි අන් ආගම් ප්‍රතික්ෂේප කළේ ද නැත. වෙනත් ආගමක් ඇදහීම බෞද්ධ නොවන අතර බෞද්ධයන් බෞද්ධ දහමට නොගැලපෙන ආකාරයට ක‍්‍රියාකිරීම අබෞද්ධකමයි. සිංහල බෞද්ධ යන්න ද කරුණු වරදවා වටහා ගැනීමකි. බෞද්ධයෙකු වන්නට බෞද්ධ දර්ශනයට අනුගත වන්නට ජාතිය වැදගත් නැත. ඕල්කොට් පැමිණීමෙන් කළ පරිවර්තනය අන්‍ය ජාතිකයෙකුගේ මැදිහත්මක් සේ සිතා ප්‍රතික්ෂේප කරන ලද්දේ නම් වර්තමානයේ පැවතිය හැකි තත්ත්වය වෙනස්ය. බුදු දහම හා එහි විකාශය නීති පනවා දඩුවම් දී බලහත්කාරයෙන් කළ හැකි දෙයක් නොවන බව වර්තමාන සමාජය තේරුම් ගත යුතු පණිවුඩයකි. බෞද්ධයන් වශයෙන් තමන්ගේ දුර්වලතා වලට අනුන්ට දොස් තැබීම නුසුදුසුය. බොදු ජනතාව පන් සිල්, අට සිල් වලින් වැලකී ජනප‍්‍රිය අංග වලට නැඹුරුවන්නේ දහම තේරුම් නොගැනීමෙන්ය. උදේ සවස පිරිත් සඡ්ඡුායනා වන සහ නිති පතා බණ කියන නමුත් සමාජය දරුණු වී ඇත්තේ මන්දැයි සොයා බැලීම හිමිපාණන් වහන්සේලාගේ සහ බෞද්ධ නායකයන්ගේ වගකීමකි. විහාරස්ථාන වල නිති පතා ඉදිකිරීම්ය. ආධාර එකතු නොකරන පන්සලක් නැත. ධර්මයෙන් කියැවෙන දර්ශනය ප‍්‍රායෝගිකව නොදැක්වෙන විට තරුණන් පවා ඈත්වන බව දැකිය හැකිය. පසුගිය කාලය තුළ පවා ජනප‍්‍රිය බුද්ධාගම් රුළි නැගෙන විට එය වටා තරුණන් එකතු වූයේ පිරිසිදු ආගමික දර්ශනය සොයමින් විනා විහාර දාගැබ් කර්මාන්තාදිය වෙනුවෙන් නොවන බව වෙසක් සමයෙහි අවබෝධ කරගත යුතු පණිවුඩයකි. දහම අකාලිකය. ලේඛනගතව තිබේ. වෙසක් සමයෙහි නැගෙන බොදු ප‍්‍රබෝධය පදනම් කරගෙන රට තුළ විනය සංගායනාවක් ඇති කරන්නට පියවර ගත යුතුය. එය අද රටට ගත හැකි ඉතාම වැදගත් තීන්දුවකි. බෞද්ධකම යටපත් කරන අබෞද්ධ ක‍්‍රියා පටිපාටිය පැන නැගි ඇත්තේ බොදුනු සමාජය තුළින්ම විනා එහිදී වෙනත් ආගම් වලට ගැරහීම යුක්ති සහගත නැත. අන්‍යාගම් වලට චෝදනා කිරීම වෙනුවට තමන්ගේ පැත්ත නිවැරදි කළ යුතු බවට සැබෑ දැක්මක් ඇතිකර ගැනීම වෙසක් සමයෙහි ගත හැකි නිශ්චිත තීන්දුවකි. මහ නායක හිමිවරුන්, රාජ්‍ය නායකයන් බොදු බැතිමතුන් අතර මෙම අවශ්‍යතාවය පෙන්වා දෙන සංවාදයක් ඇරඹීම වැදගත්ය.

අන්‍යයන්ගේ දොස් දැකීම බුදු දහමේ නැත. මිත්‍යාදෘෂ්ටිය ඇතිවන්නේ දර්ශනය නොසලකා මිත්‍යාවෙහි ඇලීමත් සමගය. බුද්ධාගම සිංහල ජාතියට පමණක් සීමා වූ එකක් නොවේ. ලාංකේය බුද්ධාගම විනා සිංහල බුද්ධාගමක් ගැන මත පැතිරවීම පිළිගත නොහැකිය. බුද්ධ දර්ශනය ජාතිකත්වය ඉක්මවා ගිය එකකි. ඕනෑම ආගමක් තුළ දර්ශනය සම්බන්ධව අර්බුද පැන නැගෙනවිට අන්තවාදී අදහස් මතුවන බව ඉතිහාසයෙන් පෙන්වන කරුණකි. අන්තවාදය තාවකාලික වන අතර මැදුම් පිළිවෙතට තැන දෙන ආගමක් අන්තවාදයෙන් ආරක්ෂා විය නොහැකිය.

වර්තමානයේ අප සාකච්ඡුා කළ යුතු ප‍්‍රධාන කරුණු තුනක් තිබේ. ආගම සහ ජාතිවාදය අතර ඇති බැදීමක් නැති බව තර්කානුකූලව පිළිගැනීමය. සිංහල බෞද්ධකම වැනසෙන බවට නගන මතවාදය එයින් බැහැර කළ යුතුය. ලෝකයේ නන් රටවලට බුදු දහම පතුරවන අභියෝගය භාරගත යුතු අතර දෙමල හා ඉංග‍්‍රීසි බසින් ධර්මය දේශනා කරන්නට හැකි භාෂා පුහුණුව වියත් ධර්මධර භික්ෂූන් වහන්සේලාට සපයන ක‍්‍රමවේදයක් අවශ්‍යය. ශ‍්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරව ඕනෑම ජාතියකට, ඕනෑම කලයකට බුදු දහම විවෘත කළ හැකි වන්නේ එවිටය. බුද්ධ දර්ශනය ගැන ආත්ම ශක්තියක් අපට අවශ්‍යය. දහම විකෘතිකර එය වටා එකතුකර ගන්නා කුඩා පිරිසකගෙන් යැපෙන අන්තවාදී බුද්ධාගමක් වෙනුවට දහමේ නියම සංකල්පය පැහැදිලි කර දහමට අනුව ජීවිතය හැඩ ගසාගන්නා විනයක් රටට කාන්දු කිරීම වැදගත්ය. නියමාකාරයෙන් දහමට අනුව හැසිරෙන ජනතාවක් සිටින රටක විනය පිළිබ`ද ගැටලූ සිමා වෙයි.

අනෙක් ඉතාම වැදගත් වන්නේ ධර්මය හා දේශපාලනය අතර ඇති බැදීම ඈත් කිරීමයි. බුදු දහම පෝෂණය කිරීම හා අදාල නිසි පිළිවෙත් විනා දේශපාලනයට ආගම සම්බන්ධ කර ගැනීම නුසුදුසුය. දර්ශනය ගෙන එයට අනුකූලව ක‍්‍රියා කිරීම එකක් වන නමුත් අද සිදුවන්නේ බුදු දහමට අනුකූල බව දක්වමින් එයට පරිබාහිර අකටයුතුකම් වලට ඉඩ දීම බව දේශපාලන ක‍්‍රමය මැනවින් සාක්ෂාත් කරයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගුණාංග පවා විකෘති කරමින් බලය උදෙසා ප‍්‍රචණ්ඩව සහ ධනබලය ඇතිව හැසිරී පසුව ධර්මය ආරක්ෂා කරන බව ප‍්‍රකාශ කිරීම දේශපාලනය හා ධර්මය අතර ඇති සම්බන්ධය නොවන බව මැනවින් වටහා ගත යුතුය. අවුරුදු දහස් ගණනක් නොයෙකුත් අභියෝග මැද මහා සංඝරත්නයද, බෞද්ධයන්ද බුද්ධාගම අද පවතින මට්ටමට ගෙනැවිත් තිබේ. තවත් අවුරුදු දහස් ගණනක් අවිච්චින්නව පවතින ආකාරයට ධර්මය හා බොදුනු විනය ආරක්ෂා කරගැනිම අපගේ වගකිමකි. එය අභියෝගයක් නම් වර්තමානයේ එයට මුහුණ දෙන ආකාරය අප විමසා බැලිය යුතු තවත් පැත්තකි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.